Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතියෝපියාව සහ එරිත්‍රියාව සාමයට අත වනති

දශක දෙකක් තිස්සේ පැවති විරසකයක් නිමා කරමින් ඉතියෝපියාව සහ එරිත්‍රියාව ජූලි 9 වන දා සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ප්‍රකාශයකට අත්සන් තැබුවා.

මෙම ඓතිහාසික ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කළේ ඉතියෝපියානු අගමැති අබියි අහමඩ් සහ එරිත්‍රියානු ජනාධිපති ඉසයියාස් අෆ්වර්කි විසින් එරිත්‍රියාවේ අස්මාරා අගනුවර දී යි.

ඊසානදිග අප්‍රිකාවේ කලාපීය ස්ථාවරත්වයට මෙන්ම ඉතියෝපියාවේ සහ එරිත්‍රියාවේ අනාගතයට මෙම නව මිත්‍රත්වය බෙහෙවින් වාසිදායක වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.

මෙම නව විපර්යාසය ඇති වූයේ ඉතියෝපියාවේ නව අගමැතිවරයකු පත් වීම හේතුවෙන්. ඔහු 42 හැවිරිදි හිටපු හමුදා නිලධාරියකු වන අබියි අහමඩ්.

ඉතියෝපියා – එරිත්‍රියා මෑත කාලීන ඉතිහාසය​​

එරිත්‍රියාව 1890 දී ඉතාලි යටත් ප්‍රදේශයක් බවට පත් වූ අතර ඊට වසර කිහිපයකට පෙර සිටම ඉතාලි පාලනය එම ප්‍රදේශය තුළ ව්‍යාප්ත කෙරෙමින් පැවතුණා. 1895 දී ඉතාලිය විසින් ඉතියෝපියාව (එවකට ඇබිසීනියාව​) ආක්‍රමණය කළ අතර 1896 මාර්තුවේ අද්වා සංග්‍රාමයෙන් (Battle of Adwa) ඉතාලි හමුදා අන්ත පරාජයක් ලබා යුද්ධය අවසාන වුණා.

අඩ්වා සංග්‍රාමය ඉතියෝපියානු චිත්‍රයකින් (Public Domain)

ඉතාලිය විසින් නැවත ඉතියෝපියාව ආක්‍රමණය කළේ 1935 දී. ඒ වනවිට ඉතාලිය පාලනය කළේ බෙනීටෝ මුසෝලිනී විසින්. 1936 වනවිට ඉතාලිය විසින් එම රට අල්ලාගත් අතර ඉතියෝපියාවේ හේල් සිලාසි අධිරාජයා රටින් පළා ගියා.

දෙවන ලෝක යුද්ධය අතරතුර 1941 දී ඉතියෝපියාව, එරිත්‍රියාව, සහ ඉතාලි සෝමාලිලන්තය බ්‍රිතාන්‍යය විසින් අල්ලාගනු ලැබුණා. ඉන්පසු එරිත්‍රියාව කලක් බ්‍රිතාන්‍ය හමුදා පාලනය යටතේ පැවතුණා.

එරිත්‍රියාවේ ඉරණම පිළිබඳ වාද විවාද පැවතුණා. එරට ජාතීන් නවයක ජනතාව වසන අතර ආසන්න වශයෙන් සමාන ප්‍රමාණයක් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් අදහනවා. මේ අතර වූ ක්‍රිස්තියානි ලබ්ධිකයන් වැඩි දෙනෙක් ඉතියෝපියාව හා සම්බන්ධ වීමට කැමැත්ත දැක්වූ අතර මුස්ලිම් ආගමිකයන් වැඩි දෙනෙක් නිදහස් එරිත්‍රියාවක් බලාපොරොත්තු වුණා. මේ අනුව සැමට එකඟ විය හැකි පරිදි ඉතියෝපියාව සහ එරිත්‍රියාව ෆෙඩරල් ක්‍රමයකින් එකට සම්බන්ධ කෙරුණා. එරිත්‍රියාවට වෙනම පාර්ලිමේන්තුවක්, දේශපාලන පක්ෂ සඳහා නිදහස​, වෙනම ධජයක් ආදිය ලැබුණා.

