Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාව තුළ යළි දරුණුවටම පැතිර යන කොරෝනාව

2019 වසරේ අග භාගයේ දී චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය තවමත් මර්දනය කර අවසන් නැහැ. තවමත් සමහර රටවල දරුණුවට පැතිරී යන කොරෝනා වසංගතයට අද වන විට මිලියන 150කට වැඩි පිරිසක් ගොදුරු වී තිබෙනවා. ඒ අතරින් මිලියන 3කට වැඩි පිරිසකට සිය ජීවිතය අහිමි වී තිබෙනවා. වර්තමානය වන විට කොරෝනා වසංගතය වඩාත් දරුණු ලෙසින් පැතිරයන රට බවට පත්ව තිබෙන්නේ අප අසල්වැසි ඉන්දියාව යි. 

පසුගිය අප්‍රේල් 21 වැනිදා ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය මුල්ම වරට ලක්ෂ 3 ඉක්මවා ගියා. ඉන්පසු, අප්‍රේල් 22 සිට 28 දක්වා ගෙවුණු සෑම දිනකම තුළ එරටින් ලක්ෂ 3 ඉක්මවා කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා. අප්‍රේල් 27 වැනිදා මුල්ම වරට, එරටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය 3000 ඉක්මවා ගියා. අප්‍රේල් 27 වැනිදා වන විට ඉන්දියාවෙන් වාර්තා වුණු සමස්ත මරණ ප්‍රමාණය ලක්ෂ 2ක ඉක්මවනවා. 

ඉන්දියාවේ කොරෝනා පළමු රැල්ලේ මුල් අවධිය 

ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ 2020 වසරේ ජනවාරි 30 වැනිදා යි. රෝගයට ගොදුරුව තිබුණේ චීනයේ වූහාන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිට ඉන්දියාවට පැමිණි කේරළයේ සිසුවියක්. නමුත් මුල් මාස හතරක කාලය තුළ ඉන්දියාවේ දරුණු ලෙස කොරෝනා වසංගතය පැතිර ගියේ නැහැ. එනිසා ජනවාරි 30 සිට මැයි 31 දක්වා එරටින් වාර්තා වුණේ කොරෝනා රෝගීන් 190,609ක් පමණ යි.  එසේම මුල් මාස හතර තුළ එරටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය 5408ක් ලෙස සටහන් වුණා. 

පළමු රැල්ලේ භයානක මාස 6ක කාලය 

ඉන්දියාව තුළ වඩාත් දරුණු ලෙසින් කොරෝනා වසංගතය පැතිරයාම ආරම්භ වුණේ ජූනි මාසයේ සිට යි. ඉන් පසුව ගෙවුණු මාස 6ක කාලය තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් සහ මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. එනිසා ඉන්දියාවේ කොරෝනා පළමු රැල්ලේ භයානකම කාල සමය බවට පත්වුණේ ජූනි සිට නොවැම්බර් අග දක්වා ගෙවුණු කාලය තුළ යි. එම කාල සමය තුළ ඉන්දියාවෙන් 9,272,645ක කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වුණා. එසේම එම මාස 6 තුළ එරටින් වාර්තා වුණු මරණ ප්‍රමාණය 132,251ක් ලෙසින් සටහන් වුණා. 

ඉන්දියාවට කොරෝනා පළමු රැල්ලෙන් විශාල හානියක් සිදුවුණු මාස 6ක කාලය තුළ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වුණේ ජූලි 31 සිට ඔක්තෝබර් 24 දක්වා ගෙවුණු දින 86ක කාලය තුළ යි. එම දින 85 ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6,166,638ක් වාර්තා වන විට කොරෝනා මරණ 82,016ක් වාර්තා වුණා. ඉහත දත්ත සන්සන්දනය කළ විට පළමු රැල්ලේ භයානකම දින 85 දී ඉන්දියාවට සිදුවුණු විනාශය පිළිබඳව ඔබට අවබෝධයක් ලබාගත හැකියි. 

