Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුදල් ඇමතිවරයකුගේ දිවි නසාගැනීම සහ කෝවිඩ්19 හි ආර්ථික බලපෑම

කෝවිඩ්-19 හෙවත් නව කොරෝනාවෛරසය ලොව පුරාම පැතිර ගිය වසංගතයක් බවට පත්ව තිබෙනවා. එය මැඩ පැවැත්වීමට දරන උත්සාහය කෙතරම් කල් පවතිනු ඇති ද යන්න තවමත් අවිනිශ්චිත යි. මේ අතර, ලෝක ආර්ථිකය ද අවපාතයක් කරා ගමන් ගනු ඇතැ යි අනාවැකි පළ වනවා.

ජර්මනියේ හෙසන් ප්‍රාන්තයේ මුදල් ඇමති ලෙස වසර දහයක් කටයුතු කළ, එරට ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවෙහි කෘතහස්ත දේශපාලකයකු වූ තොමාස් ෂේෆර්ගේ දිවි නසාගැනීමත් සමග කෝවිඩ්-19 හි ආර්ථික බලපෑම පිළිබඳ නැවතත් කතාබහක් ඇති වුණා.

ෂේෆර් මියගිය පුවත ජර්මන් මාධ්‍ය වාර්තා කළේ මාර්තු 29 වනදා යි. ඔහු දුම්රියකට පැන සියදිවි නසාගත් බව සඳහන් වී තිබුණා. එමෙන්ම මරණයට පෙර ඔහු සිය දිවි නසාගැනීම පිළිබඳ සටහනක් තබා තිබුණේයැ යි ද කියැවුණා. එයට අනුව, කොරෝනාවෛරසය හේතුවෙන් ජනතාව බලාපොරොත්තු වන මූල්‍ය ආධාර ලබාදිය හැකි ද යන්න පිළිබඳ වූ අවිනිශ්චිතතාව සිය තීරණයට හේතුව ලෙස ඔහු දක්වනවා. මේ බව කියා සිටියේ ප්‍රාන්ත මහ ඇමතිවරයා යි. ජර්මනියේ ආර්ථික මධ්‍යස්ථානය වන ෆ්‍රැන්ක්ෆර්ට් නගරය පිහිටා තිබෙන්නේ ද හෙසන් ප්‍රාන්තයේ යි.

චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ පක්ෂයේ ප්‍රබලයකු මෙන්ම දක්ෂ ඇමතිවරයකු ද වූ ෂේෆර්ගේ මරණයට වෙනත් හේතු ද බලපෑවේ ද යන්න කිව නොහැකියි. එහෙත්, එමඟින් ළඟ එන ආර්ථික අර්බුදයක් පිළිබඳ වන අනතුරු ඇඟවීම තවත් ප්‍රබල වූ බව කිව හැකියි.

චීනය මත බලපෑම

කෝවිඩ්-19 හේතුවෙන් සිදුවන ආර්ථික බලපෑම පිළිබඳ සම්පූර්ණ අදහසක් ගත හැක්කේ මෙම වෛරසයෙහි පැතිරීම හා එහි බලපෑම කෙතරම් කල් පවතිනු ඇති ද යන කරුණ මත යි. එමෙන්ම එය මැඩලීම උදෙසා රජයන් ගන්නා පියවර ද, පසු කෝවිඩ්-19 සමයේ දී ආර්ථිකය නැංවීමට ගන්නා පියවර ද මෙහි දී වැදගත් වනු ඇති.

මුල්කාලීනව මෙම වෛරසය හටිහැටි හඳුනා නොගත් තත්ත්වයක දී කළ යුතුව තිබුණ පියවර වූයේ ප්‍රජාවේ සමාජ සබඳතා සීමා කිරීම යි (Social Distancing). මෙය චීනයේ සැලකිය යුතු සාර්ථකත්වයකින් ක්‍රියාවට නැගුණා. එහි ප්‍රතිඵල කෙටිකාලීනව චීන ආර්ථිකයට අයහපත් ලෙස බලපෑ බව සත්‍යයක්. උදාහරණයක් වශයෙන් ගත්කල, චීනයේ කර්මාන්ත හා සේවා ක්ෂේත්‍ර මෙම වසරේ පළමු මාස කිහිපය තුළ බරපතල පසුබෑමකට ලක් වුණා. ජනවාරි හා පෙබරවාරි මාසවල චීනයේ අපනයන සියයට 17.2කින් පහළ ගියා. පෙබරවාරියේ දී චීනයේ මෝටර් රථ අලෙවිය සියයට 80කින් අඩු වුණා.

මෙසේ කෙටිකාලීනව චීන ආර්ථිකයට ඇති වූ බලපෑම ප්‍රබල වුව ද, සති කිහිපයක් තුළ වෛරසයේ පැතිරීම පාලනය කරගැනීමට චීනය සමත් වුණා. මේ අනුව, චීනය යළි නිෂ්පාදන ආර්ථිකය නගා සිටුවීමට හැකි තත්ත්වයකට පැමිණෙමින් සිටිනවා.

චීන ජන ජීවිතය යථා තත්ත්වයට පැමිණෙමින් තිබෙනවා. මෙම ඡායාරූපය ෂැංහයි නගරයේ දී මාර්තු 9 වන දා ගනු ලැබුණක්. (Reuters)

කෙසේවෙතත්, චීනයට වන විශාලම අභියෝගය වන්නේ තම භාණ්ඩ අපනයනය කරන වෙළෙඳපොළ වෙතින් ඇති ඉල්ලුම අඩු වීම යි. යුරෝපය සහ ඇමරිකාව කොරෝනාවෛරසයෙන් බැටකන පසුබිමක මෙය සිදුවන්නට පුළුවන්. එහෙයින්, චීනයට ද තම රටේ තත්ත්වය පාලනය වූ පමණින් සියල්ල යහපත් අතට හැරෙන්නේ නැහැ.

