Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හදිසියේ ඇවිස්සුනු වරායේ ජැටි අවුල

ඉන්දියන් සාගරයේ නැගෙනහිර, බටහිර යා කෙරෙන මුහුදු මාර්ගයේ පිහිටා තිබෙන, උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් නාවික කේන්ද්‍රයක් ලෙස කොළඹ වරායට ලොව හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. නමුත් පොදු ජනතාවට නම් වරාය කීවිට මතක් වන්නේ වැඩවර්ජන සහ උද්ඝෝෂණ යි. පසුගිය දා වරායේ නැගෙනහිර ජැටිය මුල්කරගත් විරෝධතා  දිගු කලක් පැවතුණා. වෘත්තීය සමිති 23ක් හා සිවිල් සංවිධාන පසුගිය දිනවල ගෙනගිය විරෝධය හමුවේ, නැගෙනහිර පර්යන්තය (ජැටිය) ඉන්දියානු සමාගමක් හා එක්ව සංවර්ධනය කිරීමේ සැලසුම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා. එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලංකාවට කැළලක් බවටත් මත පළවී තිබෙනවා. 

අතීතය විමසා බලමු

1890  දී  වරායේ නැව්බඩු මෙහෙයුම් ගුදම්- lankapura.com

අතීතයේ සිටම පෙරදිග සේද මාවතේ යාත්‍රා කළ ග්‍රීක, පර්සියන්, ඊජිප්තු, චීන හා ජාවා ජාතිකයෝ සිය නාවික යාත්‍රා නැංගුරම් දැමීමට හා වෙළෙඳ කටයුතුවල මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කළා. ඉන්දියානු සාගරයේ ඉතා වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබීම එයට හේතුව යි.  අතීතයේ මහාතිත්ථ (මන්නාරම), ගෝකන්ණ (ත්‍රිකුණාමලය), දඹකොළ පටුන (යාපනය), ඌරාතොට (කයිට්ස් දූපත), හෝ ගොඩවාය (හම්බන්තොට), කොළඹ ආදී දිවයින වටා තිබූ වරායන් ජාත්‍යන්තරව පවා ජනප්‍රිය වෙමින් පැවතුණා.

 වරාය 1875 දී පමණ – lankapura.com

කොළඹ නගරය ආරම්භ වුණේ එහි නැව්තොට නිසයි. කුඩා බොක්කක පිහිටි මේ නැව්තොට ගැන අපට අහන්න ලැබෙන්නේ 15 වැනි සියවසේ කෝට්‌ටේ රාජධානිය පැවති කාලයේ. පුරාණයේ අරාබිය ඇතුළු වෙළෙන්දන්ගේ තොටුපළක්‌ වූ කොලොම්තොට වරායට  පෘතුගීසින් නම් යුරෝපා ජාතිකයන් අහම්බෙන් කඩාවැදුණේ 1505 දී යි. මෙහි වටිනාකම වටහාගත් පෘතුගීසි කොළඹ වෙළෙඳ ආධිපත්‍යය සඳහා උනන්දු වුණා. එතෙක්  මුස්‌ලිම් වෙළෙඳුන් අත තමයි වරායේ වෙළෙඳ කටයුතු පැවතුණේ. මුස්ලිම් වෙළෙඳුන් හා පෘතුගීසීන් අතර ඇති වූ වෙළෙඳ තරගය අවසන් වුණේ පෘතුගීසින් ජය ගැනීමෙන්. 

වර්ෂ 1517 දී පෘතුගීසීන් කොළඹ වරාය පුළුල් කළා. ඊට පසු වරාය අසලම බලකොටුවක් ඉදිකරගත් ඔවුන් කොළඹ හා මුහුදුබඩ පළාත් තම පාලනය යටතට ගත්තා. 1658 දී පැමිණි ලන්දේසින් මේ වරායේ කටයුතු තවත් පුළුල් කළා. වර්ෂ 1796 දී කොළඹට ගොඩබැසි ඉංග්‍රීසින් වරාය වඩාත් සැලසුම් සහගතව ඉදිකිරීමට මුල් තැන දුන්නා. 1875 එංගලන්තයේ දෙවැනි එඩ්වඩ් රජු කොළඹ වරායේ නිරිතදිග දියකඩනයට මුල්ගල තැබුවා. එය 1912 දී ඉදිකර අවසන්වීමෙන් පසු අපේ රටට ප්‍රථම විද්‍යානුකූල වරාය හිමිවුණා.

වරාය ගොඩනැගිලි 1900  මුල් භාගය – lankaura.com

ඉංග්‍රීසින් මෙම වරාය හරහා සිදුකර ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනය යි. එනම් තේ, පොල්, රබර්, කුලුබඩු වැනි දෑ ඔවුන් මෙම වරායෙන් එංගලන්තයට ප්‍රවාහනය කළා. වර්ෂ 1948 දී ලංකාවට නිදහස ලැබී, 1954 වන විට වරාය සම්පූර්ණයෙන්ම ලාංකීය පාලකයන් අතට පත්වුණා. 