පළමු රැල්ලේ දී ඉන්දියාවේ තත්ත්වය (Indiaspend)

ඉන්දියාව තුළ කොරෝනා පළමු රැල්ල දරුණු ලෙසින් පැතිර යාමට හේතු 

ඉන්දියාව තුළ අධික ජනගහනයක් ජීවත් වනවා. ඒ අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් දිළිඳු ජනතාව යි. ඔවුන්ගේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක නැතිවා සේම ඉන්දියානුවන් වැඩි පිරිසකට සෞඛ්‍යාරක්ෂිත ජීවන ක්‍රම ගැන නිසි අවබෝධයක් නැහැ. පසුගිය කාලයේ ඔවුන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ගව මුත්‍රා පවා පානය කළ ආකාරය ගැන අපට අසන්නට ලැබුණා. ඉහත හේතු නිසා ඉන්දියාව තුළ කොරෝනා පළමු රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියා.

ගව මුත්‍රා පානය කරන ඉන්දියානුවන් (Barcroft)

පළමු රැල්ල අවසන් වී ගෙවුණු දින 113ක කාලය  

2020 නොවැම්බර් 30 වැනිදා වන විට ඉන්දියාවේ කොරෝනා තත්ත්වය සාමාන්‍ය අතට හැරී තිබුණා. 2021 මාර්තු 23 වැනිදා දක්වා ගෙවුණු දින 113 ඇතුළත ඉන්දියාවෙන් සැලකිය යුතු තරම් කොරෝනා ආසාදිතයන් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වුණේ නැහැ. එනිසා ඉන්දියාව කොරෝනා වසංගතය සෑහෙන දුරකට පාලනය කළ රටක් බවට පිළිගැනීමක් ඇතිවුණා. 2020 දෙසැම්බර් 1 සිට 2021 මාර්තු 23 වැනිදා දක්වා කාල සමය තුළ ඉන්දියාවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2,270,340ක් වන අතර, මරණ ප්‍රමාණය- 22,824ක් වුණා.

ඉහත කාල සමය තුළ ඉන්දියාවේ දෛනික ආසාදිතයන්ගේ ප්‍රමාණයේ සාමාන්‍ය අගය ආසන්න වශයෙන් 20,092ක් වුණා. දෛනික මරණ ප්‍රමාණයේ සාමාන්‍යය 202ක්. එය ඊට පෙර ගෙවුණු මාස 6ක කාලයට සාපේක්ෂව විශාල අඩුවීමක්. 

පළමු රැල්ල නිමාවීමත් සමග ඉන්දියානුවන් සැහැල්ලුවෙන් හැසිරුණු හැටි 

ඉන්දියාව තුළ කොරෝනා පළමු රැල්ල අවසන් වීමෙන් පසුව එරට ජනතාව නිසි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කළේ නැහැ. ඔවුන් විනෝද සහ වන්දනා චාරිකා යමින්, දේශපාලන රැස්වීම් සහ උත්සව පවත්වමින් කාලය ගත කළා. එසේම ඉන්දියාව සහ එංගලන්තය අතර පැවතුණු ක්‍රිකට් තරග නැරඹීම සඳහා ද විශාල සෙනගක් ඒකරාශී වී සිටින ආකාරය දක්නට ලැබුණා. ඉන්දියානුවන් සැහැල්ලුවෙන් හැසිරීමේ අවසන් ප්‍රතිඵලය වුණේ එරට තුළ වඩාත් භයානක කොරෝනා දෙවන රැල්ලක් පැතිරයාම යි. 

ඉන්දු-එංගලන්ත ක්‍රිකට් තරග නැරඹීමට සෙනඟ රැස්ව සිටි අයුරු (India Today)

දෙවන රැල්ලෙන් දැනට සිදුව තිබෙන හානිය 

පසුගිය මාර්තු 24 වැනිදා දිගු කලකට පසුව ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 50000 ඉක්මවා ගියා. එදා සිට පසුගිය අප්‍රේල් 28 වැනිදා දක්වා ගෙවුණු දින 35ක් කාලය තුළ එරටින් කොරෝනා ආසාදිතයන් 6,634,502ක් ද, කොරෝනා මරණ 44,335ක් ද වාර්තා වුණා. එහි දී එරටින් මේ දක්වා එක් දිනක දී වාර්තා වුණු වැඩිම ආසාදිතයන් ප්‍රමාණය පසුගිය අප්‍රේල් 27 වැනිදා වාර්තා වුණා. ඒ ආසාදිතයන් 379,459ක් තරම් ඉතාමත් ඉහළ ප්‍රමාණයක්. එසේම මේ දක්වා වාර්තා වුණු වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය ද පසුගිය අප්‍රේල් 28 වැනිදා වාර්තා වුණා. ඒ මරණ 3647ක්. 

