මුම්බායි නගරය උණුසුම් කළ දාලිත්වරුන්ගේ උද්ඝෝෂණ​

භීමා කොරෙග​ඔන් (Bhima Koregaon) යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කුඩා ගම්මානයක්. නමුත් අඩු කුලයේ යයි සම්මත “දාලිත්” ජන කොටසක් වන මහාර්වරුන්ට මෙන්ම ඉන්දීය ඉතිහාසයටත් මෙම ගම්මානය ඉතා වැදගත් වනවා.

1818 ජනවාරි 1 වනදා, තුන්වන ඉංග්‍රීසි – මරාඨ යුද්ධය අතරතුර දී, මරාඨ අධිරාජයේ පේෂ්වාවරයා වූ දෙවන බාජි රාඕගේ හමුදා බ්‍රිතාන්‍ය ඉන්දියා වෙළෙඳ සමාගමේ හමුදාවක් අතින් පරාජය වූයේ මෙම ගම්මානයේදී යි (පේෂ්වා යනු නිල වශයෙන් මරාඨ අධිරාජ්‍යයේ අගමැතිවරයා වූ අතර සත්‍ය වශයෙන්ම එම අධිරාජයේ පාලකයා වුණා). මෙම පරාජය​ සමඟම පේෂ්වාවරයා පළා ගිය අතර මරාඨ බලය බිඳ වැටුණා. මෙම සටනේ දී මහාර්වරුන් ගත්තේ බ්‍රිතාන්‍ය පාර්ශවයයි. බ්‍රාහ්මින්වරුන් වූ පේෂ්වාවරුන්ගේ කුල පීඩනයට එරෙහිව ලැබූ ජයග්‍රහණයක් ලෙස මෙය මහාර්වරුන් විසින් සළකනු ලබනවා.

සෑම වසරකම ජනවාරි 1 වනදා මහාර්වරුන් භීමා කොරෙග​ඔන් වෙත පැමිණෙන්නේ මෙම සටන සිහිපත් කිරීමටයි. මෙම වසරේදී එම සටනේ 200 වන සංවත්සරය වූ බැවින් එම සැමරුමේ වැදගත්කම තවත් වැඩි වුණා.

කෙසේ නමුත් ඉන්දියාවේ දක්ෂිනාංශික හින්දු අන්තවාදී සංවිධාන මෙම සටන අනුස්මරණය කිරීම විවේචනය කරනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කළ සටනක් අනුස්මරණය කිරීමේ අවශ්‍යතාව ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.

DNA

මහාරාෂ්ට්‍රය සාම්ප්‍රදායිකව ශිව් සේනා පක්ෂයේ බල කඳවුර වන අතර මෑතකදී භාරතීය ජනතා පක්ෂය එහි වඩා ශක්තිමත් වුණා. එයට සම්බන්ධ රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හෙවත් RSS සංවිධානයට ද මහාරාෂ්ට්‍රයේ සැළකිය යුතු පදනමක් තිබෙනවා.

මෙවර භීමා කොරෙග​ඔන් සැමරුම අවස්ථාවේ දක්ෂිනාංශික හින්දු අන්තවාදීන් පිරිසක් දාලිත්වරුන්ට පහර දුන්නා. මෙම පහරදීම් පිටුපස සිටි ප්‍රධාන අන්තවාදීන් දෙදෙනා ලෙස වාර්තා වූයේ 85 හැවිරිදි සම්බාජි භිඩේ (Sambhaji Bhide) ගෙවත් භිඩේ ගුරුජී සහ 56 හැවිරිදි මිලින්ද් එක්බොටේ (Milind Ekbote). මෙම දෙදෙනාම කලක් තිස්සේ කලහකරුවන් ලෙස ප්‍රකටව සිටින අතර, 2008 දී ජෝදා අක්බර් චිත්‍රපටයට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් කිරීම පිළිබඳව භිඩේ ගුරුජී මින් පෙර ප්‍රසිද්ධ වුණා.

භීමා කොරෙඔගන් ප්‍රහාරයන් සහ ඒ සම්බන්ධව බලධාරීන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ චෝදනා නගමින් ජනවාරි 2 වනදා ද මුම්බායි නගරයේ සහ තවත් නගර කිහිපයකදී දාලිත්වරුන් විරෝධතා ව්‍යාපාරවල නිරත වුණා. මෙම අවස්ථාවල දී විරෝධතාකරුවන් සියයක් පමණ අත් අඩංගුවට ගනු ලැබුණා. දාලිත්වරුන් චෝදනා කරන්නේ ඔවුන්ව මර්ධනය කෙරෙන බවයි. විශේෂයෙන්ම ඇතැම් අය අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන් දාලිත්වරුන් වීම පමණක් පදනම් කරගෙන බවද චෝදනා එල්ල වනවා.නමුත් පොලිසිය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් කැමරාවල සටහන් වූ දර්ශන සහ වෙනත් සාක්ෂි මත පදනම් වූ බවත් ඔවුනට එරෙහිව අදාළ පරිදි නඩු පැවරෙනු ඇති බවත්. තවද පොලිසිය සඳහන් කළේ ජනවාරි 2 වනදා සිදුවූ විරෝධතා ව්‍යාපාර අතරතුර බස් රථ 160 කට හානි සිදුකර ඇති බවයි.

Pic: AP

කෙසේ වෙතත් 2 වනදා සිදුවූ මෙම සිද්ධීන් මාලාවෙන් පසු දාලිත් නායකයකු වන ප්‍රකාශ් අම්බෙඩ්කාර් ජනවාරි 3 වනදාට මහා වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් කැඳවූවා. ප්‍රකාශ් අම්බෙඩ්කාර් යනු ඉන්දියාවේ දාලිත් ව්‍යාපාරයේ අසහාය නායකයා වූ බී.ආර්. අම්බෙඩ්කාර්ගේ මුණුබුරකු වනවා.

මෙම විරෝධතා ව්‍යාපාරය අවස්ථාවේ ආරක්ෂාව තර කිරීම සඳහා අමතර පොලිස් බල ඇණි කැඳවීමට මහාරාශ්ට්‍ර පොලිසිය කටයුතු කළා. මේ අතර මහාරාෂ්ට්‍ර මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් කියා සිටියේ තත්ත්වය පාලනයට සියලු උත්සාහයන් දරන බවයි. තවද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිරවීමෙන් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඇතැම් අය විසින් මෙම ගැටුම් බෞද්ධ – හින්දු ගැටුමක් ලෙස හුවා දැක්වූවද එය ඊට වඩා බෙහෙවින් වෙනස් බව කිව යුතුයි. මෙහි මූලික ප්‍රශ්නය ඇත්තේ කුල පීඩනය තුළයි. 20 වන සියවසේ මැද දී බී.ආර්. අම්බෙඩ්කාර් අනුගමනය කරමින් විශාල දාලිත්වරුන් පිරිසක් බුදු දහම වැළඳගත් අතර එයද කුල පීඩනයට එරෙහිව සිදු වූවක්.

ජනවාරි 3 වනදා උදෑසන මුම්බායි හි ඇතැම් ප්‍රදේශයන්හි දාලිත්වරුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වූවා. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී කෙසේ වෙනස් වනු ඇතිදැයි අපට බලා සිටීමට සිදු වනවා.

Cover Image: PTI

Related Articles