දීවාලියෙන් යළි කරළියට ආ දිල්ලියේ වායු දුෂණය

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් උද්‍යෝගයෙන් දීවාලි උත්සවය පසුගියදා සැමරුවා. මෙම උත්සවය සාමාන්‍යයෙන් සැමරෙන්නේ අස්වනු නෙළීමෙන් පසු ඔක්තෝම්බර් මැද සහ නොවැම්බර් මැද මාස අතරදී නව චන්ද්‍රයා උදාවීමත් සමඟ යි. ධනය සහ සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දේවතාවිය මූලික කර ගෙන සිදු කරන මෙම සැමරීම්වලින් සංකේතවත් කරන්නේ අන්ධකාරයට එරෙහි ව ආලෝකයේ ආධ්‍යාත්මික ජයග්‍රහණය, අයහපතට එරෙහි ව යහපත සහ අවිද්‍යාවට එරෙහි ව දැනුම යන සංකල්ප යි.

විවිධ ආකාරයේ ආලෝක දැල්වීම්වලින් විචිත්‍රවත් වන මනස්කාන්ත සැමරුමක් වන දීවාලි උත්සවයෙන් පසු මෙවරත් අසන්නට ලැබෙන්නේ පරිසරයට හිතකර පණිවිඩයක් නොවේ. ලෝකයේ වැඩි ම වායු දුෂණයක් පවතින නගර අතරින් ඉදිරියෙන් ම සිටින දිල්ලියට මෙම සැමරුම වඩා අහිතකර ලෙස බලපා ඇති බව වාර්තා වනවා.

වායු දූෂණය මැනෙන හැටි

වායූ දුෂණය මැනීම සඳහා යොදා ගැනෙන්නේ වායු තත්ත්ව දර්ශකය (AQI – Air Quality Index) නම් ඒකකය යි. මෙම අගය 0 – 50 ත් අතර පවතින්නේ නම් වායු තත්ත්වය වඩා හොඳ බවත් එය 50ට වඩා වැඩි වන ප්‍රමාණය මත විවිධ මට්ටම්වලින් වාතයේ ගුණාත්මක බව අඩු වී අහිතකර වන බවත් පැවසෙනවා. AQI අගය ගණනය කරන්නේ වායුගෝලයේ ඇති අංශු ප්‍රමාණය සැලකිල්ලට ගෙන යි. මෙම අංශු ද ඒවායේ විශාලත්වය අනුව වර්ගීකරණය වනවා. ඒ අනුව වායු දුෂණයට බලපාන අංශු ලෙස සැලකෙන්නේ PM2.5, PM10, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, භූ මට්ටමේ ඇති ඕසෝන්, ඇමෝනියා සහ ඊයම් යන ඒවා යි.

වායු තත්ත්ව දර්ශකයේ විවිධ මට්ටම් වලින් කියැවෙන තත්වය – epa.gov

 

PM2.5 යනු මයික්‍රෝන (මිලිමීටරයකින් 1000න් පංගුවක්) ඒකක 2.5කට වඩා කුඩා ප්‍රමාණයේ අංශු වනවා. මෙවැනි අංශුවක් මිනිස් කෙස් ගසක ඝනකමට වඩා 30 ගුණයක් කුඩා ප්‍රමාණයේ අංශුවක් වන අතර PM10 අංශුවක විශාලත්වය මිනිස් කෙස් ගසක ඝනකමට වඩා 8 ගුණයක් කුඩා වනවා. පැය 24 ක කාලයක් තුළ දී මෙම අංශුවල සාන්ද්‍රණය නිරීක්ෂණය කෙරෙන අතර අවසානයේ සාමාන්‍ය අගයක් ලබා ගැනීමෙන් ඝනමිටර එකක පරිමාවක් තුළ ඇති අදාළ අංශු ස්කන්ධය මයික්‍රෝග්‍රෑම්වලින් ප්‍රකාශ වනවා.

