බඩඉරිඟු ගොවීන්ට වින කරන සේනා හමුදාව

පසුගිය ජනවාරියේ දිනෙක රුවන්ඩා හමුදා නිලධාරින් පිරිසක් හදිසියේ අනුරාධපුරයේ බඩඉරිඟු වගා නිරීක්ෂණයට ගියා. මේ අප්‍රිකානු හමුදා කඩාවැදීම ගැන හුඟදෙනෙක් පුදුමයෙන් බැලුවා. පසුව තමයි දැනගත්තේ  රුවන්ඩා හමුදා කෘෂි විශේෂඥයින්  මෙරටට පැමිණ ඇත්තේ ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් සේනා දළඹු හානියට පිළියමක් යෙදීමට බව. නමුත් පසුව වාර්තා වුණේ ඔවුන් වගාවලට යෙදීමට නිර්දේශ කළ ‘පයිරීත්‍රම්’ නම් කෘමිනාශකය මෙරට මී මැස්සන්, සමනලුන්, මත්ස්‍යයින්, ක්ෂීරපායින් ඇතුළු සත්ත්වයින් රැසකට අතිශයින්ම මාරාන්තික බවත්, එය යොදාගැනීම හානිදායක බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය ප්‍රකාශ කළ බවත්. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. 

ඉතින් මේ නිසා සේනා තවමත් රටේ බොහෝ පෙදෙස්වල බඩඉරිගුවලට හානිකරමින් වැඩඅල්ලමින් සිටිනවා.

 කවුද මේ දළඹු සේනාව

අප්‍රිකාවේ බඩඉරිඟු වගාවක සේනා දළඹු හානිය පිරික්සමින්- fao.org

ලෝකය පුරා මේ දළඹුවා හඳුන්වන්නේ “ෆෝල් ආමිවර්ම්” (fall armyworm) කියල යි. ලංකාවටත් ඌ කඩාපාත්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංගයට ඉඟි ලැබුණේ 2019 අවුරුද්දේ මුල දී යි. මේ නිසා ඌට ගැලපෙන නමක් හැදුවෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ජාතික කෘෂිකර්ම මධ්‍යස්ථානයේ සන්නිවේදන අංශය යි. armyworm (army යන වදන හමුදාව/සේනාව වැනි අරුත් දෙයි) කියන නම සේනා දළඹුවා වුණේ ඒ විදිහට යි.

කි. මී. 100ක් පියාඹන සේනා සලබයා – wikipedia.org

සේනා දළඹුවා කියල කියන්නේ ආත්‍රොපෝඩා වංශයේ ඉන්සෙක්ටා වර්ගයේ ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයට අයත් Spodoptera frugiperda නම් සලබයෙකුගේ කීට අවස්ථාවට යි. උගේ විශේෂත්වය තමයි, එක් වරකට බිත්තර 100 සිට 1000 දක්වා ප්‍රමාණයක් දැමීම. එමෙන්ම මෙම සළඹයාට එක් රාත්‍රියක දී කිලෝමීටර් 100කට ආසන්න දුරක් පියෑඹීමටත් පුළුවන්. 

නොසිඳෙන කුසගින්නකින් යුත් සළඹයාගේ කීට අවස්ථාව වී, තිරිඟු, හා බඩඉරිඟු වැනි බෝග වර්ග 80කට අධික සංඛ්‍යාවකට හානිකරන බව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සඳහන් කරනවා. මෙම බෝග අතුරිනුත් දළඹුවා වඩාත් ප්‍රිය කරන්නේ බඩ ඉරිඟු ශාකයට යි. අපේ රටෙත් බඩඉරිඟු ගොවීන් මේ නිසා අන්ත අසරණ වී සිටිනවා.

