මිනිසුන් යොදා ගෙන අමෙරිකාව සිදු කළ කුරිරු පර්යේෂණ – 1

විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කිරීම සහ විශ්වාසනීය ලෙස එහි ප්‍රතිඵල ඔස්සේ කල්පිත තහවුරු කිරීම ඉතාමත් අපහසු කර්තව්‍යයක් වෙනවා. මේ සඳහා විශාල පරිමාණයක දත්ත උපයෝගී කර ගත යුතු අතර, ඒ ඒ පර්යේෂණයට අදාළ නියැදි රාශියක් විවිධ පරීක්ෂණවලට බඳුන් කළ යුතු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ අතුරෙන් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම වඩාත් අපහසු වන්නේ මේවායේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් නියැදි ලෙස ජීවීන් නැත්නම් මිනිසුන් යොදා ගත යුතු වීම යි.

කෙසේ නමුත් බොහෝ විට ඒවා එසේ කළ නොහැකි වන්නේ පර්යේෂණ සඳහා එලෙස මිනිසුන් යොදා ගැනීම සදාචාර සම්පන්න නොවන නිසාවෙනු යි. මේ හේතුවෙන් බොහෝ විට මිනිසුන්ට ආසන්න ජාන සැකසුම් සහිත සත්ත්වයන් මේ සඳහා යොදා ගැනෙනවා. මේ නිසා එම පර්යේෂණ රාශියකින් ලත් ප්‍රතිඵල මිනිසුන් විෂයයෙහි නොගැළපෙන අවස්ථාත් තිබෙනවා.

මිනිසුන් ම යොදා ගෙන කළ වෛද්‍ය පර්යේෂණ

මෙහි ප්‍රතිඵලයක් ලෙස එවැනි බොහෝ පර්යේෂණවලට යොදවූ ශ්‍රමය හා මුදල් අපතේ යනවා. තවත් විටෙක කිසිවකු නොපැතූ ලෙස මිනිසුන්ට ඉතා අහිතකර ප්‍රතිඵල ඉන් අත්කර දෙනවා. ඒ සත්ත්වයන්ට හානිකර නොවන, එහෙත් මිනිසුන්ට හානිකර කිසියම් යමක් පර්යේෂණ තුළින් මිනිසුන්ට සුදුසු යැයි සම්මත විය හැකි බැවිනු යි.
අමෙරිකානු වෛද්‍ය කණ්ඩායම් සමහරක් ඉතිහාසය පුරාවට, ඒ කරුණු සැලකිල්ලට ගෙන මිනිසුන් ම යොදා ගෙන වෛද්‍ය පර්යේෂණ සිදුකළ අවස්ථා තිබෙනවා. ඔවුන් මේවා සිදු කළේ මනුෂ්‍යයාගේ මූලික අයිතිවාසිකම්, සදාචාරය වැනි දේ පසෙක දමමිනු යි. මේ ඒ පිළිබඳ ව ලියැවෙන ලිපි ත්‍රිත්වයක පළමුවැන්න යි.

 අබ වායුව නිසා ශරීරයේ ඇතිවන පිළිස්සුම් – Naval research laboratory

 

අබ වායු පර්යේෂණය

මස්ටඩ් ගෑස්, එසේත් නැතිතම් ‘අබ වායුව’ නිපදවෙන්නේ විරංජනකාරක ඇමෝනියා වයුව හා ප්‍රතික්‍රියා කිරීමෙනු යි. මෙය මිනිස් සිරුරට දරාගත නොහැකි තරම් අහිතකර ප්‍රතිඵල ළඟා කර දෙන වායුවක් වන අතර විසිවන සියවසේ මුල් භාගයේදී එය රසායනික අවියක් ලෙසත් යොදා ගැණුනා. විශේෂයෙන් පළමුවැනි ලෝක යුද්ධයේ දී ජර්මානුවන් සිය සතුරු හමුදා අඩපණ කිරීමට මේ වායුව යොදගත් අතර, මේ නිසා ඔවුනට සතුරු පාර්ශවවල සැලකිය යුතු පිරිසක් මිය ගියා.

