Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙක්සිකෝවේ බෝනික්කන්ගේ දූපතේ අභිරහස

අප ජීවත් වන ලෝකයේ අභිරහස්වලින් පිරුණු තැන් ඕනෑතරම් තිබෙනවා. ඉන් සමහර ස්ථානවලට ගිය විට හරි ම ගුප්ත සහ පාළු ස්වභාවයක් දැනෙනවා. මෙක්සිකෝවේ පිහිටා තිබෙන බෝනික්කන්ගේ දූපතත් ඒ වගේ අභිරහස් ස්ථානයක්. 1950 දශකයේ දී පමණ මෙම දූපත අසලින් කුඩා දැරියකගේ මළ සිරුරක් හමුවීමත් සමඟින් අභිරහස් සිදුවීම් මාලාවක ආරම්භය සනිටුහන් වුණා.

එදා සිට දශක 4කට වැඩි කාලයක් පුරාවට දූපත ආශ්‍රිත ව සිදුවුණු යම් යම් සිදුවීම් හේතුවෙන් බෝනික්කන්ගේ දූපත අභිරහස් ස්ථානයක් බවට පත්වුණා. මෙතැන් සිට ඔබට කියන්න යන්නේ ඒ අභිරහස් දූපත පිළිබඳ කතා පුවත යි. 

බෝනික්කන්ගේ දූපතේ පිහිටීම – maps.google.com

බෝනික්කන්ගේ දූපතේ පිහිටීම 

මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටි නගරයේ සිට කිලෝ මීටර් 25ක පමණ  දුරක් දකුණට ගමන් කළ විට ෂෝචිමිල්කෝ බොක්ක හමුවනවා. එතැන් සිට බෝනික්කන්ගේ  දූපතට යාමට වඩාත් ආසන්න මාර්ගය වැටී තිබෙන්නේ එම්බාර්කැඩෙරෝ කූමන්කෝ හරහා යි. එම දුෂ්කර මාර්ගය ඔස්සේ පැයකට වැඩි කාලයක්  ගමන් කිරීමෙන් පසුව අද්භූත බෝකික්කන්ගේ දූපත වෙත ළඟා වන්නට පුළුවන්. මෙම අභිරහස් දූපතට යාමට මඟ පෙන්වන්නකු සොයාගැනීම තරමක් දුෂ්කර කාර්යයක්.

ඒ ඇතැම් උදවිය එහි යාමට දක්වන බිය නිසා යි. ඔවුන් එවැනි බියක් දක්වන්නේ බෝනික්කන්ගේ දූපත පිළිබඳ ව ගෙතී ඇති මිත්‍යා කතා විශ්වාස කරන නිසා යි. බැලූ බැල්මට ම සාමාන්‍ය දූපතක් වන මෙම අපූරු දූපතට අසාමාන්‍ය පෙනුමක් ලැබී තිබෙන්නේ එහි බොහෝ ගස්වල එල්ලා තිබෙන විකෘති කරන ලද බෝනික්කන් නිසා යි. ඒ විදිහට බෝනික්කන්ගේ දූපත ගුප්ත ස්ථානයක් බවට පත්වීමට දොන් ජූලියන් සැන්ටානා නම් පුද්ගලයාගේ ක්‍රියා කලාපය හේතුවක් වුණා.

බෝනික්කන්ගේ දූපත – Direct Supply Network

 

ජූලියන් සැන්ටානා

දොන් ජූලියන් සැන්ටානා බැරෙරේ 1921 වසරේ දී ෂෝචිමිල්කෝ ප්‍රදේශයේ දී උපත ලැබුවා. කුඩා කාලයේ පටන් තරමක් නිශ්ශබ්ද දරුවකු වුණු ජූලියන් හුදෙකලාව ජීවත් වීමට පුරුදු ව සිටියා. සමාජ ආශ්‍රයට එතරම් කැමති නොවුණු ජූලියන් සීමිත මිතුරන් පිරිසක් ඇසුරු කළා. තරුණ වියට එළඹුණු පසුව එම ප්‍රදේශයේ ම තරුණියක් විවාහ කර ගත් ජූලියන් සාමකාමී පවුල් ජීවිතයක් ගත කළා. ඔවුන් දෙපළට දරුවන් ලැබීමෙන් පසුව ජූලියන්ගේ ජීවිතය තරමක් සංකීර්ණ වුණා.