1956 දී බණ්ඩාරනායක රජය වරාය ජනසතු කරනවා. ඉන්පසු වරාය කටයුතු සම්පූර්ණයෙන් රජයෙන් මෙහෙයවීම ඇරඹුණා. වරායට මුල්ම කන්ටේනර් නැව එන්නේ 1973 දෙසැම්බර් මාසයේ යි.  කන්ටේනර් හෙවත් බහලුම් භාවිතය ඇරඹුණු පසුව ඒවා මෙහෙයවීමට බහලුම් පර්යන්ත සහිත ජැටි අවශ්‍ය වුණා. 1979 අගෝස්තු 1 වැනි දින  කොළඹ වරාය ඇතුළු සියලුම වරායයන් මෙහෙයවීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කළා.

වරායේ ජැටි

වරායේ පවතින ජැටි –  slguardian.org

කොළඹ වරායේ ප්‍රධාන පර්යන්ත තුනක් තිබෙනවා. රජයට අයත් ජය බහලුම් පර්යන්තය (JCT), දකුණු ආසියානු පර්යන්තය (SADT), හා කොළඹ ජාත්‍යන්තර බහලුම් මෙහෙයුම් පර්යන්තය (CICT) ඒවා යි. 2014 දී වරාය අධිකාරිය නැගෙනහිර පර්යන්තය ඉදිකරන්නේ එය තවත් පුළුල් කිරීමට යි. එය තවමත් ඉදිකර අවසන් නැහැ.  

දැනට ප්‍රධාන පර්යන්තය වන ජය බහලුම් පර්යන්තය විශාලත්වයෙන් හෙක්ටයාර් 130ක පැතිර තිබනවා. එහි ජැටිය දිගින් මීටර් 1292ක්. ගැඹුර මී. 12-15 දක්වා වෙනවා. දකුණු ආසියානු පර්යන්තය හෙක්ටයාර් 20ක පැතිර තිබෙන අතර දිග මී. 940ක්. ගැඹුර මී. 15ක්. ජාත්‍යන්තර බහලුම් පර්යන්තය දිගින් මීටර් 590ක් ද ගැඹුර මී. 9-11 දක්වා ද වෙනවා.

බහලුම් පර්යන්තයක නිරීක්ෂණ කුලුනක්- Wikipedia.org

මෙහි ජය බහලුම් පර්යන්තය, අනෙක් පෞද්ගලික පර්යන්ත දෙකත් සමග බහලුම් මෙහෙයුම් ප්‍රවර්ධනය කරන අවබෝධතා ගිවිසුමක් අස්සන් කර තිබෙනවා. අලුත් ගිවිසුම් අනුව කිසිම නැවකට වරායෙන් පිටත වැඩි වෙලාවක් නැංගුරම් දමාගැනීමට අවස්ථාව ඇති වන්නේ නැහැ. අදාළ බහලුම් අංගණ තුනෙන් කුමන හෝ අංගනයකට ඒ නැව ඇතුළත් කරනු ලබනවා. ඒ කටයුතු අනුව නැව්වලට අපේ මුහුදේ රස්තියාදුවක් වන්නේ නැහැ.

ජැටි ඉදිකිරීම

ජැටියකට පැමිණි නැවක්-  Wikipedia.org

1966 වර්ෂයේ දී එවකට බලයේ සිටි රජය බහලුම් පර්යන්තයක්‌ කොළඹ වරායේ රැජින පාලමේ ඉදිකිරීමට තීරණය කළා. නමුත් රටේ පැවැති විදේශ විනිමය ගැටලුව හේතුවෙන් ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් සොයාගැනීමට රජය අපොහොසත් වුණා. 1977 වසර වනවිටත් සැලසුම් කොට තිබූ මීටර් 300න් සාදා තිබුණේ මීටර් 180ක්‌ පමණ යි. 1980 වර්ෂයේ දී එළිසබෙත් රැජන ජැටිය තනා නිම කරනවා. ඒ මඟින් ආරම්භ වන වරාය බහාලු ක්‍රියාවලියේ වර්තමාන ඉලක්කය වී ඇත්තේ, මෙරට මුහුදු සීමාව හරහා ගමන් කරන 30000කට අධික නැව් ආකර්ෂණය කරගැනීම යි. 

80 දශකයේම කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තය ආරම්භ වන අතර, දශකයක් ගත වනවිට එය පර්යන්ත තුනක් දක්වා වර්ධනය වෙනවා. කොළඹ වරාය සංවර්ධනයේ පළමු කටයුත්ත වූයේ දකුණු ආසියානු පර්යන්ත සංවර්ධනය යි. පළමු අදියරේ දී මීටර 360ක්‌ වූ එම කටයුත්ත කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්ත සමාගම ලෙස හැඳින්වෙනවා. එහි මෙහෙයුම් කටයුතු 2013 වසරේ ජුලි මාසයේ දී ආරම්භ කළා.

