ග්‍රීසියේ බංකොලොත්භාවයට ඔලිම්පික් හේතු වුණා ද?

 ඔලිම්පික් උණුසුම නැවතත් අප අතරට පැමිණ තිබෙනවා. උණුසුම අතරින් දිනපතා පදක්කම් සටහනේ තත්ත්වය සහ ඒ ඒ දිනවල ඔලිම්පික් බිමේ සිදුවූ විශේෂ සිදුවීම් සවිස්තරාත්මක ව ගෙන එන්නට “Roar සිංහල” හැකිතාක් උත්සාහ කරනවා. ගෝලීය වසංගත තත්ත්වයත් සමඟ දහසක් අභියෝග මැද තමයි මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ. 

 අභියෝග කොහොමත් හුරුපුරුදු ජපානය මෙවර ඔලිම්පික් සත්කාරකත්වය දැරීම එක අතකින් ක්‍රීඩා ලෝකයට අස්වැසිල්ලක්. බාධක රාශියක් මැද තම සත්කාරකත්වයේ ජීව ගුණය උපරිමයෙන් රැක ගනිමින් ක්‍රීඩා ලෝකයට සාධාරණයක් කිරීමට ජපානය ගන්නා උත්සාහය ප්‍රශංසනීය යි.

 ඔලිම්පික් උළෙලක සත්කාරත්වය දැරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. එය ඉතා විශාල පිරිවැයක් සහ දීර්ඝ සැලැස්මක් අනුව සිදු කළ යුත්තක්. යම් ආර්ථික බලවත්කමක් තිබෙන රටවල් අතර ඔලිම්පික් සත්කාරකත්වය බෙදී ගොස් ඇති අයුරු ඉතිහාසය පිරික්සීමේදී දැක බලා ගන්න පුළුවන්.

ඇතන්ස් ඔලිම්පික් උළෙලේ නිළ ලාංඡනය – cinecrane.com 

 2004 වර්ෂයේදී ඔලිම්පික් සත්කාරත්වය වෙනුවෙන් ග්‍රීසිය ඉදිරියට පැමිණීම ඔලිම්පික් ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් වුණා. සැබවින් ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නියම හිමිකරුවා වන්නේ ග්‍රීසිය යි.  පුරාණ ලෝකයේ ඔලිම්පික් උළෙලේ සම්භවය සිදුවුණේ ග්‍රීසියෙන්. මේ හේතුව නිසා නූතන ලෝකයේ ඔලිම්පික් සඳහා ග්‍රීසිය සත්කාරකත්වය දැරීම ලෝකයේ දැඩි අවධානයට හේතු වුණා. එහෙත්, 2004 වර්ෂයේදී ඔලිම්පික් සත්කාරකත්වය දැරීමෙන් ග්‍රීසිය අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගත්තා ද යන වග නම් ගැටලුවක්.

ඔලිම්පික් තුළින් දුටු ආර්ථික ෆැන්ටසිය

 1992 වර්ෂයේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවති ඔලිම්පික් උළෙල, ස්පාඤ්ඤයට ආශිර්වාදයක් වුණා. පාලන තන්ත්‍රයේ තිබුණු ගැටලුකාරී ස්වභාවය නිමා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත්කොට වසර 15 කට පසු ස්පාඤ්ඤය ඔලිම්පික් සත්කාරකත්වය දිනා ගත්තා. විශාල වියදමක් දරා බාසිලෝනා නගරය ඔලිම්පික් වෙනුවෙන් සූදානම් කළ අතර, නගරය පුනර්ජීවනයක් ලැබුවා.

 ඒත් සමඟ ම තමා ලෝකයත් සමඟ ව්‍යාපාර සඳහා විවෘත ව සිටින බවට වූ පණිවිඩය ඔලිම්පික් හරහා ලබාදෙන්නට ස්පාඤ්ඤය ක්‍රියා කළා. ඔලිම්පික් හරහා ලැබුණු සංචාරක ආකර්ෂණය උළෙලින් පසුවත් පවත්වා ගෙන යන්න ස්පාඤ්ඤය සමත් වුණා. රට පුරා විවිධ ක්‍රීඩා ඉසව් දියුණු කිරීම සඳහා මුදල් යෙදවීමේ ප්‍රවණතාවක් බාසිලෝනා ඔලිම්පික් උළෙලින් පසුව ඇති වූ අතර, ඒවායේ ප්‍රතිලාභ අද ඔවුන් භුක්ති විඳිනවා. 

