Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්ව සටනට බ්ලූම්බර්ග් කඩා වැදීම

ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය 2020 නොවැම්බරයේ දී පැවැත්වෙනවා. ඒ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වනවා. මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ නාමයෝජනාව දිනාගැනීම සඳහා කලක පටන් ප්‍රබල සටනක් පවතිනවා.

ඩිමොක්‍රටික් නාමයෝජනා සටනට අපේක්ෂකයන් විසි දෙනකුටත් වඩා ඉදිරිපත් වුණා. එයින් ප්‍රධානම කිහිපදෙනා වූයේ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්, සෙනට් සභික බර්නි සැන්ඩර්ස්, සෙනට් සභික එලිසබත් වොරන් යන අය යි. ඊට අමතරව සෙනට් සභික ඒමි ක්ලොබුචාර්, හිටපු නගරාධිපති පීට් බුටිජිජ් යන අය ද මෙම තරගයේ පෙරමුණට අවුත් තිබෙනවා. අනෙකුත් බොහෝ අපේක්ෂකයන්ට නාම යෝජනා දිනාගැනීම අසීරු බව පෙනී යන අතර, ඉන් බොහෝ දෙනෙක් තරගයෙන් ඉවත්ව තිබෙනවා.

කියවන්න​: ලෝකයටම බලපාන ඇමරිකානු ජනපතිවරණය පවත්වන්නේ මෙහෙමයි.

දැනට පවත්වන ලද මූලික ඡන්ද විමසීම්වල දී පීට් බුටිජිජ් සහ ඒමි ක්ලොබුචාර් බලාපොරොත්තු නොවූ තරම් සාර්ථක වන විට, එලිසබත් වොරන් සහ ජෝ බයිඩන් සිතූ තරම් සාර්ථක නොවීම ද කැපී පෙනෙනවා. අයෝවා ප්‍රාන්තයේ පැවති මූලික ඡන්ද විමසීමේ දී බුටිජිජ් විසින් සැන්ඩර්ස් ව සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජය කර පළමු ස්ථානය දිනාගත්තා. මේ අතර නිව් හැම්ප්ශයර් ප්‍රාන්තයේ දී සැන්ඩර්ස් විසින් සුළු ඡන්ද සංඛ්‍යාවකින් බුටිජිජ් පරාජය කළා.

පීට් බුටිජිජ් (AFP/Getty Images)

මේ සියලු කරුණු මැද ඩිමොක්‍රටික් පක්ෂයේ නාම යෝජනාව සඳහා තරග කිරීමට තවත් අපේක්ෂකයකු ඉදිරිපත්ව තිබෙනවා. හිටපු නිව් යෝර්ක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් එම අපේක්ෂකයා යි. ඔහු බ්ලූම්බර්ග් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවා ද වනවා.

පිල් මාරු කිරීම

බ්ලූම්බර්ග් උපන්නේ 1942 වසරේ යි. ඔහු ජෝන් හොප්කින්ස් සහ හාවර්ඩ් සරසවිවලින් අධ්‍යාපනය ලබා ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඔහු බ්ලූම්බර්ග් සමාගම පිහිටවූයේ 1981 දී යි.

දේශපාලනික වශයෙන් මයිකල් බ්ලූම්බර්ග් ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වුණා. එහෙත්, 2001 නිව් යෝර්ක් නගරාධිපති තරගය සඳහා ඉදිරිපත් වීමට පෙර ඔහු රිපබ්ලිකන් පක්ෂය සමග සම්බන්ධ වුණා. ඔහු නගරාධිපති ධුරයට තරග කළේ සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදු වූ පසුබිමේ යි. නගරාධිපති තරගයෙන් ජයගත් ඔහු 2013 වනතෙක් එම ධුරය දැරුවා. ඔහු 2004 දී ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ට සහාය දුන්නා. නමුත්, පසුව ඔහු ස්වාධීන ලෙස කටයුතු කිරීමට පටන් ගත්තා.

2018 සිට බ්ලූම්බර්ග් නැවත ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දක්වන්නට පටන්ගෙන තිබෙනවා. එම වසරේ පැවති මැතිවරණවල දී ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂකයන් වෙනුවෙන් සිය පුද්ගලික ධනයෙන් වියදම් කළා. බ්ලූම්බර්ග්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 64ක් පමණ වේයැ යි ඇස්තමේන්තු කර තිබෙනවා.

නාමයෝජනා සටන

මයිකල් බ්ලූම්බර්ග් ජනාධිපතිවරණ නාමයෝජනා දිනාගැනීමේ සටනට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේ 2019 නොවැම්බර් 24 වන දා යි. අයෝවා, නිව් හැම්ප්ශයර් ආදී මූලික ඡන්ද විමසීම්වලට තරග නොකර මාර්තු 3 වන දා හෙවත් “සුපිරි අඟහරුවාදා” පවත්වන නාමයෝජනා ඡන්ද වීමසීම් සඳහා ඉදිරිපත් වීමට තීරණය කළා.

