Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසුන් යොදා ගෙන අමෙරිකාව සිදු කළ කුරිරු පර්යේෂණ – 3

මිනිසුන් යොදා ගෙන අමෙරිකානු බලධාරීන් කුරිරු පර්යේෂණ කිහිපයක් ම සිදුකර තිබෙනවා. මේවායින් සමහරක් මිනිසුන්ගෙන් වසන් ව, ඔවුන් නොදැනුම්වත් ව සිටියදී සිදු කළ ඒවා වන අතර, තවත් සමහරක් එලෙස පර්යේෂණවලට භාජනය වූවන් හොඳින් දැනුම්වත් කර සිදු කළ ඒවා වුණා. ඒවායේ භයානක කම පිළිබඳ ව වූ මඳ දැනුම හෝ, ඒවාට පිටුපෑමට ඇති බිය නිසා ඔවුන් මේවාට සහභාගී වී තිබුණා. මේ ආකාරයේ පර්යේෂණ 4 ක තොරතුරු අපි මින් පෙර ඔබ වෙත ගෙන ආ අතර, මේ තවත් එවැනි ම පර්යේෂණ ද්විත්වයක් පිළිබඳ තොරතුරු යි.

ටුස්කීගී උපදංශ පරීක්ෂණය

අමෙරිකානුවන් ගෝතමාලාවේ සිදුකළ උපදංශ පර්යේෂණය පිළිබඳ ව පසුගිය ලිපියකින් අපි ඔබ වෙත විස්තර ගෙන ආවා. ඔවුන් උපදංශය පිළිබඳ ව සිදු කළ එකම පර්යේෂණය එය නොවේ. ඊට පෙර තවත් උපදංශ පර්යේෂණයක් සිදු කෙරුණු අතර, එයත් මිනිසුන් එහි නියැදි ලෙස යොදා ගත්, සමාජ සම්මතයෙන් එහා ගිය, කුරිරු පර්යේෂණ මාලාවක එකතුවක් වුණා.

 ටුස්කීගී උපදංශ පර්යේෂණයට සහභාගී වූවන්ට එන්නත් කරමින්- The National Archives 

 

ටුස්කීගී උපදංශ පර්යේෂණයේ අභිමතාර්ථය වූයේ එම රෝගයේ ස්වභාවය හඳුනා ගැනීම හා ඊට ප්‍රතිකාර කරන විධික්‍රම සොයාගැනීම යි. 1920 දශකයේ අග භාගය වන විට අමෙරිකානු කළු ජාතික පුරුෂයන් අතර මෙය සෑහෙන ලෙස පැතිරී තිබුණා. මීට අදාළ බලධාරීන්ගේ අවසරය 1929 වසරේ දී හිමි වූ අතර, ආරම්භයේ දී මෙය ඉතා සදාචාර සම්පන්න ලෙස සිදු කෙරුණු පර්යේෂණයක් වුණා. මෙහිදී පර්යේෂණයට භාජනය කෙරුණු, ඒ වන විටත් රෝගයට බඳුන් වූ පුද්ගලයන්ට හොඳින් ප්‍රතිකාර කෙරුණු අතර, කිසිවකුගේ විරෝධයක් ඊට එල්ල වූයේ නැහැ.

කරුණු කාරණා නොපිට පෙරළෙන්නට පටන්ගත්තේ 1932 වසරේදී මේ පර්යේෂණයට ප්‍රතිපාදන සැපයූ කිහිපදෙනකු ඉන් ඉවත් වීමත් සමඟ යි. ඒ වන විට අමෙරිකාව පෙළමින් තිබූ ආර්ථික අවපාතය ඊට එක් හේතුවක් වුණා. කෙසේ නමුත් ඉතිරි වූ බලධාරීන් පෞද්ගලික දායකයන් සොයාගෙන පර්යේෂණය ඉදිරියට ගෙනයන්නට උත්සාහ දැරූ අතර, ඒ හේතුවෙන් පර්යේෂණවලට භාජනය වන්නන්ට ආර්ථික වාසි සැලසුණා. මේ නිසා ආර්ථික අපහසුතාවලින් වෙළී සිටි, පර්යේෂණයට භාජනය වන්නන් සිය රෝගය සුව කර ගැනීම පසෙක ලා රෝගීන් ලෙස ම සිටීමට උත්සුක වූ අතර, ප්‍රතිපාදන ලබා ගත් පර්යේෂක කණ්ඩායම් ද එලෙස රෝගීන් පිරිවරාගෙන සිටින්නට යුහුසුළු වුණා. ඒ ඔවුන්ට දිගින් දිගට ම මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ අරමුණෙනු යි. මේ හේතුවෙන් රෝගයට බෙහෙතක් සෙවීමේ අභිප්‍රායය වියැකී ගියා.