නමුත් ඒකාධිපති පාලකයකු වූ හේල් සිලාසි අධිරාජයා කෙමෙන් කෙමෙන් මෙම නිදහස සීමා කොට 1962 දී එරිත්‍රියාව සතු වූ ස්වයං පාලන බලතල සපුරා අහෝසි කළා.

මෙතැන් පටන් එරිත්‍රියාවේ නිදහස් අරගලයක් මතු වුණා. 1961 දී ඇරඹි මෙම අරගලයේ දී මුල් කාලීනව ප්‍රමුඛ වූයේ එරිත්‍රියානු මහජන පෙරමුණ නම් සංවිධානය යි. 1970 දී එයින් කැඩී ගිය එරිත්‍රියානු මහජන විමුක්ති පෙරමුණ (EPLF) 1980 දශකය වන විට වඩා ප්‍රබල කණ්ඩායම ලෙස නැගී ආවා.

මේ අතර 1974 දී හේල් සිලාසි අධිරාජයා බලයෙන් පහ කෙරුණා. ඉන්පසු බලයට පත් වූයේ මෙන්ගිස්ටු හේල් මාරියම්ගේ නායකත්වයෙන් යුක්ත හමුදා කමිටුවක්. මෙය මාක්ස්වාදී සහ දැඩි ප්‍රජාපීඩක පාලනයක් ඉතියෝපියාව තුළ නිර්මාණය කළා. මීට එරෙහිව මුලින් ම ප්‍රබල විරෝධයක් මතු වූයේ එරිත්‍රියාවට යාබද ටිග්‍රේ ප්‍රදේශයෙන්. ටිග්‍රේ මහජන විමුක්ති හමුදාව (TPLF) මෙසේ බිහි වූ සංවිධානය වුණා.

එරිත්‍රියානු සහ ටිග්‍රේ විමුක්තිකාමීන් මීළඟ වසර පහළවක පමණ කාළය තුළ හේල් මාරියම්ගේ පාලනයට එරෙහිව එක්ව සටන් වැදුණ අතර සමග තවත් සංවිධාන තුනක් එක්ව 1989 දී ඉතියෝපියානු මහජන විප්ලවකාරී ප්‍රජාතාන්ත්‍රික පෙරමුණ (EPRDF) නිර්මාණය කෙරුණා.

1991 දී මෙන්ගිස්ටු බලයෙන් පහ කෙරුණ අතර ඉන් දෙවසරකට පසු එරිත්‍රියාව ඉතියෝපියාවෙන් වෙන් ව යාමට තීරණය කළා. එරිත්‍රියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ ඉසයාස් අෆ්වර්කි. ඔහු ද ටිග්‍රේ ජාතිකයකු වූ අතර​, ඉතියෝපියාවේ නායකයා වූ මෙලෙස් සෙනාවි ද ටිග්‍රේ ජාතිකයකු වුණා.

ඉතියෝපියා – එරිත්‍රියා යුද්ධය​

දශක එකහමාරක් එක්ව සටන් වැදුණ ද, මෙම දෙරටෙහි නායකයින් අතර ප්‍රශ්න ඇති වීමට වැඩි කලක් ගත වුණේ නැහැ. මෙම ප්‍රශ්නවලට මූලික හේතුව වූයේ ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දේශසීමාව පිළිබඳ වූ ආරවුලක්. විශේෂයෙන්ම බද්මේ නම් නගරය අවට ප්‍රදේශයක් ඇතුළු බිම් කඩවල් කිහිපයක අයිතිය පිළිබඳ ප්‍රශ්න පැණ නැගී තිබුණා.

