ක්‍රොයේෂියාවේ ජනාධිපතිනිය පරාදයි!

ක්‍රොයේෂියාවේ ජනාධිපතිනි කොලින්දා ග්‍රබාර්-කිතරොවිච්, පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා රුසියාවට කළ සංචාරය අතරතුර ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ බව ඔබට මතක ඇති.

කෙසේ නමුත්, ක්‍රොයේෂියාවේ පැවති ජනාධිපතිවරණයේ දී ඇයට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැහැ. සාමාන්‍යයෙන් යුරෝපයේ මේ සමයේ පවතින ප්‍රවණතාවයේ වෙනසක් පෙන්නුම් කරමින් වාමාංශික අපේක්ෂකයකු වන සොරාන් මිලනොවිච් එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. කෙසේ වෙතත්, මෙය යුරෝපයේ වාමාංශික ප්‍රබෝධයක ලකුණු පෙන්වනවාට වඩා ක්‍රොයේෂියාවේ දේශීය තත්ත්වයන් හි පිළිබිඹුවක් බව යි පෙනී යන්නේ.

පළමු වටය

2019 දෙසැම්බර් 22 වන දා පැවති ජනාධිපතිවරණයේ පළමු වටයේ දී අපේක්ෂකයන් එකොළොස් දෙනකු තරග වැදුණා. ඒ අතර ප්‍රධානම අපේක්ෂකයන් වූයේ ග්‍රබාර්-කිතරොවිච්, සොරාන් මිලනොවිච්, සහ මිරොස්ලාව් ෂ්කෝරෝ යන තිදෙනා යි.

කොලින්දා ග්‍රබාර්-කිතරොවිච් ජනාධිපති ධුරයට පත් වූයේ 2015 දී යි. ඇය ක්‍රොයේෂියාවේ ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව යි. එමෙන්ම එවකට 46 හැවිරිදි වූ ඇය එම ධුරයට පත් වූ ළාබාලම පුද්ගලයා ද වුණා. ඇය නාමිකව ස්වාධීන වුව ද, ක්‍රොයේෂියානු ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (HDZ) ඇයට සහාය දක්වනවා. ඇය 2015 දක්වා එහි සාමාජිකාවක වුණා. දේශපාලනයට පැමිණීමට පෙර ඇය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කළා.

මිලනොවිච් සිය ජයග්‍රහණයෙන් පසු (Reuters)

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යනු පැරණි කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී නිර්මාණය වූ පක්ෂය යි. එය වර්තමානයේ ක්‍රොයේෂියාවේ ප්‍රධානම වාමාංශික පක්ෂය වනවා. සොරාන් මිලනොවිච් දශකයක පමණ කාලයක් එම පක්ෂයේ නායකයාව සිටි අතර, 2011 සිට 2016 තෙක් ක්‍රොයේෂියාවේ අගමැති ධුරය ද දැරුවා. ඔහු ද දේශපාලනයට පිවිසීමට පෙර රාජ්‍ය තාන්ත්‍රික උපදේශකයකු ලෙස කටයුතු කළ අයෙක්.

පළමු වටයේ අපේක්ෂකයන් අතුරින් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියට පැමිණීමට සමත් වූයේ ජාතිකවාදියකු වන මිරොස්ලාව් ෂ්කෝරෝ යි. ඔහු ජන සංගීතවේදියකු ලෙස ද ප්‍රකට වූවෙක් වන අතර, කලක් තිස්සේ දේශපාලනයෙහි නිරත වනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඔහු ඉදිරිපත් වුණා.

පළමු වටයේ ඡන්ද විමසීමේ දී ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් එක් අයෙකුවත් සියයට පනහේ ප්‍රතිශතය ඉක්මවන්නේ නැති බව පෙනෙන්නට තිබුණා. එමෙන්ම මොවුන් තිදෙනා අතර තියුණු තරගයක් පවතින බව ද පෙනෙන්නට තිබුණා. එහෙයින් ඔවුන් අතුරින් ඕනෑම දෙදෙනකු ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇතැ යි ද පෙනෙන්නට තිබුණා. එයිනුත් මිරොස්ලාව් ෂ්කෝරෝ සිටියේ අනෙක් දෙදෙනාට තරමක් පිටුපසින්.

ග්‍රබාර්-කිතරොවිච් සාමාන්‍යයෙන් ජනප්‍රිය අයකු වුව ද, පසුගිය වසරක පමණ කාලය තුළ ඇයගේ ජනප්‍රියත්වය අඩු වෙමින් පැවතුණා. HDZ පක්ෂය තුළ වූ අභ්‍යන්තර ගැටුම් ද ඊට හේතු වුණා. එමෙන්ම ෂ්කෝරෝ වෙත ඡන්දදායකයන් නැඹුරුවීම ද ඇයට අවාසිදායක වුණා.

