මහජනයාටත් විවෘත එංගලන්තයේ මාරාන්තික උද්‍යානය: ඇනික්

එංගලන්තයට අයත් නොදම්බලන්ඩ් ප්‍රදේශයේ පිහිටි “ඇනික් උද්‍යානය” බැලූ බැල්මට ම අනෙකුත් උද්භිද උද්‍යාන සතු අංග සහ සේවා තිබෙන සාමාන්‍ය ස්ථානයක්. එහි තිබෙන සුවිශාල “ට්‍රී හවුස්” එක අලුත් අත්දැකීමක් ගෙන දෙන ස්ථානයක් වනු නොඅනුමාන යි.

මීට අමතර ව, චෙරි ශාක වලට ම වෙන් වූ කොටස සහ රෝස උයන ඇනික් උද්‍යානයේ වටිනාකම තවත් ඉහළට ගෙන යනවා. මංගල උත්සව සහ වෙනත් විශේෂ අවස්ථා සැමරීමට මෙන් ම විවේකී ව කාලය ගත කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් උද්‍යානය තුළ පවතිනවා. කෙසේ නමුත්, මිනිසුන් බොහෝ විට මේ උද්‍යානය වෙත පැමිණෙන්නේ ඉහත සඳහන් විශේෂතා සහ පහසුකම් නිසා ම  නොවෙ යි. උද්‍යානය පුරා විඳිය හැකි නිදහස ක්ෂණයෙන් අහෝසි වන එක්තරා ස්ථානයක් නැරඹීමටයි ඔවුන් පැමිණෙන්නේ.

මරණයේ දොරටුව

ඇනික් උද්‍යානයේ ඇති එක්තරා බිම්කඩක් ආරක්ෂිත ව වෙන් කොට තිබෙනවා. එහි පිවිසුම් දොරටුව ලෙස ඇති කළු පැහැ යකඩ ගේට්ටුව මත “These plants can kill” යනුවෙන් අවධාරණාත්මක වාක්‍යයක් සඳහන් කොට ඇති අතර, එම ගේට්ටුවෙන් ඇතුළු වන ඕනෑම පුද්ගලයෙක් සුවිශේෂ නීති මාලාවකට යටත් විය යුතු යි. ගේට්ටුවෙන් එපිට ඇති සියලු ම ශාක එතරම් ම විස සහිත යි. එක් එක් ශාකයේ විස සහිත බව සහ ඒ විෂ මිනිසුන්ට බලපාන ආකාරය වෙනස් වන බැවින්, අවධානයෙන් යුතු ව ගමන් කිරීම ඉතා වැදගත්.

ඇනික් උද්‍යානය පුරා රිසි සේ කාලය ගත කළ හැකි නමුත්, මෙම පිවිසුමෙන් එහාට එම නිදහස හිමි වන්නේ නැහැ – www.bbc.com

2005 දී ආරම්භ කළ, ඇනික් උද්‍යානය සතු ව විෂ සහිත ශාක සියයකට අධික එකතුවක් තිබෙනවා. ඒවා නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා විශේෂ උපදෙස් ලබාදීමක් සිදු කරන අතර, ශාක ස්පර්ශ කිරීම,  පුෂ්පවල සුවඳ පරීක්ෂා කිරීම වැනි ක්‍රියාකාරකම්වලට එහි කිසිදු අවසරයක් නැහැ. ආරක්ෂක පියවර කොතෙක් ගෙන තිබුණ ද අවදානම් කලාපයේ සංචාරය කළ ඇතැම් පුද්ගලයන් සිහිසුන් වූ අවස්ථා ඇති බව පැවසෙනවා. ශාකවලින් පිටවන වාෂ්පශීලි සංයෝග ආඝ්‍රාණය වීම ඊට හේතුව යි.

