Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ ජාතික ගුවන් සේවයේ බර උහුලන්නේ කවුද?

පහු ගිය මාසේ පළවුණු වාර්තා වලට අනුව ලංකාව දරුණු මුල්‍ය අර්බුදයක ඉන්න මේ වෙලාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රුපියල් බිලියන 461ක ණය ටිකත් මහා භාණ්ඩාගාරයට භාර ගන්න උපදෙස් ලැබිලා තියෙනවා. ඉතින් දැන් තවත් සැරයක් ශ්‍රී ලන්කන් එක හවුල්කරුවන් හොයන්න යොමු වෙලා. මුදල් අමාත්‍යංශයේ නිවේදනයකට අනුව ලාභදායී ප්‍රදේශ වලට වැඩිපුර ගමන් කරන ප්‍රාදේශීය ගුවන් සේවාවක් බවට ශ්‍රී ලන්කන් සේවය පත් කරන්න තීරණයක් තියෙනවා. මේක ශ්‍රී ලාංකීය වගේම අන්තර්ජාතික විශේෂඥයන් පිරිසක් මේ ගැන හොයලා බලලා දීපු යෝජනාවලියකට අනුව ගත්ත තීරණයක්ලු.

ඉතින් මේ වගේ පරිවර්තනයකට ලක් වෙන්නයි, සුදුසු හවුල්කරුවෙක් හොයා ගන්නයි වගේම ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගොඩ ගන්න තියන අවස්ථාවල් මොන වගේද? මේ වෙන තුරු නම් විශේෂ වෙනසක් වුනු බව පෙනෙන්නට නැහැ. මේ දේවල් ගැන දැනුමක් තියන බොහෝ දෙනෙක් කියන්නේ දැනට ඉන්න කළමනාකාරීත්වයට මේ වගේ බර සාර වැඩක් හරියට කරන්න කිසිම හැකියාවක්වත් පළපුරුද්දක්වත් නැහැ කියලයි. ඒ නිසා මේ කරන්න යන වැඩේ සාර්ථකත්වය ගැන ඔවුන් සැක පළ කරනවා.

කාලයක් තිස්සේ තිබුණු හවුල් සම්බන්ධතා සහ මුල්‍ය ප්‍රශ්න

එයාර් සිලෝන් සේවයට පවා මුල ඉඳන්ම විදේශ සහය අවශ්‍ය වුණා. රූපය : tripletails.weebly.com

එයාර් සිලෝන් සේවයට පවා මුල ඉඳන්ම විදේශ සහය අවශ්‍ය වුණා. රූපය : tripletails.weebly.com

1947දී ලංකාවේ ආරම්භ වුනු මුල්ම ගුවන් සමාගම වන එයාර් සිලෝන් එකටත් මුල ඉඳන්ම විදේශයන්ගේ සහය මත තමයි ක්‍රියාත්මක වෙන්න සිදු වුණේ. 1949 වන විට ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය (ANA) සතුව එයාර් සිලෝන් වත්කම් වලින් 49%ක්ම පැවතුණා. 1955දි මේ 49% නෙදර්ලන්ත ජාතික KLM සමාගම විසින් පවරා ගනු ලැබුවා. 1960 වන විට KLM සතු වුන මේ 49% ක කොටස් හිමිකම 24% දක්වා අඩු වුණා. 1960දි වෙන කරන්න දෙයක් නැතිම තැන BOAC ඒකත් එක්ක හවුලක් ඇති කරගෙන තමයි එයාර් සිලෝන් ගුවන් යානා වලට ලන්ඩන් නගරයට ගොඩ බහින්න අවස්ථාව ලබා ගත්තේ. 1971දි එයාර් සිලෝන් සමාගම UTA නම් ප්‍රංශ සමාගමත් එක්ක මුල්‍ය හා තාක්ෂණික උපදෙස් ලබා දෙන ගිවිසුමක් ඇති කර ගන්න සමත් වුණා. කොහොම වුණත් ලොකු වාසියක් ලැබෙන්නේ නැතිව මේ ගනුදෙනුව 1976 සැප්තැම්බර් වල අවසන් වුණා.