ඉක්මන් ප්‍රතිකාර මධ්‍යස්ථාන

1930 දශකයේදී සල්ෆර් අඩංගු ප්‍රතිජීවක ලොවට හඳුන්වා දුන් අතර,  උපදංශයට එරෙහිව පෙනිසිලීන් යොදා ගැනීම 1945 වසරේ දී ඇරඹුණා. මේ නිසා එම රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකි රෝගයක් බවට පත් වුණා. කෙසේ නමුත් පර්යේෂණ නැවැත්වීමට අකමැති වූ ටුස්කීගී පර්යේෂකයන් සිය රෝගීන්ගෙන් එය වසන් කරමින් ඉදිරියට කටයුතු කර ගෙන ගිය අතර පර්යේෂකයන් රෝගීන්ට පැවසුවේ තමන් ඔවුන්ට ප්‍රතිකාර කරමින් සිටින බව යි. එනමුත් ඇත්තෙන්ම ඒ වන විට ඔවුන් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම නවත්වා තිබූ අතර, එම පිරිස් උපදංශය නිසා සිහි විකල් වී අවසන මියයන ආකරය පිළිබඳ ව ඔවුන් පර්යේෂණ පවත්වමින් සිටියා.

පර්යේෂකයන් රජයේ උපදංශ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට 1940 වසරේ දී බලපෑම් එල්ල කරමින් සිය නියැදිවලට ප්‍රතිකාර කරවීම වැලැක් වූ අතර ඔවුන් කළු ජාතිකයන් සඳහා ම වෙන් වූ ‘ඉක්මන් ප්‍රතිකාර මධ්‍යස්ථාන ‘වලින් ඈත් කර තැබුවා.

එම ජුගුප්සාජනක පර්යේෂණය උපදංශයට ප්‍රතිකාර සොයා ගැනීමෙනුත් බොහෝ කලක් ගත වන තුරු සිදු කෙරීම විශේෂිත යි. එය ආරම්භ වී වසර 43 කට පසුව අවසන් කෙරුණු අතර, එවක අමෙරිකානු රජය ඒ වන විට ජීවතුන් අතර සිටි නියැදිවලට අයත් මිනිසුන්ට වන්දි පවා පිරිනැමුවා. ප්‍රතිකාර ද කළා. එහෙත් ඒ වන විටත් පර්යේෂණයට භාජනය වූ බොහෝ අය මියගොස් සිටි අතර, තවත් සමහරුන් අසාධ්‍ය තත්වයේ පසුවුණා. මේ පර්යේෂණවල නියැදියක් ව සිටි අවසන් තැනැත්තා 2004 වසරේ දී මියයෑමත් සමඟ, තවත් අඳුරු සිදුවීමක මතක සදාකාලිකව ම අතීතයට එකතු වුණා.

ඩයොක්සීන් පර්යේෂණ

අමෙරිකානු චර්ම විශේෂඥයකු වූ වෛද්‍ය ඇල්බට් ක්ලිග්මන් හට ඇමෙරිකානු යුධහමුදාව, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම, ඩව් කෝනින්ග් සමාගම යන ආයතනවලින් අමෙරිකානු ඩොලර් 10,000 ක ආධාරයක් 1965 වසරේ දී ලැබුණේ විවිධ රසායන ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ කිහිපයක් සිදු කිරීම සඳහා යි. ඔහුට පැවරී තිබුණේ ප්‍රබල රසායනික ද්‍රව්‍ය කිහිපයක් මිනිස් සම හා ක්‍රියා කෙරෙන්නේ කෙසේදැයි යන්න පරීක්ෂා කිරීම යි. එමෙන් ම එවැනි නිරාවරණය වීමක දී වන හානිය අවම කරගැනීමේ ප්‍රතිකාර සොයාගැනීමත් ඔහුට භාර වුණා.

