Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියානු දැරියන් 276 දෙනෙක් පැහැරගැනීම

2014 අප්‍රේල් මස 14 වන දා නයිජීරියාවේ බොර්නෝ පළාතේ චීබොක් ප්‍රදේශයේ පිහිටි ර‍ජයේ ද්විතීක කාන්තා පාසලක නේවාසිකාගාරයකට ඇතුළු වන නයිජීරියානු බොකෝ හරාම් ත්‍රස්තයන් එහි සිටි ශිෂ්‍යාවන් 276 දෙනෙකු පැහැරගෙන ත්‍රස්ත බල ප්‍රදේශය වෙත රැගෙන යනවා.

නයිජීරියානු රජය එක්සත් ජාතින්ගේ සංවිධානය හා මානව හිමිකම් සංවිධාන රැසක් සමග එකතු ව මෙම දැරියන් නිදහස් කරගැනීමට ඉතා වෙහෙසක් දරන අතර, විවිධ කොන්දේසි මත වරින් වර ශිෂ්‍යාවන් කණ්ඩායම් ලෙස නිදහස් කිරීමට බොකෝ හරාම් සංවිධානය එකඟ වෙනවා. පැහැරගැනීමෙන් දැනට වසර හතරක් ගත වී තිබුණත් එදා චීබොක් පාසල් දැරියන්ගෙන් බොහෝ ප්‍රමාණයක් පිළිබඳ ව තොරතුරු අද වන විටත් සොයාගැනීමට අපහසු වී තිබෙනවා.

දැරියන් පැහැරගත් බොකෝ හරාම් සංවිධානය

බොකෝ හරාම් ධජය (Wikipedia)

බටහිර අප්‍රිකානු රටවල්වල ක්‍රියාත්මක වෙන අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන අතරින් නයිජීරියාව මූලික කරගනිමින් ව්‍යාප්ත ව ඇති බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය වර්තමානයේත් ක්‍රියාත්මක සංවිධානයක් ලෙස හැදින්විය හැකි යි.

2002 දී මොහමඩ් යූසෆ් නම් පුද්ගලයෙකුගේ ප්‍රධානත්වයෙන් බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය ආරම්භ වෙන අතර 2009 සිට එයට නායකත්වය ලබා දෙන්නේ අබුබකර් ශේකෞ නම් ත්‍රස්තයා විසිනුයි.

මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු නයිජීරියාවේ ශුද්ධ ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැගීම යි. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔවුන් 2015 හා 2016 වසරවල දී ISIS ත්‍රස්තයන් සමග එකතු වී කටයුතු කරනවා.

මේ වන විට මෙම සංවිධානය විසින් දස දහස් ගණනාවක පුද්ගල ජීවිත විනාශ කර ඇති අතර තවත් බොහෝ පිරිසකට උන් හිටි තැන් අහිමි කර තිබෙනවා. තව ද ළමුන් පැහැරගැනීම හා පැහැරගත් ළමුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස යෙදවීම අතින් ප්‍රමුඛ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස අප්‍රිකානු කලාපය තුළ නම් දරා සිටිනවා.

පාසල වටකර දැරියන් පැහැරගැනීම

පැහැරගත් දැරියන්ගෙන් කොටසක් (Theirworld)

2014 අප්‍රේල් මස 14 වන දා රාත්‍රියේ චීබොක් ද්විතීක කාන්තා පාසල වට කරන ත්‍රස්තයන් එහි සිටි සියලුම දැරියන්ට තමන් සමග පැමිණෙන ලෙස අණ කරනවා. මේ සඳහා ඔවුන් ට්‍රක් රථ රැගෙනවිත් සිටි අතර ඒවා යොදාගනිමින් ඔවුන්ගේ බල ප්‍රදේශ වූ සැම්බිසා වනාන්තරයේ රහස් ප්‍රදේශවලට රැගෙන යනවා.

පැහැරගැනීමෙන් අනතුරුව පාසල හා නේවාසිකාගාරය කඩා බිද විනාශ කර ගිනි තැබීමට ඔවුන් විසින් ක්‍රියා කරනවා.

මෙහි දී පැහැරගෙන ගිය ශිෂ්‍යාවන් ගණන නොයෙකුත් වාර්තා ලෙස සටහන් වී තිබෙන්නේ වෙනස් ප්‍රමාණ වලිනුයි. වයස අවුරුදු 16-18ත් අතර ශිෂ්‍යාවන් මෙම නේවාසිකාගාරයේ රැඳී සිටි අතර දෙමාපියන් සඳහන් කරන්නේ පැහැරගත් දැරියන් ගණන 234ක් බව යි. මේ පිළිබඳ ව පරීක්ෂණ පවත්වන නයිජීරියානු පොලීසිය අවසානයේ දී නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දැරියන් 276 දෙනෙකු පැහැරගැනීමට ලක් වී ඇති බව යි.

පැහැරගැනීමෙන් අනතුරුව

ත්‍රස්තයන් විසින් නිකුත් කළ වීඩියෝවේ දැරියන් සිටි අන්දම (The Guardian Nigeria)

පැහැරගැනීමට ලක් වූ දැරියන් අතරින් ඉස්ලාම් නොවූ සියලු දෙනා බලෙන් ම ඉස්ලාම් දහමට හරවනවා. දැරියන් සියලු දෙනාව ම දුෂණයට ලක් කෙරෙන අතර බොහෝ දෙනෙකුට බොකෝ හරාම් සාමාජිකයන් හා විවාහ වෙන ලෙස අණ කරනවා.

