මෑත කාලයේ ඇතැම් ජනමාධ්‍ය ආයතනවලින් ප්‍රසිද්ධ වූ කතාවක් වූයේ උතුරු කොරියානු රජය කොරෝනා වෛරස ආසාදනය වූ එම රටේ පළමුවැන්නාට වෙඩි තැබූ බව යි. එම පුවත ඇතැම් මාධ්‍ය ආයතනවලින් වාර්තා කළ පසු එය සැබෑවට ගත් ඇතැමුන් එය වර්ණනා කරනු ද දකින්න තිබුණා.

මේ කතාවේ ඇත්ත නැත්ත පරීක්ෂා කර බලන්න අදහස් කළේ මෙම කරුණ හේතුවෙන්.

උතුරු කොරියාව සැඟවුණු රටක් වන හෙයින් එහි අභ්‍යන්තරයේ සිදුවන ඇතැම් දේ පිටතට දැනගන්නට ලැබෙන්නේ නැහැ. නමුත්, එය හේතුවෙන්ම ඇතැම් අයට එම රට පිළිබඳ විවිධ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමට ද අවස්ථාව ලැබෙනවා. මෙවැනි සිද්ධියක් වාර්තා වූ විට සත්‍ය තත්ත්වය කුමක්දැ යි සියයට සියයක් තහවුරු කළ නොහැකි වුණත්, අදාළ ප්‍රවෘත්තියට මුල් වූ මූලාශ්‍ර පිළිබඳ සොයා බැලීමෙන් අදහසක් ගත හැකියි.

වෙඩි තැබූ කතාව

උතුරු කොරියානු රජය කොරෝනා වෛරස් ආසාදනය වූ අයකුට වෙඩි තැබූ පුවත මුලින්ම පළ වුණේ ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් කියන මාධ්‍ය ආයතනයේ සිංගප්පූරු වෙබ් අඩවියේ බව යි පෙනෙන්නට තිබෙන්නේ.

මෙම පුවත ඇතුළට ගිහින් කියවද්දි පෙනී යන කරුණ නම්, මෙම වෙඩි තැබූ කතාව එක් නිර්නාමික පුද්ගලයකු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහසක් ඇසුරින් ගොඩනැගූවක් බව යි.

අදාළ පුවතේ screen shot එකක්

Secret Beijing නමින් පෙනී සිටින, චීනය පිළිබඳ විශ්ලේෂකයකුයැ යි කියාගන්නා අයකු විසින් කරන ලද ප්‍රකාශයක් මත පමණක් පදනම් වෙලා තමයි මෙම පුවත නිර්මාණය කරලා තිබෙන්නේ. එනම්, මෙම වෙඩි තැබූ පුවතට වෙන කිසිම සාක්ෂ්‍යයක් නැහැ.

මේ නිසාම, සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ යම් පිළිගැනීමක් සහ පළපුරුද්දක් ඇති මාධ්‍ය ආයතන, එනම් BBC, CNN යනාදී බටහිර මාධ්‍ය වගේම රුසියාවේ, චීනයේ ආදී වෙනත් ප්‍රධාන රටවල ද ප්‍රධාන මාධ්‍ය කිසිවක් මෙම පුවත ප්‍රචාරය කළේ නැහැ. මෙය පළ වූයේ ගොසිප් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ පමණයි.

සත්‍ය වශයෙන්ම, මෙම පුවත පළ කිරීමෙන් ඇතැමුන්, බටහිර රටවල උතුරු කොරියාව පිළිබඳ නරක ප්‍රතිරූපයක් මවාපෑමේ උත්සාහයක් සිදුවනු දකින්න ලැබුණා. එහි අයහපත් පැත්ත වුණේ උතුරු කොරියාව කොරෝනා වෛරස් තත්ත්වයට මුහුණ දීමට කටයුතු කළ ආකාරය පිළිබඳ පුවත් සම්බන්ධව වූ අවධානය අඩු වීම යි. ඒ පිළිබඳ BBC ආදී මාධ්‍ය ආයතන සාකච්ඡා කළත්, උතුරු කොරියාව රෝගීන්ට වෙඩි තබා ප්‍රශ්නය විසඳා ගත් බව බෙහෙවින් ප්‍රකට මතයක් බවට පත් වුණා.

උතුරු කොරියාව ගත් ක්‍රියාමාර්ග මොනවාද?

