Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉහළ ගිය භූමිතෙල් මිලෙන් දැවෙන පොදු ජනතා වුවමනා

භුමිතෙල් එදා පටන් ම සැලකුණේ පොඩි මිනිහාට අවශ්‍ය ඉන්ධනයක් විදිහට යි.  සාමාන්‍ය ජනතා අහාර පිසීමට වැඩිපුර භූමිතෙල් ළිප්  භාවිත කළ අතර, වතුකරයේ වැඩි පිරිසක් රෑට එළිය ලබා ගත්තෙන් කුප්පි ලාම්පුවෙන්. ධීවරයා ගේ බෝට්ටු වැඩකළෙත් භුමිතෙලේ බලයෙන්. මේ නිසා පෙට්‍රල්, ඩීසල් ආදී තෙල් මිල වැඩිවන සෑම අවස්ථාවකම භුමිතෙල්වලට සහනයක් ලැබුණා.

භූමිතෙල්වලට තිබූ සහන මිල ඉවත් කර එය පැවති මිලට වඩා සියයට 290කින් වැඩිකිරීමට ආණ්ඩුව කටයුතු කළා. එය බඩුමිලෙන් බැටකමින් සිටි රටේ ජනතාව කරකවා අතහැරීමක් වුණා.

 භුමිතෙල් නැති නිසා ධීවරයන් බෝට්ටුවල එන්ජින් රැගෙන විරෝධතාවක යෙදෙමින් – theleader.lk

 

මිල තුන්ගුණයකින් වැඩි වෙයි

පසුගිය අගෝස්තු 21වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි භූමිතෙල් මිල ඉහළ  දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත්තේ.  ඒ අනුව රුපියල් 87ක් ව පැවති භූමිතෙල් ලීටරයක් රුපියල් 253 කින් ඉහළ ගියා. මේ වන විට භූමිතෙල් ලීටරයක  නව මිල රුපියල් 340ක්. මෙසේ අධික ලෙස භූමිතෙල් මිල වැඩිවීමක් සිදුවුණේ ඉතිහාසයේ පළමු වතාවට යි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පවසා සිටින අයුරින් භූමිතෙල් ලීටරයක් නිෂ්පාදන වියදම රු. 421ක්. ඒ අනුව තවමත් භුමිතෙල්වලින් ආණ්ඩුව පාඩු ලබන බව ඔහු නොකියා කිව්වා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එදින ම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, වසර ගණනාවක් පුරා භූමිතෙල් මිල සංශෝධනය නොවු අතර ඛණිජතෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට එක් හේතුවක් වී තිබෙන්නේ ද සහනාධාර මිලට භුමිතෙල් ලබා දීම බව යි. භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදුවිය යුතුව තිබූ දෙයක් බවත් ඔහු සඳහන් කර තිබුණා.  ඔහු වැඩිදුරටත් පවසන්නේ භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවකට පෙර සිදුවිය යුතු ව තිබූ බව යි. කෙසේ වුවත් මේ නිවේදනවල පොදු ජනතාවගේ බඩ වියත ගැන හැඟීමක් ඇති බවක් පෙනෙන්නේ නෑ.

 භුමිතෙල් බෙදාහරින කරත්තයක්- imgur.com

මෑත අතීතයේ භූමිතෙල් මිල

ඉංග්‍රිසි පාලන කාලයේ ලංකාවට භුමිතෙල් ගෙනාවේ පිටරටින්. සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව ඉදිකළ පසුව බොරතෙල්වලින් භූමිතෙල් නිෂ්පාදනය සිදු වුණා. භූමිතෙල් ලංකාවට අත්‍යවශ්‍ය ඉන්ධනයක් බවට ක්‍රමයෙන් පත්වුණා. යහපාලන රජය බලයට පැමිණෙන විට 2015 දී භූමිතෙල් ලීටරයක මිල පැවතියේ රු. 81කටයි.  

පසුව 2018 ජුනි වනවිට භුමිතෙල් ලීටරයක මිල වුණේ රු. 101ක් ලෙස ඉහළ ගොස් තිබුණා. භූමිතෙල් සහන මිලට ලබාගෙන ඇතැම් පිරිස් අක්‍රමිකතාවල යෙදෙන බවට හා  බස්රථ ඇතුළු ඩීසල් වාහනවලට යොදවන බවට පැමිණිලි ලැබී ඇති හෙයින් භූමිතෙල් මිල ඉහළ නැංවීමට රජය ඉකුත් දා  තීරණය කළ බව ඒ අවස්ථාවේ පැවසුවා.