ජූලියන් වගකීම් භාරගැනීමට කැමති වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ හුදෙකලාව කාලය ගත කිරීමට යි. එනිසා දරුවන් ලොකු මහත් වන විට ජූලියන් සහ බිරිය අතර රණ්ඩු සරුවල් ඇති වුණා. ඒවා දුර දිග ගොස් ගුටි බැට හුවමාරු පවා සිදුවුණා. නිතර නිතර රණ්ඩු සරුවල් ඇති වීම නිසා ජූලියන්ට සිය විවාහ ජීවිතය පිළිබඳ ව දැඩි කලකිරීමක් ඇති වුණා. එනිසා ඔහු සිය බිරිය සහ දරුවන් හැර දමා යන්නට තීරණය කළා. 

ජූලියන් සැන්ටානා – spokhistorier.blogspot.com

 

පාළු දූපතක ගත කළ හුදෙකලා ජීවිතය 

ජූලියන් ජීවත් වුණු ප්‍රදේශයේ ටෙෂියුලෝ නමින් අලංකාර විලක් පිහිටා තිබුණා. එම විලට යාබද ව තිබුණු පාළු දූපත ජූලියන්ගේ නව වාසස්ථානය වුණා. කඩිසර පුද්ගලයකු වුණු ජූලියන් ටික දිනකින් ඔහුට ජීවත් වීම සඳහා ලී මඩුවක් සාදා ගත්තා. දූපතට ගිය මුල් දිනවල දී විලෙන් අල්ලාගත් මාළුන් ඔහුගේ ප්‍රධානත ම ආහාරය වුණා.

ඊට අමතරව දූපතේ සරුවට වැවී තිබුණු පලතුරු වර්ගවලින් ඔහු කුස පුරවා ගත්තා. එම දූපතේ පසෙහි තිබුණු සාරවත් ගතිය දුටු ජූලියන් එහි එළවළු වගා කිරීමට තීරණය කළා. ඒ අතරතුර ඔහු නගරය සහ දූපත  අතර ගමනාගමනයෙහි යෙදීම සඳහා කුඩා ඔරුවක් සාදා ගත්තා. 

ඔරුවෙන් නගරයට නිතර ම ගිය ජූලියන් සිය එළවළු වගාව කරගෙන යාමට අවශ්‍ය වුණු දේවල් රැගෙන ආවා. වැඩි කලක් යන්නට පෙර ජූලියන් වගා කළ බිමේ එළවළු සරුවට වැඩෙන්නට පටන් ගත්තා. එනිසා ඔහු සිය එළවළු වගාව සාර්ථක කරගැනීම සඳහා වෙහෙස මහන්සි නොබල වැඩ කළා.

ඒ අයුරින් පාළු දූපතක ජීවත් වුණු ජූලියන්ගේ එකම සතුට වුණේ ඔහුගේ සරුසාර එළවළු වගාව යී. ඒ විදියට නිදහස් ජීවිතයක් ගත කළ ජූලියන් එක්තරා දිනයක අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නා. එම සිදුවීමෙන් පසුව ජූලියන්ගේ ජීවිතය වෙනස් මඟකට යොමු වුණා.

අහම්බෙන් හමු වුණු මළ සිරුර 

සෑම දිනක ම සවස් යාමයේ සිය එළවළු වගාවට වතුර දැමීමට පුරුදුව සිටි ජූලියන් ඒ සඳහා අවශ්‍ය වුණු ජලය ලබාගත්තේ අසල තිබුණු ඇළ මාර්ගයකින්. 1951 වසරේ එක්තරා දිනයක හැන්දෑ යාමයේ ඔහු සුපුරුදු පරිදි වගා කටයුතුවල නිරත ව සිටියා. අඛණ්ඩව වැඩවල නිරත ව සිටීම හේතුවෙන් විඩාවට පත්ව සිටි ජූලියන් ඇළ ඉවුරේ හාන්සි වී මද වේලාවක් විවේක ගත්තා.

ඒ අතරතුර නින්දට ගිය ජූලියන් යළි අවදි වුණේ හෝරාවක් පමණ ගිය පසුව යි. ඒ වන විට හිරු අවරට යාමට ආසන්නව තිබුණු නිසා දවසේ වැඩ කොටස නිමා කිරීමට ඔහු තීරණය කළා. ඉන් අනතුරු ව ජූලියන් ඇළ ඉවුර දිගේ ඉහළට ගියේ ඔහුට හුරු පුරුදු ස්ථානයෙන් දිය නෑම සඳහා යි. 