උතුරු කොරියාව නව කොරෝනා වෛරසය චීනයේ පැතිර යන්න පටන්ගෙන ස්වල්ප කලකින් චීනය සමග වූ දේශසීමාව වසා දැම්මා. තමන්ගේ විදේශ වෙළෙඳ කටයුතුවලින් සියයට අනූවක් පමණ චීනය සමග කරන උතුරු කොරියාවට මෙය පහසු දෙයක් වුණේ නැහැ. මෙම පියවරෙහි ආර්ථිකමය බලපෑම කොතරම් ද යන්න අපට පැහැදිලි නැතත් එය සුළුපටු විය නොහැකියි.

කරුණු එසේ වුණත්, උතුරු කොරියාව එක් කරුණක් පැහැදිලිව දැන සිටිනවා. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය එතරම් දියුණු නොවන හෙයින්, කොරෝනා වෛරසය තමන්ගෙ රටේ පැතිරෙන්නට ගත්තොත්, එහි ප්‍රතිඵලය භයානක වන්නට පුළුවන් බව එරට බලධාරීන් දන්නවා. චීනය සමග දේශසීමාව වැසීමේ ආර්ථික පාඩුවට වඩා ව්‍යසනයක් කොරෝනා වෛරසය පැතිරීමෙන් ඔවුන්ට සිදුවන්නට ඉඩ තිබුණා.

ජීවානුහරණ කටයුතුවල යෙදෙන උතුරු කොරියානුවන් (KCNA)

මේ අතර උතුරු කොරියානු රජය සිය මාධ්‍ය ආයතන හරහා කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීම් දිගින් දිගටම සිදුකළා. එක අතකින් ලෝකය පුරා එහි පැතිරීම පිළිබඳ දැනුවත් කිරීම් සිදුකරන අතර, එයින් බේරී සිටීම සඳහා අවශ්‍ය උපදෙස් ද ජනමාධ්‍ය ඔස්සේ නිතිපතා ලබාදෙනු ලැබුණ බව වාර්තා වුණා.

උතුරු කොරියාව සිදුකළ තවත් කරුණක් වූයේ; එරට සිටින විදේශිකයන් සියල්ල නිරෝධායනය කර, සංචාරකයින් පැමිණීම නවතා දැමීම යි. උතුරු කොරියාවේ ඉතා ස්වල්ප විදේශිකයන් ප්‍රමාණයක් සිටීම මෙහි දී පහසුවක් වුණා. එරටෙහි සිටියේ තානාපති නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ආයතනවල නිලධාරීන් ආදී විදේශිකයන් හා ඔවුන්ගේ පවුල්වල අය ඇතුළුව, විදේශිකයන් 380ක පමණ ප්‍රමාණයක් බව යි පැවසුණේ. එම පිරිස නිරෝධායනයට ලක් කර, පසුව ඔවුන්ට රටින් පිටව යාමට අවස්ථාව දෙනු ලැබුවා.

උතුරු කොරියාවට සංචාරකයින් සීමා සහිත ප්‍රමාණයක් පැමිණෙනවා. ඔවුන්ට මාර්ගෝපදේශනයක් රහිතව සංචාරය කරන්නට ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත්, මෙම සීමා සහිත සංචාරක පැමිණීම ද එරට රජය විසින් තහනම් කරනු ලැබුවා.

මෙවන් පියවරවලින් තමයි උතුරු කොරියාව කොරෝනා වෛරසය පැමිණීම පාලනය කිරීමට සහ ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කළේ. අවාසනාවකට මෙන්, දේශසීමා වැසීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු වනවා වෙනුවට, බොහෝ දෙනෙක් අවධානය යොමු කළේ, සාක්ෂ්‍ය නැති ප්‍රකාශයක් වූ වෙඩි තැබූ කතාවට යි.

වර්තමානයේ දී උතුරු කොරියාව පවසන පරිදි එරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වන්නේ නැහැ. විශ්ලේෂකයන් මේ ප්‍රකාශය පිළිබඳ සැක පහළ කරනවා. කෙසේ වෙතත්, දැනට ලැබෙන තොරතුරු අනුව එක් කරුණක් පැහැදිලි යි. කොරෝනා වෛරසය උතුරු කොරියාවේ බරපතල ලෙස පැතිර නොගිය බව එම කරුණයි. එසේ පැතිරුණා නම්, ඊට නොබියව මුහුණ දීමේ හැකියාවක් එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති බව සිතීමට අපහසු යි.

කවරයේ ඡායාරූපය: උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් (KCNA)