Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෝවිඩ්-19 වෙනුවෙන් සල්ලි විසිකරන සුපිරි තරු

2019 වසර අවසානයේ සිට ලොව පුරා පැතිරී යන කොරෝනා වසංගතය රටවල් රැසක ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් මෙම අවස්ථාව වන විට කොරෝනා වසංගතය මැඬලීමට උත්සාහ කරමින් සිටින්නේ, රටේ ආර්ථික තත්ත්වයේ පසුබෑමක් පවතින මොහොතක යි. මෙවැනි අසීරු අවස්ථාවල දී ලෝකයේ සිටින කීර්තිමත් මෙන්ම ජනප්‍රිය පුද්ගලයන් විපතට පත් ජනතාව වෙනුවෙන් අතහිත දීමට ඉදිරිපත් වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. ඔවුන් ඒ සඳහා බොහෝ විට කරන්නේ පුණ්‍යාධාර වැඩසටහන් සංවිධානය කිරීමයි. නමුත්, කොරෝනා වසංගතයේ ස්වභාවය අනුව ජනතාව රැස් වන එවැනි වැඩසටහන් සංවිධානය කිරීම තරමක් අසීරු කාර්යයක් වුණත් ලෝකයේ සිටින ජනප්‍රිය තරු, විපතට පත් ජනතාවට උදව් කිරීමට අමතක කළේ නැහැ. එම නිසාම සිනමා, සංගීත, ක්‍රීඩා, සහ ව්‍යාපාරික වැනි ක්ෂේත්‍රවල සිටින දැවැන්ත චරිත කොරෝනා රෝගීන් වෙනුවෙන් සිය කාලය සහ ධනය වැය කරනු ලැබුවා. 

සිනමා තරු රැසක් කොරෝනා මර්දන සටනට එක් වෙයි 

ලෝකය යම් ව්‍යසනයකට ගොදුරු වන විට මුලින්ම ජනතාවගේ පිහිටට එන අය අතර සිනමා ලෝකයේ තරුවලට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඒ අනුව මේ දිනවල ලොව පුරා පැතිරෙමින් පවතින කොරෝනා වසංගතය මැඩලීමේ සටනට හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා තරු එකතු වී සිටිනවා. සාමාන්‍යයෙන් මෙවැනි විපතක් ඇති වුණු අවස්ථාවල සිනමා තරු බොහෝ විට ආධාර එක්රැස් කිරීමට විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. නමුත්, කොරෝනා වසංගතයේ ස්වභාවය අනුව එය කිරීමට අපහසු කාර්යයක් නිසා ඔවුන් වෙනත්  ආකාරවලින් කොරෝනා මර්දනයට දායක වී තිබෙනවා. එහි දී ආනල්ඩ් ස්වාසනේගර්, ලියනාඩෝ ඩී කැප්‍රියෝ, සැන්ඩ්‍රා බුලොක්, ඇන්ජලීනා ජොලී ඇතුළු සුපිරි හොලිවුඩ් නළු නිළියන් මූල්‍යමය පරිත්‍යාග, ආහාර තොග, සෞඛ්‍ය උපකරණ වැනි දේ කොරෝනා සටන ජයගැනීම වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

ඇන්ජලීනා ජොලී (khaleej Times)

හොලිවුඩ් සිනමා තරු සේම බොලිවුඩ් සිනමා තරු ද, කොරෝනා වසංගතය නිසා විපතට පත්ව සිටින ජනතාවට විශාල වශයෙන් ආධාර ලබාදෙමින් සිටිනවා. එහි දී සමාගම් රැසක හිමිකරුවෙකු වන සුපිරි නළු ෂාරුක් ඛාන්, විවිධ ක්ෂේත්‍රයන් සඳහා මූල්‍යමය ආධාර රැසක් ලබාදී තිබෙනවා. එසේම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සිටින දුප්පත් පවුල්වලට වියලි ආහාර ලබාදීමටත් ඔහු කටයුතු කරනු ලැබුවා. ඔහුට අමතරව දීපිකා පදුකෝන්, ප්‍රියන්කා චොප්රා, ආක්ෂේ කුමාර්, සල්මන් ඛාන්, කත්‍රිනා කයිෆ්, සෝනම් කපූර්, ශිල්පා ෂෙට්ටි, සනී ඩියොල්, සහ රිතික් රෝෂන් වැනි බොලිවුඩ් නළු නිළියන් රැසක් කොරෝනා සටනට විවිධ අයුරින් ආධාර ලබා දී තිබෙනවා. එසේම, කොලිවුඩයේ ජනප්‍රිය තරුවන් වන රැජිනිකාන්ත් ද කොරෝනා මර්දනය සඳහා සිය දායකත්වය ලබාදෙමින් තිබෙන බව සිහිපත් කළ යුතු යි. 