බෝනික්කන්ගේ දූපතේ දසුනක්- (Journey Mexico

 

එදා සෙමෙන් සෙමෙන් ඇළ ඉවුර දිගේ ඉහළට ගිය ජූලියන් සුපුරුදු නාන තොටුපොළට සේන්දු වුණා. ඒ සමඟ ම දැක ගන්නට ලැබුණු භයංකාර දර්ශනයෙන් ඔහු මහත් සේ තැති ගත්තා. එහි දී ඔහු දුටුවේ ඇළේ ගිලී මරණයට පත්වුණු කුඩා දැරියකගේ නිසල සිරුර යි. එම දැරිය ඇඳගෙන සිටි ගවුමේ තිබුණු ලොකු සාක්කුවක ඇයගේ සුරතල් බෝනික්කා ද සිර වී සිටියා.

තරමක් සංවේදී පුද්ගලයකු වුණු ජූලියන් දැරියගේ මළ සිරුර දැක දැඩි ලෙස සංවේගයට පත්වුණා. ඉන් පසු ව ඔහු දැරියගේ සිරුර මිහිදන් කොට ඒ අසල ම තිබුණු ගසක ඇගේ සුරතල් බෝනික්කා එල්ලා තැබුවා. එම ස්ථානයේ ටික වේලාවක් රැඳී සිටි ජූලියන් රාත්‍රිය ගත කිරීම සඳහා සිය මඩුව වෙත ගියා.  

අමුතු සිදුවීම් මාලාවක ආරම්භය 

එදින රාත්‍රියේ ජූලියන්ට හරි හැටි නින්ද ගියේ නැහැ. මිය ගිය කුඩා දැරිය වරින් වර සිහිනෙන් පෙනුණු නිසා ඔහු බිය වී අවදි වුණා. එය ඔහුගේ ජීවිතයේ දීර්ඝත ම රාත්‍රියක් බවට පත්වුණා. පසුව දා අවදිවීමෙන් පසු ව ඔහුට දැනුණේ තමා දෙස කිසිවකු බලා සිටින බව යි. මිත්‍යා විශ්වාස පිළිබඳ ව උනන්දුවක් දැක්වූ ජූලියන් දැඩි ලෙස විශ්වාස කළේ මිය ගිය දැරියගේ ආත්මය දූපත ආශ්‍රිත ව සැරිසරන බව යි.

ජූලියන් සිය දෛනික වැඩ කටයුතුවල නිරතවෙමින් සිටින විට වරින් වර ඇසුණු ශබ්දවලින් ඔහු තරමක් බියට පත්වුණා. ඇතැම් විට ඒවා ඔහුගේ හිතේ සැකයට ඇසුණු දේවල් වන්නට පුළුවන්. නමුත් දිගින් දිගට ම ඔහුට දැනුණේ මිය ගිය දැරියගේ ආත්මය තමන් සමඟ ජීවත් වන බවයි. එනිසා එම ආත්මයට සැනසීමක් ලබා දෙන්නට ජූලියන් තීරණය කළා.  

ගස්වල එල්ලා තිබුණු විකෘති කළ බෝනික්කන් – Vice

විකෘති කළ බෝනික්කන් සෑම ගහක ම 

මිය ගිය දැරිය ඇඳ ගෙන සිටි ගවුමේ සාක්කුවක ඇයගේ සුරතල් බෝනික්කා සිටි නිසා ජූලියන් අපූරු වැඩක්  කරන්නට කල්පනා කළා. ඒ බෝනික්කන් එකතු කරමින් දූපතේ ගස්වල එල්ලීම මඟින් මිය ගිය දැරියගේ ආත්මයට සැනසීමක් ලබාදීම යි. එහි දී ඔහු බෝනික්කන් ගහේ එල්ලීමට පෙර බෝනික්කන් විකෘති කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

