උතුරේ ජනතාව නිහඬ වූ පළාත් පාලන මැතිවරණය

පළාත් පාලන මැතිවරණය සඳහා ඇත්තේ තව දින කිහිපයක් පමණි. උතුරේ ඡන්ද ප්‍රචාරක කටයුතු බොහෝ දුරට සාමකාමීව සිදුවන බවක් එහි සංචාරය කළ අපට දැකගත හැකි විය. පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය තහනම් කර තිබුණ ද එම නීතිය කඩවූ තැන් නැතුවාම නොවෙයි. ඒවායින් ද වැඩිපුරම ඇත්තේ දකුණේ දේශපාලන පක්ෂවල පෝස්ටර් ය. යාපනය ජනතාවට ද මැතිවරණයක් පැවැත්වෙන්නේ දැයි වගේ වගක් නැත. සාමාන්‍යයෙන් මැතිවරණයක් එපා විය යුත්තේ දකුණේ ජනතාවට වුවත් උතුරේ ජනතාවට නම් දැන්ම එය එපා වී ඇති සේ ය.

tamilguardian.com

අනාවැකි කීම අසීරු මැතිවරණයක්

පසුගිය මහා මැතිවරණයේ දී නම් ජනතා අපේක්ෂාවන් සහ බලයට පත්වන්නේ කව්රුන් ද යන්න පැහැදිලිව දක්නට ලැබුණු නමුත් මෙවර උතුරේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අනාවැකි කියන්නට කිසිවකුටත් නොහැකි වීම තරමක් විමතිය දනවන කරුණකි. ජනතාවගෙන් පිළිඹිබු වන්නේ නිහඬතාවයකි. යාපනය දිස්ත්‍රික්කයේ විශාල දේශපාලන රැළි පැවැත්වුණේ අවමයෙනි. දේශපාලන පක්ෂ වැඩි කැමැත්තක් දක්වනුයේ කුඩා ජනහමු පැවැත්වීමට ය. යුද්ධය අවසන්ව වසර අටක් ගත වී ඇතත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න තවමත් එතැනම ය. අතුරුදන්වූවන්, රැකියා විරහිතභාවය, ජල ප්‍රශ්නය, නිවාස ප්‍රශ්නය, ඉඩම් ප්‍රශ්නය, ආදායම් මාර්ග නොලැබීම ආදී ජනතා ගැටළු බොහොමයකට තවමත් විසඳුම් ලැබී නොමැත. මේ නිසා උතුරේ ජනතාව පොරොන්දු දේශපාලනය කෙරෙහි වැඩි විශ්වාසයක් තබනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

වෙනස්කම් කිහිපයක් නිසා මෙවර පලාත් පාලන මැතිවරණය සුවිශේෂත්වයක් උසුළයි. ඒ අතර නව මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමත්, වෙන කවරදාකවත් නොවුණු පරිදි 25% ක කාන්තා නියෝජනයක් ස්ථිර කර තිබීමත් එම සුවිශේෂීතාවන් ලෙස හඳුනාගත හැක.

මෙම මැතිවරණය පවත්වනු ලබන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමක් හරහා ය. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර සිටම මැතිවරණ කොමිසම මගින් ප‍්‍රචාරක කටයුතුවලට අදාළව වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබීය. ඒ අතර ඡන්ද ප‍්‍රචාරක පෝස්ටර් හා කටවුට් ප‍්‍රදර්ශනය නොකිරීම, ආගමික ස්ථානවල ජන්ද ප‍්‍රචාරක කටයුතු සිදු නොකිරීම, මාධ්‍ය හා සමාජ මාධ්‍ය වලින් සිදුකරන ප‍්‍රචාරක කටයුතු ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් රෙගුලාසි පනවනු ලැබීය.

srilankabrief.org

සදාචාරවත් ඡන්ද ක‍්‍රමයක් සඳහා මෙම පියවරයන් අනුගමනය කිරීම සුදුසු බව අමුතුවෙන් කිවයුතු නොවේ. දියුණු රටවල මැතිවරණයක් පැවැත්වෙනවා යනු අපේ රටවල මෙන් මහත් ඝෝෂාකාරී වූ ක්‍රියාවලියක් නොවෙයි. එම රටවල සමාජයට ගැළපෙන අන්දමින් සුදුසු ප‍්‍රචාරක ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් මහජනතාවට හිසරදයක් නොවන පරිදි මැතිවරණ මෙහෙයවීම සිදු වේ. එහෙත් ආසියානු රටවල තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් ය. උපරිම ධනය සහ සම්පත් වැය කරමින් කෙසේ හෝ මහජනතාවගේ ඡන්දය ලබා ගැනීමට දේශපාලනඥයෝ වෙර වීරිය දරති. ලංකාවේ වසර ගණනාවක් තිස්සේ ක‍්‍රියාත්මක වන සමානුපාතික මැතිවරණ ක‍්‍රමය තුළ ද  ජන්ද ප‍්‍රචාරනය සඳහා විවිධ උපක්‍රම උපයෝගී කර ගැනීමට සිදුවිය.