සුලබ යි. එහෙත්, මාරාන්තික යි

 “Monkshood” හෝ “Wolf’s bane” යනුවෙන් හඳුන්වන ශාකය උද්‍යාන එකතුවේ ඇති වඩාත් ම විෂ සහිත ශාකයක් ලෙස හැඳින්විය හැකි යි. එහි “ඇකොනිටීන්” නමැති රසායනිකයක් අඩංගු වන අතර, ස්නායු විෂක් සහ හෘදයට බලපෑම් ඇති කරන විෂක් ලෙස ඇකොනිටීන් හඳුනා ගැනෙනවා. කෙසේ නමුත්, විෂ උද්‍යානයේ මාර්ගෝපදේශක‍යෙක් ලෙස කටයුතු කරන ඩීන් ස්මිත්ට අනුව ශාක එකතුවේ වඩාත් මාරාන්තික ම විශේෂය වන්නේ අප කවුරුත් දන්නා එඬරු ශාකය යි. එඬරු වල “රයිසින්” නමැති විෂ සහිත සංයෝගය අඩංගු නිසාත්, ශාකය සුලබ ව ලෝකයේ පැතිරී ඇති නිසාත්, එය වඩාත් මාරාන්තික ශාකය විය හැකි යි. එඬරු තෙල් මිනිස් කටයුතු බොහෝමයක් සඳහා යොදා ගන්නවා. එහෙත්, තෙල් නිපදවන අතරතුර ශාකයේ ඇති “රයිසින්” රසායනිකය අකර්මණ්‍ය කළ යුතු යි.

ඇනික් උද්‍යානයේ වෘක්ෂ අතර තැනූ නිවස (ට්‍රී හවුස්) ඉතා ජනප්‍රිය ස්ථානයක් – www.jonnybarratt.com

පුදුමයට කරුණ නම් විෂ ශාක උයනේ ඇති ශාක එක්සත් රාජධානියේ බහුල ව දක්නට ලැබීම යි. ඒවා බොහෝවිට එක්සත් රාජධානියේ වනගත ව වර්ධනය වෙනවා. එසේ වර්ධනය වන ඇතැම් ශාක පහසුවෙන් වගා කළ හැකි නිසා විසිතුරු ලක්ෂණ ඇති දර්ශක ගෙවතුවලටත් පැමිණ තිබෙනවා. ජනප්‍රිය ගෙවතු පඳුරු විශේෂයක් වන “රෝඩොඩෙන්ඩ්‍රන්” ඊට කදිම උදාහරණයක්. එහි පත්‍රවල “grayanotoxin” රසායනිකය අඩංගු වන අතර, පත්‍ර ආහාරයට ගතහොත් ස්නායු පද්ධතියේ සංකූලතා ඇති විය හැකි යි.

“රෝඩොඩෙන්ඩ්‍රන්” වැනි විෂ සහිත විසිතුරු පැළෑටි ගෙවත්තක වගා කරන්නේ නම් නිවසේ සිටින කුඩා දරුවන් ගැන සැළකිලිමත් විය යුත්තේ ඒ නිසා යි. සාමාන්‍යයෙන් ගෙවත්තේ සිටුවන විසිතුරු පැළෑටිවල සරල උද්භිද විද්‍යාත්මක කරුණු දැන සිටීම වැදගත්. සුන්දරත්වය නිසා ඒවාට ගෙවත්තේ ඉඩකඩ ලබා දීමට ඔබ පෙලඹුණත්, ඒවා විෂ සහිත විය හැකි යි.

උද්‍යානයේ ඇතැම් ශාක සමඟ කටයුතු කිරීම සඳහා හැස්මට් ඇඳුමක් පැළඳීම අනිවාර්ය යි – www.alnwickgarden.com

විසිතුරු ලැබර්නම් ශාකය

රෝඩෝඩෙන්ඩ්‍රොන් ශාක කිහිපයක් එක ළඟ වැඩේ නම් අවට පසත් විෂ සහිත වන බැවින්, වෙනත් ශාක වර්ධනය වීමක් සිදු වන්නේ නැහැ. ඒ අවට අලුතෙන් වර්ධනය විය හැකි එකම ශාක විශේෂය වන්නේත් රෝඩෝඩෙන්ඩ්‍රොන් පමණ යි. මී මැස්සන් රොඩෝඩෙන්ඩ්‍රෝන් පුෂ්පවලින් පමණක් පැණි එකතු කරන්නේ නම් එම පැණි රතු පැහැති වන අතර, ශරීරගත වූ විට මඳ හිසරදයක් හෝ මත් ගතියක් ඇති විය හැකි ‍යි. නමුත්, විශාල මාත්‍රා මාරාන්තික වනු ඇති. නේපාලය සහ තුර්කියේ ඇතැම් ප්‍රදේශවල රෝඩෝඩෙන්ඩ්‍රොන් ශාක හරහා නිපද වූ මී පැණි යම් යම් සෞඛ්‍ය හේතු මත පරිභෝජනයට ගන්නා බව පැවසෙනවා.

