දකුණු ආසියානු තාක්ෂණ සහ වෛද්‍ය ආයතනය (South Asian Institute of Technology and Medicine – SAITM), එහෙමත් නැතිනම්, කවුරුත් දන්නා විදිහට කිව්වොත් සයිටම් එක ඔන්න ආයෙත් ලංකාවේ කතා බහ කෙරෙන මාතෘකාවක් වෙලා. හැමදාමත් වගේ මේ සැරෙත් අවධානය යොමු වෙලා තියෙන්නේ මේකේ අඩුපාඩු ගැනයි. කාලයක් තිස්සේ මේ ආයතනයේ සද්භාවය ගැන ගැටළු ඇති වෙන තොරතුරු සැරින් සැරේ එළියට එනවා. ඒ වගේම ආයතනයේ ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැනයි, විශේෂයෙන්ම සායනික පුහුණුව ගැනයි බොහෝ දෙනා ප්‍රශ්න කරන තත්ත්වයක් ඇති වෙලා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, නැතිනම් SLMC එකත් සයිටම් සිසුන්ට රජයේ රෝහල් වල සීමාවාසික පුහුණුව ලබා දෙන එක ප්‍රතික්ෂේප කරනවා. මේ ළඟදී SLMC එකේ සභාපති කාලෝ ෆොන්සේකා මහත්මයා කියල තිබුණා සයිටම් සිසුන්ට රජයේ වෛද්‍යවරුන් විදිහට පිළිගැනීමක් ලබා දෙන එක වළක්වන්න උසාවි නියෝග වුණත් කඩ කරන්න ලෑස්තියි කියලා. ඉතින් අන්තිමට මේකත් කලින් ආවේ කිකිළි ද බිත්තරේ ද කියන ප්‍රශ්නේ වගේම කිසිම කෙළවරක් දකින්න බැරි ප්‍රශ්නයක් බවට පත් වෙලා. සයිටම් සිසුන්ගේ උපාධිය SLMC එක පිළි ගන්නේ නැති නිසා ඔවුන්ට රජයේ රෝහල් වල සීමාවාසික පුහුණුව ලබන්න බැහැ. රජයේ රෝහලක සීමාවාසික පුහුණුව නැති නිසා සයිටම් සිසුන්ට වෛද්‍යවරුන් විදිහට SLMC පිළිගැනීම ලැබෙන්නේ නැහැ. (මීට වඩා මේක ටිකක් සංකීර්ණයි, ඒ ගැන තව ටිකකින් කතා කරමු)

ලංකාවේ වෛද්‍ය සභාව මේ වගේ දැඩි මතයක ඉන්න නිසා සයිටම් එකට මිලියන ගණන් ගෙවලා අවුරුදු ගාණක් කැප කරලා උපාධි ගත්තු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වෘත්තීය අනාගතය අඳුරු වෙන බව කාටත් පෙනෙන දෙයක්. හැබැයි සයිටම් එකට විරෝධය පළ කරන අයගේ තර්කයේත් සැළකිය යුතු වලංගු භාවයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේ පැත්තේ සටන මෙහෙයවන්නේ. ඔවුන් කියන්නේ සිසුන් කිහිප දෙනෙක්ගේ අනාගතය ගැන විතරක් හිතලා ලංකාවේ මිලියන 20කට වැඩි මහජනයාගේ ජීවිත අනතුරේ හෙළන්න බෑ කියලයි.

පසුබිම

මාළඹේ පිහිටා තියෙන සයිටම් (SAITM) කැම්පස් එක. රූපය : ft.lk

2009 වර්ෂයේ ආරම්භ වුණු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය මුලින් පටන් ගත්තේ ද්විත්ව පාඨමාලාවක් විදිහටයි. ඒ අනුව පාඨමාලාවෙන් මුල් කොටස ශ්‍රී ලංකාව තුළදීත්, අවසන් කොටස සයිටම් ආයතනයට අනුබද්ධ රුසියානු විශ්වවිද්‍යාලයකදීත් සම්පූර්ණ කෙරෙන බවට ප්‍රකාශ කෙරුණා. කොහොම වුණත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA එක) කියන්නේ මේ සයිටම් ආයතනය මුලදී වෛද්‍ය පීඨයක් කරන්න කිසිම සුදානමක් තිබුණේ නැහැ කියලයි. SAITM  කියන වචනයේ අන්තිම M අකුර දැන් Medicine හෙවත් වෛද්‍ය කියන අර්ථය එන්න පාවිච්චි කෙරුණත් ඉස්සර මේක Management හෙවත් කළමනාකරණ කියන අදහස එන්නයි සැලසුම් කෙරුණු බවයි ඔවුන් කියන්නේ. ඉතින් මේක කළමනාකරණ පීඨයක් විතරයි කියලා ඔවුන් කියනවා. ඒ වගේම පහුගිය කාලේ මාධ්‍ය වාර්තා වලත් පළ වුණා රුසියානු රජයෙන් සයිටම් සිසුන්ට ඒ රටේ නිෂ්නි නොව්ග්‍රෝද් ජාතික වෛද්‍ය ඇකඩමියේ (Nizhny Novgorod State Academy of Medicine – NNSAM) MD උපාධිය ලබා දෙන්න හෝ සයිටම් සිසුන්ට නිෂ්නි ඇකඩමියට ඇතුලත් වෙන්න කිසිම අවසරයක් දීල නැති බව.