නව මැතිවරණ ක‍්‍රමය යටතේ ඉලක්ක කෙරෙන්නේ කොට්ඨාශ ක‍්‍රමයයි. මෙමඟින් කොට්ඨාශයේ සීමාව ඇතුළත ජන්ද ප‍්‍රචාරක කටයුතු කිරීමට සිදුවන නිසා එය එක්තරා දුරකට සමානුපාතික මැතිවරණ ක‍්‍රමයට වඩා පහසුවක් සේ සැලකිය හැකිය. කෙසේ නමුත් නව මැතිවරණ ක‍්‍රමය සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පනවන ලද රෙගුලාසි යහපත් වුව ද ඒවා වත්මන් මැතිවරණ ක‍්‍රමය තුළට ආදේශ කිරීමට යාමේදී යම් යම් ගැටලු පැනනැගී ඇති ආකාරයක් දක්නට ලැබේ. ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ජනතාවට සිය අපේක්ෂකත්වය හඳුන්වාදීමයි. වාර්ගික හා සංස්කෘතිකමය වශයෙන් ගත් කළ මෙම සීමා කිරීම් ප‍්‍රශ්නකාරී වී ඇති අන්දම යාපනය සංචාරයේ දී අපට අවබෝධ විය.

යාපනය දිස්ත‍්‍රික්කයෙන් මෙවර මැතිවරණයට කාන්තාවෝ විශාල පිරිසක් ඉදිරිපත් වී සිටිති. යාපනය දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 17කි. මැතිවරණ කොට්ඨාශ ගණන 11කි. ග‍්‍රාම නිලධාරී වසම් 435කි. එම මැතිවරණ කොට්ඨාශ 11 සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 3000 කට අධික ය. ඉන් අඩක්ම කාන්තාවන් වේ.

මැතිවරණ සීමා කාන්තා අපේක්‍ෂිකාවන්ට අසාධාරණයක් කර ඇද්ද?

රචකයාගෙනි

කාන්තාවන් වැඩි පිරිසක් මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වීම පැසසිය යුතු ය. විශේෂයෙන්ම අපේක්ෂිකාවන් අතරින් නව මුහුණු ගණනාවක්ම මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. ඡන්ද ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පනවන ලද රෙගුලාසි නිසා නවක මුහුණුවලට ජනතාව අතරට යාමේ දුෂ්කරතා මතු වී තිබෙන බවට අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් මැසිවිලි නැගෙයි. ඡන්දදායකයන්ගේ පැත්තෙන් ප‍්‍රකාශ වන්නේ මෙවර ඡන්දයට ඉදිරිපත් වන්නේ කවුදැයි කියාවත් තමන් නොදන්නා බවයි. මෙය උතුරට සහ දකුණට පොදු තත්ත්වයක් වුවත්, සමාජමය හා සංස්කෘතිකමය වශයෙන් වෙනස්කම් දක්නට ලැබෙන උතුරේ දිස්ත‍්‍රික්කයක කාන්තා අපේක්ෂිකාවන් අරභයා මේ තත්ත්වය වඩා සංකීර්ණ ස්වභාවයක් ගනී.

ඡන්දය ඉල්ලීම මෙන්ම ප‍්‍රකාශ කිරීම ද මහජනතාව සතු අයිතියකි. ජන්දය ඉල්ලන්නාට ජනතාව අතරට යමින් සිය අදහස් ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති අතර ජනතාවට ද තමන් ඡන්දය භාවිතා කරන්නේ කවුරුන්ට ද කුමන ආකාරයේ පුද්ගලයින්ට ද යන්න අවබෝධ කරගැනීමට අවස්ථාව තිබිය යුතු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නියෝජන ක‍්‍රමයක් සාර්ථක එකක් වන්නේ මෙම සන්නිවේදනය නිසියාකාරව සිදුවුවහොත් පමණි.

යාපනය යනු කුලවාදය තදබල ලෙස මුල් ඇදගත් ප‍්‍රදේශයකි. කුලවාදය බාහිරයට පෙනෙන තරමටම බරපතල ය. දකුණේ කුලවාදය කි‍්‍රයාත්මක වන්නේ වඩා විවෘතව නොවන නමුත් උතුරේ එය විවෘතව කි‍්‍රයාත්මක වන ආකාරයක් දක්නට ලැබේ. මෙම තත්ත්වය ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී ද බලපැවැත්වේ. ඡන්ද ප‍්‍රචාරක දැන්වීම් හරහා ජනතාව අතරට යාමට නොහැකි වූ වාතාවරණයක් තුළ අපේක්ෂකයන්ට සිදුවන්නේ ගෙන් ගෙට ගොස් ප‍්‍රචාරක කටයුතු සිදු කිරීමට යි. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණයට යාපනය දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂිකාවක අප වෙත සඳහන් කළේ සමහර අපේක්ෂකයින්ට මෙන්ම අපේක්ෂිකාවන්ට නිවෙස් වලට යාමේ දී චකිතයක් මතුවන බවත් කාන්තාවක් වීම මෙන්ම කුල ප‍්‍රශ්නය ද ඒ සඳහා බලපාන බවත්ය. ඇතැම් කුලවාදී පවුල් පහළ යැයි සම්මත කුලයන්ගෙන් පැමිණෙන අපේක්ෂකයින් නොපිළිගැනීම මීට එක් හේතුවකි. තව ද දමිළ සංස්කෘතියේ කාන්තාවන්ට නියමිත ස්ථානය නිසා ද ඡන්ද ව්‍යාපාර කටයුතු වල දී සිය මීළඟ පියවර පිළිබඳව කීපවරක්ම සිතීමට කාන්තා අපේක්ෂිකාවන්ට සිදු වේ.