හවුල්කරුවන් වෙනස් කිරීම

ඉතින් ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් එක්ක මේ විදිහේ හවුල් ගනුදෙනුවක් කරන්න කැමති වෙන්නේ කවුද? ඉන්දියාවේ සහ චීනයේ ඉන්න විශාල ජනගහනය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් ලබා දෙනවා. මේ රටවල් එකක් හරි, දෙකම හරි එක්ක යම් ගනුදෙනුවකට යන්න පුළුවන් නම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

ජනවාරි මාසයේ කටාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක අක්බර් අලි බාකර් සමග සාකච්ඡා පැවැත්වුණා. ක්ෂේත්‍රයේ සමහර ආරංචි මාර්ග වලට අනුව එටිහාඩ් ගුවන් සේවය ශ්‍රී ලන්කන් සමග ගනුදෙනුවකට එන්න කැමැත්තෙන් ඉන්නවා.

අපිට හොඳ උදාහරණයක් ගන්න ඉඩ ලැබෙනවා තුර්කි ගුවන් සේවය දිහා බලලා. අනූ ගණන් වලදී යුරෝපයේ තිබුණු දුර්වලම ගුවන් සමාගමක් වුණත් අද වන විට එය යුරෝපයේ හොඳම ගුවන් සේවය බවට පත් වෙලා තියනවා. ලෝකයේ වැඩිම දියුණුවක් ලබා ගත් ගුවන් සේවය තුර්කි ගුවන් සේවය කියලා කියන්න පුළුවන්. ඔවුන් මේ වෙනස කළේ ඔවුන්ගේ සමාගම් සංස්කෘතිය ලොකු වෙනස් කමකට ලක් කිරීම මගින්. කාලයක් තිස්සේ තුර්කි ගුවන් සේවය කියන නම ඇහුවත් මිනිස්සු යන්න බයයි, මොකද ඔවුන්ට යුරෝපා ඉතිහාසයේ ආරක්ෂාව අතින් නරකම තැනක් හිමි වෙලා තිබුණේ. ඊට වඩා නරක තැනක තිබුණේ එයාෆ්ලොට් (AirFlot) විතරයි. නමුත් තමන්ගේ කාර්ය මණ්ඩලය හොඳින් පුහුණු කරලා, අලුත් ගුවන් යානා මිලට අරගෙන ඔවුන් ලොකු උත්සාහයක් කරලා එතනින් ගොඩට එන්න සමත් වුණා.

මේකෙන් උදාහරණයක් අරගෙන ශ්‍රී ලන්කන් එක දියුණු කර ගන්නත් පුළුවන් නම් කොයි තරම් දෙයක්ද?

