Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාවට ගොදුරු වුණු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්

පසුගිය මාස කිහිපය තුළ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් සිදු කළා. එම නිසාම වර්තමානය වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි රැසක් අවලංගු වෙමින් පවතින අතරතුර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද කොරෝනාවෛරසය ආසාදනය වුණා. එලෙස කොරෝනාවෛරසය ආසාදනය වුණු ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වර්තමාන ක්‍රිකට් පිටියේ රැඳී සිටින ක්‍රීඩකයන් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටියා. 

මජිඩ් හක් (ස්කොට්ලන්තය) 

2006 වසරේ සිට 2015 වසර දක්වා ස්කොට්ලන්ත කණ්ඩායම නියෝජනය කළ මජිඩ් හක් එක්දින සහ 202/20 තරග 78කට ක්‍රීඩා කර තිබෙනවා. එහි දී කඩුලු ලකුණු 620ක් ලබාගත් මෙම ක්‍රීඩකයා කඩුලු 88ක් ද දවාගැනීමට සමත් වුණා. මජිඩ් හක්ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වුණේ පසුගිය මාර්තු 20 වැනිදා යි. ඉන් අනතුරුව ග්ලාස්ගෝ නුවර රෝයල් ඇලෙක්සැන්ඩ්‍රා රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් හක් සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. 

තවුෆික් උමර් (පාකිස්ථානය)

2001-2014 කාල සමය තුළ දී පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග 66කට ක්‍රීඩා කළ උමර් එහි දී ලකුණු 3,467ක් ලබාගත්තා. තවුෆික් උමර්ට සිය නිවසේ සිටිය දී අසනීප තත්ත්වයක් ඇති වුණේ මැයි 23 වැනිදා රාත්‍රියේ යි. පසුදින උමාර්ව PCR පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුණා. ඉන් පසුව සිය නිවස තුළම හුදෙකලාව දින 14ක් සිටිමින් ප්‍රතිකාර ලබාගත් උමාර් පසුව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා.

තවුෆික් උමාර් (gettyimages)

ෂහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය)

පාකිස්ථානයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දායාද කළ සුපිරිම ක්‍රිකට් තරුවක් වුණු ෂහිඩ් අෆ්රිඩි 1996-2018 කාල සමය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටියා. එම කාල සමය තුළ ටෙස්ට්, එක්දින, සහ 20/20 තරග 524ක දී පාකිස්ථානය නියෝජනය කළ මෙම සුපිරි තරුව තරග 83ක දී සිය කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී ලකුණු 11,196ක් ලබාගත් අෆ්රිඩි පන්දුවෙන් ද දස්කම් දක්වනු ලැබුවේ කඩුලු 541ක් දවාගනිමින්. වර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින මෙම සුපිරි ක්‍රීඩකයා අසනීප තත්ත්වයට පත් වුණේ ජූනි 12 වැනිදා යි. ඉන් පසුව අෆ්රිඩිව PCR පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුණා. ඉන් අනතුරුව අඛණ්ඩව ප්‍රතිකාර දින 5කට පසුව සමාජ ජාලා මාධ්‍යය වෙත වීඩියෝවක් නිකුත් කළ අෆ්රිඩි පවසා සිටියේ තමා ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවයි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අෆ්රිඩි ප්‍රකාශ කර සිටියේ පසුගිය දිනවල අඛණ්ඩව කොරෝනා පුණ්‍යාධාර කටයුතුවල නිරතවීම හේතුවෙන් ඔහුට මෙම වෛරසය ආසාදනය වුණු බවයි. එසේම කොරෝනාවට එරෙහිව සාර්ථකව සටන් කිරීමෙන් ඉන් සම්පූර්ණ සුවය ලැබිය හැකි බව අෆ්රිඩිගේ මතය යි.

