Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්සත් ජනපද රජයේ අක්‍රිය වීමක්?

පසුගිය ජනවාරි 20වන දින ඇමරිකානු රජය අක්‍රිය (US government shutdown/Federal shutdown) වූ බවට ඇසෙන්නට ඇති. අලුතෙන් පත් වූ ජනපතිවරයෙක් සිටින විට මැතිවරණයක් පවා නොමැතිව රජයක් අක්‍රියවන්නේ කෙසේ ද?? මේ ලිපිය ඒ පිළිබඳව යි.

රජය අක්‍රිය වීම යනු?

අපේ රටේ නම් විසර්ජන පනතක් පරාජය වීමෙන් රජයේ සේවකයන්ට කිසිදු බලපෑමක් වන්නේ නැහැ. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වය ඊට වඩා වෙනස්.

එක්සත් ජනපදයේ විසර්ජන පනතක් සම්මත වන්නේ ඇමරිකානු ජනාධිපති විසින් සෙනෙට් සභාවට ඉදිරිපත් කරන පනත වැඩි ඡන්දයෙන් සම්මත වී (ඡන්ද 60ක් වත් ගත යුතුයි) ජනපතිවරයා විසින් අත්සන් තැබීමෙන් අනතුරුව යි. යම් හෙයකින් විසර්ජන පනත සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන මුදල් සැපයීමට නොහැකි වනවා. මෙවන් අවස්ථාවක් එළඹෙන විට සෙනෙට් සභාව සතුව විකල්ප දෙකක් තිබෙනවා.

එනම් විසර්ජන පනත සම්මත කිරීම සඳහා එකඟතාවයකට පැමිණෙන තෙක් රාජ්‍ය යාන්ත්‍රණය සති තුනක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අතුරු යෝජනාවක් (resolution) සම්මත කරගැනීම හෝ, අයවැය සම්මත කරගන්නා තෙක් රජය අක්‍රිය කිරීම යි. බොහෝ දුරට සිදුවන්නේ අතුරු යෝජනාව සම්මත වන තෙක් දින කිහිපයකට රජය අකර්මන්‍ය වීමයි.

වසා දැමෙන සහ නොදැමෙන රාජ්‍ය ආයතන

ඉතා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතන හැරුණ කොට අනෙකුත් සියළුම රාජ්‍ය ආයතන මෙහිදී තාවකාලිකව වසා දැමෙනවා. මෙහි දී වසා දැමෙන දෙපාර්තමේන්තුවල සේවකයන්ට රජය අක්‍රියව පවතින දිනයන් සඳහා වැටුප් ලැබෙන්නෙත් නැහැ. වසා දැමෙන දෙපාර්තමේන්තු සතුව පසුගිය අයවැයෙන් ලබා දුන් මුදල්වලින් ඉතිරි කරගත් මුදල් ඇත්නම් ඒවා ආධාරයෙන් දෙපාර්තමේන්තු කටයුතු පවත්වාගැනෙන අතර මුදල් අවසන් වීම සමඟ ඒවා ද ක්‍රමයෙන් වසා දැමෙනවා.

දේශසීමා ආරක්ෂණය සහ ආගමන විගමන කටයුතු, ගුවන් යානා නියාමනය, ප්‍රවාහන ආරක්ෂණ අධිකාරීන් සහ නීති දෙපාර්තමේන්තුව මේ කාලය තුල අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාම සඳහා රජයෙන් ආධාර ලබා නොගන්නා නිසා එම කටයුතුත් නොකඩවා පැවතෙනු ඇති.

සමාජ ආරක්ෂණ කටයුතු, සෞඛ්‍ය සහනාධාර, ආහාර මුද්දර, දිළිඳු පවුල් සඳහා දෙන සහනාධාර ආදියට ලබා දෙන මුදල් ද අඛන්ඩව සැපයෙනවා.

