Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැනඩාවේ මැතිවරණයෙන් ජස්ටින් ටෲඩෝට අනපේක්ෂිත ජයක්

ඔක්තෝබර් 21 වනදා පැවති කැනඩාවේ 43 වන ෆෙඩරල් මැතිවරණයෙන් එරට අගමැති ජස්ටින් ටෲඩෝගේ ලිබරල් පක්ෂය අනපේක්ෂිත ලෙස ජයග්‍රහණය කළා.

මීට මාස කිහිපයකට පෙර තිබුණු තත්ත්වය අනුව කොන්සර්වේටිව් පක්ෂය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැ යි බලාපොරොත්තු පළ වී තිබුණා. කෙසේ වෙතත්, අවසන් මාස කිහිපය තුළ මැතිවරණ සටන තමන් වෙත හරවා ගැනීමට ටෲඩෝ සමත්ව තිබෙනවා. මෙය 2015 දී ලබාගත් පැහැදිලි ජයග්‍රහණය තරම් සාර්ථක ප්‍රතිඵලයක් නොවන බව සැබෑවක්. නමුත්, කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැ යි සිතූ මැතිවරණයක දී ඔවුන් පසු කරමින් ලිබරල් පක්ෂය ඉදිරියට පැමිණීම ඔවුන් ලද සාර්ථකත්වයක් ලෙස සලකන්න පුළුවන්.

ලිබරල් පක්ෂය ආසන 157ක් දිනාගන තිබෙන අතර, ආසන 338කින් යුතු පාර්ලිමේන්තුවේ බහුතරය තනිව පිහිටුවීමට ඔවුනට ආසන 13ක් අඩු ව තිබුණා. ඒ අනුව මීළඟ කැනේඩියානු රජය සුළුතර රජයක් වනු ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට ලිබරල් පක්ෂයට වෙනත් පක්ෂවල සහාය අවශ්‍ය වනු ඇති. මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 24ක් දිනාගෙන තිබෙනවා. ඔවුන් ලිබරල් පක්ෂයට සහාය දෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. කොන්සර්වේටිව් පක්ෂය ආසන 121ක් ලබාගැනීමට සමත්ව තිබුණා.

කියවන්න​: කැනඩාවේ අගමැති වීමට බලාපොරොත්තු වන සීක් ජාතිකයා

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2015 දී ලබාගත්තාට වඩා, මෙවර ලබාගත් ඡන්ද ප්‍රතිශතය ස්වල්පයක් අඩු වී තිබුණා. ඊට එක් හේතුවක් වූයේ ක්විබෙක් ප්‍රාන්තයේ දී ක්විබෙක් කණ්ඩායම 2015ට වඩා සාර්ථක වීම යි.

කිසිවක් ගැන නොවූ මැතිවරණය​

කැනඩාවේ 2019 ෆෙඩරල් මහමැතිවරණ ව්‍යාපාරය​ කිසිදු ආකාරයේ නිශ්චිත ප්‍රතිපත්තිමය කරුණක් මත සිදුනොවූවක් ලෙස සලකන්න පුළුවන්. මෙහි දී විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා වූ නමුත්, එක් කරුණක් පිළිබඳ නිශ්චිත ලෙස විවාදයක් මතු නොවූ බවට විවේචනයක් තිබෙනවා. ඊට වඩා පුද්ගලික මට්ටමේ විවේචන සහ කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබුණා.

අවසන් සතිවල දී සිදු වූ එක් ආන්දෝලනාත්මක සිද්ධියක් වූයේ, ජස්ටින් ටෲඩෝ පාසැල් කාලයේ දී කළු පැහැ මුහුණක් පැළඳ සිටි ඡයාරූප හෙළි වීම යි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම පිළිබඳ පෙනී සිටින්නකු ලෙස ප්‍රකට ටෲඩෝට, ඉන් ප්‍රබල හානියක් සිදුවුණ අතර ඔහු එම සිද්ධීන් පිළිබඳව සමාව ගත්තා.

විපක්ෂය මෙම සිද්ධිය ප්‍රයෝජනයට ගෙන ටෲඩෝට පහර දුන්න ද, එය සිතූ තරම් සාර්ථක වූයේ නැහැ. ජනතාව අතර එම සිද්ධිය යම් අප්‍රසාදයක් ඇති කළ ද, එයින් විපක්ෂය බලාපොරොත්තු වූ තරම් ඡන්ද ප්‍රමාණයක් ලිබරල් පක්ෂයට අහිමි වූ බවක් පෙනෙන්නේ නැහැ.