සුපිරි අඟහරුවාදා යනු ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක නාමයෝජනා තරගයේ මූලික වටයේ තරග පවත්වන දිනය යි. මෙවර එම දිනය මාර්තු 3 වනදාට යෙදී තිබෙනවා. ප්‍රාන්ත 14 ක මූලික ඡන්ද විමසීම් එදින පැවැත්වෙනවා. ඒ අතර කැලිෆෝර්නියා, ටෙක්සාස්, උතුරු කැරොලිනා, වර්ජිනියා වැනි ප්‍රාන්ත ද වනවා. බොහෝ විට සුපිරි අඟහරුවාදා ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරණයේ දී එක් එක් පක්ෂයේ අපේක්ෂකයා නිගමනය වීමට ඉඩ තිබෙනවා. එහෙයින්, මෙවර ඩිමොක්‍රටික් පක්ෂ නාමයෝජනා තරගයේ දී එය වැදගත් දිනයක් වනු ඇති.

වමේ සිට – වොරන්, බයිඩන්, සැන්ඩර්ස් (AFP/Getty Images)

බ්ලූම්බර්ග් මෙවර නාමයෝජනා තරගයේ දී සුපිරි අඟහරුවාදා සටන පිළිබඳ ව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ටෙක්සාස් වැනි ප්‍රාන්තවල ඔහු ප්‍රචාරක කටයුතු පටන් ගත්තේ දැනට කලකට පෙර යි. දශක දෙකහමාරක් පමණ එම ප්‍රාන්තයේ වූ රිපබ්ලිකන් බලය දියවෙමින් පවතින සෙයක් පෙන්නුම් කෙරෙන හෙයින් ටෙක්සාස් ප්‍රාන්තය වෙත ඩිමොක්‍රටික් පක්ෂයේ අවධානය වැඩියෙන් ලැබී තිබෙනවා.

ආන්දෝලනාත්මක කරුණු

බ්ලූම්බර්ග් ජනාධිපති සටනට පැමිණීමත් සමග ඔහුගේ නගරාධිපති සමය සහ ඉන්පසුව ඔහුගේ ඇතැම් ක්‍රියා පිළිබඳ කතාබහ වර්ධනය වී තිබෙනවා.

නගරාධිපති සමයේ දී ඔහු ක්‍රියාත්මක කළ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳ විවේචනය ඉන් ප්‍රමුඛ වනවා. මෙය Stop, question and frisk (නවත්වා, ප්‍රශ්න කර, පරීක්ෂා කිරීම) යනුවෙන් හඳුන්වනු ලැබුණා. මෙය අපරාධ මැඩීමට ක්‍රියාත්මක කළ නමුදු, එයින් කළු සහ ලැටීනෝ ජාතිකයන් වැඩිපුර ඉලක්ක වූයේයැ යි චෝදනා පළ වනවා. මෙය බ්ලූම්බර්ග්ට පෙර රූඩි ජුලියානි සමයේ ඇරඹි ක්‍රමයක් වුණත් බ්ලූම්බර්ග් ද එයට සහාය දැක්වූවා.

කෙසේ වෙතත්, මෑතක දී බ්ලූම්බර්ග් එකල ඔහුගේ ස්ථාවරය පිළිබඳ සමාව ඉල්ලා සිටියා.

මේ අතර ඔහු කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල පළ කරන ලද අදහස් පිළිබඳව ද ඔහුට පහර එල්ල වනවා.

ප්‍රතිපත්ති

පසුගිය සමයෙහි බ්ලූම්බර්ග් නැවතත් ඩිමොක්‍රටික් පක්ෂය දෙසට තල්ලු කළ ප්‍රධාන හේතුවක් වූයේ ගිනි අවි හිමිකම පාලනය කිරීමට පක්ෂව ඔහු දරන ස්ථාවරය යි. ඒ සඳහා ඔහු සිවිල් සංවිධානයක් ද ගොඩනගා තිබෙනවා.

බ්ලූම්බර්ග් පරිසර ක්‍රියාකාරිකයකු ලෙස ද කලක් තිස්සේ කටයුතු කරනවා. 2030 වන විට හරිතාගාර වායු විමෝචනය සියයට 50කින් අඩු කිරීම ඔහුගේ අපේක්ෂාව යි.

මේ අතර ඔහු වසරකට ඩොලර් මිලියන පහකට වඩා වැඩි ආදායම් ලබන්නන්ට සියයට පහක බද්දක් පැනවීමට සහ බැංකු සහ මූල්‍ය ආයතන මත වන අධීක්ෂණය පුළුල් කිරීමට යෝජනා කරනවා.

බ්ලූම්බර්ග් මෙවර ඩිමොක්‍රටික් විවාදයක් සඳහා පළමු වතාවට සුදුසුකම් ලබා ගත්තා. එයට හේතු වූයේ නවතම සමීක්ෂණ වාර්තා අනුව ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂකයන් අතුරින් දෙවන ස්ථානයට පත්ව සිටීම යි. ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ බර්නි සැන්ඩර්ස් පමණයි. සැන්ඩර්ස්ගේ අනුගාමිකයන් වැඩි දෙනෙකු තරුණයින් වන අතර බ්ලූම්බර්ග් ඊට වඩා මැදි වයස්වල අය වැඩියෙන් දිනාගන්නා බව පෙනී යනවා. එමෙන්ම, පක්ෂයේ මධ්‍යස්ථ මතධාරීන් අතර ඔහු ඉදිරියට පැමිණ තිබෙන්නේ බයිඩන්ව පසු කරමින්. පක්ෂයේ වඩා වාමවාදී කඳවුර තුළ සැන්ඩර්ස් හා වොරන් ආදීන් නියෝජනය වනවා.

කවරයේ ඡායාරූපය: බ්ලූම්බර්ග් (Getty Images)

Related Articles