 2004 වර්ෂයේ ඔලිම්පික් සත්කාරකත්වයෙන් මෙවැනි ම පුනර්ජීවනයක් ලබා ගැනීමට ග්‍රීසිය අපේක්ෂා කළා. ග්‍රීසියේ රජයන් වසර 40 කට ආසන්න කාලයකින් අයවැයක් තුලනය කර නොතිබූ අතර, ණය අර්බුද හමුවේ ඔලිම්පික් සත්කාරකත්වය දැරීම අවදානම් සහගත තීරණයක් වුණා. ඔලිම්පික් සම්බන්ධයෙන් ඇති සහජ උරුමය ග්‍රීසියේ වාසියට තිබේවියැ යි ග්‍රීක බලධාරීන් අනුමාන කළා. පෙර සහ පසුව පැවති ඔලිම්පික් සත්කාරකත්වයන් මෙන් ග්‍රීසියට නිසියාකාර සැලැස්මක් තිබුණේ නැහැ. 1997 දී ග්‍රීසියේ ඇතන්ස් නුවර ඔලිම්පික් සත්කාරකත්වයට නිර්දේශ වීමේදී පවා ග්‍රීසියට එවැනි වගකීමක් දැරීමේ හැකියාව ගැන සැක සංකා මතු වුණා.

වසර කිහිපයක් පුරා පැවති ග්‍රිෂ්ම සහ ශීත සෘතු ඔලිම්පික් තරඟාවලි වල ඇස්තමේන්තුගත හා අවසාන පිරිවැය – cfr.org 

දරාගත නොහැකි වියදම

 සත්කාරකත්වය දිනා ගැනීමෙන් පසු ග්‍රීසියට ඔලිම්පික් සඳහා සූදානම් වීමට වසර හතක කාලයක් ඉතිරි ව තිබුණා. එම කාලය ඇතුළත ඔවුන් අලුත් ම ගුවන් තොටුපළක්, නවීන ක්‍රීඩාංගණ, උමං මාර්ග පද්ධති සහ ට්‍රෑම් රථ සේවා ගොඩනැඟීමට යුහුසුළු වුණා. ඔලිම්පික් උළෙල ආරම්භ වීමට දින කිහිපයක් තිබියදීත් ඇතැම් යටිතල පහසුකම් අවසාන කොට තිබුණේ නැහැ. කෙසේ හෝ අතිශය තරඟකාරීත්වයෙන් යුතුව අදාළ ඉදිකිරීම් නිම කොට සත්කාරකත්වයේ විශ්වාසය කඩවන අනතුරු සංඥා වළක්වා ගන්නට ග්‍රීසිය සමත් වුණා. 

යටිතල පහසුකම් සහ ඔලිම්පික්  උළෙල සංවිධාන කටයුතු සඳහා ග්‍රීක රජය වැය කළ මුදල වර්තමාන විනිමය අනුපාතයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක් පමණ වුණා. එය රටේ මූලික අයවැය මෙන් දෙගුණයක් වූ අතර, එම පිරිවැය සඳහා ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුළත් වුණේ නැහැ. ඒ අනුව උක්ත සඳහන් මුදලටත් වඩා වැඩි මුදලක් ග්‍රීසිය ඔලිම්පික් සඳහා වැයකොට තිබෙනවා. එකල ග්‍රීසීයේ මුදල් ඇමතිවරයා පැවසුවේ ඔලිම්පික් සත්කාරකත්වය නිසා රටට ශුද්ධ ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන බව යි. සෞඛ්‍ය පද්ධතිය සහ පුරාවිද්‍යාත්මක ස්ථාන වැඩි දියුණු කිරීමෙන් ලැබෙන අනාගත සංචාරක ආකර්ෂණය නිසා මෙතරම් විශාල මුදලක් යට කිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බව රජය පැවසුවා.

ඇතන්ස් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ඉසව්වක දර්ශනයක් – bloomberg.com 

ග්‍රීසියේ සංචාරකයන් ඉතාලියට?

 ඔලිම්පික් උළෙල ගැන ග්‍රීක බලධාරීන් එවැනි සුබවාදී ආකල්පයක සිටියත්, හාත්පසින් ම වෙනස් දෙයක් තමයි ග්‍රීසියේ සිදුවුණේ. ඔලිම්පික් තරඟාවලිය සඳහා ගොඩනැඟූ බොහෝමයක් පිහිනුම් තටාක, ක්‍රීඩාංගණ, බෝට්ටු පහසුකම් පසුකාලීන ව අභාවයට ගියා. ඇතැම් ඉදිකිරීම් ගරා වැටෙන ඔලිම්පික් සිහිවටන බවට පත්වුණා.