ජීවන චක්‍රය

සලබයාගේ ජීවන චක්‍රය- bbc.com

මෙම සලබයාගේ සම්පූර්ණ ජීවන චක්‍රය දින 25 -30ත් අතර වෙනවා. සුහුඹුලා දමන බිත්තර දින 3ක දී පමණ පුපුරා කීට අවස්ථාව බිහිවනවා. කීට අවස්ථාවේ ශාකයේ කොටස් වේගයෙන් කා දමමින් දින 14ක් පමණ ඌ වර්ධනය වනවා. දිවා කාලයේ දී ශාකයේ ගොබය ආශ්‍රිතව සැඟව ගතකරන මෙම දළඹුවා වඩාත් සක්‍රිය වන්නේ රාත්‍රී කාලයේ දී යි. ඉතා කෙටි කාලයක දී ශාකයට ඉතා දරුණු හානියක් කිරීමට හැකියාව තියෙනවා. 15 වැනි දිනය වන විට හොඳින් වැඩුණු දළඹුවකු බවට පත්වෙනවා. එම දළඹුවන් පසට වැටෙනවා. පස තුළ දින 9ක කාලයක් පිලා අවධිය ගතකරනවා.

සුහුඹුල් සත්ත්වයා- wikipedia.org

දින 24කට පසු පිලා කෝෂයෙන් පිටවී සුහුඹුල් සත්ත්වයෙකු බවට පත්වෙනවා. ඊට පසු සේනා වශයෙන් පියාඹා යමින් ශාක පත්‍රවල යටිපැත්තේ බිත්තර දමමින් වගා විනාශය අරඹනවා.

ආවේ කෙහෙන්ද?

අප්‍රිකාවේ වගාබිම්- reliefweb.int

උතුරු හා මධ්‍යම ඇමරිකාවේ ස්වභාවිකව හමුවන මේ විශේෂය වර්ෂ 2016 දී මුලින්ම මතුවන්නේ  නයිජීරියාවේ වගාබිම්වලින්. පසුව අසල්වැසි  බටහිර හා මධ්‍යම අප්‍රිකානු රටවල්වලට උන් ගමන් කරනවා. එතැන් සිට 2018 වන විට මුළු අප්‍රිකානු මහද්වීපයේ රටවල් 44ක් මෙම දළඹු ආක්‍රමණයට ලක්වන්නේ දැඩි ආර්ථිකමය හානි ගෙනඑමින්. පසුව ලොව පුරා වෙනත් රටවත් සේනා ආක්‍රමණය කරන අතර අපේ අසල්වැසි ඉන්දියාවෙන් උන් වාර්තා වන්නේ 2017 සැප්තැම්බර්වල දී යි.  

2019  වසරේ මැයි මාසයේ දී කර්ණාටක ප්‍රාන්තයෙන් ඌ වාර්තා වෙනවා. වර්තමානය වනවිට මෙම උවදුර ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ව්‍යාප්ත වී අවසන්.  2019 අවුරුද්දේ අග වනවිට අපටත් සේනා හානි දැකගන්න ලැබෙනවා. උන් ඉන්දියාවේ සිට සුළඟ මඟින් හෝ අනවසරයෙන් රැගෙන එන ශාක ද්‍රව්‍ය හරහා අපේ රටට පැමිණෙන්නට ඇති.

ඉන්නේ කොහෙද?

හානියට පත්වූ ලංකාවේ වගාබිමක් – bbc.com

මේ දළඹු විශේෂය තෘණ කුලයේ ශාකවල වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. බඩ ඉරිඟු, සෝගම්, මිලට්, වී, උක්, වගේම එළවළු, පලතුරු හා රනිල බෝගවලට ද, අර්තාපල්වලට ද මේ දළඹුවාගේ හානිය දැඩිව එල්ල වීමේ හැකියාව පවතිනවා. මේ වන විට අපේ රටේ පර්යේෂකයන් හඳුනාගෙන ඇති ආකාරයට, සේනා දළඹුවන්ගෙන් වැඩිම හානිය සිදුවන්නේ බඩඉරිඟු වගාවට යි. 