ෂාරුක් ඛාන් (MM TV News)

සංගීත ලෝකයේ දැවැන්තයන් රැසක් කොරෝනා මර්දනයට එක් වෙයි  

සිය හැකියාවන්ගෙන් ජනතාව පිනවන අපූරු ජන කොටසක් වන සංගීත තරු, මෙවැනි විපත්වල දී සෑමවිටම අසරණ පුද්ගලයන්ට පිහිටවනවා. සාමාන්‍ය විපත් අවස්ථාවක දී ඔවුන් ආධාර සොයාගනු ලබන්නේ සංගීත ප්‍රසංග සංවිධානය කිරීමෙන්. නමුත්, කොරෝනා වසංගතයේ ස්වභාවය අනුව ඔවුන්ට එවැනි කාර්යයක් කිරීම අපහසු වනවා. එම නිසාම සංගීත ලෝකයේ දැවැන්තයන් විවිධ ආකාරයෙන් කොරෝනා මර්දනයට සිය සහාය ලබාදෙමින් සිටිනවා. එහි දී ජස්ටින් බීබර්, ලේඩි ගාගා, රිකී මාටින්, ලතා මංජේස්කාර්, හැස්ලි, එල්ටන් ජෝන්, රිහානා වැනි සංගීත ලෝකයේ සුපිරි තරු සිය ආධාර ලබාදුන්නා. ඔවුන් අතුරින් ලේඩි ගාගා, රිකී මාටින්, හැස්ලි, සහ රිහානා වැනි අය සෞඛ්‍යය අංශවලට අයත් උපකරණ, සෞඛ්‍යය සේවකයන්ට අවශ්‍ය දේවල් පරිත්‍යාග කරන විට ජස්ටින් බීබර්, ලතා මංජේස්කාර් සහ විවිධ අරමුදල් සඳහා මූල්‍යමය පරිත්‍යාග කර තිබුණා. තව ටික කලෙකින් කොරෝනා වසංගත තත්ත්වය සමනය වුණොත්, මෙම සුපිරි තරුවලට විවිධ ප්‍රසංග පවත්වා ජනතාවට වැඩිදුරටත් ආධාර ලබාදීමට අවස්ථාව උදාවනු ඇති.  

රිහානා (The Star Online)

සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් විපතට පත් අයට ආධාර 

පසුගිය කාල සමයේ ස්වභාවික විපත් නිසා ජනතාව පීඩාවට පත් වුණු අවස්ථාවල දී ක්‍රීඩකයන් විවිධ අරමුදල් වෙනුවෙන් තරග සංවිධානය කර, ඒවායින් ලැබුණු මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා. නමුත්, කොරෝනා වසංගතය පැතිරී යන මෙම කාල සමයේ ඔවුන්ට එවැනි කාර්යයක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එම නිසාම ක්‍රීඩා රැසකට සම්බන්ධ විවිධ ක්‍රීඩකයන්, ක්‍රීඩා සමාජ, සහ ක්‍රීඩා ආයතන කොරෝනා මර්දනය සඳහා විවිධ ආකාරයේ ආධාර ලබා දී තිබෙනවා. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හඳුන්වනු ලබන්නේ පාපන්දු ක්‍රීඩාව යි. පාපන්දු ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩකයන් රැසක්ම ධනවත් ක්‍රීඩකයන් වනවා. වර්තමානයේ දී පාපන්දු ලොව සිටින සුපිරිම ක්‍රීඩකයන් යුගලයක් වන ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, කොරෝනා සටන වෙනුවෙන් විශාල ලෙස පරිත්‍යාගයන් කර තිබෙනවා. කොරෝනා වසංගතය නිසා දැඩි ලෙස විපතට පත් වී සිටින රටවල් අතර ඉතාලිය, ස්පාඤ්ඤය, සහ එංගලන්තය ඉදිරියෙන්ම සිටිනවා. මෙම රටවල්වල බාර්සිලෝනා, රියල් මැඩ්‍රිඩ්, යුවෙන්ටස්, මැන්චෙස්ටර් යුනයිටඩ් වැනි ධනවත් පාපන්දු ක්‍රීඩා සමාජ රැසක් පිහිටා තිබෙනවා. එම ක්‍රීඩා සමාජවල හිමිකරුවන් ද එම රටවල විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමට අමතක කළේ නැහැ. 

