ඔබේ නිවසේ සුරතලාටත් කොවිඩ් එන්නතක්?

කොවිඩ් වසංගතය පැතිර යාම ආරම්භ ව දැන් බොහෝ කාලයක් ගතවුව ද එය සතුන්ට බලපාන ආකාරය ගැන ලෝකය තවමත් දන්නේ ඉතා අල්ප වශයෙනි. ලෝක පශු වෛද්‍ය ප්‍රජාව මේ වන විටත් ඒ සම්බන්ධ පර්යේෂණ පවත්වමින් සිටියි. සුරතල් සතුන් ඇති කරන හෝ ප්‍රියතාවයක් දක්වන බොහෝ දෙනා මේ වසංගතය හමුවේ මේ සතුන්ගේ ඉරණම ගැන අවධානය යොමු කරති. සුරතල් සතුන්ගෙන් එය තමන්ට ද බෝ විය හැකි යැයි ඇතැමෙක් සැක පළ කරති.

2020 ජනවාරි මාසයේ දී අමෙරිකාවේ සැන් ඩියාගෝ සෆාරි සත්වෝද්‍යානයේ ගෝරිල්ලන් අට දෙනකුගෙන් යුතු කණ්ඩායමකට වෛරසය වැලඳී ඇති බව තහවුරු විය. රෝගී වූ උද්‍යාන සේවකයකු හරහා ඔවුන් වෙත එය පැමිණෙන්නට ඇතැයි අනුමාන කෙරේ. අඛණ්ඩ කැස්ස, නාසාවල තෙත් ගතිය, ආහාර අරුචිය හා උදාසීන බව යන රෝග ලක්ෂණ ඔවුන් වෙතින් පෙන්නුම් කෙරිණි.

වෛරසයට මහා වානරයන් ගොදුරු වීමේ හැකියාව

ගෝලීය වශයෙන් මින්ක්, කොටින්, සිංහයන්, හිම දිවියන්, කූගර්, ෆෙරෙට්, සුනඛයන් සහ ගෘහාශ්‍රිත බළලුන් තුළ ද මේ වන විටත් වෛරස් ආසාදනය තහවුරු වී ඇති නමුත් මේ වෛරසයට මහා වානරයන් ගොදුරු වීමේ හැකියාව ගැන විද්‍යාඥයන් බෙහෙවින් ම සැලකිලිමත් වේ. කැලෑවල රැඳී සිටින සීමිත ජනගහනයක් සහිත ගෝරිල්ලන් සමීප පවුල් කණ්ඩායම් වශයෙන් ජීවත් වන නිසා පිළිබඳ පර්යේෂකයන් ඉතා කනස්සල්ලට පත් ව ඇත. එයට හේතුව වන්නේ ඔවුන් අතරින් එක් අයකුට රෝගය බෝ වුවහොත් එය ඉක්මනින් ව්‍යාප්ත විය හැකි බැවිනි. එමගින් ඉතා සීමිත ජනගහනයකින් යුතු මේ මහා වානරයන් මෙලොවින් තුරන් වීමේ අවදානමක් ද ඇති විය හැකි ය.

සැන් දියාගෝ සෆාරි සත්වෝද්‍යානයේ පිවිසුම
සැන් දියාගෝ සෆාරි සත්වෝද්‍යානයේ පිවිසුම – www.kpbs.org

2020 පෙබරවාරි මාසයේ හොංකොං නගරයේ දී පළමු වරට කොවිඩ් ආසාදිත සුනඛයා වාර්තා වීමෙන් අනතුරුව පශු වෛද්‍ය ඔසු සමාගමක් වන සොයිටිස් ආයතනය, සුනඛයන් හා බළලුන් සඳහා වන කොවිඩ් 19 එන්නත නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබිණි. 

එම සමාගමේ දත්තවලින් පෙනීයන ආකාරයට පර්යේෂණවලදී සුනඛයන් සහ බළලුන් සියල්ලන් ම එන්නත ලබා දීමෙන් පසු ඉහළ ප්‍රතිශක්තියක් දක්වා ඇත. කෙසේ වෙතත් සතුන් අතර ආසාදන මැඩ පැවැත්වීමට එය ප්‍රමාණවත් ද යන්න තීරණය කිරීමට තවමත් කාලය ප්‍රමාණවත් නැත. 