අනෙකුත් පළිබෝධකයන් හා ගත් විට මේ දළඹු විශේෂය මර්දනය කිරීම ඉතා ම අසීරු යි. එයට ප්‍රධාන හේතුව වන්නේ, මේ දළඹුවන් බොහෝ විට සැඟවී සිටීම යි. විශේෂයෙන් ඔවුන් ගොබය අස්සට ගොස් එහි වර්ධනය වන ළපටි කොටස්, අංකුර, දලු මෙන්ම, නොමේරූ බීජ ආදිය කා දමමින් සැඟව සිටීනවා. මේ නිසා වෙනත් විලෝපික සත්ත්ව‍යන්ට හසුවන්නෙත් කලාතුරකින්. කෘමි නාශක ආදියට විනාශ කිරීමේ හැකියාව පෙන්වන්නෙත් නැහැ. දිගින් දිගටම දිවා රෑ නොබලා ආහාර ගැනීම හේතුවෙන්, එතරම් ප්‍රමාණයක් මළපහ කිරීම ද සිදුවෙනවා. එනිසා මොවුන් සැරිසරන ප්‍රදේශ පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව  නම් තිබෙනවා. 

මොවුන් ශාක පත්‍ර කා දැමීම හේතුවෙන්, වගාව තුළ ඉරුණු හා කඩතොලු වූ පත්‍ර බොහෝ සේ දැකිය හැකි යි. තෙත සහිත ලී කුඩු වැනි මළ අපද්‍රව්‍ය මේ වගාවල බහුලව වැටී තිබෙනවා. ළපටි පත්‍රවල ගොබය තුළ කීටයන් ද දැකිය හැකි යි. සාමාන්‍ය බඩඉරිඟු පුරුක් පණුවා මෙන් නොව, සේනා දළඹුවා කරල් තුළට පාර්ශ්විකව ඇතුඵ වී, බීජ කා දමනවා.

වනසන්න අමාරු යි

බඩඉරිඟු ගොවියන්ගේ සතුරා- dinamina.lk

ශ්‍රී ලංකාවට අලුත් පළිබෝධකයෙකු බැවින්, පළි‍බෝධකයන්ට හානිකරන කුරුල්ලන් වැනි සතුන් තවමත් මේ දළඹු විශේෂය හඳුනාගෙන නැහැ. එනිසා, ස්භාවිකව මොවුන් මර්දනය වීමට කාලයක් ගතවෙනවා. බඩඉරිඟු වැනි බෝග ප්‍රවාහනයේ දී, මේ දළඹු වසංගතය බෝවීමේ හැකියාව ඉහළ යි.  

හඳුනාගන්න පහසු යි

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ කටයුතු- srilankascientist.com

සේනා ළපටි කීටයන් ලා පැහැතියි. වැඩුණු කීටයන් කොළ, කහ, හෝ දුඹුරු පැහැයක් ගන්නවා. දළඹුවාගේ හිස තද පැහැයෙන් යුක්ත යි. හිසෙහි යටිකුරු වූ වයි අකුරක හැඩැති සලකුණක් පිහිටා තිබෙනවා. වැඩුණු කීටයකු සෙන්ටි මීටර් තුනක්, හතරක් පමණ දිගකින් යුක්ත යි. එහි සළඹයාට සුළගේ ආධාරයෙන් දිනකට කිලෝ මීටර් සියයක පමණ දුරක් පියඹා යාමට හැකියාව පවතිනවා. මොවුන් තම වර්ගයේ එකිනෙකා ගොදුරු කරගැනීම මර්දනයට ස්වභාවික පිළියමක් ලෙසින් පෙන්වා දිය හැකි වුවත්, ඔවුන්ගේ ශීඝ්‍ර පැතිරයාම එයට බාධාවක් වී තිබෙනවා.

සුදු පාට ගෝලාකාර බිත්තර පොකුරු වශයෙන් පත්‍රවල යටිපැත්තේ දමනවා. එම බිත්තර සල්ක මතින් වසා දමනවා. විශේෂයෙන් බඩඉරිඟු ආශ්‍රිත ඕනෑම බෝගයක් තුළට යාමටත්, ඒවායේ බිත්තර දැමීමට ඇති හැකියාවත්  බඩඉරිඟු, උක් වැනි ශාක පත්‍ර තුළ සැඟව සිටීමේ හැකියාවත් සේනා දළඹුවන් සතු යි.  