පෙර සඳහන් කළ විවිධ AQI මට්ටම් සඳහා නියමිත වූ අංශු සාන්ද්‍රණ පරිමා නියම කර තිබෙන අතර උදාහරණයක් ලෙස AQI අගය 50ට වඩා අඩු ලෙස සැලකෙන්නේ ඝන මීටර එකක වායු පරිමාවක ඇති PM2.5 අංශු ස්කන්ධය මයික්‍රෝග්‍රෑම් 30ට අඩු නම් පමණ යි. PM2.5 අංශු මයික්‍රෝග්‍රෑම් 15ක් ඝන මීටරයක තුළ පවතී නම් AQI අගය 25ක් ලෙස දක්වනවා. මේ ආකාරයට අනෙකුත් අංශු සඳහාත් AQI අගයන් වෙන වෙන ම ලබාගත හැකි යි. ඒවා අතරින් පෙන්වන වැඩි ම AQI අගය සමස්ත AQI අගය ලෙස ඉදිරිපත් කෙරෙනවා. උදාහරණයක් ලෙස යම් ප්‍රදේශයක PM2.5 සඳහා AQI අගය 90ක් ද නයිට්‍රජන් ඩයොක්සයිඩ් සඳහා 45ක් ද, ඕසෝන් සඳහා 65ක් ද ආදී වශයෙන් ගණනය වුවත් සමස්ත AQI අගය වන්නේ වැඩිම AQI අගය වන 90 යන්න යි.

වායු තත්ත්ව දර්ශකය පෙන්වන වායු දුෂණයේ තරම

වායු තත්ත්ව දර්ශකය හෙවත් AQI අගය 100ට හැකිතාක් අඩුවෙන් පවත්වා ගැනීමට බොහෝ රටවල් වෙහෙසෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල හැරෙන්නට ඕනෑම ජනාකීර්ණ නගරයක AQI අගය 50 – 100 අතර විය හැකි යි. එම ප්‍රාන්තරය වායු දුෂණය අතින් සාධනීය තත්වයක් පෙන්නුම් කළත් අවධානය යොමු කළ යුතු තත්වයක් ලෙසයි ලෝක සොඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

දවසේ සම්පුර්ණ කාලය ම සහ දිනපතා ම අදාළ ප්‍රදේශයේ ගත කරන්නන්ට දීර්ඝ කාලයකින් එවැනි මට්ටමේ දුෂණයක් නිසා ස්වසන අපහසුතා ඇති වීමේ අවධානමක් පවතිනවා. විශේෂයෙන් එවැනි රෝග වැලඳී තිබෙන හෝ ඒ අංශයෙන් විශේෂ සංවේදිතා දක්වන පුද්ගලයන්ට නම් 50 – 100 මට්ටම අවධානමින් වැඩි බවයි පැවසෙන්නේ. කොළඹ නගරයේ සාමාන්‍ය AQI අගය 65-70 ක් පමණයි. එය 78ක උපරිමයකට ළඟා වන අවස්ථා ද පවතිනවා.

වායු තත්ත්ව දර්ශකය අනුව ඇති අවදානම පෙන්වන සටහනක් – vectorstock.com

 

AQI අගය 101 සහ 150 අතර පැවතීම දැක්වෙන්නේ තැඹිලි වර්ණයෙන් වන අතර ඉහත සඳහන් කළ ආකාරයේ සංවේදී අයට ස්වසන රෝග වැලඳීම සුලබ ව මෙම මට්ටමේ දී දැකිය හැකි යි. 150 – 200 අතර තත්ත්වය දැක්වෙන්නේ සංවේදී පුද්ගලයන්ට මෙන් ම පොදු මහජනතාවට ද ස්වසන රෝග වැලඳීමේ අවදානමක් පවතින බව යි. මෙය රතු වර්ණයෙන් දක්වා ඇත්තේ එම අවදානම පෙන්වීම සඳහා යි. AQI අගයේ 200 – 300 ප්‍රාන්තරය දම් වර්ණයෙන් ද 300ට වැඩි දුඹුරු වර්ණයෙන්ද දැක්වෙනවා. AQI අගය 200ට වැඩි නම් අදාළ ප්‍රදේශවල දිනකට පැය කිහිපයක් හෝ රැඳී සිටීම ස්වසන රෝග වැලඳීමේ අවදානම වැඩි කරවන බව යි පැවසෙන්නේ.

