Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එස්තෝනියා ඉතිහාසයේ පළමු අගමැතිවරිය

බෝල්ටික් මුහුදුබඩ රාජ්‍යයක් සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුවලින් එකක් වන එස්තෝනියාව, ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක අගමැති ධුරයට තෝරා ගත්තා. ඒ මාර්තු 3 වන දා එරට පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ දී යි.

මෙම මැතිවරණයෙන් එස්තෝනියාවේ ප්‍රධාන විපක්ෂය වූ මධ්‍ය දක්ෂිනාංශික රිෆෝර්ම් පක්ෂය (ප්‍රතිසංස්කරණවාදී පක්ෂය​) ඉදිරියෙන් සිටියා. සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 28.8ක් ලබා ගත් එම පක්ෂයට පාර්ලිමේන්තු ආසන 101 න් 34ක් ලැබී තිබෙනවා.

හිටපු අගමැති යූරි රටාස්ගේ මධ්‍යස්ථ පක්ෂය සියයට 23ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ආසන 26ක් දිනා ගත්තා. 2016 සිට ඔහුගේ සභාග රජයෙහි අනෙකුත් සාමාජිකයන් වූ ප්‍රෝ පත්‍රියා හෙවත් ඉසාමා පක්ෂය ආසන 12ක් ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 10ක් ද දිනා තිබෙනවා. තව ද, අන්ත දක්ෂිනාංශික ජාතිකවාදී පක්ෂයක් වන කන්සර්වේටිව් ජනතා පක්ෂය (EKRE) ආසන 19ක් දිනා ගත්තා.

මෙම ප්‍රතිඵල අනුව රිෆෝර්ම් නායිකා කයා කලාස් රජයක් පිහිටුවීමට වැඩිම ඉඩකඩක් ඇති නායිකාව බවට පත් වනවා.

එස්තෝනියාව

රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ එස්තෝනියාව බෝල්ශවික් විප්ලවයෙන් පසු සිදු වූ හැලහැප්පීම්වලින් අනතුරුව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. 1940 දී මෙය සෝවියට් දේශයට බලෙන් ඇතුළත් කරගනු ලැබුණා. 1941 සිට ජර්මන් පාලනයට යටත්ව සිටි මෙම ප්‍රදේශය 1944 දී ආපසු සෝවියට් පාලනයට නතු වුණා.

එස්තෝනියා අගනුවර- ටලින් (Wikimedia Commons)

සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු යළි ස්වාධීන රාජ්‍යයක් වූ එස්තෝනියාව බටහිර සමග සබඳතා දියුණු කරගත්තා. එය දැන් යුරෝපා සංගමයේ මෙන්ම නේටෝ සංවිධානයේ ද සාමාජික රාජ්‍යයක් වනවා. පැරණි සෝවියට් සමූහාණ්ඩු අතුරින් නව පරිවර්තනයන්ට සාර්ථකව මුහුණ දුන් රාජ්‍යයක් ලෙස එස්තෝනියාව සැලකෙනවා. එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෝකයේ 43 වන ස්ථානයේ වන අතර, මානව සංවර්ධන දර්ශකය අතින් 30 වන ස්ථානයේ සිටිනවා. වර්ග කිලෝමීටර 45,227ක් විශාල මෙම රාජ්‍යයේ ජනගහනය මිලියන 1.3ක් වනවා.

කයා කලාස්

1977 ජූනි 18 වන දා උපන් කයා කලාස්, හිටපු එස්තෝනියානු අගමැතිවරයෙකු සහ හිටපු රිෆෝර්ම් පක්ෂ නායකයෙකු වන සීම් කලාස්ගේ දියණියක වනවා. ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිණියක වන අතර ඩිජිටල්කරණය​, රොබෝ තාක්ෂණය ආදී නවීන ක්ෂේත්‍ර සහ ඒවාට නෛතික ප්‍රතිපාදන සම්පාදන කිරීම යන කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.

2011 මහ මැතිවරණයෙන් එස්තෝනියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ කයා කලාස් 2014 දී යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඇය එහි කාර්මික​, පර්යේෂණ, සහ බලශක්ති කමිටුව, යුරෝපා සංගම් – යුක්‍රේන සහයෝගිතා කමිටුව ආදී කමිටුවල කටයුතු කළා.