වගා හානි හඳුනාගැනීම

විනාශ කළ බඩඉරිඟු – lankadeepa.lk

සේනා දළඹු වසංගතයට ගොදුරු  වූ විට ඕනෑම බෝගයක මූලිකවම සිදුවනුයේ, පත්‍ර තුළ සුදු පැහැති පැල්ලම් ඇති වීම යි. ඉන් අනතුරුව දිගින් දිගටම හානි නිරීක්ෂණය කළ හැකියි. වසරකට දහ වරක් පමණ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමේ හැකියාව මොවුන්ට තිබෙනවා. සේනා දළඹුවාට සමානත්වයක් පෙන්නුම් කෙරෙන වෙනත් දළඹු විශේෂ කිහිපයක් ද එළවඵ ආදියේ දී අපට දැකගත හැකි යි. ආර්මිවර්ම් ලෙස ද හඳුන්වන මොවුනට, සේනා දළඹුවන් මෙන් සිරුරේ මෝස්තර නැහැ. මොවුන් වැඩි වශයෙන් ගෝවා වැනි එළවළු වර්ගවල දැකිය හැකි යි. බීට්රූට්වල තවත් වර්ගයක් සිටිනු දැකිය හැකි අතර, ඔවුන් බීට් ආර්මිවර්ම් ලෙස හැඳින්වෙනවා. නමුත් සේනා තරම් උන් මර්දනය අසිරු නැහැ.

වගා හානිය

මෙම දළඹුවාට 2019 නොවැම්බර් සිට මුළු රටම ග්‍රහණයට ගැනීමට ගතවූයේ මාස දෙකකටත් අඩු කාලයක්. මෙම දළඹුවා බහුල ලෙසට ව්‍යාප්ත වී ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, අම්පාර, කුරුණෑගල, මඩකලපුව, කෑගල්ල, හා මාතර යන දිස්ත්‍රික්කවල යි. එසේ මෙරට වගා බිම් රැසකට හානි සිදුකරමින්  2020 මුල දී පැතිර ගිය සේනා දළඹු උවදුර යළිත් 2020 අග දී වාර්තා වෙනවා.

අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාබිම් ආශ්‍රිතව මෙලෙස සේනා දළඹු ව්‍යාප්තිය මෙවර බහුලව දැකගත හැකි බව වාර්තා වෙනවා.

ස්ථිර විසඳුමක් නැහැ

වනසන්න බැරි සේනා – bbc.com

කෘමිනාශකවලට පහසුවෙන් ඔරොත්තු දීමේ හැකියාව උන් ගොඩනගා ගන්නවා. මේ නිසා සේනා පරාජයට ජෛව පාලන ක්‍රම යොදාගැනීම වැදගත් කියල යි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ.  තාවකාලික ඒකාබද්ධ පාලන ක්‍රම කිහිපයක් ඔවුන් හඳුන්වා දී තිබෙනවා. අසාදිත බෝග අවශේෂ පුඵස්සා මුළුමනින්ම විනාශ කිරීම, පසේ සිටින පිලා අවස්ථා විනාශ කිරීම සඳහා වගාවල දී ගැඹුරට සී සෑම, කොහොඹ ඇට නිස්සාරණය යෙදීම,  පසට කාබනික පොහොර මිශ්‍ර කිරීම ඒ අතර වෙනවා. ගොවීන් සාමූහිකව නියමිත කන්නයට සී සෑම මඟින් ද මෙය පාලනය කිරීමේ හැකියාව පවතිනවා. හෙක්ටයාරයට ටොන් දහයක් ලෙසින් වගාවල පසට කාබනික පොහොර එක් කිරීම ද මේ සඳහා වන විකල්ප ක්‍රියාමාර්ගයක්.

සේනාගේ සතුරෝ

අපේ රටේ මේ දළඹුවාගේ ස්වභාවික සතුරන් සිටියත් විශාල දළඹු සේනාවකට උන් ප්‍රමාණවත් නැහැ. මයිනා, දෙමලිච්චා, දිමියා, කඩියා, මකුණු විශේෂ උගේ සතුරන් ලෙස සැලකෙනවා. සේනාට බැටදීමට සාර්ථක ක්‍රමයක් නැතිව ඔබ මේ ලිපිය කියවන මොහොතේ දීත් බඩඉරිඟු ගොවියන් ළතැවෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ගොවිකම් සඟරාව/ 2019 මාර්තු - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Dinamina.lk

rilankanscientist.com

කවරය- සේනා හානිකළ බඩඉරිඟු -cnn.com

Related Articles