ඒ වගේම සයිටම් ආයතනය ආරම්භ කරන්න කලින් ලංකා ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කරපු අයදුම්පතේ අදාළ ආයතනයේ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න යනවා කියන එක කිසිසේත් සඳහන් වෙන්නේ නැහැ කියන එකත් GMOA එක කරන තවත් චෝදනාවක්. ඒ වගේම ඔවුන් 2010 අවුරුද්දේ නිකුත් කරපු වාර්තාවකට අනුවත් සයිටම් විශ්වවිද්‍යාලය පවත්වා ගෙන යන්නේ ගුණාත්මක අතින් බොහොම අඩු මට්ටමක බවත්, ඒ නිසා ජාතික සෞඛ්‍ය සේවයට සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවත් දක්වලා තියෙනවා.

මේ සියල්ලටම අමතරව සයිටම් එකෙන් සිසුන්ව ප්‍රමාණවත් තරමට දැනුවත් නොකර බඳවා ගත්ත බවටත් ඔවුන් චෝදනා කරනවා. විශේෂයෙන්ම නොමග යවන සුළු දැන්වීම් පල කරලා සයිටම් එකෙන් දෙන උපාධිය වෛද්‍ය සභාවේ අනුමත එකක් බවට ඇඟවීම තුළින් සිසුන්ව වංචාකාරී විදිහට බඳවා ගත්තා කියන එකත් තවත් බරපතල චෝදනාවක්.

වෛද්‍ය විද්‍යාලයකින් MBBS හෝ වෙනත් ඒ හා සමාන වෛද්‍ය සුදුසුකමක් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය තිබීම අත්‍යාවශ්‍යයි. ඒ විදිහේ පිළිගත්තු ආයතනයකින් ලබා දෙන වෛද්‍ය උපාධියක් හිමි කෙනෙකුට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවුරුද්දක තාවකාලික ලියාපදිංචිය පිරිනමනවා. ඒ අවුරුද්දක කාලය තුලදී ඔවුන් සීමාවාසික පුහුණුවකට යොමු කෙරෙනවා. මේ සීමාවාසික පුහුණුව සතුටුදායක විදිහට අවසන් කරන අයට තමයි ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයෙකු විදිහට කටයුතු කරන්නත්, ශල්‍යකර්ම සිදු කරන්නත් අවසරය ලැබෙන්නේ. පේන විදිහට මෙතන ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ සයිටම් එක ලංකාවේ වෛද්‍ය සභාවේ නිර්ණායක වලට අනුකූල වෙන්නයි, ගුණාත්මක භාවය පවත්වා ගන්නයි අපොහොසත් වෙලා තියෙන එක.

අනවබෝධය වැළැක්වීම සඳහා පොඩි පැහැදිලි කිරීමක් කළොත් සායනික පුහුණුව සහ සීමාවාසික පුහුණුව කියන දෙකේ වෙනසක් තිබෙනවා. සායනික පුහුණුව කියන්නේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් විදිහට ඉන්න කාලයේ ලබා ගන්නා පුහුණුවයි. සයිටම් ආයතනයේ මෙය ලබා දෙන්නේ සිව් වන සහ පස් වන වසර වලදීයි. නමුත් සීමාවාසික පුහුණුව කියන්නේ තාවකාලික වෛද්‍ය ලියාපදිංචියක් යටතේ කරන පුහුණු වීමක්. ඒ වෙනකොට සිසුන් වෛද්‍යවරයෙක් ලෙස වෘත්තියේ නියැලෙන්න අවශ්‍ය දේ සම්පූර්ණ කරලා ඉවරයි. ඒ විදිහට අවුරුද්දක් වැඩ කරාට පසුව තමයි සම්පූර්ණ වෛද්‍ය බලපත්‍රය හිමි වෙන්නේ.

සරලව කිව්වොත් සීමාවාසික පුහුණුවත් තාවකාලික රියදුරු බලපත්‍රය වගේ තමයි. ඒ වෙනකොට වාහන එළවන්න සම්පූර්ණ හැකියාව තිබුණත් මාස තුනක් තාවකාලික තත්වයෙන් ඉඳලා තමයි රියදුරු බලපත්‍රය ලැබෙන්නේ. සායනික පුහුණුව කියන්නේ බලපත්‍රය ලබා ගන්න කලින් වාහනයේ ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගන්නා කාලය වගේ එකක්. මේ උදාහරණය වැඩි දෙනෙක්ට වැටහේවි කියලා හිතනවා. වෛද්‍යවරයෙකුට මේ පුහුණු කිරීම් දෙකම වැදගත්. සයිටම් සිසුන් සායනික පුහුණුව ලබා ගත්තේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන්. (ඔවුන්ට අවිස්සාවේල්ල සහ කඩුවෙල රෝහල් වලටත් යන්න උසාවි නියෝගයකින් අවසර තිබුණා) කෙසේ වෙතත් ඔවුන් වෛද්‍යවරුන් වෙන්න සීමාවාසික පුහුණුවක් අත්‍යාවශ්‍යයි. ඒක රජයේ රෝහලක ලබා නොදීමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ.  ඊට එක හේතුවක් විදිහට දක්වලා තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සායනික පුහුණුව අඩුපාඩුකම් ඇති බවයි. තේරෙන විදිහට කිව්වොත් ලර්නර්ස් එකේ තියෙන්නේ එක වාහනයක් විතරක් නිසා හැම වාහනයක්ම එළවන්න තාවකාලික බලපත්‍රයවත් දෙන්න බෑ කියනවා වගේ එකක්.