දෙවන ලෝක යුද්ධය ඇවිළ ගිය පසු ද මිත්‍ර පාක්ෂික රටවල්, ජර්මානුවන් නැවතත් අබ වායුව යොදා ගනීවි යැයි සැක පහළ කොට, ඊට ප්‍රතිකර්ම සොයාගනු වස් පර්යේෂණ කිරීම ආරම්භ කළා. මේ සඳහා අමෙරිකානු හමුදාව යොදාගත්තේ සිය සෙබළුන්ම යි. මීට අමතර ව ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ, හමුදාවේ නොවන අමෙරිකානු තරුණයන් ද මේ පර්යේෂණවලට සහභාගී කරවා ගැනුණා.

අබ වායුව ඇත්තෙන්ම ඇලෙනසුලු, තෙල් ස්වභාවයකින් යුක්ත රෙසිනයක් වන අතර මිනිස් සම ඊට නිරාවරණය වූ විට බරපතල තුවාල ඇති වෙනවා. මීට අමතර ව එය ආඝ්‍රාණය කළ විට පෙනහළු නැවත සැකසිය නොහැකි අන්දමට තුවාල වන අතර, නැවැත්විය නොහැකි රුධිර ගැල්මක් ද ඇති වෙනවා. මේ නිසාම 1942 වසරේදී පැනමා හීදී මේ පර්යේෂණයට යොදාගැනුණු සෙබළුන්ගෙන්, අදාළ බලධාරීන් එයට ස්ව කැමැත්ත පෙන්වන ලේඛනයකට ද අත්සන් ගත්තා.

අබ වායු පරීක්ෂණයකට සොල්දාදුවන් සූදානම් කෙරෙමින්- blogs.va.gov

 

ඒ පර්යේෂණයේ අරමුණ වූයේ අබ වායුව ඝර්ම කලාපීය දේශගුණයක කෙසේ හැසිරෙයි ද යන්න යි. මේ කාලයේ අමෙරිකානු හමුදාව පැසිෆික් සාගරයේ ඝර්ම කලාපීය දේශගුණය සහිත පෙදෙස්වල යුද්ධ කිරීම ඊට හේතු වුණා. සොල්දාදුවන් 1,200 ක් කුඩා කණ්ඩායම්වලට කඩා, ලී කුටියක් තුළ සති කිහිපයක් තිස්සේ මේ පර්යේෂණය සිදු කළා.

පර්යේෂණයට සහභාගී වූ බොහෝ දෙනා මිය ගියා

මෙහි ප්‍රතිඵල ඉත භයානක වූ අතර පර්යේෂණයට සහභාගී වූ බොහෝ දෙනා මිය ගියා. අබ වායුව ඝර්ම කලාපීය දේශගුණික තත්වයන්හී දී ඉතා දරුණු ලෙස ක්‍රියා කළ අතර බොහෝ දෙනකු ඊට නිරාවරණය වූ වන ම දරුණු පිළිස්සුම් තුවාල වලට ලක් වුණා. බොහෝ දෙනා තමන් කුටියෙන් ඉවතට ගන්නා ලෙස එහි බිත්තිවලට ගසමින් විලාප තැබුවත් ඔවුන් ඉවතට ගැණුනේ නියමිත කාලයෙන් පසුව යි.

මෙම පර්යේෂණයෙන් දිවි ගලවා ගත්තේ කිහිප දෙනකු පමණ යි. ඔවුන්ට මේ පිළිබඳ ව ලෝකයාට පැවසීමට වාරණයක් පැනවුණු අතර, එලෙස සිදු කරන්නට උත්සාහ කළහොත් ඔවුන් ජීවිතාන්තය දක්වා සිර ගත කරන බවට දැනුම් දුන්නා. මේ නිසා අදාළ සිදුවීමෙන් වසර 50 ක පමණ කාලයක් මෙය සෙසු ලෝකයා ගෙන් වසන් වී පැවතුණා. කෙසේ නමුත් 1993 වසරේ දී මෙය කරළියට පැමිණි අතර ඒ වන විටත් මේ පරීක්ෂණය සිදු කළ හා සහභාගී වී දිවි බේරාගත් බොහෝ දෙනා ජීවතුන් අතර සිටියේ නැහැ.