ෂහිඩ් අෆ්රිඩි  (gettyimages)

මෂ්‍රෆි මොර්ටාසා (බංග්ලාදේශය)

ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මෂ්‍රෆි මොර්ටාසා කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු කරගත්තේ පසුගිය ජූනි 19 වැනිදා යි. 2001 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර තරග 310ක දී බංග්ලාදේශය නියෝජනය කර ඇති මොර්ටාසා ඉන් තරග 117ක දී සිය කණ්ඩායමට නායකත්වය ලබා දී තිබෙනවා. සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ දී පිත්තෙන් ලකුණු 2961ක් ලබාගත් මොර්ටාසා පන්දුවෙන් වඩාත් සාර්ථක වෙමින් කඩුලු 390ක් දවාගැනීමට සමත් වුණා. මොර්ටාසා පසුගිය මාස කිහිපය තුළ බංග්ලාදේශයේ කොරෝනා රෝගීන්ට සහන සැලසීමේ වැඩසටහන් දියත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව සඳහන් වනවා. එලෙස ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුව ප්‍රතිකාර සඳහා යොමු වුණා. ඔහුගේ නවතම තත්ත්වය පිළිබඳව මෙම ලිපිය ලියන අවස්ථාව වන විට කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ.

මෂ්‍රෆි මොර්ටාසා  (gettyimages)

නෆීස් ඉක්බාල් (බංග්ලාදේශය)

2003-2006 කාල සමය තුළ බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කළ නෆීස් ඉක්බාල් වර්තමානයේ දී බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන ටමීම් ඉක්බාල්ගේ වැඩිමහල් සොහොයුරා යි. සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කළ නෆීස් එහි දී ලකුණු 804ක් ලබාගැනීමට සමත් වුණා. පසුගිය ජූනි 20 වැනිදා වන විට අසනීප තත්ත්වයෙන් පසු වුණු නෆීස්ව PCR පරීක්ෂණය සඳහා යොමු කරනු ලැබුවා. නෆීස් කොරෝනා ආසාදිතයෙකු බව එහි ප්‍රතිඵලවලින් තහවුරු වුණා. ඔහු මේ වන සිය නිවසේ හුදෙකලාව සිටිමින් ප්‍රතිකාර ලබනවා.

නෆීස් ඉක්බාල් (gettyimages)

නස්මුල් ඉස්ලාම් (බංග්ලාදේශය)

2018 වසරේ සිට බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන නස්මුල් ඉස්ලාම් මේ වන විට එක්දින තරග 5කට, 20/20 තරග 13කට සහ ටෙස්ට් තරගයකට සහභාගි වී තිබෙනවා. එහි දී පන්දුවෙන් කඩුලු 17ක් ලබාගෙන තිබෙන නස්මුල් පිත්තෙන් ලබාගෙන තිබෙන්නේ ලකුණු 29ක් පමණයි. පසුගිය ජූනි 20 වැනිදා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වුණු නස්මුල් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

පාකිස්ථානු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට කොරෝනා 

ලබන අගෝස්තු මාසයේ දී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්ථානු කණ්ඩායමට ඇතුළත්ව සිටින ෂඩාබ් ඛාන්, හැරිස් රවුෆ්, සහ හේදර් අලී යන ක්‍රීඩකයන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වුණේ පසුගිය ජූනි 22 වැනිදා යි. ඉන් පසුව ජූනි 23 වැනිදා තවත් පාකිස්ථානු ක්‍රීඩකයන් 7 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ෆකාර් සමාන්, වහාබ් රියාස්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නෙයින්, ඉම්රාන් ඛාන්, සහ කාෂිෆ් බට්ටි එලෙස වෛරසය ආසාදනය වුණු ක්‍රීඩකයින් අතර සිටියා. නමුත් ජූනි 29 වැනිදා නැවතත් සිදු කළ PCR පරීක්ෂණයේ දී ෆකාර් සමන්, මොහොමඩ් හෆීස්, ෂඩාබ් ඛාන්, මොහොමඩ් රිස්වාන්, වහාබ් රියාස්, සහ මොහොමඩ් හස්නෙයින් කොරෝනා ආසාදිතයින් නොවන බව තහවුරු වුණා. ඒ අනුව ඔවුන් හයදෙනා ඉදිරියේ දී පාකිස්ථානු සංචිතයට යළි එකතුවනු ඇති.

Related Articles