Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොදැනුම්වත්කමින් සිදු වුණු ජුආරෙස් විකිරණ අනතුර

ගෙවුණු වසර 60ක පමණ කාලය තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විකිරණ අනතුරු වාර්තා වුණා. ඒවායින් සමහර අනතුරු නොදැනුම්වත්කම නිසා සිදුවෙද්දී තවත් සමහර අනතුරු නොසැලකිලිමත්කම නිසා සිදුවුණා. ඒ අතුරින් නොදැනුම්වත්කම නිසා සිදුවුණු ගොයානියා විකිරණ අනතුර පිළිබඳව තොරතුරු අප මීට පෙර ඔබ වෙත ඉදිරිපත් කළා.

එම විකිරණ අනතුර සිදුවීමට වසර 4කට පමණ පෙර මෙක්සිකෝවේ ජුආරෙස් නගරයෙන් ද  දරුණු  විකිරණ අනතුරක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. එදා එක්තරා වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කළ  නඩත්තු සේවකයන් දෙදෙනකු මුදල් තණ්හාව සහ නොදැනුම්වත්කම නිසා සිදුකළ ක්‍රියාවක් හේතුවෙන් මහා විනාශයක් සිදුවුණා. මේ එම කතා පුවත යි.  

වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කළ මිතුරන් දෙදෙනා 

විසෙන්ටේ සොටෙලෝ සහ රිකාඩෝ හර්නැන්ඩස් මෙක්සිකෝවේ සියුඩාඩ් ජුආරෙස් නගරයේ උපත ලැබුවා. 1980 දශකයේ මුල් භාගයේ දී ඔවුන් දෙදෙනා එම නගරයේ පිහිටා තිබුණු වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයට එකතු වුණා. එහි දී සොටෙලෝ සහ හර්නැන්ඩස් නඩත්තු සේවකයන් දෙදෙනකු වශයෙන් රාජකාරි කළා. සෑම විට ම කැපවීමෙන් රාජකාරි කළ එම මිතුරන් දෙදෙනා වැඩි කලක් යන්නට පෙර වෛද්‍ය මධ්‍යස්ථානයේ  හිමිකරුගේ ප්‍රසාදයට ලක් වුණා. එනිසා එහි හිමිකරුවා සහ එම මිතුරන් දෙදෙනා අතර දැඩි හිතවත්කමක් ඇති වුණා. සොටෙලෝ සහ හර්නැන්ඩස් ඔවුන්ගේ ස්වාමියාගේ විශ්වාසන්ත සේවකයන් දෙදෙනෙකු බවට ද එනිසා පත්වුණා. 

සියුඩාඩ් ජුආරෙස් නගරය  – collinsdictionary.com

නොසිතූ මොහොතක පෑදුණු වාසනාව 

මිතුරන් දෙදෙනා සේවය කළ වෛද්‍ය මධ්‍යස්ථානයේ බැහැර කළ ද්‍රව්‍ය එක් රැස් කළ ගබඩාවක් තිබුණා. වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඉවත දමන ද්‍රව්‍යවලින් සමහරක් වසර අවසානයේ දී අපද්‍රව්‍ය එකතු කරන ස්ථානවලට විකිණීම සිදුවුණා. 1983 දෙසැම්බර් 5 වැනිදා සොටෙලෝ සහ හර්නැන්ඩස් යන මිතුරන් දෙදෙනා හමුවට පැමිණි ඔවුන්ගේ ස්වාමියා එක්තරා ඉල්ලීමක් කළා.

ඒ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඉවත් කරන ද්‍රව්‍ය විකිණීම සඳහා ස්ථානයක් සොයාදෙන ලෙස යි. එම උදව්වට ප්‍රති උපකාරයක් ලෙස එම ගබඩාවේ තිබුණු භාණ්ඩවලින් කැමති දෙයක් රැගෙන යාමට හෝ විකුණා ගැනීමට ඔවුන් දෙදෙනාට අවසර ලැබුණා. නොසිතූ මොහොතක ලැබුණු එම වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ මිතුරන් දෙදෙනා ගබඩාව වෙත දෙසැම්බර් 6 වැනිදා උදෑසනින් ම ගියා. 