නාසා ආයතනය, රජය විසින් පවත්වාගෙන යන පුස්තකාල, වීසා නිකුත් කිරීම, ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම, ජාතික උද්‍යාන සහ කෞතුකාගාර, ආහාර සහ වෙනත් නිෂ්පාදනවල සුරක්ෂිත බව පරික්ෂා කරන කටයුතු, වසංගත රෝග නිවාරණ මධ්‍යස්ථානය ආදී ඉතා අත්‍යාවශ්‍ය නොවන සේවාවන් සපයන ආයතන රාශියක් අයවැය සම්මතවන තෙක් වසා දැමෙනවා.

මෙවර රජය අක්‍රිය වූවේ ඇයි?

සෙනෙට් සභාව තුල ඩිමොක්‍රටික් පක්ෂයේ නායක චක් ස්කමර්/NPR

1976 සිට ඇමරිකානු රජය අක්‍රිය වීම් 18ක් පමණ සිදු වී තිබෙන අතර මෑත ඉතිහාසයේ මින් පෙර එවන් සිදුවීමක් වාර්තා වූවේ 2013 වසරේදී යි. එය සති දෙකක පමණ කාලයක් පැවතුනා. නමුත් ධවල මන්දිරයේ සහ සෙනෙට් සභාවේ බලය එක් පක්ෂයක් සතුව තිබියදී රජය අක්‍රියවිමක් සිදු වූ ප්‍රථම වතාව මෙයයි.

ශ්‍රී ලංකාවේ මෙන් නොව ඇමරිකාවේ අයවැය ක්‍රියාවලිය තරමක් සංකීර්ණ වූවක්. ඇමරිකානු රජයේ මුදල් වර්ෂය (fiscal year) ආරම්භ වන්නේ ඔක්තෝබර් මස 01 වනදා සිටයි. ජනපති විසින් ඉදිරි වසර සඳහා වන අයවැය යෝජනා සෙනෙට් සභාවට ඉදිරිපත් කළ යුත්තේ පෙබරවාරි මසයි (2019 මුදල් වසර සඳහා අයවැය යෝජනා 2018 පෙබරවාරි මස ඉදිරිපත් කළ යුතුයි). ඉන්පසු පියවර ගණනාවක් ඔස්සේ ගොස් සංශෝධන සහිතව එන විසර්ජන පනත් ජනපතිවරයා අත්සන යෙදුවාට පසු නිතිය බවට පත්වනවා.

නමුත් මෙම වසර සඳහා වූ  ඇතැම් අයවැය යෝජනා එසේ සම්මත කර ගැනුනේ නැහැ. මෙය සාමාන්‍යයෙන් එරට තුල සිදුවන දෙයක්. ඒ නිසා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම් සම්මත කරගත්තේ කඩින් කඩ ගෙන ආ තාවකාලික අඛණ්ඩ අතුරු යෝජනා (temporary continuing resolutions) මගින්. එවන් යෝජනා දෙකක් 2017 දෙසැම්බර් 08 සහ දෙසැම්බර් 22 වන දිනයන්හි දී සම්මත කර ගැනුණා. ජනවාරි 19 වන දින පරාජය වූවේ එවන් එක් යෝජනාවක්.

මෙවර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට විසර්ජන පනත සම්මත කර ගැනීමට නොහැකි වූයේ ඇමරිකා එක්සත් ජනපදයට අනවසරයෙන් ඇතුළු වූ සංක්‍රමණිකයන් පිළිබඳව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා යි. පනතට විරුද්ධව ඡන්දය භාවිතා කළ පක්ෂය පවසන්නේ අදාළ කාරණය සම්බන්ධව ජනාධිපති ට්‍රම්ප් සමඟ එකඟතාවකට පැමිණි මුත් ට්‍රම්ප් විසින් එයට අනුව කටයුතු නොකරන්නට තීරණය කළ නිසා තමන් විසර්ජන පනතට විරුද්ධව ඡන්දය දුන් බවයි.

රජය අක්‍රිය වීම පිලිබඳ ඩිමොක්‍රටික්  පක්ෂයට දොස් පවරන ජනපති ට්‍රම්ප්/Twitter

රජය අක්‍රියවීමේ වගකීම බාරගත යුත්තේ ට්‍රම්ප් බව පවසන ස්කමර්/Twitter

ඩිමොක්‍රටික් පාර්ශවයේ ප්‍රධාන ඉල්ලීමක් වූවේ ළමා කාලයේදී අනවසර සංක්‍රමණිකයන් සේ ඇමරිකාවට ඇතුළු වූ 800,000කට ආසන්න පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව යි.