“Monkshood” හෝ “Wolf’s bane” ලෙස හඳුන්වන ශාකය – www.petalrepublic.com

උද්‍යානයේ දක්නට ලැබෙන තවත් උග්‍ර විෂ ශාකයක් ලෙස “ලැබර්නම්” හැඳින්විය හැකි යි. පහළට එල්ලෙන ආකාරයෙන් පිපෙන සුන්දර කහ පැහැති පුෂ්ප නිසා ලැබර්නම් ශාකයත් එක්සත් රාජධානියේ ගෙවතු වෙත පැමිණ තිබෙනවා. ලැබර්නම්වල අඩංගු “සයිටිසීන්” විෂ සංයෝගයේ ප්‍රබලත්වය ඩීන් ස්මිත් පැහැදිලි කරන්නේ මේ ආකාරයෙන්.

“ලැබර්නම් ශාකයේ බිමට වැටුණු අත්තක් මාස ගණනාවකට පසු සුනඛයෙක් පැමිණ ‍රැගෙන ගියොත්, ගමන අවසාන කිරීමට මත්තෙන් සුනඛයා මිය යන්න පුළුවන්.”

කෝටු කැබලි ඈතට විසි කරමින් සුනඛයන් සමඟ ක්‍රීඩා කිරීම මිනිසුන් අතර ජනප්‍රිය වුණත්, ලැබර්නම් ශාකයේ අතු කැබැල්ලක් සමඟ ඒ සතුට අත් විඳිය නොහැකි යි.

එඬරු ශාකවල “රයිසින්” නමැති විෂ සහිත රසායනිකය අඩංගු වෙනවා – Weedsofmelbourne.org

සයනයිඩ් ප්‍රහාරකයා

ඩීන් ස්මිත් පවසන පරිදි ශාකයක විෂ සහිත සංයෝගවල බලපෑම අනුභව කිරීමෙන්, ස්පර්ශ කිරීමෙන් හෝ සුවඳ දැනීමෙන් පමණක් ම ඇති වන්නේ නැහැ. ඇනික් උද්‍යානයේ ඇති Prunus laurocerasus නමැති ශාකය කප්පාදු කිරීමෙන් පවා මරණීය ප්‍රතිපල අත්විය හැකි යි.

මෙම ශාකය සාමාන්‍ය ව්‍යවහාරයේ දී චෙරි ලෝරල් හෝ ඉංග්ලිෂ් ලෝරල් යනුවෙන් හඳුන්වන අතර, එහි පත්‍රවල සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සහ සයනයිඩ් අයන අන්තර්ගත වෙනවා.

විසිතුරු බව නිසාම එක්සත් රාජධානියේ ගෙවතුවලට පැමිණි විෂ සහිත ශාකයක් තමයි “රෝඩොඩෙන්ඩ්‍රන්” – www.bhg.com

ඒ සංරචක ද්විත්වය වෙන් වෙන් ව පවතින විට හානිදායක වන්නේ නැහැ. එහෙත්, ශාකයේ පත්‍රවලට භෞතික හානියක් සිදු වූ සැණින් සයනයිඩ් වායුව නිපදවීම ඇරඹෙනවා. හොඳින් වාතාශ්‍රය පවතින ස්ථානයක හෝ සුළං හමන ස්ථානයක සිටී නම් චෙරි ලෝරල් හි බලපෑමට නතු වන්නේ නැහැ.

ඇනික් උද්‍යානයේ තිබෙන විෂ සහිත ශාක රැකබලා ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. එහි සේවය කරන උයන්පල්ලන් ආරක්ෂක පියවර රැසක් පිළිපැදිය යුතු යි. මුහුණු ආවරණ, අත් වැසුම්, ඇස් ආවරණ සහ හැස්මට් ඇඳුම් පවා ඒ අතර තිබෙනවා. ශාකයෙන් ශාකයට විෂ බලපාන ආකාරය වෙනස් වන බැවින්, ඒ සියල්ලට ම අවධානය යොමු කළ යුතු යි.

ලැබර්නම් ශාකය -Pixabay.com

  උදාහරණයක් ලෙස යෝධ හොග්වීඩ් ශාකය සමඟ කටයුතු කිරීමේ දී හැස්මට් ඇඳුමක් භාවිත කිරීම ඉතා වැදගත්. යෝධ හොග්වීඩ් ශාකයෙන් පිටවන යුෂ ඉතා විෂ සහිත වන අතර, ඒවා සමේ තැවරුණහොත්, ස්ථිර කැළැල් ඉතිරි කරන වේදනාකාරී පිළිස්සුම් තුවාල ඇති විය හැකි යි.