පර්යන්තයක්‌ ඉදිවීම යනු මුහුද තුළ නව නගරයක්‌ ඉදිවනවාට සමාන ක්‍රියාවක්. පර්යන්තය ඉදිකරනවාට අමතරව, ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් කුළුණු ආදියේ සිට සියලුම ගොඩනැඟිලි ද ඉදිකළ යුතු වෙනවා.

දකුණු බහලු පර්යන්තය සඳහා ඇස්‌තමේන්තුගත ආයෝජන වියදම ඇ. ඩො. මිලියන 500ක්. ඒ සඳහා චීන සංවර්ධන බැංකුව මූල්‍යාධාර සැපයූ අතර, ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ චයිනා හාබර් සමාගම විසින්.

වරායේ විශාලත්වය 

බහලුම් ගොඩබෑම- newslspa.lk

කොළඹ වරාය අක්කර 12000ක භූමි  භාගයක් පුරා පැතිර තිබෙනවා. මෙහි එක්වර නැව් 51ක් නවතා තැබීමේ හැකියාවක් පවතිනවා. නැව් බැඳීමේ කණු 27කින් ද සමන්විත යි. වරාය හරහා වාර්ෂිකව ටොන් මිලියන 30.9ක භාණ්ඩ ප්‍රමාණයක් හුවමාරු වෙනවා. වරාය තුළ භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය සේවයක් ද පවතිනවා. 

කොළඹ වරාය- Wikipedia.org

කොළඹ වරාය පසුගිය වසර ගණනාවක දී ලබාගත් සුවිශේෂ‍ ජයග්‍රහණයක් වන්නේ, ‘ඇල්ෆාලයිනර්’ ජාත්‍යන්තර ආයතනයේ වාර්තාවලට අනුව 2018 පළමු මාස හය ඇතුළත ලෝකයේ ප්‍රධාන බහලු මෙහෙයුම් (කන්ටේනර් පෙට්ටි මෙහෙයුම) වරායයන් අතර පළමු ස්ථානයට පත්වීම යි.‍ මෙහි සුවිශේෂ ජයග්‍රහණය වන්නේ මෙතෙක් ඇල්‍ෆාලයිනර් වාර්තාවලට අනුව ප්‍රථම ස්ථානය ලබාගත් සිංගප්පූරු වරාය අපේ කොළඹ වරායට පරාජය වීම යි. 

නැගෙනහිර ජැටියේ අවුල

නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට එරෙහි සත්‍යග්‍රහ – unions.lk 

2017 අප්‍රේල් මාසයේ 25 වෙනිදා එවකට අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ඉන්දියාවේ සුෂ්මා ස්වරාජ් අමාත්‍යවරිය අත්සන් කළ ගිවිසුමට අනුව කොළඹ වරායේ කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ඉන්දියාව එක්වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර ඩොලර් මිලියන 500ත් 700ත් අතර මුදලක් යෙදවීමට තීරණය කර තිබුණා. මෙම ව්‍යාපෘතියේ සියයට 51ක කොටස් ශ්‍රී ලංකාව සතුවන අතර ඉන්දියාව හා ජපානය අතර 49%ක් රඳවාගැනීමට තීරණය වී තිබුණා. ඉන්දියාවේ ආයෝජන කටයුතු සඳහා එක්වන බව සඳහන් වුණේ අදානි සමාගම යි.

පසුගිය රජය විසින් එළඹුණු අවබෝධතා ගිවිසුමට දිගින් දිගටම විරෝධතා එල්ල වුණා. එම සැලසුම් ඔස්සේ ඉදිරියට යාමට පවතින රජය ද ක්‍රියා කළත්, නැග ආ විරෝධය හමුවේ ගිවිසුම් අවලංගු කර නැගෙනහිර ජැටිය සංවර්ධනය සියයට සියයක්ම වරාය අධිකාරිය අතින් ඉටුකිරීමට අවසානයේ හදිසියේ තීරණය කෙරුණා.

අදානි සමාගමට එරෙහි විදේශ රටවල විරෝධතා – srihanda.lk

රජය පසුව පවසා සිටියේ බටහිර ජැටිය ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශව හා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව යි. නමුත් පෙබරවාරි 01 වන දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා තිබුණේ ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුවට දන්වා සිටින්නේ 2019 මැයි 28 වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග කොළඹ දී ශ්‍රී ලංකාණ්ඩුව අත්සන් තැබූ එකඟතා ගිවිසුම වහා ක්‍රියාවට නැංවිය යුතු බව යි. දැන් ආණ්ඩුව ඉන්දියාව සමග හොඳහිත පවත්වාගැනීමේ උත්සාහයක නිරත වන බව පේනවා. මේ අතර ඉන්දියාවේ අගමැති මෝදිත් සිටින භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් ලංකාවේ පිහිටුවීමේ කතාවත් මේ ගැන කළ තරවටුවක්දැ යි සමහරු සැක කරනවා. 

Related Articles