ඉවත දැමූ භාණ්ඩ අතර තිබුණු අරුම පුදුම යන්ත්‍රය 

ගබඩාව වෙත ගිය මිතුරන් දෙදෙනා එහි තිබුණු භාණ්ඩ පිළිවෙළකට අසුරන අතරේ ඒවා විවිධ කාණ්ඩ යටතේ වෙන් කළා. එම රාජකාරිය කරගෙන යන අතරතුර ගබඩාවේ එක්තරා කොටසක රහසිගත ව සඟවා තිබුණු අමුතු ම ආකාරයේ යන්ත්‍රයක් මිතුරන් දෙදෙනාට හමු වුණා. එය අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලකින් නීතිවිරෝධී ආකාරයට මිල දී ගෙන තිබුණු විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයක්.

එම යන්ත්‍රයේ දෝෂ තිබුණු නිසා එය භාවිතයෙන් ඉවත් කර තිබුණා. වෛද්‍ය මධ්‍යස්ථානයේ නඩත්තු සේවකයන් දෙදෙනකු ලෙස සේවය කළ සොටෙලෝ සහ හර්නැන්ඩස් ඊට පෙර එවැනි විකිරණ ප්‍රතිකාර ඒකකයක් දැක තිබුණේ නැහැ. එනිසා ඔවුන් දෙදෙනා එම යන්ත්‍රය ළඟට ගොස් පරීක්ෂා කළා. එම පරීක්ෂාවේ දී ඔවුන්ට ඒත්තු ගියේ එය ඉතාමත් හොඳ මිලකට අලෙවි කළ හැකි බව යි.

කොබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයකින් ප්‍රතිකාර ලබාගන්නා රෝගියෙක් – sciencephoto.com

 

යන්ත්‍රයේ කොටස් වෙන් කරයි 

එම යන්ත්‍රය තවදුරටත් පරීක්ෂා කළ මිතුරන් දෙදෙනාට අවබෝධ වුණේ එය බරින් වැඩි නිසා කොටස් කර විකිණිය යුතු බව යි. ඒ මොහොත වන විට ඔවුන් දෙදෙනා සතු ව යන්ත්‍රය ගැලවීම සඳහා අවශ්‍ය වුණු මෙවලම් කිහිපයක් ද තිබුණා. ඉන් පසුව මිතුරන් දෙදෙනා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයේ කොටස් එකින් එක ගලවන්නට පටන් ගත්තා. එලෙස කොටස් ගලවාගෙන යන විට දිළිසෙන මතුපිටක් සහිත කොටසක් ඔවුන්ට හමුවුණා.

එම යන්ත්‍ර කොටස දැකීමෙන් පසුව උද්දාමයට පත්වුණු මිතුරන් දෙදෙනා එය හොඳින් පරීක්ෂා කළා. නමුත් එය කුමන ආකාරයේ යන්ත්‍ර කොටසක් ද යන්න ඔවුන් දෙදෙනාට අවබෝධ වුණේ නැහැ. එනිසා දිළිසෙන මතුපිටක් සහිත යන්ත්‍රය සිදුරු කිරීමට ඔවුන් දෙදෙනා තීරණය කළා. ඒ දිළිසෙන මතුපිටක් තිබුණු එම යන්ත්‍ර කොටස විකිරණශීලි කොබෝල්ට්-60 පෙති අඩංගුව තිබුණු කැප්සියුලයක් බව ඔවුන් දෙදෙනා නොදැන සිටි නිසා යි. 