අනෙක් රටවල්

යුරෝපය හා ඇමරිකාව මුල් අවස්ථාවේ දී තත්ත්වය පාලනය කිරීමට සමත් වූයේ නැහැ. එහෙයින්, වර්තමානය වන විට එම ප්‍රදේශ දරුණු තර්ජනයකට මුහුණ දී සිටිනවා. රුසියාවේ තත්ත්වය ද නරක අතට හැරෙමින් පවතිනවා.

මුල්කාලීනව තත්ත්වය පාලනය කළේ නම් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත ඇති වන බලපෑම අඩු කරගත හැකිව තිබුණා. එමෙන්ම, ආර්ථිකය කෙරෙහි බලපෑම ද අඩු කරගත හැකි ව තිබුණා. එහෙත් දැන් යුරෝපය සහ ඇමරිකාව දරාගත නොහැකි තරම් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටිනවා. නිෂ්පාදන කටයුතු හා සේවා ආර්ථික වෙත ද මෙය බරපතල අභියෝගයක් වනවා.

නැවතත් ගැටළුව මතු වන්නේ කෙතෙක් කල් මෙම තත්ත්වය දරාගෙන සිටින්නට වන්නේ ද යන කරුණ මත යි. ඇතැම් විට, වෛරසය පාලනය කළ විගස යළි ආර්ථිකය පණගැන්වීම ද කළ නොහැකියි. එවන් උත්සාහයන් ගත් ඇතැම් අවස්ථාවල, සමාජ සබඳතා මත වූ සීමා ඉවත් වූ පසු, නැවත වෛරසය පැතිර ගිය අවස්ථා අපට සිංගප්පූරුවේ දී හා හොංකොං හි දී දක්නට ලැබුණා.

ඉතාලියේ රථවාහන පරික්ෂා කරන පොලිසිය​. (AFP)

දියුණු රටවලට වන බලපෑම කෙතරම් ද යන්න පැහැදිලිව දිස්වන හෙයින් දියුණු වෙමින් පවතින රටවල තත්ත්වය කොයි ආකාර වේ ද යන්න සිතා ගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම, අප්‍රිකානු රටවල් මහත් වූ ව්‍යසනයක් කරා ගමන් කරනවා විය හැකියි. එම රටවල සෞඛ්‍ය පහසුකම් ද ආර්ථිකය ද එතරම් ශක්තිමත් නැහැ. ඇතැම් අප්‍රිකානු රටවල් පසුගිය සමයේ බොරතෙල් මත සිය ආදායම් ඉහළ නංවා ගත්තා. එහෙත්, බොරතෙල් මිල ද සීඝ්‍රයෙන් පහළ වැටීමත් සමග එම රටවලට ද මූල්‍යමය ගැටළු මතු විය හැකියි.

වැඩියෙන් බැටකන අංශ

ලෝකය පුරා ගමනාගමනය සීමා වීමත් සමග, ගුවන් ගමන් සේවා ඇතුළු ප්‍රවාහන අංශයන් සහ සංචාරක කර්මාන්තය දරුණු පසුබෑමකට ලක් වනවා. කෝවිඩ්-19 හේතුවෙන් ගුවන් සේවා සමාගම් ඇමරිකන් ඩොලර් බිලියන 63ත් 113ත් අතර පාඩුවක් ලබනු ඇතැ යි අන්තර්ජාතික ගුවන් ගමන් සංගමය මාර්තු මුල දී අනතුරු ඇඟවූවා. ඇමරිකාවේ හා යුරෝපයේ තත්ත්වය තවත් බරපතල වුවහොත්, මෙම අනාවැකි මීටත් වඩා අයහපත් වේයැ යි සැක මතු වනවා.

මේ අතර, හෝටල්, ආපන ශාලා, ශරීර සුවතා මධ්‍යස්ථාන යනා දී විවිධ අංශ කෙරෙහි වන බලපෑම ඉතා බරපතල වනවා. ලංකාව වැනි රටවල එතරම් තදින් නොදැනුණ ද ප්‍රකට පාපන්දු ලීග් යනා දී සතිපතා තරග ගණනාවක් පවත්වන ක්‍රීඩා තරගාවලි ඇති රටවල එවන් අංග නොපැවැත්වීම තුළින් ද සැලකිය යුතු බලපෑමක් ඇති වනවා. එමෙන්ම, සිනමා කර්මාන්තයට ද සංගීත ශිල්පීන් ආදීන්ට ද මෙයින් ප්‍රබල පහරක් එල්ල විය හැකියි. ජාත්‍යන්තර චිත්‍රපට කර්මාන්තයට විය හැකි පාඩුව ඩොලර් බිලියන පහක් බව අනුමාන කෙරෙනවා.

මෙම ආර්ථික අංශ සමග බැඳී තිබෙන ඍජු හා වක්‍ර රැකියා අහිමි වීමේ අවදානමක් ද තිබෙන හෙයින්, ඒ ඒ පුද්ගලයන්ගේ ආර්ථිකයන්ට සිදුවන බලපෑම ද දරාගැනීම ලෙහෙසි පහසු නොවනු ඇති.

කවරයේ පින්තූරය: තොමාස් ෂේෆර් (DPA)

Related Articles