කලින් සිටි කළමනාකාරීත්වය

1979 වන විට එයාර් සිලෝන් එයාර් ලංකා ලෙස නම් වෙනස් කෙරුණා. රූපය : විකිපීඩියා

1979 වන විට එයාර් සිලෝන් එයාර් ලංකා ලෙස නම් වෙනස් කෙරුණා. රූපය : විකිපීඩියා

1972 දී සිලෝන් කියන නාමය වෙනුවට ශ්‍රී ලංකාව කියලා රටේ නම වෙනස් වෙලා ජනරජයක් බවට පත් වුණා. ඒ අනුව යමින් 1979 අවුරුද්දේදී ජාතික ගුවන් සේවයේ නමත් එයාර් ලංකා ලෙස වෙනස් කරනු ලැබුවා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු කළමනාකරුවෙක් වන රජීව ජයවීර මහතා ලඟදී පළ කරපු ලිපියක දැක්වෙන විදිහට ජාතික ගුවන් සේවය කපිතාන් රකිත වික්‍රමනායකට සහ භාරකාර කමිටුවක් යටතට පත් කරලා තිබුණු ජාතික ගුවන් සේවයේ කටයුතු වලට මුලින් මුලින් එවකට සිටි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා වැඩි බලපෑමක් කරේ නැහැ. මේ කමිටුවේ වැඩි දෙනෙක් ඒ ක්ෂේත්‍රයේ කළමනාකරුවන් සහ රාජ්‍ය සේවකයන්. කොහොම වුණත් මේ මණ්ඩලය හරහා ලොකු වාසියක් හිමි වුණේ නැහැ. සිංගප්පුරුවේ ලී ක්වාන් යූ මහතා මේ ගැන අදහස් දක්වමින් කියලා තිබුණේ “පයිලට් කෙනෙක් කොහොමද ගුවන් සමාගමක් මෙහෙයවන්නේ” කියලයි. 1986 ජනාධිපති කමිටුවකින් කරපු පරීක්ෂණයකට අනුව හිටපු භාරකාර මණ්ඩලයේ අනිසි ක්‍රියාකාරකම්, මුදල් නාස්තිය, අකාර්යක්ෂමතාව සහ මත ගැටුම් හෙළිදරව් වුණා. ඉන් පස්සේ පත් කරපු දෙවැනි මණ්ඩලයෙන් තමයි දිගින් දිගටම භාණ්ඩාගාරයේ සල්ලි වලින් දුවන එක නතර කර ගන්න පුළුවන් වුණේ කියලා තමයි ජයවීර මහත්තයාගේ ලිපියේ තියෙන්නේ.

ආයෙත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ තමන්ගේ හිතවත් අය බොහෝ දෙනෙක්ට රැකියා දෙන්න ගිහින්, බලපෑම් වැඩි වෙලා ප්‍රශ්න ඇති වෙන්න පටන් අරගෙන තියෙනවා. ඩී. බී. විජේතුංග මහත්තයා විශ්‍රාම ගිය ජෙනරාල් කෙනෙක් සභාපති කරලා, එයාර් වයිස් මාෂල් දෙන්නෙක් සහ එ.ජා.ප නීතිඥයෙක් විධායක මණ්ඩලයට පත් කරලා මේක දිගටම විනාශයට ගෙන ගියා. මේ කාටවත් වාණිජ ගුවන් සේවයක් පවත්වා ගෙන යන විදිහ ගැන කිසිම දැනුමක් තිබිලා නැහැ.

අනිසි පරිහරණය

හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා වලට ගුවන් සේවයේ සම්පත් නාස්ති කරපු බවට බොහෝ චෝදනා ආවා. මේ සියල්ල දරා ගන්න වුණේ ගුවන් සේවයට සහ බදු ගෙවන ජනතාවට. රූපය : asiantribune.com

හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා වලට ගුවන් සේවයේ සම්පත් නාස්ති කරපු බවට බොහෝ චෝදනා ආවා. මේ සියල්ල දරා ගන්න වුණේ ගුවන් සේවයට සහ බදු ගෙවන ජනතාවට. රූපය : asiantribune.com

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ඉඳන් දිගටම ටිකට් අරගෙන යන මගීන්ට ජනාධිපතිවරුන්ගේ ගමන් බිමන් නිසා කරදරයට පත් වෙන්න සිදු වුණා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය මේ විදිහට හැම වෙලාවකම පරක්කු වෙලා එන්න පුරුදු වුනු කෙනෙක්. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ලැබී තිබුණු UL කියන හඳුනා ගැනීමේ කේතය “Usually Late” නැත්නම් “සාමාන්‍යයෙන් පරක්කුයි” කියලා හදාගෙන විහිලු කරන්නත් ඒ කාලේ මිනිස්සු පුරුදු වුණා.