විකිරණශීලි ද්‍රව්‍යය අඩංගු කැප්සියුලයක් – Wikipedia.org

 

විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය විකුණයි 

විකිරණශීලි කොබෝල්ට් -60 අඩංගු කැප්සියුලය විවෘත කිරීමෙන් පසුව ඒ තුළින් දිලිසෙන ආලෝකයක්  නිකුත් වුණා. ඉන් ටික වේලාවකට පසුව ඔවුන්ට ක්ලාන්ත ගතියක් දැනුණා. ඒ වගේ ම වමනය ගියා. ඒ අයුරින් දැනුණු අපහසු ගතිය නිසා මිතුරන් දෙදෙනා දිළිසෙන යන්ත්‍ර කොටස දන්නා හඳුනන කසළ එකතු කරන්නකුට හැකි ඉක්මනින් ම අලෙවි කිරීමට තීරණය කළා. සොටෙලෝගේ අසල්වැසියකු වුණු එම මිතුරා සිය ට්‍රක් රථය රැගෙන යන්ත්‍ර කොටස් රැගෙන යාම සඳහා පැමිණියා.

එම අවස්ථාවේ දී යන්ත්‍ර කොටස් විකිණීම මඟින් සොටෙලෝට සහ හර්නැන්ඩස්ට සැලකිය යුතු තරම් මුදලක් ලැබුණා. ඉන් අනතුරු ව සිදුරු වුණු කොබෝල්ට් කැප්සියුලය ට්‍රක් රථයට පැටවීමේ දී ඒ තුළ තිබුණු කොබෝට්ල්-60 පෙතිවලින් ස්වල්පයක් රථයේ පිටුපස කොටස පුරා විසිර ගියා. විකිරණ ප්‍රතිකාර ඒකකයේ කොටස් රැගත් ට්‍රක් රථය ප්‍රදේශයේ විශාලත ම කසළ එකතු කරන ස්ථානය වෙත ගියා. ඉන් පසුව විකිරණ ප්‍රතිකාර ඒකකයේ කොටස් එම ස්ථානයට භාර දුන්නා. එම කාර්යය අවසන් වීමෙන් පසු ට්‍රක් රථ රියදුරා සිය නිවසට පැමිණියා. ඒ වන විටත් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයේ කැප්සියුලයෙන් වැටුණු කොබෝල්ට් පෙති ට්‍රක් රථයේ පසුපස කොටසේ රැඳී තිබුණා. 

විකිරණ ප්‍රතිකාර ඒකකය රැගෙන ගිය කසල අංගනය – culturacolectiva.com

විකිරණශීලි කොබෝල්ට් ගම පුරාම 

සොටෙලෝගේ මිතුරාට අයත් වුණු ට්‍රක් රථයේ හදිසියේ ම මතුවුණු කාර්මික දෝෂයක් නිසා පසුදින සිට සිය එය ධාවනයෙන් ඉවත් කර තිබුණා.  එනිසා එම ට්‍රක් රථය ඔහුගේ නිවස අසල එළිමහනේ නතර කර තිබුණා. එම ප්‍රදේශයේ දරු දැරියන් සෙල්ලම් කළ ස්ථානයට ඒ අසල ම පිහිටා තිබුණා. ඒ අනුව සෑම දිනක ම වාගේ කුඩා දරු දැරියන් සෙල්ලම් කිරීම සඳහා එහි පැමිණියා. එලෙස පැමිණි දරුවන්ගේ සිරුරුවලට ට්‍රක් රථයේ  පිටුපස කොටසේ තිබුණු කොබෝල්ට් පෙතිවලින් විකිරණ ඇතුළු වුණා.

එහි දී සුළු විකිරණ ප්‍රමාණයක් ඇතුළු වුණු නිසා දරුවන්ට ක්ෂණිකව විශාල හානියක් සිදුවුණේ නැහැ. සෙල්ලම් කිරීමෙන් පසු ව නිවෙස්වලට ගිය ඇතැම් දරුවන් ඇඟ කැසීම, හිසරදය සහ ඔක්කාරය වැනි රෝගවලින් පීඩා වින්දා. එම රෝග ඇතිවීමට හේතුව කිසිවකු දැන නොසිටි නිසා ට්‍රක් රථයේ තිබුණු  විකිරණශීලි කොබෝල්ට් පෙති පිළිබඳ ව අනාවරණය වුණේ නැහැ. එනිසා ට්‍රක් රථ හිමිකරු ජීවත් වුණු නිවස ආශ්‍රිත ප්‍රදේශය පුරා විකිරණ පැතිරී ගියා. 