ධීවර ජනතාව ඒ අවස්ථාවේ රට පුරා විරෝධතාවල නිරත වුණු අතර ඔවුන්ට සහනාධාරයක් යටතේ භූමිතෙල් ලබාදීමේ තීරණයක් ආණ්ඩුව එකල ගත්තා. පිටත එන්ජින් සවි කළ ධීවර යාත්‍රා භාවිත කරන ධීවරයින් 24,282 ක් මේ යටතේ ප්‍රතිලාභ ලැබෙන බව ආණ්ඩුව සඳහන් කර තිබුණා. නමුත් බොහෝ ධීවරයන්ට නිසි පරිදි එම සහනාධාරය නොලැබුණු බව යි අසන්නට ලැබුණේ.

 1950 දශකයේ භුමිතෙල් ගැන පළ කළ දැන්වීමක් – pinterest.com  

භූමිතෙල් සහනාධාරය

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන ආකාරයට ලංකාවේ දිනෙක භුමිතෙල් භරිභෝජනය මෙට්‍රික් ටොන් 550ක් වෙනවා.  පසුගිය මාස කිහිපය තුළ රට පුරා පවතින්නේ භූමිතෙල් හිඟයක්. භූමිතෙල් රටේ හිඟවීමට හේතුවුණේ සපුගස්කන්දේ බොරතෙල් පිරිපහදු කිරීම සිදු නොවූ නිස යි. මේ නිසා භුමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධනවලට රතු පැහැය යොදා නිකුත් කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින් ප්‍රකාශ කර තිබුණා.  

රජය භූමිතෙල් අලෙවි කළේ  සහන මිල ගණන් යටතේ යි. ඛනිජතෙල් නීතිගත සංස්ථාවට භූමිතෙල් අලෙවි කිරීමෙන් සිදු වන පාඩුව සහනාධාරයක් ලෙස සංස්ථාවට පියවීමට යි, රජය එකඟ වී තිබුණේ. නමුත් එය පසුගිය කාලයේ  සෑම අවස්ථාවක ම සිදුනොවූ බවයි පෙනෙන්නේ.

 භුමිතෙලෙන් උයන කොළඹ මහල් නිවාසයක ගෘහණීයක්- News.un.rg

2014 වර්ෂයේදී සිට 2020 වර්ෂය දක්වා වූ හය වසරට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට භූමිතෙල් සහනාධාරය සඳහා ලැබිය යුතු මුළු සහනාධාර මුදල රුපියල් මිලියන 35987 ක් වුණා. එහෙත් 2020 වර්ෂය අවසන් වනවිට මහා භාණ්ඩාගාරය සහනාධාර මුදල් වශයෙන් සංස්ථාවට ලබාදී තිබුණේ රුපියල් මිලියන 4459ක මුදලක් පමණක් බව  රජයේ විගණනය මගින් අනාවරණය කොට ගෙන තිබෙනවා.  

මහා භාණ්ඩාගාරය භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූරණය කිරීම පිළිබඳ කිසිදු තහවුරු කිරීමක් සිදුකොට නොමැති අතර එම නිසා සංස්ථාව 2017 වර්ෂයේ සිට භූමිතෙල් සහනාධාරය මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගෙන නොමැති බව ද විගණන වාර්තාවේ දැක්වෙනවා. මෙවැනි අඩුපාඩු රැසක් සහිතවයි සහනාධාර ක්‍රියාත්මක වුණේ.

භූමිතෙල් මිල ඉහළ යාම දැඩිව දැනෙන වතුකම්කරු ජනතාව- sundayobserver.lk

 

ඉහළ ගිය මිලෙන් දැවෙන ජනතාව

දිනපතා ඉහළ යන කෑම බීම සහ වෙනත් බඩුමිල ගණන් නිසා ජනතාව ඉතා අධික ජීවන බරකින් පීඩාවට පත්වී තමයි මේ දිනවල සිටින්නේ.  ඒ මදිවාට භූමිතෙල් මිලත් අහස උසට ඉහළ දැමීම නිසා ධීවර, වතු, ගොවි ජනතාවත් මහල් නිවාසවල ජීවත් වන ජනතාවත්, අඩු ආදායම්ලාභී ජනතාවත් විශාල ප්‍රශ්න වැලකට මුහුණ දීලා.