මේකේ නරකම තත්වය ආවේ පහුගිය කාලේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගින් දිගටම තමන්ගේ පෞද්ගලික හැම ගමනකටම ශ්‍රී ලන්කන් ගුවන් යානා යොදා ගත් බවට චෝදනා ආවා. මේ ගමන් වලදී එක වර සිය ගණන් කිසිදු ගෙවීමක් නොකර ජනාධිපතිවරයා සමග එහෙ මෙහෙ ගිහින් තියනවා. දිගින් දිගටම මේ වැඩේ සිද්ධ වෙද්දී අනවශ්‍ය පාඩුවක් දරා ගන්න බැරි නිසා ශ්‍රී ලන්කන් හි සම හිමිකාරීත්වය තිබුණු එමිරේට්ස් සමාගම ශ්‍රී ලන්කන් සමාගම ආපහු පවරලා දුන්නා. ඒ වන තුරු විශාල ලාභයක් ලබපු ශ්‍රී ලන්කන් එදායින් පස්සේ දිගින් දිගටම බිලියන ගණන් පාඩු ලබන්න ගත්තා.

වැලිඅමුණ වාර්තාව

වැලිඅමුණ වාර්තාවෙන් පෙන්වලා දුන්නේ කළමනාකරණයේදී පවා මහා විශාල නාස්තියක් සිදු වුනු බවයි.

සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ නාස්තිකාරී වැඩ ගැන පළවුණු වාර්තා සැළකිල්ලට අරගෙන අලුතෙන් පත් වුනු මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මේ ගැන හොයන්න කමිටුවක් පත් කරා. මේකේ මුල් පුටුව ගත්තේ ප්‍රසිද්ධ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා. ගිය අවුරුද්දේ මාර්තු වල මෙහි වාර්තාව ලැබුණට පස්සේ තමයි බොහෝ දෙනා මේකේ ඇත්ත තත්වය තේරුම් ගත්තේ. වාර්තාවේ අවසානයේ සභාපතිවරයාට හා විධායක අධ්‍යක්ෂක ඇතුළු ඉහළ කළමනාකාරීත්වයට එරෙහිව මුල්‍ය චෝදනා ගොනු කරන්නත්, නඩු පවරන්නත් නිර්දේශ වෙලා තිබුණා. බලය අත්තනෝමතිකව පාවිච්චිය සහ විශාල මුදල් වංචා, නාස්ති කිරීම් සේරම සිදු වෙලා තිබුණේ විගණනය කරන අය සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇස් වහලා. නමුත් ඔවුන්ගේ නොසැලකිල්ලට දඬුවම් දෙන්න කියලා නිර්දේශ වෙලා නැහැ.

වැලිඅමුණ වාර්තාවෙන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ කළමනාකාරීත්වය දැඩි විවේචනයකට ලක් කරලා තිබුණා. රූපය : asianmirror.lk

වැලිඅමුණ වාර්තාවෙන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ කළමනාකාරීත්වය දැඩි විවේචනයකට ලක් කරලා තිබුණා. රූපය : asianmirror.lk

වර්තමාන රජය පසු ගිය කාලයේ සිද්ධ වුනු බරපතල වංචා ගැන නිතරම කිව්වත් තවමත් වැලිඅමුණ වාර්තාවේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරලා නම් නැහැ. PRECIFAC හෙවත් බලය, ජාතික සම්පත් හා වරප්‍රසාද අනිසි පරිහරණය සහ වංචා, දුෂණ පිලිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කමිටුව (The Presidential Commission investigating Fraud, Corruption, Abuse of Power, State Resources and Privileges) තමන්ගේ මීළඟ රැස් වීම මැයි මස 19 තෙක් කල් තියලා තියනවා.