කසළ එකතු කරන ස්ථානයේ සිදුවුණු විනාශය  

කසළ එකතු කරන ස්ථානය වෙත ට්‍රක් රථයෙන් රැගෙන ගිය විකිරණ ප්‍රතිකාර ඒකකයේ කොටස් ටික දිනක් එහි ගබඩාවේ රඳවා තිබුණා. ගබඩාවේ රඳවා තිබුණු විවිධ යන්ත්‍රවල යකඩ කොටස් වෙන් කර ගැනීම සඳහා විශාල චුම්බක දොඹකරයක් භාවිත වුණා. එදා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයේ යකඩ කොටස් චුම්බක දොඹකරය මඟින් වෙන් කළ අවස්ථාවේ දී කැප්සියුලය තුළ තිබුණු කොබෝල්ට් පෙති කසළ අංගනයේ බිම පුරා විසිරී ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කසළ අංගනයේ විකිණීම සඳහා වෙන්කර තිබුණු ලෝහ කොටස් ද කොබෝල්ට් විකිරණවල බලපෑමට යටත් වුණා.

ඒ අයුරින් කසළ අංගනය පුරාම කොබෝල්ට් විකිරණ පැතිර යන බව එහි සිටි කිසිවකු දැන සිටියේ නැහැ. ටික දිනක් යන විට එම ස්ථානයේ සේවය කළ සමහර උදවිය උණ, හිස කැක්කුම, ඇඟ කැසීම වැනි රෝගවලින් පීඩා වින්දා. විකිරණවල බලපෑම හේතුවෙන් එවැනි රෝගී තත්ත්වයක් ඇති වුණු බව ඔවුන් දැන සිටියේ නැහැ. ඒ අයුරින් කාලය ගතවෙද්දී විකිරණවල බලපෑමට යටත් වුණු යකඩ කොටස් මෙක්සිකෝවේ විවිධ ප්‍රදේශවලට පමණක් නොව අමෙරිකාවට ද බෙදා හරිමින් පැවතුණා. එහි ප්‍රතිඵලයක් නොදැනුම්වත්ව ම විශාල විකිරණ අනතුරකට එම ප්‍රදේශ ලක්වෙමින් පැවතුණා.

කසල අංගනයේ චුම්බක දොඹකරයක්  – cultura.com

 

විකිරණ අනතුර අනාවරණය වුණු හැටි 

එලෙස විශාල ප්‍රදේශයක් පුරා විකිරණ පැතිරයමින් තිබුණත් සති කිහිපයක් යන තුරු එම අනතුර පිළිබඳ ව තොරතුරු අනාවරණය වුණේ නැහැ. ඒ අයුරින් කාලය ගෙවී යද්දී අහම්බයකින් විකිරණවල බලපෑමට යටත් වුණු ලෝහ අඩංගු ට්‍රක් රථයක් හඳුනා ගත්තා. ස්මෙල්ටර් සමාගමට අයත් වුණු එම ට්‍රක් රථය 1984 ජනවාරි 16 වැනිදා අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රදේශයට ලෝහ කොටස් පටවාගෙන ගියා.

එම ට්‍රක් රථය පැදවූ රියදුරාට ගමන් මාර්ගය වැරදී රථය ලොස් ඇලමෝස් ජාතික ආරක්ෂක විද්‍යාගාරය අසල නවතා තැබුවා. එම විද්‍යාගාර ගොඩනැගිල්ලේ විකිරණ සංවේදක සවිකර තිබුණා. ට්‍රක් රථය එහි නවත්වනවාත් සමඟම විකිරණ සංවේදකවලින් අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් වුණා. ඒ අනුව එම ලොරි රථය තුළ විකිරණ අඩංගු ලෝහ තිබෙන බව අනාවරණය වුණා.