සයිටම් ආයතනය දෙන උත්තරය

ඕන තරම් දකින්න ලැබෙන “සයිටම් එපා” උද්ඝෝෂණයක්. රූපය : intca.org

මේ අතරේ සයිටම් එකේ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය (Professor of Surgery) සහ ආයතනයේ හිමිකාරීත්වය දරන නෙවිල් ප්‍රනාන්දු මහත්මයා මේ ප්‍රශ්නය ගැන පැවැත්වුණු රූපවාහිනී විවාද ගණනාවකදීම කියපු දෙයක් තමයි සයිටම් ආයතනය ආරම්භ කරපු ද්විත්ව වැඩසටහනට ලංකා වෛද්‍ය සභාව විරුද්ධ වුණු බව. ඔවුන් සයිටම් ආයතනයට නිර්දේශ කරලා තියෙනවා උපාධි පිරිනමන ආයතනයක් බවට පත් වෙන්න කියලා. (වෛද්‍ය ආඥා පනත යටතේ ද්විත්ව වැඩසටහන් වලට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දෙන්න බෑ) 2011 අවුරුද්දේ නිකුත් කරපු ගැසට් ප්‍රකාශනයකිනුත් සයිටම් ආයතනයට පෞද්ගලික වෛද්‍ය පීඨයක් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දුන් බව ප්‍රකාශයට පත් කෙරුණා.

මේ ගැසට් ප්‍රකාශනයේ එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරපු එස්. බී. දිසානායක මහත්මයා මේ විදිහේ ප්‍රකාශයක් කරලා තියෙනවා.

“දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බණ්ඩාර දිසානායක වන මම, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන්, වර්ෂ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගමක් වශයෙන් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත කර ඇති සීමාසහිත දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය (පෞද්ගලික) ආයතනය පිළිබඳව එකී ආඥා පනතේ 70C වගන්තිය ප්‍රකාරව ලබා ගත් වාර්තාව ප්‍රකාරව, මෙම නියෝගය මගින් හා මතු දැක්වෙන කොන්දේසි හා කාර්යසටහනට අනුකූලව, සීමාසහිත දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය (පුද්ගලික) ආයතනය ලංකාවේ උසස් අධ්‍යාපන සංවර්ධනය අරමුණු කරගත් උපාධි පිරිනැමීමේ ආයතනයක් වශයෙන්ද, එනයින් වෛද්‍යවේදී හා ශල්‍යවෛද්‍යවේදී (MBBS) උපාධිය පිරිනැමීමට බලයලත් ආයතනයක් වශයෙන්ද පිළිගනු ලැබූ බව දන්වා සිටිමි.”

(“I, Dissanayake Mudiyanselage Sumanaweera Banda Dissanayake, Minister of Higher Education, having obtained a report under section 70C of the aforesaid Act in respect of the South Asian Institute of Technology and Medicine (Pvt). Ltd. (SAITM) a company incorporated in Sri Lanka under the Companies Act, No. 7 of 2007, do by this Order and subject to the conditions specified in the Schedule hereto, recognize the South Asian Institute of Technology and Medicine (Pvt) Ltd. (SAITM) as a Degree Awarding Institute for the purpose of developing higher education therein, leading to the award of the Degree of Bachelor of Medicine and Bachelor of Surgery (MBBS).”)

මේ ගැසට් පත්‍රය මගින් පිළිගැනීමට ලක් වීමත් එක්ක මොන තරම් උද්ඝෝෂණ මැද වුණත් සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සිසුන් බඳවා ගැනීම ආරම්භ කළා. GMOA එකේ චෝදනාව වෙන්නේ මේ ආයතනය සිසුන් බඳවා ගත්තා වුණත් ඔවුන්ට සීමාවාසික පුහුණුව ලබා දීමට අදාළ ගිවිසුම් කිසිවක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික රෝහල් එක්ක ඇති කරගෙන තිබුණේ නැහැ කියලයි. සයිටම් එකට එරෙහි බොහෝ දෙනාට අනුව මේක පැහැදිලිවම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්ණායක සහ රෙගුලාසි කඩ කිරීමක්.

සයිටම් සිසුන්ට අවිස්සාවේල්ල රෝහල තමන්ගේ සායනික පුහුණුවට භාවිත කරන්න පුළුවන් බවට මුලින් යෝජනා වෙලා තිබුණත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට අනුව GMOA එක ඒකට විරුද්ධ වුණා. ඒ නිසාම මේ ක්‍රියාවලිය හිතාමතා කඩාකප්පල් කරන්න කටයුතු කළා කියන චෝදනාවත් GMOA එකට එල්ල වුණා. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට තමයි සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්න මාළඹේ ප්‍රදේශයේම නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ස්ථාපිත කෙරුණේ. ඒ නිසා ආයතනය තුලදීම රෝගීන් පරීක්ෂා කරලා සායනික පුහුණුව ලබා ගන්න සිසුන්ට අවස්ථාව ලැබුණා.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA එක) කියන දේ

උද්ඝෝෂණය කරන විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් වදින අවස්ථාවක්. සේරටම හේතුව වෛද්‍ය විද්‍යාලයක් ගැන ප්‍රශ්නයක්. රූපය : lankauniversity-news.com

කවුරු කොහොම කිව්වත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන රජයේ වෛද්‍ය නිලධාරී සංගමය නිල වශයෙන් ඉන්නේ අපක්ෂපාතී පිළිවෙතක කියන එකත් සැළකිල්ලට ගන්න ඕනේ කරුණක්. GMOA එකටත් එල්ල වුණු චෝදනා නැතිවම නෙවෙයි. සයිටම් එක කියන්නේ මීට ටික කාලෙකට කලින් GMOA එක සයිටම් එකත් එක්ක ප්‍රශ්නයක් නොතිබුණු ගානට හිටියා කියන එකයි. හැබැයි GMOA එක කියන්නේ තමන් හැමදාමත් සයිටම් එකට තදින්ම විරුද්ධ වුණු බවයි. සයිටම් ආයතනය තමන්ගේ නිර්ණායක සපුරා ගෙන නැති නිසා කිසිම විදිහකට එහි වෛද්‍ය උපාධිය ලද කෙනෙක් ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න බෑ කියලයි ඔවුන් කියන්නේ.