වර්තමාන කළමනාකාරීත්වය

කපිතාන් සුරේන් රත්වත්ත මහතා 2015 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා කියන ගුවන් සමාගම් දෙකේම විධායක අධ්‍යක්ෂක ලෙස පත් කෙරුණා. මේ අනුව ආයතන දෙකම පරිපාලනය සහ කළමනාකරණය ඇතුළු තීන්දු තීරණ ගැනීමේ වගකීම පැවරිලා තියෙන්නේ ඔහුටයි. වසර 30ක කාලයක් ගුවන් නියමුවෙක් විදිහට කටයුතු කරලා ඔහුට ක්ෂේත්‍රය ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා. කොහොම නමුත් ඔහුගේ කළමනාකරණ හැකියාව ගැන සමහරු නම් සැක පළ කරලා තියෙනවා.

ප්‍රතිසංවිධානය කිරීම

නව විධායක අධ්‍යක්ෂකවරයා ගුවන් සමාගම් දෙකම ප්‍රතිසංවිධානයකට ලක් කරන්න අවශ්‍ය බව වසරක කාලයක සිට කියනවා. මේ අනුව රජය මේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සඳහා උපදේශන කමිටුවක් පත් කරන්න තීරණය කළා. මීළඟ සති කිහිපයේදී KPMG, , Ernst & Young සහ PricewaterhouseCoopers කියන ආයතන එක්ක සාකච්ඡා පවත්වලා සුදුසු ආයතනයකට මේ ක්‍රියාවලිය භාර දෙන්න නියමිතයි. නමුත් ප්‍රශ්නය කියන්නේ මෙයින් Ernst & Young සමාගම තමයි නොසැලකිල්ලෙන් විගණන කටයුතු කළ බවට වැලිඅමුණ වාර්තාවේ චෝදනාවට ලක් වුණේ. ඉතින් මේක මොන තරම් සාර්ථක වෙයිද කියලා විශ්වාස කරන්න අමාරුයි.

මැද පෙරදිග හා අප්‍රිකාව පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රාදේශීය කළමනාකරු සමන්ත නාගහවත්ත මහතා මේ ලඟදි ගල්ෆ් ප්‍රවෘත්ති සේවයට කියලා තියෙනවා තමන් ඉදිරි වසර දෙක ඇතුලත ඉරානය, ජෝර්දානය සහ ලෙබනනයට ගුවන් වාර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් තවම එවැන්නක් ගුවන් ගමන් කාලසටහනට ඇතුලත් කරලා නැහැ.

කොහොම වුණත් මේ ප්‍රතිසංවිධානය ගැන හැමෝගෙම එකඟත්වයක් නැහැ. යුරෝපයට ගුවන් වාර සිදු කරන එක නවත්තන්න තිබුණු නිර්දේශය ගැන සංචාරක මණ්ඩලය අප්‍රසාදය පළ කරලා තිබුණා. මේ ළඟදී ලංකා හෝටල් සංගමයේ සභාපති හිරාන් කුරේ මහතා කරපු ප්‍රකාශයක් ගැන වාර්තා පල වෙලා තිබුණා. “අපි කියන්නේ කොහොම හරි ෆ්‍රෑන්ක්ෆර්ට් සහ පැරිස් වෙත යන ගුවන් වාර පවත්වා ගන්න කියලයි. යුරෝපීයයන්ට ඉස්ලාමිය රටවල් වලට යන්න අපහසුයි දේශපාලන ප්‍රශ්න නිසා. තුර්කිය, ටියුනීසියාව, මොරොක්කෝ, ඇල්ජිරියාව සහ ඊජිප්තුව වගේ රටවල් වසන්ත කාලයට බොහෝ ජනප්‍රිය සංචාරක ප්‍රදේශ. මේවට නිතරම ජර්මානුවන් සහ ප්‍රංශ වැසියන් මිලියන ගණනින් මේ ප්‍රදේශ වලට ඇදිලා යනවා. දැන් ඔවුන්ට එහෙම යන්න අපහසු වීමේ වාසිය අපි ලබා ගන්න අවශ්‍යයි” කියා ඔහු කියා තිබුණා.