කොරෝනා දෙවන රැල්ල නිසා ඉන්දියාවේ තත්ත්වය (Voice of America)

ගෙවුණු සතියේ දී තත්ත්වය දරුණු අතට හැරුණු හැටි 

අප්‍රේල් 21-28 දක්වා ගෙවුණු දින 8 තුළ ඉන්දියාවේ කොරෝනා තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණා. රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් පොකුරු පිටින් වාර්තා වෙද්දී කොරෝනා මරණ ද සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වුණා. පහත දක්වා තිබෙන්නේ එම දින 8 තුළ ඉන්දියාවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය යි.

ආසාදිතයන් ප්‍රමාණය- 2,759,092

මරණ ප්‍රමාණය- 22,242

ඉහත දත්තයන් නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ ඉන්දියාවෙන් වාර්තා වන දෛනික ආසාදිතයන්ගේ ප්‍රමාණය සිතාගන්නවත් බැරි තරම් ඉහළ යමින් පවතින බවයි. මෙම තත්ත්වය ඉදිරියේ දී තවත් වර්ධනය වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

දිල්ලියේ තැනින් තැන මිනී පිච්චෙන ආකාරය (Bangkok Post)

වැඩිම ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය මහාරාෂ්ට්‍රයෙන් 

කොරෝනා පළමු රැල්ලේ දී වැඩිම ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වුණා. ඒ අනුව තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය එම ප්‍රාන්තයෙන් වාර්තා වනවා. නමුත් කොරෝනා දෙවන රැල්ලෙන් දිල්ලියට විශාල හානියක් සිදුව තිබෙනවා. නවදිල්ලියේ පාරවල් දෙපස මාතෘ දේහයන් පුළුස්සන ආකාරය පසුගිය දිනවල මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණා. 

පහත දක්වා තිබෙන්නේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වුණු ප්‍රාන්තයන්.

වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු ප්‍රාන්ත 6

1) මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය- 4,410,085

2) කේරළ ප්‍රාන්තය- 1,460,364

3) කර්ණාටක ප්‍රාන්තය- 1,400,775

4) උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය- 1,153,097

5) තමිල්නාඩු ප්‍රාන්තය- 1,113,502

6) දිල්ලිය- 1,072,065

වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුණු ප්‍රාන්ත 6

1) මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය- 66,179

2) දිල්ලිය- 15,009

3) කර්ණාටක ප්‍රාන්තය- 14,807

4) තමිල්නාඩු ප්‍රාන්තය- 13,728

5) උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය- 11,678

6) බටහිර බෙංගාල ප්‍රාන්තය- 11,082

මහාරාෂ්ට්‍රයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන අයුරු (Al Jazeera)

මේ වන විට ඉන්දියාවේ රෝහල් රැසක් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතීරී ගොස්  තිබෙනවා. මහ පාරවල්වල මිනී පුච්චන ආකාරය මාධ්‍ය මඟින් දක්නට ලැබෙනවා. කොරෝනා රෝගීන්ට ලබාදීමට අවශ්‍ය ඖෂධවල හිඟයක් ද එරට තුළ දක්නට ලැබෙනවා. එනිසා මේ වන විට ඖෂධ නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවී කිරීම ද සිදුවෙමින් පවතිනවා. ඒ අනුව මේ වන විට ඉන්දියාව විශාලා මහනුවරක් සේ දිස්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව පෙනී යනවා. දැනට ඉන්දියාව පත්ව සිටින තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ඔවුන්ට ලැබිය යුතු යි. එසේම, අප ද ඉන්දියාවේ සිදුවන දෙයින් ආදර්ශය නොගතහොත්, ඉදිරි මාස කිහිපය තුළ අපටත් කුමකින් කුමක් සිදුවනු ඇත්දැ යි සිතාගැනීමටවත් බැහැ.

කවරයේ ඡායාරූපය- ඉන්දියාවේ තැන තැන මාතෘ දේශ පුළුස්සන අයුරු (Quartz)

සැ.යු- මෙම ලිපිය ලිවීමේ දී අප්‍රේල් 28 වැනිදා වන විට නිකුත්ව තිබුණු කොරෝනා දත්ත පමණක් භාවිතා කර ඇති බව කරුණාවෙන් සලකන්න 

මූලාශ්‍රයයන්- worldometer 

Related Articles