පර්යේෂණාත්මක ප්‍රතිදේහ ප්‍රතිකාර

සැන් ඩියාගෝ සෆාරි උද්‍යානයේ ආසාදිත ගෝරිල්ලන් කණ්ඩායමට මෙම එන්නත ලබා දීමට බලධාරීන් කටයුතු කර තිබිණි. එහිදී ඔවුන් වෙතින් කිසිදු අහිතකර ප්‍රතික්‍රියාවක්  පෙන්නුම් කර නැත. එම කණ්ඩායමේ නායකයා වශයෙන් හඳුනා ගෙන තිබෙන 49 හැවිරිදි වින්ට්සන් නමැති පිරිමි ගෝරිල්ලාට මෙම ආසාදනය නිව්මෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වුව ද පර්යේෂණාත්මක ප්‍රතිදේහ ප්‍රතිකාර මගින් ඔහු ද අන් සතුන් මෙන් ම සුවය ලබමින් සිටින බව වාර්තා වේ. සෆාරි උද්‍යානයේ වෙන ම ජීවත් වීමට ඉඩ සලසා තිබූ ඔවුන්ට එන්නත ලබාදීමෙන් පසු එහි ජීවත්වන වෛරසය ආසාදනය නොවූ අනෙක් ගෝරිල්ලන් වෙත ද එය ලබාදීම ඇරඹී ඇත. 

සැන් දියාගෝ සෆාරි සත්වෝද්‍යානයේ සැරිසරන මහා වානරයින්
සැන් දියාගෝ සෆාරි සත්වෝද්‍යානයේ සැරිසරන මහා වානරයන් – chicago.suntimes.com

 

විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට මෙම එන්නත තුළ මානවයාට ලබා දෙන එන්නතක මෙන් අක්‍රීය කළ කොරෝනා වෛරසය අන්තර්ගත නොවේ. ඒ වෙනුවට කෘත්‍රීම ස්පයික් ප්‍රෝටීන භාවිත කර සජීවී වෛරසයේ දී මෙන් ප්‍රතිදේහ ප්‍රේරණය කරයි. එබැවින් සුනඛයන් හා බළලුන් සඳහා සකස් කළ එන්නත ම ගෝරිල්ලන්ට ලබාදීම ගැටලුවක් නොවන බව පර්යේෂකයන්ගේ මතය යි. 

සැන් ඩියාගෝ සත්ව උද්‍යානයේ වානරයන්ට මෙය ලබාදීමේ ප්‍රවෘත්තිය පැතිර යාමත් සමඟ එක්සත් ජනපදයේ සෙසු සත්වෝද්‍යාන ද ඔවුන්ගේ මහා වානරයන් උදෙසා එන්නත් මාත්‍රා ඉල්ලුම් කර තිබිණි.

ඔවුන්ගේ ප්‍රියත ම ආහාර වේලක්

සැන් ඩියාගෝ හා ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයන් දෙක ම සිය මාංශ භක්ෂකයන් සඳහා එන්නත ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. බිළාලයන්, වලසුන්, හයිනා ඇතුළු සතුන් ද මෙම වෛරසයට ගොදුරු විය හැකි බවට ඔවුන් අනුමාන කර තිබිණි. ඉන්දියාවේ සත්වෝද්‍යානයක දී කොවිඩ් වැලඳීමෙන් මිය ගිය සිංහයන් දෙදෙනා හැරුණු කොට අනෙකුත් ආසාදිත සතුන් පෙන්නුම් කර ඇත්තේ සුළු ස්වසනාබාධ පමණකි.

මේ වන විටත් සැන් ඩියාගෝ හි සතුන් 226 දෙනකු අවම වශයෙන් එක් එන්නතක් හෝ ලබා ගෙන ඇත. නමුත් ඔවුන් කිසිවකුටත් තවම අතුරු ආබාධ වාර්තා වී නැත. 

මේ සතුන්ට එන්නත ලබාදීමෙන් පසු ව ඔවුන්ගේ ප්‍රියත ම ආහාර වේලක් ලබා දීමට පශු වෛද්‍යවරුන් හා සත්වෝද්‍යාන බලධාරින් කටයුතු කර තිබිණි. ඒ අනුව ඕක්ලන්ඩ් හී හාර්ලි නම් හයිනාට ඇගේ ප්‍රියත ම ආහාරය වන මුවන්ගේ ඉළ ඇට ද, කොටින් වෙනුවෙන් හරක් මස් ද, බැබුන්ලා වෙනුවෙන් පලතුරු හා තැම්බූ බිත්තර ද හිමි විය.