2012 වසරේ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඔබාමා පරිපාලනය ගෙන ආ සංක්‍රමණ ප්‍රතිපත්තිය (Deferred Action for Childhood Arrivals -DACA) ට්‍රම්ප් විසින් අහෝසි කරනු ලැබුවා. මෙම ප්‍රතිපත්තිය මගින් ළමා වයසේ දී නීති විරෝධී ලෙස ඇමරිකාවට ඇතුළු වුණ හෝ නීති විරෝධිව එරට තුල රැඳී සිටින පුද්ගලයන් යලිත් උපන් බිම් කරා පිටුවහල් කිරීම වසර දෙකකට පමා කර, ඒ කාලය තුල දී රැකියාවන්හි යෙදීමට අවසර ලබා දීම සිදුවුණා. මෙම පමා කළ වසර දෙකක කාලය නැවත නැවත අලුත් කිරීමටත් එම ප්‍රතිපත්තිය මගින් පහසුකම් සලසා තිබුණා.

එමෙන්ම ට්‍රම්ප් විසින් ඇමරිකා – මෙක්සිකෝ දේශ සිමාව හරහා ඉදිකරන්නට බලාපොරොත්තු වන මහා තාප්පය පිලිබඳ එකඟතාවකට පැමිණීමටත් දෙපාර්ශවයට නොහැකි වී තිබෙනවා.

වත්මන් තත්ත්වය

2018 ඇමරිකානු රාජ්‍ය අක්‍රිය වීම පැවතුනේ දින තුනක් පමණ යි. ඒ, ළමා කාලයේ දී අනවසර සංක්‍රමණිකයන් සේ ඇමරිකාවට ඇතුළු වූ පුද්ගලයන් පිළිබඳ පනත සාකච්ඡාවට ගන්නා පොරොන්දුව මත පෙබරවාරි 8 වන දා තෙක් අයවැය අතුරු යෝජනාවක් සම්මත කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සහය දීමත් සමඟ යි. පෙබරවාරි 08 ට ප්‍රථමයෙන් අදාළ පනත විවාදයට ගත යුතු බවට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණි බව වාර්තා වුණා.

රජය නැවත සක්‍රිය කිරීම වෙනුවෙන් ඡනදය ප්‍රකාශ කරන බව පවසන ස්කමර්/Twitter

රජය නැවත යථා තත්වයට පැමිණීම ගණ සතුට පල කරන ට්‍රම්ප්/Twitter

ඉහත පනත හැඳින්වෙන්නේ Development, Relief, and Education for Alien Minors Act (DREAM Act) ලෙසයි. එම පනතින් ඉලක්ක කරන්නේ ළමා කාලයේ දී (අවුරුදු 18ට අඩු) දෙමාපියන් සමඟ අනවසර සංක්‍රමණිකයන් දේ ඇමරිකාවට ඇතුළු වූ අයට ප්‍රථමයෙන්ම කොන්දේසි සහිතව ඇමරිකාව තුල රැඳී සිටීමට අවසර ලබා දීම සහ පසුව සුදුසුකම් සපුරන අයට අමරිකාවේ ස්ථිර පුරවැසිභාවය ලබා දීමට යි.

මෙම පනත මුලින්ම සෙනෙට් සභාවට ඉදිරිපත් කළේ 2001 වසරේදී යි. එතැන් සිට  කිහිපවිටක් සංශෝධනයන්ට ලක් වුණ මෙය මෙතෙක් සම්මත කරගැනීමට හැකියාව ලැබී නැහැ. හිටපු ජනාධිපති ඔබාමා ඉහතින් සඳහන් කළ DACA ප්‍රතිපත්තිය ගෙන ආවේ ඉන් පසුව යි.

Sources – BBC, The Guardian, New York Times, CNN ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය වාර්තා.

Cover Photo – Politico Europe

Related Articles