ඉතියෝපියා – එරිත්‍රියා දේශසීමාව​. කොළ පැහැයෙන් දැක්වෙන ප්‍රදේශ පිළිබඳ මතභේද පැවතියේය​ (Herald Nigeria)

1998 දී ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දේශසීමා යුද්ධයක් ඇරඹි අතර මුලින් එරිත්‍රියාව ලබාගත් ජයග්‍රහණ පසුව ඉතියෝපියාව විසින් හරවනු ලැබුණා. 2000 දී සාම ගිවිසුමක් අත්සන් කෙරුණ අතර අදාල දේශසීමා ප්‍රදේශ එරිත්‍රියාවට හිමි විය යුතු යයි සඳහන් කරනු ලැබුණා. නමුත් මෙම ප්‍රදේශවලින් ඉතියෝපියාව හමුදා ඉවත් කරගත්තේ නැහැ.

මීළඟ වසරවල දී ඉතියෝපියාව දිගින් දිගටම චෝදනා කළේ එරිත්‍රියාව විසින් සිය රට තුළ මෙන්ම යාබද සෝමාලියාවේ ද තමන්ට විරුද්ධ කණ්ඩායම්වලට ආධාර ලබා දෙන බවයි. විශේෂයෙන්ම සෝමාලියාවේ සිට ක්‍රියාත්මක වූ ඉස්ලාමීය අන්තවාදී අල්-ෂබාබ් සංවිධානයට එරිත්‍රියාව ආධාර කරන්නේය යන චෝදනාව මත ඇමරිකාව විසින් ද එරිත්‍රියාවට එරෙහිව සම්බාධක පනවනු ලැබුණා.

ඉතියෝපියාවේ ප්‍රදේශ​. ටිග්‍රේ ප්‍රදේශය ඊසානදිග ප්‍රදේශයේ එරිත්‍රියාවට මායිම්ව පිහිටා තිබේ (Geopolitical Futures)

ඉතියෝපියාවේ බහු පක්ෂ ක්‍රමයක් තිබුණද පාලක EPRDF විසින් අනෙක් කණ්ඩායම් මර්ධනය කරන බවට චෝදනා මතු වුණා. මේ අතර එරිත්‍රියාවේ පාලක පක්ෂය හැර වෙනත් කිසිදු පක්ෂයක් සඳහා ඉඩ ලබා දී නැහැ. එමෙන්ම වර්තමානයේද එරට ජනාධිපති වන්නේ ඉසයාස් අෆ්වර්කි යි.

කෙසේ වෙතත් පසුගිය වසර දහයක පමණ කාළය තුළ ඉතියෝපියාව වේගවත් ආර්ථික වර්ධනයක් ලබාගත් අතර 2005-2015 සමයේ ඔවුනගේ ආර්ථික වර්ධන වේගයේ සාමාන්‍යය සියයට 10.3 ක් වුණා. මේ අතර එරිත්‍රියාවේ ආර්ථික තත්ත්වය යහපත් වූයේ නැහැ. විශාල වශයෙන් ජනයා එරටින් සංක්‍රමණය වන බව වාර්තා වුණා. රටෙහි පුද්ගල නිදහස ද දැඩි ලෙස සීමා කරන ලද බව වාර්තා පළ වුණා, නමුත් එරිත්‍රියාව සඳහන් කළේ මෙම චෝදනා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉතියෝපියාව විසින් ගොතන ලද ඒවා බවයි.