යෝධ හොග්වීඩ් යුෂය ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍යක් වශයෙන් හඳුනා ගෙන තිබෙනවා. එනම්, ශාකයේ යුෂය සමේ තැවරුණ පසු හිරු එළියට නිරාවරණය වුවහොත්, තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනවා. යෝධ හොග්වීඩ් ශාකය ඇතැම් රටවල ආක්‍රමණශීලි ශාකයක් ලෙස වර්ග කර තිබෙනවා. ඒවායේ පැතිරීම ව්‍යසනකාරී පාරිසරික ගැටලුවක් බවට පත් වෙමින් තිබෙන බව යි පැවසෙන්නේ.

ඉංග්ලිෂ් ලෝරල් නැතහොත් චෙරි ලෝරල්, සයනයිඩ් නිපදවන ශාකයක් -plants.ces.ncsu.edu

කැමැත්තෙන් භාර ගත් අවදානම

කොතරම් අවදානම් වුවත්, ඇනික් උද්‍යානයේ මෙම සුවිශේෂී කොටස රැක බලා ගන්නා උයන්පල්ලන් සිය රැකියාවට ආදරය කරනවා.

 “අපි ඔවුන් ගේ අවකාශයේ සිටින බවක් මට හැඟෙන නිසා අවදානම ගැන වද වෙන්නේ නැහැ. මේ පැළෑටි අපි එන්න කලින් ඉඳල ම තියෙන්න ඇති. ඉතින් මේවායේ ප්‍රයෝජන ඉගෙන ගැනීම අපිට භාර යි. මෙතන තියෙන ගොඩක් ශාක යහපත් දේවල් වෙනුවෙන් භාවිත වෙනවා. ඔක්කොම නරක නැහැ.”

උයන්පල්ලෙක් ලෙස සේවය කරන ඒමී ත්‍රෝප් පවසනවා.

ඒමී පවසන කතාවේ සත්‍යයක් තිබෙනවා. ශාකයක් විෂ සහිත වූ පමණින් මිනිසාට ප්‍රයෝජනවත් නොවන බව අදහස් වන්නේ නැහැ. ඒවායේ වටිනා ඖෂධීය ගුණාංග තිබිය හැකි යි. විෂ සහිත සංයෝග නැසිය හැකි ක්‍රම අනුගමනය කරමින් ඒවා මිනිස් භාවිතයට ගැනීම වැදගත්. එඬරු ශාකය එලෙස ප්‍රයෝජනයට ගැනෙන සුලබ උදාහරණයක්.

යෝධ හොග්වීඩ් ශාකය – www.royaleijkelkamp.com

වටිනා අධ්‍යාපනික සේවයක්

විෂ ශාක උද්‍යානය හරහා ඇනික් හි කාර්ය මණ්ඩලය වටිනා අධ්‍යාපනික සේවයක් සිදු කරනවා. මෙම උද්‍යානය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක කොටසක් ලෙස ක්‍රියා කරන අතර, මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා ශාක සම්බන්ධ දැනුම බෙදා හැරීම සිදු කරනවා. විෂ ශාක උයනේ සංචාරය කිරීමත් එම වැඩසටහනේ අංගයක් ලෙස ක්‍රියාත්මක වන බව යි පැවසෙන්නේ. මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා ශාක වගා කිරීම, නිරීක්ෂණය කිරීම සහ තොරතුරු එක්රැස් කිරීම සඳහා ඔවුන්ට නීතියෙන් අවසර ලැබී තිබෙනවා.

මෙතැනින් ඔබට තවත් කරුණක් වටහා ගත හැකි යි.

ඔවුන් ලෝකයේ කූප්‍රකට මත්ද්‍රව්‍ය වර්ග නිපදවීම සඳහා භාවිත කරන ශාක වගා කරන්නේත් “These plants can kill” යනුවෙන් සඳහන් කළ ගේට්ටුවෙන් එපිට යි!

කවරයේ ඡායාරූපය: මෙම ගේට්ටුවෙන් එහාට පිය මනින ඕනෑම අයෙකු සිය පුද්ගලික ආරක්ෂාව දැඩි ව සැලකිල්ලට ගත යුතු යි - www.youtube.com
මූලාශ්‍ර:
csuvth.colostate.edu/poisonous_plants/Plants
www.bbc.com/travel/article/20220804-the-uks-deadliest-garden
www.alnwickgarden.com/the-garden/poison-garden
theapiarist.org/mad-honey
www.dec.ny.gov

Related Articles