ලියොනල් මෙසී (goal.com)

පාපන්දු ක්‍රීඩකයන් එසේ සිය යුතුකම ඉටුකරන විට, වර්තමාන ක්‍රිකට් පිටියේ රැඳී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට ඉදිරිපත් වුණා. එසේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින සුනිල් ගවස්කාර්, සචින් ටෙන්ඩුල්කාර් වැනි ක්‍රීඩකයන් ද සිය රටේ ජනතාවට ආධාර කරනු ලැබුවා. ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් එලෙස කොරෝනා සටන්ට එක්ව සිටින විට ශ්‍රී ලංකාවේ හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් ද ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට ඉදිරිපත් වුණු බව බොහොම ගෞරවයෙන් සිහිපත් කළ යුතු යි. එසේම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද කොරෝනා මැඩලීමට ලබාදුන් මූල්‍යමය ආධාරය පිළිබඳව මෙහි දී අමතක නොකළ යුතු යි. ඊට අමතරව ක්‍රීඩා ලෝකයේ සිටින දැවැන්තයන් වන රොජර් ෆෙඩරර්, ටයිගර් වුඩ්ස් සහ උසේන් බෝල්ට් ද කොරෝනාව වෙනුවෙන් සිය පරිත්‍යාගයන් සිදුකළ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු යි.

සචින් ටෙන්ඩුල්කාර් (DNA India)

ධනවත් ව්‍යාපාරිකයන් රැසක් කොරෝනාව මැඩලීමට එක් වෙයි  

කොරෝනා වසංගතය මැඩලීමට ලොව පුරා සිටින ධනවත් ව්‍යාපාරිකයන් රැසක් විශාල වශයෙන් මූල්‍යමය සහ වෙනත් ආකාරයේ ආධාර ලබා දී තිබෙනවා. එහි දී අලිබබා ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා, මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාටෘ බිල් ගේට්ස්, හොංකොං රාජ්‍යයේ සිටින ධනවත්ම මිනිසා වන ලී කා-ෂින්ග්, විලාසිතා නිර්මාණයෙන් ලොව පුරා ප්‍රසිද්ධව සිටින ජෝර්ජියෝ අර්මානි, ෆේස්බුක්හි නිර්මාතෘ මාක් සකස්බර්ග්, සහ කෝටිපති ඉන්දියානු ව්‍යාපාරික මුකේෂ් අම්බානි දිගින් දිගටම කොරෝනා මර්දන කටයුතු සඳහා සිය සහාය ලබාදෙමින් සිටිනවා. එහි දී ඔවුන් ලබා දී ඇති මහා පරිමාණයේ ආධාරවලින් මේ වන විටත් විපතට පත් ජනතාවට සහන රැසක් ලබාදීමට හැකි වී තිබෙනවා. 

බිල් ගේට්ස් (gates note)

කවරයේ ඡායාරූපය- කොරෝනා වෙනුවෙන් ජැක් මා සහ සකස්බර්ග් එකතු වෙමින් (weforum)  

මූලාශ්‍රයයන්- 

Indiatimes.com, 

businessinsider.com, 

fifa.com 

Related Articles