මෙම AQI අගය 200 පමණ ඉක්මවන විට වායුගෝලයේ දුමාරයක් මෙන් පෙර සඳහන් කළ අංශු දිස්වනවා. 500 පමණ ඉක්මවූ විට හිරු එළිය පවා ලැබෙන්නේ සැලකිය යුතු ලෙස අඩු ප්‍රමාණයක් බව යි පැවසෙන්නේ. AQI අගය 300ට වැඩි නම් කිසිලෙසකින් හෝ එවැනි වායුගෝලයකට නිරාවරණය වීම ඕනෑම අයකු ස්වසන රෝගියකු බවට පත්කරන බව ලෝක සොඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඉහළ AQI අගයවලදී චීනයේ බීජිං නගරය දිස්වන ආකාරය – time.com

දිල්ලියේ වායු දුෂණය

2020 වසරේ නිකුත් වූ වාර්තාවලට අනුව එම වසර පුරාවට AQI අගයේ සාමාන්‍යය ඉහළ ම අගයක් පෙන්වා ඇත්තේ චීනයේ Hotan නගරය බව දැක්වෙනවා. එම ලැයිස්තුවේ මීළඟ ස්ථාන 13 ම හිමි කරගෙන ඇත්තේ ඉන්දියාවේ නගර වීම විශේෂත්වයක්. මේවායිනුත් Ghaziabad, Bulandshahr,  Bisrakh, Bhiwadi, Noida, Faridabad, Meerut  ආදී නගර සියල්ල දිල්ලි නගර සීමාවට අයත් හෝ ඊට යාබද කුඩා නගර වනවා. මේ නිසා ඒ සියල්ල බොහෝ විට හුවා දැක්වෙන්නේ දිල්ලි නගරයේ වායු දුෂණය ලෙස යි.

ලෝකයේ වායු දුෂණය අධික ම නගර – statista.com

නාගරික වායු දුෂණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ රථවාහන වුවත් දිල්ලි නගරයේ වායු දුෂණය සඳහා හේතුවන ප්‍රධානත ම සාධකයක් වී ඇත්තේ වගාබිම් පිළිස්සීම යි. දිල්ලියට යාබද ව ඇති පන්ජාබ් සහ හර්යානා ප්‍රදේශවල ඇති වගා බිම්වල අස්වනු නෙළීමෙන් පසු ගිනි තැබීම් සිදු කරන්නේ ඔක්තෝම්බර් අවසාන සතියේ හෝ නොවැම්බර් මුල් සතිවල දී යි. ප්‍රධාන වශයෙන් වී සහ තිරිඟු අස්වැන්න ලබා ගැනීමෙන් පසු ඉතිරි වන පිදුරු කොටස් ගිනි තැබීම මෙහිදී සිදුවන අතර අක්කර මිලියන 26ක් පමණ භූමි භාගයක පැතිරුණු වගාබිම් මෙහි දී ගිනි තැබීමට ලක්වනවා. පිදුරු ටොන් මිලියන 40ක් පමණ මෙහි දී ගිනි තැබෙන බව සඳහන්.

දිල්ලි නගරයේ පිහිටීම භූ විෂමතා වශයෙන් සහ මිනිස් ඉදිකිරීම් නිසා ආවරණය වෙමිනුයි පවතින්නේ. මේ නිසා නගරය ආශ්‍රිත වායුගෝලය සෑමවිට ම සංවෘත වී තිබෙන අතර නොවැම්බර් මාසයේදී පවතින වර්ෂා සහිත අඩු සුළං ප්‍රවාහ තත්ත්වයත් වගා බිම් ගිනි තැබීමෙන් පිටවන දුමාරය දිල්ලි නගරයේ ම රැඳීමට තවදුරටත් හේතුවනවා. මෙම ගිනි තැබීම් නිසා නිදහස් වන PM2.5 ප්‍රමාණයේ අංශු සමස්ත PM2.5 අංශු වලින් 35% කට හේතුවන බවයි පවසන්නේ.