මේ අතර GMOA එක 2011 අප්‍රේල් මාසයේ 27 වැනිදා සයිටම් ආයතනය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම ගැනත් කරුණු දක්වනවා. මේ අවබෝධතා ගිවිසුමට අනුව බස්නාහිර පළාත තුල රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා ගැනීම සඳහා අවසර දීමට එකඟතාවක් ඇති වෙලා තිබුණා.

ඒ නිසා මේ අවබෝධතා ගිවිසුම පදනම් කරගෙන සයිටම් සිසු සිසුවියන් පිරිසක් 2014 අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. (නඩු අංකය SC FR NO 208/2014) තමන්ට ගිවිසුම් ප්‍රකාරව රජයේ රෝහල් වල සීමාවාසික පුහුණුව දෙන්න කියලා නියෝග කරන්න කියලයි ඔවුන් ඉල්ලා තිබුණේ.

GMOA එකට අනුව ඒ දින වල සෞඛ්‍ය ලේකම් සුධර්ම කරුණාරත්න නීතිපති කාර්යාලයට ලිපියක් යවමින් කියලා තියෙනවා න්‍යායික වශයෙන් “අවශ්‍ය සීමාවාසික පුහුණු වැඩසටහන සඳහා නම් කරන ලද රජයේ රෝහල් තුලදී සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන වෛද්‍ය ආඥා පනත යටතේ ලියාපදිංචි කළ හැකි වසර වල සිසුන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වී ඇත.” කියලා. GMOA එකේ වෙබ් පිටුවේ පළ කරපු නිවේදනයක දැක්වෙන විදිහට මේ ලිපියෙන් ගම්‍ය වන වැදගත් කරුණක් තමයි සයිටම් පරිපාලනය තමන්ගේ ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවන ලද සියලු නීති, රෙගුලාසි, නිර්ණායක සහ උපදෙස් අනුගමනය කළ යුතුයි කියන එක.

GMOA එකේ (රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ) මහ ලේකම් දොස්තර නලින්ද හේරත් රූපවාහිනී විවාදයකට එක් වෙමින් කිව්වා ඕනෑම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට හැකි වීම සඳහා යම් නිර්ණායක කිහිපයක් සම්පූර්ණ කළ යුතු බව. මේවායින් කිහිපයක් තමයි ශික්ෂණ රෝහලක් පැවතීම, එහි අවම රෝගීන් සංඛ්‍යාවක් සිටීම සහ ශිෂ්‍යයෙකු සඳහා රෝගීන් (ඇඳන් ගතව සිටින ප්‍රතිශතය) නිර්දේශිත ප්‍රමාණයක පැවතීම කියන තුන. ඒ වගේම එම රෝගීන් රට තුළ වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමට සිදු වෙන එකිනෙකට වෙනස් රෝග (හදවත්, සම ආශ්‍රිත වගේ) ප්‍රමාණවත් ගණනකට ප්‍රතිකාර ලබා ගන්නවා විය යුතුයි. මේ විදිහට ශික්ෂණ රෝහලක් කියලා අනුමත කරපු රෝහලකට විතරයි වෛද්‍ය ශිෂ්‍යයන්ට සීමාවාසික පුහුණුව ලබා දෙන්න අවසර තියෙන්නේ. ඒ වගේම රෝහලේ ප්‍රමාණය සලකා බලලා අනුමත කරන ලද සිසුන් ගණනක් පමණයි එක වර පුහුණුවේ යෙදවිය හැකි වෙන්නේ.

“මේ නීති රෙගුලාසි වෛද්‍යවරුන් සඳහා පමණක් පවතින්නේ ඇයි? මේ සිසුන් යම් දිනක දොස්තරවරු වෙනවා. ඔවුන් ගණුදෙනු කරන්නේ මිනිසුන්ගේ ජීවිත එක්කයි. ඒ නිසා ඔවුන් ඉතා පළපුරුදු අය බවට සහතික කිරීම වෛද්‍ය සභාවේ වගකීමක්. ඒ නිසයි මේ වගේ ගුණාත්මකභාවය ඉහළින් පවත්වා ගැනෙන්නේ” කියලා කලින් සඳහන් කරපු රූපවාහිනී විවාදයේදී දොස්තර හේරත් මහතා කියා සිටියා. හදිසියේ ඉදිකරපු සයිටම් ආයතනය “ස්විමින් පූල් එකක් නැතිව පටන් ගත්තු පිහිනුම් කඳවුරක්” කියලා තමයි ඔහු සඳහන් කළේ.

නමුත්…

මහාචාර්ය පෙරේරා මහතාට අනුව සයිටම් ආයතනය වෛද්‍ය විද්‍යාලයක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ නීත්‍යානුකූලවයි. මේකට එරෙහිව තර්ක කරන්න කිසිදු නෛතික පදනමක් නැති නිසා ඒ ගැන උසාවි මාර්ගයෙන් ක්‍රියා කරන්න බැහැ කියලත් ඔහු ප්‍රකාශ කළා. වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න කලින් ශික්ෂණ රෝහලක් පැවතීමට නීතිමය අවශ්‍යතාවක් නැහැ. උදාහරණයක් වශයෙන් මෑතකදී ආරම්භ කරපු රජය මගින් පාලනය වන වෛද්‍ය විද්‍යාලයකටත් ආරම්භයේදී එයටම වෙන් කරපු ශික්ෂණ රෝහලක් තිබුණේ නැහැ.