එය ඔවුන්  තවත් විපතකට පත් කිරීමට සමත් වෙලා. බොහෝ දෙනෙක් පසුගිය කාලයේ භූමිතෙල් ලිප් ලබා ගත්තේ ගෑස් මිල ඉහළ යාම සහ ගෑස් හිඟය නිස යි.  භූමිතෙල් ලබාගෙන ඉවුම් පිහුම් සිදුකර ගැනීමත් දැන් දරාගත නොහැකි බවයි වැඩිදෙනෙක් පවසන්නේ.

දුප්පත් ජනතාවට එළිය දෙන භූමිතෙල්  කුප්පි ලාම්පුව -maathalan.blogspot.com

ධීවර සහ වතු කම්කරු ගැටලු

භූමිතෙල් මිල  තුන් ගුණයකින් පමණ ඉහළ දැමීම ධීවර ක්‍ෂේත්‍රයට එල්ල කළ දැඩි පහරක් බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පසුගිය සතියේ පවසා සිටියා.  එහි ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ලක්‍ෂ 16 ක් පමණ වන ධීවර පවුල්වල යැපෙන්නන් මෙන් ම මෙරට පොදු ජනතාව ද පීඩාවට පත් වන බව යි. ඔහු සඳහන් කරන්නේ මිල වැඩි කළ ප්‍රතිශතය අනුව මාළු මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බව පැවසෙනවා.

භූමිතෙල් මිල වැඩිවීම නිසා ධීවර කර්මාන්තයේ බෝට්ටු 25,000කට අධික ධීවරයන්ට බහුල ව බලපා තිබෙනවා.  ලක්‍ෂ 05කට අධික පිරිසක් ධීවර කර්මාන්තයේ නිරත ව සිටිනවා. පසුගිය කාලයේ ප්‍රමාණවත් පරිදි භූමිතෙල් නොතිබීම නිසා බොහෝ ධීවරයන් මුහුදු යාම නවතා සිටියා. ඒ නිසා මාළු මිල මේ වනවිටත් පවතින්නේ  ඉතා ඉහළ ගණනක යි. සාලයා කිලෝවක සාමාන්‍ය මිලත් රු. 600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වතුකරයේ තේවතුවලත්, පහතරට රබර් වතුවලත් ලයිම් කාමරවල හෝ වතු නිවාසවල ජීවත්වන ජනතාව ආලෝකය ලබා ගැනීමට මෙන් ම ආහාර පිස ගැනීමටත් භුමිතෙල් භාවිතයට හුරු වී සිටිනවා. මේ මිල වැඩි කිරීම පවතින ජීවන වියදම හමුවේ තමන්ට දරා ගැනීමට නොහැකි බව යි වතු කම්කරුවන්  පවසන්නේ. ගෑස්, විදුලිය සහ අනෙකුත් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට වඩා නිතර පාවිච්චි කරන භූමිතෙල් මිල ඉහළ දැමීම තමන්ට දැඩි ව බලපාන බව ඔවුන් පෙන්වා දෙනවා.  

නගරයේ සුළු රැකියා  කරන බෝඩිං කාමරවල සහ නේවාසිකාගාරවල සිටින වැඩි දෙනෙක් ද ආහාර පිසින්නේ භුමිතෙල් භාවිතයෙන්. ඔවුන්ටත් දැන් මුහුණ දීමට සිදු ව ඇත්තේ විශාල ප්‍රශ්නයකට යි.

දුප්පතුන්ට සහනයක්  

භූමිතෙල් මිල ඉහළ නැංවීම සිදුවුවත්  අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වතුකරයට එය අහිතකර ව බලපාන නිසා ඔවුන්ට සෘජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජයට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. කෙසේ වුවත් රජය අර්බුදයක ගිලී සිටින මේ අවස්ථාවේ එවැනි සහනාධාරයක් ලබාදීම සිදුවේදැයි සැකසහිත බවයි අපට නම් පේන්නේ.

කවරයේ ඡායාරූපය - භූමිතෙල් ලබා ගැනීමට තෙල් පෝලිමේ - indiatimes.com

මූලාශ්‍ර:
Nethnews.lk

Silumina.lk

business-standard.com

divaina.lk

Related Articles