sundayobserver.lk

යාපනයේ, විශේෂයෙන්ම දුර බැහැර ප‍්‍රදේශ ගතහොත්, අන්තර්ජාල පහසුකම කොහෙත්ම නැත. එම නිසා සමාජ මාධ්‍ය වලින් ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම ද උගහට ය. මෙවන් වාතාවරණයක් හමුවේ සිය අපේක්ෂකත්වය පිළිබඳව මහජනතාවට දැනුම්දීමේ යාන්ත‍්‍රණයක් ඡන්ද අපේක්ෂකයින්ට නොමැත. යාපනයේ නව ඡන්ද අපේක්ෂිකාවන්ට මේ නිසා සිදුව තිබෙන්නේ අසාධාරණයකි.

“පෝස්ටර් තිබුණා නම් අපිට ගෙයින් ගෙට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පෝස්ටරයක් ඕනම කෙනෙකුට පේනවා. අපේ පෝස්ටරයක් ඇලෙව්වහම අපි ගැන දැනගන්න පුළුවන්කම ලැබෙනවා. යම් ප‍්‍රමාණයකට හරි පෝස්ටර් ගහන්න ඉඩ දුන්නා නම් හොඳයි”

යාපනයෙන් මෙවර ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවක අප සමඟ එලෙස පැවසුවා ය.

තව ද ආගමික ස්ථානවල සහ ඒ ආසන්නයේ ඡන්ද රැස්වීම් පැවැත්වීම තහනම් බවට නීතියක් පවතී. එම නීතිය විවේචනය කිරීම අපගේ අදහස නොවුණත්, අදාල නීතිය හේතුවෙන් යාපනය වැනි දිස්ත‍්‍රික්කයක ජන්ද රැස්වීම් පැවැත්වීමට සහ මයික‍්‍රෆෝන භාවිත කිරීමට ඇත්තේ අඩු ඉඩකඩකි. මන්ද එහි නිවෙස් තරමටම හින්දු කෝවිල් ද පිහිටන තැන් බොහෝ නිසා ය. උදාහරණයක් ලෙස නල්ලූර් මැතිවරණ කොට්ඨාශය ගතහොත් නල්ලූර් කෝවිල සහ තවත් කෝවිල් කිහිපයක් එක පොකුරට පිහිටා තිබේ. මේ නිසා ඡන්ද රැස්වීම් පැවැත්වීමේ දී සහ මයික‍්‍රෆෝන භාවිත කිරීමේ දී බොහෝ විට සීමා කිරීම් පනවා ගන්නට සිදුව තිබේ. එනිසා එවැනි ප‍්‍ර‍්‍රදේශවල අපේක්ෂකයින්ට ප්‍රචාරණ කටයුතුවල දී අසාධාරණයක් සිදු නොවන්නේ යැයි කිවනොහැක. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කළ පරිදි ඡන්දය ලෞකික දෙයක් වන නිසා ආගමික කටයුතුවලට එය බාධාවක් නොවිය යුතු ය. නමුත් ජනතාව අතරට යාමට විකල්පයක් තිබිය යුතු බව අපේක්ෂක අපේක්ෂිකාවන් පවසයි.

යාපනය දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ටී. අකිලන් මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ ආගමික ස්ථාන ආසන්නයේ ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමට අපහසු වීම සම්බන්ධයෙන් නිරන්තරව පැමිණිලි ලැබෙන නමුත් එයට අදාල නීතිය ක‍්‍රියාත්මක කිරීමට තමන්ට සිදුවන බව ය. ඔහු තවදුරටත් සඳහන් කළේ පෝස්ටර් ඉවත් කිරීමේ ක‍්‍රියාවලිය නිසි පරිදි සිදුවන බව යි. එක් පක්ෂයක් විසින් පෝස්ටර් අලවා ඇති අවස්ථාවක තවත් පක්ෂයක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි සිදුකරන බවත් ඒ අනුව වහාම ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේ ය. අපේක්ෂකයින්ට ප‍්‍රචාරණ කටයුතු සඳහා තිබෙන අඩු අවස්ථාව පිළිබඳව කළ විමසීමේ දී අකිලන් මහතා සඳහන් කළේ තමාගේ ද පෞද්ගලික අදහස වන්නේ ලංකාව වැනි රටක ඡන්ද අපේක්ෂකයින් පිළිබඳව ජනතාව දැනුවත් වීමට තිබෙන අවස්ථාව ප‍්‍රමාණවත් නොමැති බව යි.

Cover Image – srilankamirror.com

Related Articles