 ලොස් ඇලමෝස් ජාතික ආරක්ෂක විද්‍යාගාරය අද – lanl.gov

බලපෑමට ලක් වුණු පිරිස් සොයා පරීක්ෂණ 

ඉන් පසුව ට්‍රක් රථය සහ එහි රියදුරා ඇලමෝස් ජාතික ආරක්ෂක විද්‍යාගාරයේ භාරයට ගත්තා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලින් පසුව ලෝහ කොටස් තොගය රැගෙන ආ ස්ථානය පිළිබඳ තොරතුරු හෙළිදරවු වුණා. ඒ සමඟ ම ක්‍රියාත්මක වුණු බලධාරීන් මෙම සිදුවීමේ සුලමුල සොයන්නට පටන් ගත්තා. ඒ වගේම විකිරණ බලපෑමට යටත් වුණු පුද්ගලයන් සහ විකිරණ ප්‍රතිකාර ඒකකයෙන් මුදාහැරි කොබෝල්ට් පෙති සොයා පරීක්ෂණ පැවැත්වුණා.

එදා බලධාරීන් දිවා රෑ වෙහෙසෙමින් විකිරණ අනතුරට මුහුණදුන් පුද්ගලයන්  සොයා යන්නට වුණා. ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වුණු නිසා විකිරණ අනතුර ආරම්භ වුණු ආකාරය සහ එමඟින් පීඩා විඳිමින් සිටි බොහෝ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකිවුණා.

විසිරී ගිය කොබෝල්ට් පෙති සොයන පිරිස් – cultura.com

 

අනතුරට මුහුණ දුන් පුද්ගලයන්ට ප්‍රතිකාර 

ඉන් අනතුරුව එම පුද්ගලයන් වෙත ගිය ආරක්ෂක අංශ සහ සෞඛ්‍යය සේවකයන් විකිරණ අනතුර පිළිබඳ ඔවුන් දැනුම්වත් කර ප්‍රතිකාර සඳහා යොමු කළා. එලෙස ප්‍රතිකාර සඳහා යොමු කළ පුද්ගලයන් අතුරින් ඇතැම් අයගේ සිරුරට විශාල වශයෙන් විකිරණ ඇතුළු වී තිබීම කනගාටුදායක සිදුවීමක් වුණා. දිගින් දිගට ම ප්‍රතිකාර කිරීමෙන් පසු බොහෝ පුද්ගලයන් අවදානම් තත්ත්වයෙන් මුදා ගැනීමට හැකි වුණත් සමහර උදවියට දිගු කාලීන සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දීමට සිදුවුණා. එය මෙම විකිරණ අනතුරේ අවාසනාවන්ත පැතිකඩක් ලෙසින් දක්වන්නට පුළුවන්. 

සොටෙලෝ සහ හර්නැන්ඩස් යන මිතුරන් දෙදෙනාගේ මුදල් තණ්හාව සහ නොදැනුම්වත්කම නිසා සිදුවුණු මෙම විකිරණ අනතුරට විශාල පිරිසක් ගොදුරු වුණා. විකිරණ සහ එමඟින් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව බොහෝ දෙනකුට දැනුමක් නොතිබුණු නිසා මෙම අනතුර බරපතල එකක් බවට පත්වුණා. අනතුර සිදුවීමෙන් පසුව අදාළ ප්‍රදේශවල ජීවත් වුණු ජනතාව ඉලක්ක කරගෙන විකිරණ අනතුරු පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය වුණා. ඒ  එවැනි අනතුරක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා යි. ජුආරෙස් විකිරණ අනතුරෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවුණත් එමඟින් සිදුවුණු හානිය සුළුවෙන් තැකිය නොහැකි යි. 

කවරයේ ඡායාරූපය- විකිණූ විකිරණ ප්‍රතිකාර ඒකකයෙන් කොටසක් - npr.org

මූලාශ්‍ර:

culturacolectiva.com 

nytimes.com orau.org      

Related Articles