මහාචාර්ය පෙරේරා මහතා කියන තවත් කාරණාවක් තමයි හෝමාගම රජයේ රෝහල ශික්ෂණ රෝහලක් විදිහට වැඩිදියුණු කරන්න සයිටම් ආයතනයට ලබා දුන්නු බව. හැබැයි GMOA එක නම් මේ කතාව පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ මේ තීරණය ගත්තේ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොවෙන බවයි. හෝමාගම රෝහල ලබා දීම සයිටම් එකයි බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි අතර ඇති වුණු අවබෝධතා ගිවිසුමකට අනුව සිදු වුණු දෙයක් විතරයි.

රජය මගින් පාලනය වන වෛද්‍ය විද්‍යාල

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) තුල ක්‍රියාත්මක වෙන වෛද්‍ය පීඨය ආරම්භ කරනු ලැබුවේත් එයටම වෙන් වූ ශික්ෂණ රෝහලකින් තොරවයි. KDU එකේ වෛද්‍ය විද්‍යාලය රජය මගින් පාලනය වන ආයතනයක්. සයිටම් ආයතනය වගේම රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්න අවස්ථාව නොලැබෙන සිසුන් සඳහා වෛද්‍ය උපාධිය පිරිනමන එක තමයි KDU එකෙනුත් සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රජය මගින් පාලනය වන වෛද්‍ය විද්‍යාල වලට පක්ෂග්‍රාහීව ක්‍රියා කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඉතා අසාධාරණ විදිහට අකුල් හෙලනවා කියලයි සයිටම් එකෙන් චෝදනා කරන්නේ.

මේකට පිළිතුරු වශයෙන් GMOA එක කියන්නේ සයිටම් එක වගේ අඩු ගුණාත්මක භාවයක් පවත්වා නොගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පනවන නීති රෙගුලාසි නිර්ණායක සියල්ලටම එකඟව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවත්වා ගෙන යන නිසා එයින් පිට වන සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දෙන්න කිසිදු බාධාවක් නැති බවයි.

සම්මතකරණය සහ විදේශ රටවලින් සමත් වන වෛද්‍ය සිසුන්

සයිටම් ආයතනය නිතරම කියන දෙයක් තමයි වෛද්‍ය විද්‍යාල සඳහා වන සම්මත නීති රෙගුලාසි පද්ධතියක් ස්වාධීන මණ්ඩලයක් විසින් නිර්මාණය කළ යුතුයි කියන එක. GMOA එක පක්ෂග්‍රාහීව කටයුතු කරන නිසා ඒ වගේ මණ්ඩලයක් පත් කරන්න කිසිම ඉඩක් නැති බවත් සයිටම් ආයතනය චෝදනා කරනවා.

GMOA එක කියන්නේ වෛද්‍ය ආඥා පනත යටතේ ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සම්මතකරණය කරන්න අවසර තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට විතරක් බවයි. “ඒ වගේ දෙයක් ස්වාධීන ආයතනයකට භාර දෙන එක කොහොමවත් කරන්න බෑ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ගැන අපිට කිසිම ගැටළුවක් නැහැ” කියලා දොස්තර හේරත් මහතා කලින් කියපු රූපවාහිනි විවාදයේදී සඳහන් කළා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබුණු විදේශීය වෛද්‍ය විද්‍යාල 232ක් තියෙනවා. මේ විශ්ව විද්‍යාල වලින් ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට උපාධිය සම්පූර්ණ කරලා ලංකාවට ආවාම වෛද්‍ය සභාව පවත්වන විභාගයට මුහුණ දීල සමත් වෙලා ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයෙක් විදිහට කටයුතු කරන්න ඉඩ ලැබෙනවා. මේ විභාගය හඳුන්වන්නේ “වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා ලියාපදිංචි වීමේ විභාගය” නැතිනම් EPRM කියලයි. (Examination for Registration to Practice Medicine) කොහොම වුණත් මේ විභාගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් පිට විදේශ රටවලින් ඉගෙනුම ලබා පැමිණෙන වෛද්‍ය සිසුන් සඳහා පමණයි. ලංකාවේ සිසුන්ට මෙයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. (රජයේ වුණත් පෞද්ගලික වුණත්) නමුත් රජයේ වෛද්‍ය ශිෂ්‍යයන් වෛද්‍ය සභාව මගින් පවත්වන වෙනත් පොදු විභාගයකට මුහුණ දෙනවා. ඔවුන්ට එයින් සමත් වුණු පසුව තමයි වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචිය හිමි වෙන්නේ. මහාචාර්ය පෙරේරා මහතාට අනුව ලංකාවේ EPRM විභාගයට මුහුණ දෙන විදේශ සිසුන්ගෙන් 10% ක් විතරයි සමත් වෙන්නේ.

ශ්‍රී ලාංකීය සිසුන් විදේශ රටවල් වල වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා වසරකට රුපියල් බිලියන 2ක පමණ මුදලක් වැයකරන බව ඇස්තමේන්තුගත කර තිබෙනවා.

සයිටම් එකත් තත්ත්වය ඉහළ නංවා ගන්න සූදානම්

සයිටම් සිසුන් තමන්ට ලොකු අසාධාරණයක් වුණා කියලා මැසිවිලි නගනවා. රූපය : අද දෙරණ

සයිටම් ආයතනය සර්ව සම්පූර්ණ නැති බව පිළිගන්න පෙරේරා මහතා හැම වෙලාවකම කියන දෙයක් තමයි සයිටම් ආයතනය ගැන නිරීක්ෂණය කරන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් පත් කෙරුණු කමිටුව බොහෝ අවස්ථා වලදී ආයතනය ගැනත්, දේශක මණ්ඩලය ගැනත්, විෂය නිර්දේශය ගැනත් සෑහීමකට පත් වුණා කියන එක. කොහොම වුණත් සයිටම් සිසු සිසුවියන්ට ලබා දෙන සායනික අත්දැකීම් ප්‍රමාණය වැඩි කරන්න කියලා නිතරම නිර්දේශ කෙරුණු බවත් ඔහු පිළිගන්නවා. මේ පිළිබඳව පළ කෙරුණු වාර්තාවට අනුව “සායනික අත්දැකීම් ලැබීමට ඇති අවස්ථා ඉතා අඩු බවත්, විශේෂයෙන්ම රෝගීන් සංඛ්‍යාව සහ රෝග වල විවිධත්වය ප්‍රමාණවත් මට්ටමක නොතිබීම අවධානය යොමු කළ යුතුම ප්‍රශ්නයක්” බවත් පැහැදිලිව දක්වා තියෙනවා.

“රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA එක) සයිටම් ආයතනය කිසිදු ගුණාත්මක මට්ටමකට ගෙන එන්න ඉඩක් දෙන්නේ නැහැ. වෛද්‍ය ආඥා පනතට අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති වෙනවා නම් එහි අඩුපාඩු සකස් කරමින් එයට සහයෝගය ලබා දිය යුතුයි. කලින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අපේ සිසුන්ට රජයේ රෝහල් තුල සායනික පුහුණුව ලබා ගන්න අවස්ථාව සලසා දුන්නා. කඩුවෙල සහ අවිස්සාවේල්ල රෝහල් සයිටම් සිසුන්ගේ සායනික පුහුණුවට වෙන් කරලා තියෙද්දීත් GMOA එක ඒකට විරුද්ධ වෙමින් රජයේ වෛද්‍ය විද්‍යාල වල සිසුන් සයිටම් සිසුන්ට එරෙහිව පොළඹවන්න කටයුතු කරනවා. සායනික පුහුණුවට ගන්න කලින් ලබා ගත් පූර්ව තක්සේරු වාර්තා වලින් සයිටම් ආයතනයේ විෂය නිර්දේශය, විද්‍යාගාර පහසුකම් වගේ දේවල් වලට ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අපෙ සිසුන්ට රජයේ රෝහල් වල සීමාවාසික සහ සායනික පුහුණුව ලබා ගන්න ඉඩ ලබා දුන්නොත් ලංකාවේ වෙනත් ඕනෑම වෛද්‍ය විද්‍යාලයක් තරමටම සයිටම් ආයතනයට ගුණාත්මක වෙන්න පුළුවන්” කියලා මහාචාර්ය පෙරේරා මහතා රූපවාහිනී විවාදයේදී හැඟීම්බරව කියා සිටියා. කොහොම වුණත් වෛද්‍ය ආඥා පනතේ රජය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සහයෝගය දෙන්න ඕනේ කියලා තියෙන්නේ කොතනද කියන එක නම් අපැහැදිලියි.

“ඔවුන් (GMOA එකෙන් පත් කළ කමිටුව) සායනික පුහුණුව හැරෙන්න අනෙක් දේවල් ගැන ගැටළුවක් දැක්කේ නැහැ. සායනික පුහුණුව වැඩිදියුණු කරන්න කියලා ඔවුන් නිර්දේශ කළා. ඔවුන් කිසිසේත් කිව්වේ නැහැ මුල සිටම සායනික පුහුණුව පටන් ගන්න අවශ්‍යයි කියලා. GMOA එක කියන තරම් ලොකු ප්‍රශ්නයක් තිබුණා නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒක ඒ වෙලාවේ කියන්න තිබුණා. එහෙම දෙයක් සිදු වුණේ නෑ”, එතුමා ප්‍රකාශ කළා.

පඹ ගාලක්

GMOA එක, නැතිනම් රාජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමය කියන විදිහට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කමිටුවේ තීරණය වුණේ “සයිටම් ආයතනය පිරිනමන වෛද්‍ය උපාධිය වෛද්‍ය ආඥා පනත යටතේ ලියාපදිංචි කිරීම සඳහා පිළිගැනීම නුසුදුසුයි” කියලයි. කොහොම වුණත් සයිටම් ආයතනය ඉන්න මතය වෙන්නේ ඒ කමිටුව මගින් සයිටම් ආයතනයෙන් උපාධි ලබා ගන්නා සිසුන් යම් කොන්දේසි යටතේ තාවකාලික ලියාපදිංචියට සුදුසු බව පිළිගත්තා කියන එකයි.

නමුත් GMOA එක කියන්නේ සයිටම් එක කියන කමිටු වාර්තාව ඔවුන්ගේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අනුමත කළ අවසාන වාර්තාව නෙවෙයි කියන එකයි.

සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් තුන් වන වසර අවසාන වුණාට පස්සේ හතරවන සහ පස් වන අවුරුදු වලදී සායනික පුහුණුවක් ලබනවා. අවුරුදු පහ අවසානයේ ඔවුන් අවසාන විභාගයට (MB – වෛද්‍යවේදී) පෙනී ඉඳලා උපාධිය ලබා ගන්නවා. සාමාන්‍යයෙන් වෙන්න තියෙන්නේ ඉන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය අරගෙන අවුරුද්දක කාලයක් රජයේ රෝහලක සීමාවාසික පුහුණුවේ යෙදෙන එකයි. ඒ වැඩේ සතුටුදායක විදිහට නිම කළාට පස්සේ MBBS උපාධිය ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මහජනයාගේ ලෙඩ රෝග වලට බෙහෙත් හා ශල්‍යකර්ම කරන්න අවසර ලැබෙන වෛද්‍ය බලපත්‍රය සහ ලියාපදිංචිය හිමි වෙනවා. මේ සීමාවාසික පුහුණුව ලබා ගන්න තියෙන ගැටලුව තමයි ප්‍රශ්නයට මුල් වෙලා තියෙන්නේ. කලිනුත් කිව්වා වගේ ලර්නර්ස් එකේ පුහුණුව හරි නැති නිසා (එකම වාහනයක් පාවිච්චි කරපු නිසා) තාවකාලික රියදුරු බලපත්‍රයවත් දෙන්න බැහැලු. (කාණ්ඩයේ හැම වාහනයකටම) ඊට වඩා බොහොම සංකීර්ණ වෘත්තියක් වුණත් වෙලා තියෙන්නේ ඒ වගේම වැඩක්.