ඒකෙ අදහස තුර්කි ගුවන් සේවය එක්ක හවුල් ගනුදෙනුවකට යන්න ඉඩ තියේවි කියන එකද?

ශ්‍රී ලන්කන් සමාගම ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය ඇලන් ජොයිස්ගේ නායකත්වය යටතේ ලබා ගත් දියුණුව ආදර්ශයට ගන්න අවශ්‍ය බව බොහෝ දෙනාගේ මතයයි. 2015 අවුරුද්දේ ක්වන්ටාස් ඩොලර් මිලියන 975ක ලාභයක් ලබා ගන්නට සමත් වුණා. ඔවුන් ඊට පෙර අවුරුද්දේ මිලියන 646ක පාඩුවක් ලබමින් සිටි ගුවන් සේවයක්.

ජොයිස්ගේ කෙලින් තීරණ ගැනීම බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වුණා. කාලයක් පුරාවට සියලුම ගුවන් ගමන් නතර කරලා විශාල අතිරික්තයක් ඇති කරන්න ඔහු තීරණය කළා. ඒ වගේම තමයි ඔහු එමිරේට්ස් සමග හවුල් සම්බන්ධයකට යන්නත්, නැගෙනහිර චීන ගුවන් සේවය සහ ඇමරිකානු සේවය එක්ක තිබුණු සම්බන්ධය වැඩි කර ගන්නත් ක්‍රියා කරපු විදිහ කාගේත් අවධානය දිනා ගත් සාර්ථක තීරණ වුණා.

පෞද්ගලික හිමිකරුවන් ලාභ ලබද්දී ජනතාවට ගෙවන්න සිදු වීම

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමද පිළිතුර? රූපය : Giorgio Parolini / planespotters.net

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමද පිළිතුර? රූපය : Giorgio Parolini / planespotters.net

බොහෝ දෙනෙක්ගේ අදහස වුණේ පෞද්ගලීකරණය මේකට හොඳ විසඳුමක් වේවි කියන එකයි. පෞද්ගලික භාරකාරත්වයක තිබුනම දේශපාලන පත් වීම් නිසා සිදු වෙන පාඩුව සම්පුර්ණයෙන් අහෝසි වෙලා වැඩට දක්ෂ පිරිස් නියම තනතුරු වලට පත් වීම සිදු වෙනවා. කොහොම වුණත් ඒ විසඳුම ගැන අපිට ටිකක් සැකයි. ඇත්ත, සාර්ථක පෞද්ගලීකරණයන්ට උදාහරණ තියෙනවා. කෙන්යා ගුවන් සේවය (වසර 20කට පෙර පෞද්ගලීකරණය කරා) සහ පොලිනීසියන් ගුවන් සේවය (සමාවෝහි) මේකට හොඳ උදාහරණ, මේ සමාගම් දෙකම අද ලාභ උපයන සමාගම් බවට පත් වෙලා. ඒ රටවල් වල සංචාරක ව්‍යාපාරයට හොඳ දායකත්වයක් දෙන ව්‍යාපාර බවට ඒවා පත් වෙලා තියනවා.

කොහොම වුණත් පෞද්ගලීකරණය අසාර්ථක වෙන්න තියෙන අවස්ථා බොහොමයි. අවදානමක් ගන්න කැමති ව්‍යවසායකයින් වෙනුවෙන් රටේ ජනතාවගේ බදු මුදල් වැය කරන්නට සිද්ධ වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ගුවන් සේවය කියන්නේ ආර්ථික කටයුතු වලට උදව්වක් සපයන ප්‍රවාහන සේවයක් නිසා ගුවන් තොටුපොළවල්, ගුවන් මාර්ග සහ ආරක්ෂාව පවත්වා ගෙන යන්න විශාල ආයෝජන හා නඩත්තු වියදම් කරන්න අවශ්‍යයි. ලෝකය පුරා තියෙන පෞද්ගලික ගුවන් සමාගම් බොහොමයක් ඉතා අඩු ලාභයක් සහිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපහසු අවස්ථා වලදී මුදල් පොම්ප කරලා එම සමාගම් බංකොලොත් වීම වළක්වා ගන්න සිදු වෙනවා. සමහර මිනිස්සු පාඩු ලබන රජයේ ආයතනයක් මහජන මුදලින් පවත්වා ගෙන යන එක පෞද්ගලික සමාගම් වලට මුදල් පොම්ප කරනවාට වඩා හොඳයි කියලා හිතන්න ඉඩ තියෙනවා.