2018 අප්‍රේල් මාසයේ දී ඇය රිෆෝර්ම් පක්ෂ නායකත්වයට පත් වුණා. එම වසරේ ම සැප්තැම්බරයේ දී ඇය යුරෝපා පාර්ලිමේන්තු ආසනයෙන් ඉල්ලා අස් වුණා. ඒ නැවත ජාතික දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා යි.

සභාග අභියෝගය​

ලැබී ඇති මැතිවරණ ප්‍රතිඵල අනුව සභාග රජයක් පිහිටුවීම සඳහා ඇති හොඳම අවස්ථාව ඇත්තේ කලාස්ට යි. යූරි රටාස්ගේ සභාගයේ වූ පක්ෂ තුනට නැවත සභාගයක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලැබී නැහැ. කලින් පාර්ලිමේන්තුවේ රටාස්ගේ මධ්‍යස්ථ පක්ෂය ආසන 27ක් ද​, ප්‍රෝ පත්‍රියා පක්ෂය ආසන 14ක් ද​, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 15ක් ද දිනා සිටියා. නමුත් මෙවර මෙම පක්ෂ තුනෙහි ආසනවල එකතුව 48ක් පමණයි.

යූරි රටාස් (AP)

EKRE පක්ෂ නායකයා විසින් මධ්‍යස්ථ පක්ෂය​, EKRE පක්ෂය, සහ ප්‍රෝ පත්‍රියා පක්ෂය ඇතුළත් සභාගයක් පිළිබඳ යෝජනාවක් පළ කර තිබෙනවා. මෙවන් සන්ධානයකට නව පාර්ලිමේන්තුවේ ආසන 57ක් හිමි වනවා.

නමුත් කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් EKRE සමග සන්ධානයකට එළඹීමේ සූදානමක් පෙන්නුම් කරන්නේ නැහැ. මේ අනුව නව රජයක් පිහිටුවිය යුතු වන්නේ ඔවුන් නොමැතිව යි.

EKRE නායක- මයිකල් හෙල්මෙ (AP)

“සභාග රජයක් පිහිටුවීමේ සහ සාමාන්‍ය බුද්ධිය අනුව කටයුතු කරමින් රජයක් පවත්වාගෙන යාමේ භාරදූර කාර්යය ඇරඹෙන්නේ දැන් ය​” යනුවෙන් කයා කලාස් එස්තෝනියානු ගුවන් විදුලියක් සමග ප්‍රකාශ කළා.

ඇය සඳහන් කරන්නේ පක්ෂය සමග සන්ධානගතවීම පිළිබඳව තමන් සලකා නොබලන බව යි. ඒ හැරුණ විට අනෙකුත් සෑම විකල්පයක් ම සලකා බලන බව යි ඇය ප්‍රකාශ කළේ.

ප්‍රධාන පක්ෂ දෙක අතර සභාගයක් පිහිටුවීම ද මෙම විකල්ප අතර වනවා. රිෆෝර්ම් පක්ෂය යටතේ වන රජයක කනිෂ්ඨ සාමාජිකයා ලෙස සිටීමට කැමැති ද යන ප්‍රශ්නය මාධ්‍යවේදීන් විසින් යූරි රටාස් වෙත යොමු කළ අවස්ථාවේ ඔහු ඒ පිළිබඳ කැමැත්ත පළ කළා. නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර ඔහු සඳහන් කළේ නැහැ.

රිෆෝර්ම් සහ මධ්‍යස්ථ පක්ෂ අතර ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ ගැටළු පවතින බව කලාස් මතක් කර දුන්නා. එනම් බදු ප්‍රතිපත්තිය​, පුරවැසිභාවය, සහ අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳව යි.

රිෆෝර්ම් පක්ෂය 2005 සිට එස්තෝනියාව පාලනය කළ අතර, 2016 දී විශ්වාස භංග යෝජනාවක් පරාජය වීමෙන් එම පක්ෂය බලයෙන් ඉවතට විසි වුණා.

කවරය: කයා කලාස් (AP)

මූලාශ්‍රයයන්:

  1. Estonia election: opposition Reform party wins but far-right support doubles (The Guardian)
  1. Estonia's opposition Reform Party wins general election (DW)
  1. Voting and Election Result

 

Related Articles