වර්තමාන තත්වය

රජයේ රෝහලක සීමාවාසික පුහුණුව – සයිටම් සිසුන් සටන් වදින්නේ මේ සඳහායි. රූපය : kandy-hospital.health.gov.lk

තමන්ගේ නම හෙළි නොකරන බවට පොරොන්දුව මත අපිට අදහස් දක්වපු සයිටම් ආයතනයේ තුන් වන වසර ශිෂ්‍යයෙක් කිව්වේ තමන් ඇතුලත් වෙන දවස් වල යම් අඩුපාඩු තිබුණත් දැන් පවතින අධ්‍යාපන තත්ත්වය ගැන තමන්ට සතුටු වෙන්න පුළුවන් බවයි.

“මුලින්ම සයිටම් ආයතනය ආරම්භ කරන දවස් වල අඩුපාඩු තිබුණු බව ඇත්ත. නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදි කරලා සායනික පුහුණුව ලබා දෙන්න සූදානම් කර ගන්න වසර කිහිපයක කාලයක් ගත වුණා. ඒ වගේම අනෙකුත් තිබුණු අඩුපාඩුත් පසුගිය කාලය පුරාවටම ටිකෙන් ටික සම්පූර්ණ කර ගැනුණා. දැන් තියෙන තත්ත්වය ගැන නම් පැහැදිලිවම සතුටු වෙන්න පුළුවන් බව කියන්න ඕන. මහාචාර්ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතුළුව ලංකාවේ සිටින දක්ෂතම දේශකයන් විශාල ගණනක් අපිට ඉන්නවා. රටේ සිටින වෙනත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුත් නිතරම පැමිණ ඉගැන්වීමේ නිරත වෙනවා. මහාචාර්ය චාන්දනී වනිගතුංග හොඳම උදාහරණයක්. රජයේ විශ්ව විද්‍යාල වන පේරාදෙණියේ සහ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨ වල දේශකයන් අපිට සෙනසුරාදා දින වල ආරාධිත දේශනා පවත්වනවා. ඔවුන් අපේ වාචික විභාග (VIVA) අධීක්ෂණය කරන්නත් සහභාගී වෙනවා.” මේ ඔහුගේ අදහස් වල තිබුණු කරුණු.

ප්‍රමාණවත් තරම් සායනික පුහුණුවක් නොලැබීමේ ප්‍රශ්නය ගැන කතා කරද්දී ඔහු කිව්වේ මුලින් ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තිබුණු බවයි. නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ රෝගීන් අඩු කම නිසා සහ ඔවුන්ගේ ලෙඩ වල විවිධත්වය අඩු නිසා සායනික පුහුණුවේ අඩු පාඩු තිබුණාලු. නමුත් පසුව උසාවි නියෝගයක් ලැබුණාට පස්සේ සයිටම් සිසුන්ට අවිස්සාවේල්ල දිසා රෝහල සහ කඩුවෙල යන රජයේ රෝහල් වලට ගිහින් අධිකරණ වෛද්‍ය විද්‍යාව (Forensics) සහ තවත් විෂයයන් කිහිපයකට අදාළ පුහුණුවීම් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

“නමුත් ඒ වැඩේ හරිම අපහසු වුණා. උසාවි නියෝගය ලැබිලා තියෙද්දීත් රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ GMOA එක ඒ රෝහල් වලට ගිහින් වෛද්‍යවරුන්ට වැඩ වර්ජනය කරන්න කියලා කිව්වා. ඉතින් වෛද්‍යවරු අපිට ඉගැන්වීම ප්‍රතික්ෂේප කළා. අපේ ලොග් පොත් වල අත්සන් කළේවත් නැහැ. අපිට සායනික පුහුණුව කළ පැය ගණන ගණනය කරන්න බැරි කළා. ඉතින් අපිට හරි පුහුණුවක් නෑ කියලා කියන එක සාධාරණද?” කියලා ඒ සිසුවා තරහෙන් කියා සිටියා.

මේ සිසුවා විශ්වාසයෙන් කියා සිටියේ සයිටම් එක රටේ තියෙන අනෙක් ඕනෑම වෛද්‍ය පීඨයක් තරමටම හරි, සමහර විට ඊටත් වඩා හරි උසස් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දෙන බවයි. “රට පුරා ඉන්න පළපුරුදු දේශකයන්, නවීන රෝහලක් සහ නවීන අංගෝපාංග හා පහසුකම් සයිටම් ආයතනය සතුව තියෙනවා. අපේ රෝහලට එන ඕනෑම රෝගියෙක්ට ප්‍රතිකාර කරන්න අවශ්‍ය පහසුකම් රෝහල තුල තියෙනවා. රජයේ රෝහල් වල වගේ දිග පෝලිම්, ඇඳන් නැති රෝගීන් හෝ බෙහෙතුයි වෛද්‍යවරුයි නැති වාට්ටු අපේ රෝහලේ නැහැ.” ඔහු තව දුරටත් කිව්වා.