NASA ආයතනයේ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවකින් 2019 වසරේ ඔක්තෝම්බර් මස අගදී ලබාගත් ඡායාරූපයක් : මෙහි අළු පැහැ දුමාරයක් ලෙස දිස්වන්නේ වගා බිම් ගිනි තැබීම නිසා නිර්මාණය වූ දුම් වලා වන අතර ඒවා හිමාල කඳු වැටියට මෙපිට රැඳී පවතින ආකාරයත් දිල්ලි නගරය වෙත ගමන් කරන ආකාරයත් දිස්වේ. – earthobservatory.nasa.gov

කර්මාන්තශාලා සහ රථවාහනවලින් නිකුත් කෙරෙන අහිතකර වායූන් වායුගෝලයට මුසු වීම දිල්ලි නගරයේ AQI අගය ඉහළ යාමට බලපාන අනෙකුත් සාධක ද්විත්වය වනවා. සංඛ්‍යා දත්ත අනුව, වාතයේ ගුණාත්මක බව අඩු කිරීමට 18%ක් පමණ දායක වන්නේ කර්මාන්ත ශාලා වලින් නිකුත්වන වායුමය අපද්‍රව්‍ය බව යි පැවසෙන්නේ. වසරකට වායුමය අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 200 – 1000 අතර ප්‍රමාණයක් මෙලෙසින් දිල්ලි කර්මාන්ත ශාලා වලින් වායුගෝලයට මුදාහැරෙනවා.

මේ නිසා 2017 වසරේදී දිල්ලි නගරයේ කර්මාන්තශාලාවල දහන කටයුතු සඳහා කාබන් අධික සංයුතියක් ඇති ගල් අඟුරු විශේෂයක් වන Petcoke සහ දැවිතෙල් දහනය තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නීති පැනවුවත් ආසන්න ප්‍රාන්තවල එය තවමත් පාලනය නොවීම නිසා දිල්ලියේ AQI අගය තවදුරටත් ඉහළ අගයක පවතිනවා.

දිල්ලියේ වාහන පාලනයට පියවර

2018 දී සිදුකළ ගණනය කිරීම්වලට අනුව දිල්ලි නගරය තුළ පමණක් භාවිත වන වාහන ප්‍රමාණය මිලියන 11 කට අධික යි. දිල්ලි වායුගෝලයේ පවතින PM2.5 අංශුවලින් 28% කට වැඩි ප්‍රමාණයකට වග කිව යුත්තේ මෙම අධික වාහන ප්‍රමාණය වන අතර වායුගෝලයේ නයිට්‍රජන් ඔක්සයිඩ්වලින් 80%ක් නිකුත් කෙරෙන්නේ ද ඒවා මගින් වීම විශේෂත්වයක්. දැන් දැන් මධ්‍යම රජය සහ ප්‍රාන්ත ආණ්ඩුව දිල්ලියේ වාහන ප්‍රමාණය පාලනය කිරීම නීතිමය පියවර ගනිමින් සිටිනවා.

මේ නිසා රථවාහනවල වාර්ෂික වර්ධනය 2005 – 2006 කාලයේ පැවති 8.13% අගයේ සිට 2017 – 2018 කාලය වනවිට 5.81% දක්වා පහත බැස තිබෙනවා. නමුත් යාබද ප්‍රාන්තවල මෙම නීතිය ක්‍රියාත්මක නොවීම නිසා වායු දුෂණය දිනෙන් දින ඉහළ යාමක් පමණක් දැකිය හැකි යි.