කොන්සර්වේටිව් නායක ෂියර් (AP)

මේ අතර කොන්සර්වේටිව් නායක ඇන්ඩෲ ෂියර්, කැනේඩියානු සහ ඇමරිකානු ද්විත්ව පුරවැසියකු බව හෙළි වීම ඔහු පිළිබඳ විශ්වසනීයත්වය පළුදු වීමට හේතු වුණා. ද්විත්ව පුරවැසිකමක් තිබීම කැනඩාවේ අගමැති ධුරය දැරීමට නුසුදුසුකමක් නොවේ. නමුත්, දිගු කලක් දේශපාලනයේ යෙදුණ අයෙකු ලෙස ෂියර් මේ පිළිබඳව මීට පෙර ජනතාවට හෙළි නොකිරීම ප්‍රශ්න කරනු ලැබුණා. එවැනි අයකුට රටේ පාලනය බාර දිය යුතු ද යන්න ලිබරල් පක්ෂය විසින් ඉදිරිපත් කෙරුණ ප්‍රශ්නය යි.

විවාදයට තුඩු දුන් කරුණු

මෙම මැතිවරණයේ දී ජනතාව මූලික වශයෙන්ම අවධානය යොමු කළ කරුණු ලෙස සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල සහ පරිසර ප්‍රතිපත්ති සලකන්න පුළුවන්. බදු, අධ්‍යපනය​, ගංජා නීතිගත කිරීම ආදී කරුණු පිළිබඳව ද ජනතාව අතර අවධානයක් යොමු වුණා.

බදු අඩු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත්තේ කොන්සර්වේටිව් පක්ෂය බවට සාමාන්‍ය පිළිගැනීමක් තිබුණා. එහෙත්, පාරිසරික කරුණු පිළිබඳ ක්‍රියාකාරීව කටයුතු කිරීම කෙරෙහි ඔවුන් එතරම් අවධානයක් යොමු නොකරනු ඇතැ යි යන පොදු පිළිගැනීමක් ද තිබුණා. මේ අතර ටෲඩෝ රජයෙහි පරිසර ප්‍රතිපත්ති පිළිබඳ ද යම් ප්‍රශ්න නැගෙමින් පැවතුණා. මේ කරුණු මත කැනඩාවේ හරිත පක්ෂය මෙවර මැතිවරණයේ දී ප්‍රබල හඬක් බවට පත් වී තිබුණා. කේවල ක්‍රමය යටතේ ඔවුනට දිනාගැනීමට හැකි වූයේ ආසන තුනක් පමණයි. එහෙත් ඔවුන් විසින් ඇති කළ විවාදය වැදගත් වුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ජග්මීත් සිං (Reuters)

මැතිවරණයට පෙර හිටපු ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය සහාය ජස්ටින් ටෲඩෝ වෙත දක්වා සිටියා. “ලෝකයට ඔහුගේ ප්‍රගතිශීලී නායකත්වය අවශ්‍යයි. ඒ නිසා අපේ උතුරුදිග අසල්වාසීන් ඔහුට සහාය දෙනු ඇතැ යි මා අපේක්ෂා කරනවා” යනුවෙන් ඔහු ට්විටර් පණිවිඩයක් පළ කළා. මෙය ටෲඩෝට කෙතරම් වාසිදායක වීදැ යි කිව නොහැකි නමුත්, ඉන් ලිබරල් පාක්ෂිකයන් සවිමත් වූ බව කිව හැකියි.

මීට අමතරව ඇතැම් ප්‍රාන්තවල ප්‍රාදේශීය කරුණු ද වැදගත් වනවා. ඇල්බර්ටා ප්‍රාන්තයේ 2015 ප්‍රාන්ත මැතිවරණය ජයගත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යි. එහෙත්, 2019 පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම ප්‍රාන්තයේ එක් ආසනයක් හැර අන් සියලු ආසන කොන්සර්වේටිව් පක්ෂය විසින් දිනාගත්තා.

කෙසේ වෙතත්, මේ වන විට මැතිවරණයේ ප්‍රතිඵල තීරණය වී ඇති නිසා ජස්ටින් ටෲඩෝ දිගටම අගමැති ධුරයෙහි කටයුතු කරනු ඇති. සුළුතර රජයක් පවත්වාගන යාමේ අභියෝගයට ඔහු කෙසේ මුහුණ දෙනු ඇතිදැ යි ඉදිරියේ දී අපට බලාගන්නට පුළුවන්.

කවරයේ පින්තූරය: අගමැති ජස්ටින් ටෲඩෝ (AP)

Related Articles