කොහොම වුණත් රාජ්‍ය ආයතනයක් විදිහට ශ්‍රී ලන්කන් සමාගම තියා ගන්න නම් ඇලන් ජොයිස් වගේ තවත් කෙනෙක් හොයා ගන්න වෙනවා. කෙලින් තීරණ ගන්න පුළුවන්, එක එක්කෙනා කියන කතා අහලා වැටෙන්නේ නැති, හැම දෙයකම ඇත්ත තත්වය නිවැරදිව දකින්න පුළුවන් කෙනෙක්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාර කළ යුතුයි. ජොයිස් කවදාවත් ගුවන් නියමුවෙක් වෙලා හිටියේ නැහැ වගේම පවුල් පසුබිමකින් දේශපාලනයට සම්බන්ධයක් තිබුනෙත් නෑ. කොහොම වුණත් ඔහුට ව්‍යවහාර විද්‍යාව (ගණිතය සහ භෞතික විද්‍යාව) පිළිබඳව උපාධියකුයි, කළමනාකරණ විද්‍යාව පිළිබඳව උසස් උපාධියකුයි තියෙනවා. ඒ වගේම ඔහු රාජකීය ආකාශ විද්‍යා සංගමයේ සාමාජිකයෙක්. වඩාත්ම වැදගත් දේ ඔහුට ගුවන් සේවාවක අලෙවිය, ප්‍රචාරණය, තොරතුරු කළමනාකරණය, ජාල සැලසුම්කරණය, මෙහෙයුම් සමීක්ෂණය, ආදායම් කළමනාකරණය සහ ගුවන් වාර සැලසුම්කරණය පිළිබඳව වසර 8ක පලපුරුද්දකුත් තිබුණා.

මෑතකදී Lanka Business Online මගින් කලින් පළ කරපු වාර්තාවක් නැවත පළ කරලා තිබුණා. “ශ්‍රී ලන්කන් ගුවන් සේවය යලිත් වරක් දැනුම හා හැකියාවෙන් පිරිපුන් ලංකාවේ ඉහළතම ප්‍රාඥයන්, පුද්ගලික අංශයේ විද්වතුන් සහ කළමනාකරුවන් පිරිසක් බඳවා ගෙන ජාතික ගුවන් සේවයේ අනාගත නායකයන් සුදානම් කිරීමේ කාර්යභාරය පටන් ගත්තා….” මේ විදිහේ කිසිම විශ්ලේෂනාත්මක බවක් නැති ජනමාධ්‍යකරණයක් එක්ක ඇත්ත තොරතුරු වසන් වෙන එක නවත්තන්න බැහැ. මේක කියවපු එක පාඨකයෙක් කියලා තිබුණේ මෙහෙමයි. “අපිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගොඩ නගා ගන්න හැටි දැන ගන්න අවශ්‍ය බැංකු කාරයන්ගෙන්වත්, කාර් වෙළෙන්දන්ගෙන්වත්, දේශකයන්ගෙන්වත් නෙවෙයි. අපිට අවශ්‍ය දිගු කාලීනව පවත්වා ගන්න පුළුවන් අලුත් දැක්මක්. ඒ නිසා ගුවන් සේවයක් ගැන දැනුමක් තියෙන පිරිසක් තෝර ගන්න, ලංකාවේ වුණත්, වෙන රටක වුණත් කමක් නැහැ” මේ වගේ දේවල් කියවද්දී හිතෙන්නේම සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන දේ තීන්දු තීරණ ගන්න පිරිසට තේරෙන්නේ නැති ඇයි කියන එක. ලංකාවට ඇලන් ජොයිස් හෝ මයිකල් ඕ’ලියරි වැනි කෙනෙක්ගේ සේවය ගන්න එක ගැන හිතන්න බැරි ඇයි?