පුහුණුවීම් සඳහා භාවිත කළ පිහිනුම් තටාකයක අද තත්ත්වය – theguardian.com 

එනම්, 2000 වර්ෂයේ සිඩ්නි නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ ඔලිම්පික් තරඟාවලියේදී ගොඩනැඟූ පහසුකම් මනා කළමණාකාරීත්ව යෙන් යුතුව පසුකාලීන ප්‍රයෝජනය සඳහා තබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. 

 ඔවුන්ගේ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ ඉලක්කයත් සිතූ තරම් සාර්ථක වුණේ නැහැ. එහි වාසිය අනපේක්ෂිත ලෙස ලැබුණේ ග්‍රීසියට යාබදින් පිහිටි ඉතාලියට යි. ඔලිම්පික් උදෙසා ග්‍රීසියට පැමිණි බොහෝ සංචාරකයන්ගේ ඊළඟ ඉලක්කය මධ්‍යධරණි කලාපය තුළ සංචාරක කර්මාන්තයට වඩාත් ප්‍රසිද්ධියක් ඉසිලූ ඉතාලිය බවට පත් වුණා. ග්‍රීසිය තුළ සංචාරකයන්ගේ රැඳී සිටීමක් එතරම් සිදුවුණේ නැහැ.

බීච් වොලිබෝල් සඳහා වෙන් කළ ක්‍රීඩාංගණයට අද අත් ව ඇති ඉරණම -theguardian.com 

 නැරඹීමට ස්ථාන කොතෙක් තිබුණත්, නගරයක් සංචාරක පාරාදීසයක් වීමට නම් එය සංචාරකයන්ට පහසුකම් සැපයිය හැකි පුළුල් මධ්‍යස්ථානයක් විය යුතු යි. ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙලක් හරහා ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව ඇත්තේත් එවැනි නගරවලට පමණ යි. පැරිස්, නිව් යෝර්ක් වැනි නගරවලට එම ධාරිතාව දැරිය හැකි වුණත්, ලහි ලහියේ ඔලිම්පික් සඳහා සූදානම් වූ ඇතන්ස් නගරයට එවැනි සමර්ථ බවක් එකවර ම ගොඩනඟා ගන්නට බැරි වුණා. දුර්වල කළමනාකාරීත්වයේ තරම මෙයින් පැහැදිලිව ම පෙනෙන්න තිබෙනවා.

ඔලිම්පික් අස්සේ මූල්‍ය අක්‍රමිකතා!

 ඇතන්ස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් දැරූ පිරිවැය සම්බන්ධයෙන් විවිධ චෝදනාත් පසු කලෙක ග්‍රීක පාලනයට එල්ල වෙන්න පටන් ගත්තා. ඔලිම්පික් ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තුව ලබාගැනීමේදී ජර්මනියේ එක්තරා දැවැන්ත කාර්මික සමාගමක් සිදු කළ අල්ලස් දීමක් ගැන ග්‍රීක පාර්ලිමේන්තුව පරීක්ෂණයක් පවා සිදු කළා. 1998 දී අදාළ ජර්මානු සමාගමෙන් ඩොලර් 123,000 කට වැඩි මුදලක් එකල ප්‍රවාහන අමාත්‍යවරයකු ලබාගත් බව ඒ අනුව හෙළි වුණා.   

ඩොලර් බිලියන ගණනක් මුදල් වලට අත්වූ ඉරණම –  theguardian.com 

 ඇතන්ස් ඔලිම්පික් උළෙලින් ග්‍රීසියට ඉතිරි වූ විශාලත ම සංකේතය වන්නේ ඔලිම්පික් ගම්මානය යි. ඔලිම්පික් තරගාවලිය සාර්ථක වුණත්, පසුකාලීන අසාර්ථකභාවයේ වේදනාව තීව්‍ර කළ ඔලිම්පික් ගම්මානය රටේ විශාලත ම නිවාස ව්‍යාපෘතිය බවට හැරවීමේ උත්සාහයක ග්‍රීක රජය යෙදුණා. ප්‍රමාදය, අධික වියදම් සහ ඉදිකිරීමේ තිබූ පාරිසරික ගැටලු මුල සිට ම නිවාස ව්‍යාපෘතිය මතභේදයට ලක් කළා.