“මට පැහැදිලිවම කියන්න අවශ්‍ය වෙන්නේ මේ රටේ විශාල වෛද්‍ය හිඟයක් තියෙනවා කියන එකයි. විශේෂයෙන්ම පිටිසර සහ ගම්බද පළාත් වල වෛද්‍යවරයෙක් හොයා ගන්න මොන තරම් අමාරුද? රජයේ තියෙන සම්පත් අනුව බිහි කළ හැකි වෛද්‍ය පීඨ සහ ඒවායින් බිහි වෙන වෛද්‍යවරුන් ප්‍රමාණය ඉතා සීමිතයි. උසස් පෙළ සමත් වන සිසුන්ට ලොකු අසාධාරණයක් වෙනවා සුළු පිරිසකට පමණක් විශ්ව විද්‍යාල වරම් හිමි වෙන එක නිසා. රටේ අනෙක් ක්ෂේත්‍ර වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේත් තියෙන හිඟය වළක්වා ගන්න තියෙන එකම ක්‍රමය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විතරයි. අනෙක් හැම ක්ෂේත්‍රයකටම පෞද්ගලික අංශයෙන් උපාධි ලබා ගන්න පුළුවන් කම තියෙනවා. වෙනත් රටවල් වලින් ඉගෙන ගෙන ඇවිත් මෙහෙ වෛද්‍යවරු වෙන්න පුළුවන් නම් ඇයි අපේ රටේදීම ඒ වැඩේ කරන්න බැරි? අපට උගන්වන දේශකයන්, මහාචාර්යවරු වැඩි දෙනා තමයි රජයේ වෛද්‍ය සිසුන්ටත් උගන්වන්නේ. ඉතින් ඇයි අපට අවස්ථාව නොදෙන්නේ? අනික අපි අපේ අධ්‍යාපනයට වැය කරන්නේ අපේම මුදල්. රජයේ මුදලින් නෙවෙයි අපිව නඩත්තු කරන්නේ, ඉතින් අපෙන් රජයට කිසිම බරක් නැහැ.” ඔහු කියා සිටියා.

අනාගත තත්ත්වය

කවුරු කොහොම කිව්වාත් අපිට කතා කරපු සිසුවාත්, ඔහුගේ අනෙක් සගයිනුත් ඉන්නේ ලොකු හිතේ වේදනාවකින් බව ඉතා පැහැදිලියි. ඔවුන්ගේ ජීවිතය මඩ ගොහොරුවක එරිලායි තියෙන්නේ. කියන විදිහට ඔවුන්ගේ අනාගතය විසඳීම තියෙන්නේ “නොමග යන පිරිසකගේ” අතේ නම් ඔවුන්ට උදව් කරන්න බලධාරීන්ට හැකියාවක් හෝ උවමනාවක් නොතිබෙන එක ඇත්තටම අවාසනාවන්ත තත්වයක්. කොහොම නමුත් මේ සිසුන් මේ මඩ ගොහොරුවට වැටුණේ තමන්ගේම මෝඩ කම කියලාත් සමහරු තර්ක කරනවා. නිසි සොයා බැලීමක් නොකර තමන්ගේ මුදල් සහ කාලය නාස්ති කරපු එකට කරන්න දෙයක් නෑ කියලා තමයි ඔවුන් කියන්නේ.

අනෙක් අතට GMOA එක හෙවත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයයි, සයිටම් එක විවේචනය කරන අනෙක් අයගේ ප්‍රධානම තර්කයත් බොහෝ දුරට හරි. වෛද්‍ය වෘත්තීය කියන්නේ කිසිසේත්ම “අණ්ඩ දාලා ශේප් කරන්න” පුළුවන් දෙයක් නෙවෙයි. නිවැරදි අධ්‍යාපනයක් ලැබිලා නැති නම් ඔවුන් වෛද්‍ය වෘත්තියට අනුමත කරන්න හොඳ නැහැ කියලා කියන කතාව පිළිගන්න සිද්ධ වෙනවා. ඒ වගේම හිතේ දුකට ඒ වගේ සිසුන් සමත් කරන එක ඉතාම නරක වගේම භයානක පුර්වාදර්ශයක්.

කොහොම වුණත් කියන තරම් යකා කළුද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් කාටත් තියෙනවා. සයිටම් සිසුන් පිළිගන්න එරෙහි වෙන්නේ සම්පූර්ණ සද්භාවයෙන්ද, ඒ පිටිපස වෙන අරමුණක් හෝ වෘත්තීය ඊර්ෂ්‍යාවක් නැද්ද වගේ සයිටම් එකට අනුබල දෙන පිරිස් නගන ප්‍රශ්න වලට GMOA එක සහ රජයේ වෛද්‍ය සිසුන් පිළි ගත හැකි පිළිතුරු ලබා දිය යුතුයි.

Roar අපි මේ ගැන ඔබ දක්වන අදහස් ගැන ඉතා උනන්දුයි. අපේ පාඨකයන් වැඩි දෙනා බුද්ධිමත් නිසා මේක සාමකාමීව සංවාදයට ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. රටේ වෛද්‍ය සේවාව ඉතා උසස් තත්වයට පත් වීම අපි කාගේත් බලාපොරොත්තුවක්. හැම කෙනෙක්ම තමන්ගේ අඩුපාඩු සකස් කරගෙන තනි තනි අරමුණු පස්සට දාල රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න හොඳම පියවර ගන්න පෙළ ගැසේවි කියන එක තමයි මේ ගැන සද්භාවයෙන් හිතන කාගේත් බලාපොරොත්තුව වෙන්නේ. ඒ හීනයෙන් හැකි තරම් ප්‍රමාණයක් අපේ ජීවිත කාල වලදී ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ අදහස් අපේ ෆේස්බුක් පොස්ට් එකේ දක්වන්න අමතක කරන්න එපා.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