 ගෝතමාලාවේ උපදංශ පරීක්ෂණයට භාජනය කළ කිහිප දෙනෙක්- origins.osu.edu

 

ගෝතමාලාවේ උපදංශ පර්යේෂණය

දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ අමෙරිකානු සොල්දාදුවන්ට සතුරු උවදුරුවලට අමතර ව දැඩි ලෙස බලපෑම් එල්ල කළ කාරණයක් වූයේ උපදංශ රෝගය යි. විසිවන සියවසේ මැද භාගය වන විට අමෙරිකානු ජනතව අතර උපදංශ රෝගය දැඩි ලෙස පැතිරී තිබූ අතර, මේ හේතුවෙන් බොහෝ තරුණයන් ආබාධිත තත්ත්වයට පත් වුණා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු අමෙරිකානු රජයේ විද්‍යාඥයන්, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් හා ඖෂධ නිෂ්පාදන සමාගමක් එකතු වී උපදංශය හා ගොනෝරියාව වැනි සමාජ රෝග පැතිරෙන ආකාරය පිළිබඳ ව සොයා බලන්නටත්, ඒවා මැඬලීම සඳහා සුදුසු පියවර හඳුනා ගැනීමටත්, පර්යේෂණ කිහිපයක් සැලසුම් කළා. අවාසනාවට ඔවුන් මේ සඳහා නියැදියක් ලෙස තෝරගත්තේ ලතින් අමෙරිකානු රටක් වන ගෝතමාලාවේ ජීවත් වුණු මිනිසුන්.

රෝගකාරක එන්නත් කළා

උපදංශය හෝ ගොනෝරියාව සහිත අභිසරු ලියන් යොදාවා ගෙන ගෝතමාලාවේ පුරුෂයන්, රෝගයට බඳුන් කළ අතර, ඔවුන් සිතූ තරම් වේගයෙන් එම රෝග සමාජය තුළ පැතිරී ගියේ නැහැ. මේ හේතුවෙන් ඔවුන්, තමන්ට හිතවත් වෛද්‍යවරුන් යොදවා ගෙන එම මිනිසුන්ගේ ශිෂ්ණවලට හා කොඳු ඇට පෙළට එම රෝගකාරක එන්නත් කළා.

මේ අතර වයස අවුරුදු 8 ක් පමණ වන දරුවන් ද සිට තිබෙනවා. මින් සමහරකට පෙනිසිලීන් ලබා දී ඇති අතර ඔවුන් සුව වී ඇති අතර, තවත් සමහරකට කිසිදු ප්‍රතිජීවකයක් ලබා දී නැහැ. ඔවුන් රෝගයට ගොදුරු වුණා. කෙසේ නමුත් පර්යේෂණ සිතූ තරම් සාර්ථක නොවූයෙන් පර්යේෂණ අත්හැර දැමුණු අතර, එය සම්පූර්ණයෙන් ම නවතා දැමුණා. 1956 දී අදාළ බලධාරීන් මෙහි පර්යේෂණ පත්‍රිකාද විනාශ කර දැමුවා. මේ නිසා ආබාධිත වූ හා දිවි අහිමි වූ මිනිසුන් ගණන අදටත් නිසියාකාර ව ගණනය කිරීමකට ලක් වී නැහැ.

 

කවරයේ ඡායාරූපය - science.howstuffworks.com)

මූලාශ්‍ර:
Allthatsinteresting.com
Smithsonianmag.com
britannica.com

Related Articles