 ඔලිම්පික් ගම්මානයේ බොහෝ නිවාස දැන් නොසලකා හැර තිබෙන අතර, කඩ සාප්පු, කාර්යාල, ප්‍රාදේශීය රෝහල් කෙමෙන් කෙමෙන් අභාවයට යමින් තිබෙනවා. අද ඔලිම්පික් ගම්මානය ග්‍රීසියේ අවිධිමත් ඔලිම්පික් සත්කාරකත්වය පිළිබිඹු කරන සාරාංශයක් පමණ යි. ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුර ග්‍රීක රජය යහමින් මුදල් වියදම් කරමින් තම තත්ත්වය ගැන ධනාත්මක ප්‍රතිරූපයක් ලෝකය තුල ඇති කිරීමට උත්සහ කළා. කලක සිට පවතින දුර්වල ණය හැසිරවීමේ සැබෑ තත්ත්වය, අනාගතය දෙස යතාර්ථවාදී දෘෂ්ඨිකෝණයකින් බැලීම, වියදම් පාලනය, වැනි කාරණා ගැන ඔවුන් අවධානය යොමු කළේ නැහැ.

ග්‍රීසියේ පරිහානිය ඔලිම්පික් හරහා අද පෙනෙන ආකාරය –  theguardian.com 

මධ්‍යධරණී කලාපයේ බංකොලොත් ප්‍රෞඪත්වය

 ග්‍රීසියේ ණය බර සහ ආර්ථික බංකොලොත්භාවයට ඔලිම්පික් සත්කාරකත්වය සෘජුව ම හේතු වුණායැ යි අදහස් වෙන්නේ නැහැ. ග්‍රීසියේ මූල්‍ය අර්බුදය කලක පටන් ක්‍රමික ව විකාශය වූ දෙයක්.  එවකට බලයේ සිටි ග්‍රීක රජය ඔලිම්පික් සත්කාරකත්වයෙන් බලාපොරොත්තු වූ ධනාත්මක බලපෑම් සිහිනයක් පමණක් වූ අතර, ග්‍රීසියේ ණය බර තවත් වැඩි කළ සාධකයක් පමණක් වූවා. 

 2018 දී ග්‍රීසියේ ණය බර එහි ආර්ථිකයෙන් 181.2% ක් වූ අතර, මූල්‍යමය වශයෙන් එය යුරෝ බිලියන 323 කට ආසන්න වෙනවා. පසුගිය දශකය තුළ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක් ලෙස යුරෝපා සංගමය විසින් නියම කර තිබූ සීමාව ග්‍රීසිය ඉක්මවා ගියා. ග්‍රීක ජාතියට ඇස්තමේන්තුගත ප්‍රමාණයට වඩා සහන අවශ්‍ය බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

ඇතන්ස් නගරයේ ඔලිම්පික් ක්‍රීඩාගාරවල අද තත්ත්වය – theguardian.com 

 

ඔවුන් ඒ ප්‍රකාශයන් සිදු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා පදනම් කරගෙන යි. විශාල ණය කපා හැරීමක් සිදු කරන්නේ නැතිනම්, ණය ලබාගෙන සිටින යුරෝපීය රාජ්‍යයන් වෙතින් අවුරුදු 30 ක සහන කාලයක්වත් ග්‍රීසියට අවශ්‍ය බව පැවසෙනවා.

 සමහර විට මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල රසවිඳි ආකාරයෙන් ම ඔබ 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලත් රස විඳින්න ඇති. කෙසේ හෝ ග්‍රීසියට පුරාණයේ සිට උරුම වී තිබූ ඔලිම්පික් ප්‍රෞඪත්වය සාර්ථක ලෙසින් නූතන ලෝකයට පෙන්වන්න 2004 දී හැකි වුණා. එහෙත්, ග්‍රීසියේ ඔලිම්පික් යනු ග්‍රීසියේ මූල්‍ය අස්ථාවරත්වය තවත් වැඩි කළ උත්ප්‍රේරකයක් පමණ යි.

කවරයේ ඡායාරූපය : 2004 ඇතන්ස් ඔලිම්පික් සමාරම්භක උත්සවයේ දර්ශනයක් - olympics.com

මූලාශ්‍ර:

.history.com

businessinsider.com

news.com.au

khelnow.com

cnbc.com

theguardian.com 

Related Articles