මේ අවස්ථාවේ HDZ පක්ෂයේ ග්‍රබාර්-කිතරොවිච්ගේ සමීපතමයෙකු ෂ්කෝරෝ වෙත චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ ඔහුගේ බිරිඳ සර්බ් ජාතික කාන්තාවක බව යි. යුගොස්ලාව් යුද්ධ සමයේ ඇති වූ සර්බ් – ක්‍රොඇට් විරසකයන් හේතුවෙන් අදටත් සර්බ් ජාතික සම්බන්ධයක් ඇති අයෙකුට ක්‍රොයේෂියාවේ සාර්ථක දේශපාලකයකු වීම කළ නොහැක්කක්.

කෙසේ වුව ද, ෂ්කෝරෝ මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා. එමෙන්ම මාධ්‍ය හමුවේ ඔහු හැඟීම්බර කතාවක් කරමින් තම බිරිඳ වෙත අභූත චෝදනා නොකරන ලෙසත්, තම පවුල දේශපාලන මඩ ප්‍රහාරවලට ගාවා නොගන්නා ලෙසත් ඉල්ලා සිටියා.

ෂ්කෝරෝ වෙත එල්ල වූ ප්‍රහාර සාර්ථක වූ බව පෙනුණේ නැහැ. ඔහු ජනාධිපතිවරණයේ පළමු වටයේ දී ලබාගත්තේ තුන්වන ස්ථානය යි. එහෙත් ඔහු බලාපොරොත්තු වූවාට වඩා හොඳ ප්‍රතිඵලයක් පෙන්නුම් කළා. ඡන්ද 465,704ක් හෙවත් සියයට 24.45ක ප්‍රතිශතයක් ඔහු ලබාගත්තා. මෙහි දී ෂ්කෝරෝ හොඳම ප්‍රතිඵල පෙන්නුම් කළේ, යාබද බොස්නියාවේ සර්බ් ජනතාව වාසය කරන ප්‍රදේශයන් ආසන්නව ඇති ක්‍රොයේෂියානු දේශසීමා ප්‍රදේශවල යි.

මිරොස්ලාව් ෂ්කෝරෝ (total-croatia-news.com)

ෂ්කෝරෝ මෙසේ බලාපොරොත්තු වූවාට වඩා හොඳ ප්‍රතිඵල ලබාගනිද්දී ග්‍රබාර්-කිතරොවිච් දෙවන ස්ථානයට පත් වූයේ ඡන්ද 507,628ක් (26.65%) සමග යි. මිලනොවිච් ඡන්ද 562,783ක් (29.55%) ලබාගත්තා.

දෙවන වටය

දෙවන වටයේ ඡන්ද විමසීම පවත්වන ලද්දේ 2020 ජනවාරි 5 වන දා යි. එහි දී මිලනොවිච් සහ ග්‍රබාර්-කිතරොවිච් තරග වැදුණා. පළමු වටයේ ඡන්ද ප්‍රතිඵල අනුව දක්ෂිනාංශික අපේක්ෂකයන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් හෙයින් ජනාධිපතිනියට වැඩි වාසි අත් වේයැ යි බැලූබැල්මට සිතුණ ද, සමීක්ෂණ වාර්තා අනුව මිලනොවිච් යන්තමින් ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබුණා. මේ අතර, ජනාධිපතිනියට ඡන්දය නොදෙන ලෙස ෂ්කෝරෝ තම අනුගාමිකයන්ට කියා සිටියා.

මීට අමතරව ජනතාවට වෙනසක අවශ්‍යතාව දැනෙමින් තිබුණ බවක් පෙනුණා. HDZ පක්ෂයේ ගැටුම් ද මෙයට බලපෑවා. ඒ අනුව මිලනොවිච් සියයට 52.7ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා.

මිලනොවිච්ගේ ජයග්‍රහණයට මූලික හේතු ලෙස දේශීය කරුණු බව පෙනී යනවා. යුරෝපයේ පවතින දක්ෂිනාංශික සහ විශේෂයෙන්ම ජාතිකවාදී නැඹුරුව ආපසු හැරීමක් මෙයින් ඍජුව පිළිබිඹු වන්නේ නැහැ.

මිලනොවිච්, ස්වාධීන ක්‍රොයේෂියාවේ ජනාධිපති ධුරයට පත් තුන්වන වාමාංශිකයා යි. ඔහු පෙබරවාරියේ දී වැඩ භාරගනු ඇති. ක්‍රොයේෂියාවේ ජනාධිපති එතරම් බලයක් සහිත අයෙකු නොවෙතත්, ඔහු හෝ ඇය විදේශ කටයුතු හා ජාතික ආරක්ෂාව පිළිබඳ යම් කාර්යයභාරයක් ඉටුකරනවා.

කවරයේ පින්තූරය: ක්‍රොයේෂියා ජනාධිපතිනි කොලින්දා ග්‍රබාර්-කිතරොවිච් (Reuters)

Related Articles