එකල ඇතැම් දිනවල නගරය පුරා ඇවිදිමින් බෝනික්කන් එකතු කිරීම ජූලියන්ගේ ප්‍රධාන රාජකාරියක් වුණා. ඊට අමතර ව එළවළු විකිණීමෙන් ලද ආදායමෙන් කොටසක් ද බෝනික්කන් මිල දී ගැනීම සඳහා ඔහු වෙන් කළා. එලෙස සොයා ගත් බෝනික්කන් විකෘති කර දූපතේ සෑම ගහකම එල්ලූ ජූලියන් උන්මන්තකයකු සේ හැසිරුණා. ඔහු 50 වසරක් පුරාවට ඒ අයුරින් බෝනික්කන් එල්ලීම සිදු කළා. එම කාලය තුළ අහම්බෙන් දූපතට පැමිණි සමහර පිරිස් ගස්වල එල්ලා තිබුණු බෝනික්කන් දැක බිය වී ආපසු ගොස් තිබුණා.

 

ජූලියන්ගේ මරණය 

වසර 50ක් පුරාවට විකෘති කළ බෝනික්කන් ගස්වල එල්ලමින් ජීවත් වුණු ජූලියන් එක්තරා මානසික රෝගයකින් පෙළුණු බව බොහෝ දෙනකුගේ අදහස වුණා. 90 දශකය වන විට ඇතැම් දඩබ්බර තරුණ පිරිස් හොර රහසේ දූපතට එන්නට පටන් ගත්තා. එහි දී ඔවුන් මහලු ජූලියන් පිස්සුවෙන් මෙන් බෝනික්කන් ගස්වල එල්ලන ආකාරය දැක තිබුණා. ඒ අයුරින් ගුප්ත ජීවිතයක් ගත කළ ජූලියන් 2001 වසරේ එක්තරා දිනයක දියේ ගිලී මිය ගොස් තිබුණා.

ජූලියන් බෝනික්කන් සමඟ – NRI Vision

ඔහුගේ මළ සිරුර හමු ව තිබුණේත් දැරියගේ මළ සිරුර හමු වුණු ස්ථානයෙන් වීම විශේෂත්වයක් වුණා. එම සිද්ධිය පිළිබඳ ව දැන ගත් ඇතැම් උදවිය පවසා සිටියේ දැරියගේ ආත්මය මහලු ජූලියන් මරා දමන්නට ඇති බව යි. එසේම තවත් සමහර උදවිය පවසා සිටියේ අනවසරයෙන් දූපතට පැමිණි තරුණයන් පිරිසක් ජූලියන්ගේ ධනය කොල්ල කෑම සඳහා ඔහු මරා දමන්නට ඇති බව යි. ඒ අයුරින් ඔහුගේ මරණය පිළිබඳ විවිධ මත පළවුණත් එදා සිදුවුණේ කුමක්ද යන වග අදටත් අභිරහසක්. 

 

බෝනික්කන්ගේ දූපත අද සංචාරක පාරාදීසයක් 

ජූලියන්ගේ මරණයෙන් පසු ඔහු ජීවත් වුණු දූපත පිළිබඳ ව බොහෝ දෙනකු දැනගත්තා. එනිසා ඈත එපිට පළාත්වල ජීවත් වුණු මිනිසුන් පවා එම දූපත නැරඹීම සඳහා පැමිණියා. දූපතේ සෑම ගසක ම වාගේ විකෘති කළ බෝනික්කන් එල්ලා තිබුණු නිසා එයට බෝනික්කන්ගේ දූපත යන නම ලැබුණා.

දූපත නැරඹීමට පැමිණෙන සංචාරකයින් – Hub Pages

ඒ විදිහට මෙක්සිකෝව පුරා ප්‍රසිද්ධියට පත්වුණු බෝනික්කන්ගේ දූපත පසු කලෙක විදෙස් සංචාරකයන් අතර ද වඩාත් ජනප්‍රිය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට බොහෝ විදෙස් සංචාරකයන් බෝනික්කන්ගේ දූපත නැරඹීම සඳහා පැමිණෙනවා. ඒ විදිහට අද වන විට බෝනික්කන්ගේ දූපත ලොව පුරා ප්‍රසිද්ධියට පත් ව තිබුණත් ජූලියන් එහි ගත කළ ජීවිතය පිළිබඳ ව අභිරහස් රැසක් අදටත් ඉතිරි ව තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- බෝනික්කන්ගේ දූපත - Deccan Chronicle

මූලාශ්‍ර:

discovery.com

medium.com

dustyoldthing.com

Related Articles