ස්වභාවික පරිසරයේ සිටින මින්ක් සතෙක්
ස්වභාවික පරිසරයේ සිටින මින්ක් සතෙක් – www.vox.com

ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය ද සිය සතුන්ට එන්නත ලබා දීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සත්වලෝලීන් හා සත්ව විද්‍යාව ගැන උනන්දුවක් දක්වන්නන් සමාජ මාධ්‍ය හරහා මෙන්ම විවිධ මාර්ග ඔස්සේ මේ ගැන විරෝධතා දක්වා තිබිණි. ඔබ ඔබේ සතුන්ට වස දෙන බව හා සතුන් මරා දමන බව පවසමින් මේ බලපෑම් කණ්ඩායම්වලින් ප්‍රහාර එල්ල විය. දස දහස් ගණන් සමාජ මාධ්‍ය අනුගාමිකයෝ මේ පිළිබඳ සටහන් තැබූහ.

සායනික අත්හදාබැලීම්

පර්යේෂකයන් සඳහන් කරන්නේ එන්නත සායනික ව තහවුරු කර ගැනීමෙන් පසු ව සතුන් වෙත ලබා දී ඇත්තේ පශු වෛද්‍යවරුන් එය ගැඹුරෙන් සලකා බැලීමෙන් අනතුරු ව බව යි. ඔවුන් මෙහි කාර්යක්ෂමතාව තීරණය කිරීමට උපකාරී වන දත්ත, සත්ව විද්‍යාත්මක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට ද සූදානම් වෙයි. මේ එන්නත මුලින් ම ලබා දීමට ප්‍රථම එය ගෝරිල්ලන් කෙරෙහි කුමන ආකාරයේ ප්‍රතික්‍රියාවක් ඇතිකරයි ද යන්න ගැන කිසිවකුත් දැන නොසිටි අතර ඒ පිළිබඳ ව අවදානමක් ද තිබිණි.

එන්නත නිෂ්පාදනය කරන සොයිටිස් ආයතනය මේ පිළිබඳ ව සායනික අත්හදාබැලීම් සිදු කර ඇත්තේ මින්ක් සතුන් යොදා ගනිමිනි. මින්ක් යනු ලොම් ලබා ගැනීම සඳහා මහා පරිමාණයේ ගොවිපළ පවත්වාගෙන යමින් ඇතිකරන වාණිජමය සතෙකි. මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔවුන් 12,000කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇත. එන්නත නිපදවීමේ කාර්යක්ෂමතාව අනුව ප්‍රමුඛතාව ලැබෙන්නේ එවැනි ආර්ථිකමය වටිනාකමක් ඇති සතුන් වෙනුවෙනි. උද්‍යානවල සිටින සතුන් පවා වාණිජමය වටිනාකමක් ඇති සතුන් වන්නේ සංචාරක කර්මාන්තයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය හේතුවෙනි. 

සතුන් සඳහා වූ කොවින් එන්නත
සතුන් සඳහා වූ කොවිඩ් එන්නත – www.animalaid.org

 

එබැවින් එවැනි ක්‍රියාදාමයකට හැරුණුකොට නිවෙස්වල ඇති දැඩි කරන සුනඛයන් හා බළලුන් වෙනුවෙන් එය ලබා දීම ප්‍රමුඛතා ලැයිස්තුවේ නැත. ඒ මන්ද යත් ඔවුන්ගෙන් මේ වෛරසය මිනිසුන්ට බෝවීම ගැන තවමත් වාර්තා නොවීම හේතුවෙනි. මේ අවස්ථාවේ දී හිමිකරුවන් සිය සුරතලුන්ට කොවිඩ් එන්නත ලබාදීම ගැන කරදර විය යුතු නැතැයි යන්න විශේෂඥ මතය යි. එබැවින් මේ සම්බන්ධ පර්යේෂකයන් පවසන්නේ සුරතල් සතුන්ට එය ලබාදීමට උනන්දු වීමට පෙර මිනිසුන් තමන්ට ගැළපෙන එන්නතක් පළමු ව ලබා ගත යුතු බව යි.  

කවරයේ පින්තුරය - සුරතල් සතුන්ට එන්නත් ලබාදීමට උනන්දු වීමට පෙර මිනිසුන් තමන්ට ගැළපෙන එන්නතක් පළමු ව ලබා ගත යුතු ය  - www.happydogsspecialtycare.com 

www.nationalgeographic.com 

www.nationalgeographic.com   

www.nationalgeographic.com

Related Articles