තවත් සමහරුන්ගේ අදහස ශ්‍රී ලන්කන් ගුවන් සේවය වසා දමන්න අවශ්‍යයි කියන එක. දිගින් දිගටම මහජන මුදල් නාස්ති කරන නිසා ඒ කතාවත් සාධාරණයි කියලා වෙලාවකට හිතෙනවා. නමුත් මේ වගේ තීරණයකට යන එක සීමාව ඉක්මවා යාමක් වෙන්න පුළුවන්. කරන්න තියෙන හොඳම දේ මිහින් ලංකා එක වහලා දාන එකයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ ජන්ද පොරොන්දුවක් විදිහටත් මෙය කියලා තිබුණා. තවමත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කිසිම ප්‍රයෝජනයකට නැතිව ලබා ගත්තු උපදේශකවරු විශ්‍රාම ගිහින් කෝටි ගණන් වැටුප් ලබා ගන්නවා. කලින් ආණ්ඩුවෙන් කරපු මේ විනාශය නතර කරන්න පුළුවන් වෙන්නේ කවද්ද?

මොනවා වුණත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටින 7800ක් වුන සේවකයන් පිරිස ආරක්ෂා කරන බවට රජය පොරොන්දුවක් දී තිබෙනවා. කොහොම වුණත් මේ අතරිනුත් ඉහළ පෙලේ ඉන්න බොහොමයක් දෙනා කිසිම ප්‍රයෝජනයකට නැති පිරිසක්. විශේෂයෙන්ම වැදගත් තාක්ෂණික හා කළමනාකරණ තීන්දු ගන්න ඉන්න බොහෝ දෙනා ඒ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. දැන් ඉන්න සභාපතිවරයා වගේම අධ්‍යක්ෂක මණ්ඩලයත් පත් කළේ අගමැතිවරයා. තමන් ලඟින්ම ඇසුරු කරන පිරිසක් තමයි ඒ විදිහට පත් කරලා ඉන්නේ. අලුත් ප්‍රධාන විධායක තුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදේශකයා වන චරිත රත්වත්තේගේ සහෝදරයා. ඉතින් තවමත් බිලියන ගණන් ණය වෙලා දිගටම පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගොඩ ගන්න ඉන්න කිසිම කෙනෙක් ඒ වැඩේ ගැන දැනුමක් තියෙන අය නෙවෙයි කියලා තමයි පෙනෙන්නේ.

මේ නිසා පහු ගිය ආණ්ඩු සමයේ සිදු වුනු දුෂණය සහ වංචාවට මොන තරම් බැන්නත් ඉස්සර ඉඳන්ම සිදු වුනු දේවල් වල තවමත් වැදගත් වෙනසක් සිද්ධ වෙලා නැහැ. කබීර් හෂීම් ඇමතිවරයා සුදුසුකම් නැති දේශපාලකයන් ගැන කිව්වත් ඊට පෙරට තිබුන ආණ්ඩු ගැනත් කිසිම හොඳක් කියන්න විදිහක් නැහැ. දැනට පෙනෙන්න තියන තත්වය අනුව නම් අනාගතය ගැනත් සුභවාදීව හිතන්න අමාරුයි. නමුත් කොහොම හරි ශ්‍රී ලන්කන් එකට ගොඩ එන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

කවරයේ පින්තුරය: planespotters.net/Samuel Dupont

Related Articles