ඉතියෝපියාවේ වෙනස​

2015 පමණ සිට ඉතියෝපියාවේ ඔරෝමෝ ජනයා රජයට එරෙහි විරෝධතා ව්‍යාපාරයන්හි නිරත වූයේ නාගරික සංවර්ධන වැඩපිළිවෙලක් සඳහා ඉඩම් අත්පත් කරගැනීමට එරෙහිව යි. මෙම විරෝධතා මර්ධනය කිරීමට උත්සාහයන් ගත්තද එය අසාර්ථක වුණා. මෙහි ප්‍රතිඵලය ලෙස අගමැති හේල්මාරියම් දෙසලෙගන් 2018 පෙබරවාරියෙදී ඉල්ලා අස් වුණා. නව අගමැතිවරයකු පත් කරගන්නා තෙක් ඔහු භාරකාර අගමැති ලෙස කටයුතු කළ අතර අප්‍රේල් මාසයේදී නව අගමැතිවරයකු පත් වුණා.

ඔහු නමින් අබියි අහමඩ්. හිටපු හමුදා නිලධාරියකු වූ ඔහු ඔරෝමෝ ජාතික මුස්ලිම් පියෙකුගේ දරුවකු වනවා. මේ අනුව ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ ක්‍රිස්තියානින් වන ඉතියෝපියාවේ නායකත්වයට මුස්ලිම් ආගමිකයකු පත්වීම විශේෂ අවස්ථාවක් වුණා.

ඔහු බලයට පත් වහාම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පටන් ගත්තා. ඒ අනුව දේශපාලන සිරකරුවන් ගණනාවක් නිදහස් කළ අබියි අහමඩ් ඉතියෝපියාවේ රාජ්‍ය ව්‍යාපාර කිහිපයක් පූර්ණ හෝ අර්ධ හෝ වශයෙන් පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා. තව ද​, ජූනි මාසය මුල දී ඔහු එරිත්‍රියාව සමග සාකච්ඡා කිරීම පිළිබඳ බලාපොරොත්තු ලබා දුන්නා.

එරිත්‍රියා දූත පිරිස ජූනි 26 වනදා ඉතියෝපියාවට පැමිණ අබියි අහමඩ් හා සාකච්ඡා කරති (MFA Ethiopia)

එරිත්‍රියානු ඉහළ පෙලේ නියෝජිත පිරිසක් අඩිස් අබාබා වෙත පැමිණියේ ජූනි 26 වන දා යි. එදින එම නියෝජිතයන් අබියි අහමඩ් සමග සාකච්ඡා කළ අතර එරිත්‍රියානු ජනාධිපති අෆ්වර්කි කඩිනමින් හමු වීමට අබියි අහමඩ් කැමැත්ත පළ කර තිබුණා. ඒ අනුව ජූලි 8 වනදා අස්මාරා නගරයට පැමිණි හෙතෙම අෆ්වර්කි මුණ ගැසුණ අතර දෙරට අතර තානාපති සබඳතා යළි ස්ථාපිත කරන බව නිවේදනය කෙරුණා.

ජූලි 9 වනදා දෙරට අතර “සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය” සඳහා අහමඩ් සහ අෆ්වර්කි අත්සන් තැබූ අතර දෙරට අතර යුධ තත්ත්වය නිල වශයෙන් අවසන් බව ප්‍රකාශ කෙරුණා.

මේ අනුව දෙරට අතර ගමනාගමන කටයුතු ද ඇරඹීමට නියමිත යි. ඉතියෝපියානු ගුවන් සේවය සඳහන් කළේ අඩිස් අබාබා – අස්මාරා ගුවන් ගමන් ජූලි 18 වනදා සිට දිනපතා සිදු කෙරෙන බවයි.

මෙම දෙරට අතර සාමය ස්ථාපිත වීමෙන් ඉතියෝපියාවට සමුද්‍රය කරා පහසු මාවතක් විවර වන අතර එරිත්‍රියාවට එරෙහි සම්බාධක කඩිනමින් ඉවත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

Cover Image: ඉතියෝපියාවේ අගමැති අබියි අහමඩ් (වමේ) සහ එරිත්‍රියාවේ ජනාධිපති ඉසයියාස් අෆ්වර්කි එරිත්‍රියානු ජනාධිපති මැදුරේ දී (Yemane G. Meskel/Eritrea’s Minister of Information)

Related Articles