දිල්ලි නගරයේ දීවාලි උත්සව සමය තුළ AQI අගය ඉහළ ගිය අයුරු – reuters.com

දීවාලි උත්සවය නිසා AQI අගය අධික ලෙස ඉහළට

දීවාලි උත්සවයේ දී සෑම වසරක දී ම විශාල ලෙස ගිනිකෙළි ද්‍රව්‍ය භාවිතා වනවා. වගාබිම් ගිනි තැබීමෙන් නිකුත්වන දුමාරය ද මෙම කාලයේ වායුගෝලයට මුසු වීම නිසා දීවාලි උත්සව සමයේ දී සාමාන්‍යයෙන් දිල්ලියේ AQI අගය 500 පමණ දක්වා ඉහළ යන බවයි පැවසෙන්නේ. එම අගය මෙවර 700ක් පමණ ඉතා ඉහළ සාමාන්‍යයක් පෙන්වූ බවට වාර්තා වුණා. ඇතැම් ප්‍රදේශවල දීවාලි දිනයට පසු දිනයේ දී AQI අගය 999ක් පමණ උපරිමයක් පෙන්වූ බව සඳහන්. 300 ට වැඩි අගයන් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ශ්වසනය සඳහා කිසිසේත්ම නුසුදුසු AQI අගයන් ලෙස වුවත් එම අගය මෙන් තුන් ගුණයක් දක්වා ඉහළ ගිය දිල්ලියේ වායුගෝලය තවත් දින කිහිපයක් යනතුරු ම මහජනතාවට අහිතකර ලෙස බලපානු ඇති බවයි පැවසෙන්නේ.

 

දීවාලි උත්සව සමය වෙනුවෙන් ගිනිකෙළි භාවිතය තහනම් කරමින් ඉන්දීය රජය මාසයකට පමණ පෙර නිවේදනයක් ද නිකුත් කළා. නමුත් නවදිල්ලියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යයාලය නිවේදනය කර තිබුණේ දීවාලි දිනයට පෙර දින රාත්‍රියේ තිබූ AQI අගය 197ක් බවත් දීවාලි දිනට පසුදිනයේ එය 492ක් ලෙස වාර්තා වූ බවත් ය. ගිනිකෙළි තහනම් කර තිබූ පසුබිමක පසුගිය වසරවලටත් වඩා වැඩි වායු දුෂණයක් සිදුවීම අසාමාන්‍ය සිදුවීමක් වනවා. මෙහිදී විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දියාවේ පාලනයේ නියුතු භාරත ජනතා පක්ෂයේ නියෝජිතයින්, ගිනි කෙළි භාවිතයට ජනතාව වැඩි වශයෙන් උනන්දු කළ බව යි.

මෙවර දීවාලි දින රාත්‍රියේ දුමාරයෙන් වැසුණු දිල්ලි නගරයේ ඡයාරූප – cnn.com

 

දීවාලි දින රාත්‍රියේ දී රථ වාහන ගමනාගමනයට ද ගිනිකෙළි නිසා නිර්මාණය වූ දුමාරය බාධා එල්ල වී තිබුණා. ස්වසන පද්ධතිය ආශ්‍රිත ව පැතිර යන කොරෝනා ව්‍යසනය හමුවේ මෙවැනි සොඛ්‍යයට අහිතකර තත්ත්වයක් නිර්මාණය වීම බරපතල බව යි එරට සොඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් වසර පුරාවට ම දිල්ලි නගරයේ වෙසෙන ජනතාව වායු තත්ත්ව දර්ශක අගය 100- 200 අතර අගයක වාතය ස්වසනය කිරීම නිසා මිලියන 100ක පමණ ජනතාවකගේ ආයු අපේක්ෂාව වසර 9 කින් පමණ අඩු වෙමින් ඇති බව චිකාගෝ විශ්වවිද්‍යාලය සිය පර්යේෂණයකින් පසුගියදා පෙන්වා දී තිබුණා.

මෙවර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP26) අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කළේ 2070 වන විට කාබන් විමෝචනය ශූන්‍ය දක්වා අඩු කිරීමට තම රට කටයුතු කරන බව යි. නමුත් බොහෝ විශේෂඥයන් පෙන්වා දෙන්නේ එම ඉලක්කය 2050 වන විට වත් සපුරා ගැනීමේ වැඩපිළිවෙළක් ඉන්දීය රජය සකස් කළ යුතු බව යි. නැතහොත් එය ප්‍රමාද වැඩි වනු ඇති බව යි ඔවුන් පවසන්නේ.

 කවරයේ ඡායාරූපය - නවදිල්ලි නුවර 'ඉන්දියානු ද්වාරය' වායු දුෂණය නිසා දුමාරයෙන් වැසි ඇති අවස්ථාවක් - www.eleconomista.com.mx 

මූලාශ්‍ර: 

cnn.com 

reuters.com

inews.co.uk

iqair.com

airnow.gov 

fit.thequint.com

orfonline.org

health.ny.gov  

Related Articles