 වෛද්‍ය ඇල්බට් ක්ලිග්මන්- Wikimedia Commons

 

ක්ලිග්මන් කුමන රසායනික ද්‍රව්‍ය අරබයා පර්යේෂණ සිදු කළා ද, ඔහු නියැදි ලෙස කුමක් යොදා ගත්තා ද යන්න බොහෝ කලක් ගතවන තුරු ලෝකයා දැන හුන්නේ හැහැ. ඔහු එම පර්යේෂණ වාර්තා බොහොමයක් කාලයාගේ ඇවෑමෙන් විනාශ කර තිබුණා. 1981 වසර වන විට ඔහු සිය පර්යේෂණ සටහන් සියල්ල විනාශ කර තිබුණ ද පසුකාලීන ව හෙළි වූයේ ඔහු හොල්ම්ස්බර්ග් බන්ධනාගාරයේ රැඳවියන්, මානව නියැදි ලෙස සිය පර්යේෂණවලට යොදා ගෙන ඇති බව යි. 

ඉතාමත් විෂ සහිත රසායනික

 ඔහු පර්යේෂණ සිදු කළ එක් රසායන ද්‍රව්‍යයක් ඩයොක්සීන් බව ද හෙළි වුණා. ඩයොක්සීන් ඉතාමත් විෂ සහිත රසායනිකයක් වන අතර, මිනිස් සම ඊට නිරාවරණය වුවහොත් ස්ථිර ලෙස සමට හානි පැමිණෙනවා, සම පුරා ඉන්නන් වැනි පිළිස්සුම් තුවාල ඇති වන අතර, දැඩි ලෙස නිරාවරණය වූ අයකුට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී මරණයට පවා පත්විය හැකි යි.

ඩයොක්සීන් අමෙරිකානු හමුදා භාවිත කළ ‘ඒජන්ට් ඔරේන්ජ්’ නම් ද්‍රව්‍යයේ ක්‍රියාකාරී ඒකකය යි. ඔවුන් වියට්නාම හමුදාවන්ට පහර දීමට මෙම ද්‍රව්‍ය යොදා ගත් අතර, ඔවුන් දූවිල්ලක් ලෙස එය වියට්නාමයේ සතුරු බළමුළු ගැවසෙන පෙදෙස්වලට නැවත නැවතත් ඉස්සා. පෙන්ටගනය ඉන් වියට්නාම වැසියට සිදු වූ හානි පිළිබඳ ව හඳුනා ගැනීමේ අවශ්‍යතාවකින් පෙළුණු අතර, එය නිපදවන ඩව් කෝනින් සමාගම ද එම අවශ්‍යතාවයෙන් ම පෙළුණා. එම කොන්ත්‍රාත්තුව ක්ලිග්මන් වෙත ලැබෙන්නේ ඒ අයුරින්.

 ඒජන්ට් ඔරේන්ජ් අමෙරිකානු හමුදා වියට්නාමයට පහර දීමට භාවිත කළා – progressive.international 

 

ක්ලිග්මන් අවම වශයෙන් හොල්ම්ස්බර්ග් හි සිරකරුවන් 468 දෙනකුට ඩයොක්සීන් ‘ආරක්ෂාකාරී’ මට්ටමේ මාත්‍රා එන්නත් කළ අතර, ඉන් ලැබුණු ප්‍රතිඵල අදටත් හෙළි වී නැහැ. එමෙන් ම පර්යේෂණයට ලක් වූවන්ට අත්වුණු ඉරණම පිළිබඳව ද කිසිවෙක් දන්නේ නැහැ. මෙම පර්යේෂණ පිළිබඳ ව කරුණු හෙළි වී කතිකාවතක් නිර්මාණය වන සමය වන විට ක්ලිග්මන් මිය ගොස් සිටි බැවින් ඒ පිළිබඳ තොරතුරු ඉන් ඔබ්බට ලොවට හෙළි වූයේ නැහැ.

කවරයේ ඡායාරූපය - ඩයොක්සීන් වලට නිරාවරණය වූ ශරීරයක්- Chip Somodevilla/Getty Images 

මූලාශ්‍ර:
Allthatsinteresting.com
Sciencedirect.com
Nytimes.com

Related Articles