මේ පැහැරගැනීමත් සමග මුළු ලෝකයේ ම අවධානය නයිජීරියාව කරා යොමු වන අතර ඔවුන් බේරාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට බ්‍රිතාන්‍ය හමුදා නයිජීරියානු රජයෙන් අවසර ඉල්ලා සිටිනවා. නමුත් බොකෝ හරාම් ත්‍රස්තයන් හා රජය අතර ඇති වූ යම් යම් එකඟතා හේතුවෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ කාලයේ පැවති රජය දැරියන් මුදාගැනීම සඳහා දැක්වූයේ උදාසීන ප්‍රතිපත්තියක් බව පසු ව චෝදනා එල්ල වෙනවා.

සිදුවීමෙන් පසු ව නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් ජාතිය අමතා මේ පිළිබඳ ව කතා කරන අතර, දැරියන් බේරාගැනීම සඳහා හැකි සෑම උත්සාහයක් ම දරන බවට ප්‍රකාශ කරනවා. තව ද, ඔහු දැරියන්ගේ දෙමාපියන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරන්නේ පැහැරගැනීමට ලක් වූ දැරියන් ගණන පිළිබඳ ව හරිහැටි තොරතුරු ලබා නොදෙන බව පවසමින්.

ඇත්ත වශයෙන් ම මේ අවස්ථාවේ දී දෙමාපියන්ගෙන් හා සිවිල් වැසියන්ගෙන් අවශ්‍ය සහය රජයට නොලැබුණු අතර ඊට හේතුව වූයේ ඔවුන් අන්ත දරිද්‍රතාවයෙන් මිරිකෙමින් ජීවත් වීමේ සටනක නිරත වූ අය වූ බැවින් ය.

ලෝක අවධානය

මිචෙල් ඔබාමා (Mashable)

දැරියන් 276 දෙනා පිළිබඳ ව ලෝක අවධානය යොමු වූ අතර ඇමෙරිකානු ජනාධිපති ආර්යාව වන මිචෙල් ඔබාමා ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් “Bring Back Our Girls” නමින් විරෝධතා ව්‍යාපාරයක් ද ආරම්භ කරනවා.

2015 වසරේ දැරියන් සිටින වීඩියෝවක් මුදාහැරීමට බොකෝ හරාම් ත්‍රස්තයන් කටයුතු කරන අතර නයිජීරියානු සිරභාරයේ සිටින බොකෝ හරාම් සාමාජිකයන් සමග දැරියන් හුවමාරු කළ යුතු බවට ප්‍රකාශ කරනවා. එසේ නොමැති වුවහොත් ඔවුන් ව ලිංගික ශ්‍රමිකයන් හා වහලුන් ලෙස විකුණා දැමීමට සිදුවෙන බව ද කියා සිටිනවා.

දැරියන් ව නිදහස් කරගැනීම හා නිදහස් කිරීම

නිදහස් වූ දැරියන් දෙදෙනෙක් ට්‍රම්ප් සමග ධවල මන්දිරයේ (Wikipedia)

2016 දී පැහැරගැනීමට ලක් වූ දැරියන්ගෙන්  57 දෙනෙකු ත්‍රස්තයන්ගෙන් ගැලවී පලා ඒමට සමත් වෙනවා. ඉන්පසු 2016 ඔක්තෝම්බර් මාසයේ දී දැරියන් 21 දෙනෙකු නිදහස් කරගැනීමට නයිජීරියානු හමුදා සමත් වෙනවා.

ත්‍රස්තයන් විසින් මෙසේ පැහැරගත් දැරියක් 2017 ජනවාරි මාසයේ දී නිදහස් කරන අතර ඇය පැමිණෙන්නේ මාස හයක් පමණ වයසැති කුඩා දරුවෙක් ද සමග යි. 2017 මැයි මාසයේ දී ඔවුන් තවත් දැරියන් 82ක් නිදහස් කරන්නේ බොකෝ හරාම් සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට නයිජීරියානු රජය සිය කැමැත්ත පළ කිරීමෙන් පසු ව යි.

මීට අමතර ව මෙහෙයුම්වලින් දැරියන් මුදාගැනීම සිදුකළත් නේවාසිකාගාරයෙන් පැහැරගත් දැරියන් විශාල ගණනක් තවමත් ත්‍රස්තයන් යටතේ සිටිනවා. නොයෙක්වර ඔවුන් විසින් ශිෂ්‍යාවන් පැහැරගැනීමේ ත්‍රස්ත ක්‍රියා සිදුකර ඇති බැවින් 2014 දී පැහැරගත් දැරියන්ගෙන් බේරාගත් ප්‍රමාණය කොපමණ ද යන්න හරිහැටි ගණනය කිරීම අපහසු වී  තිබෙනවා.

කෙසේ නමුත් බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් කුඩා දැරියන් ව පැහැරගෙන ලිංගික අඩත්තේට්ටම් සිදුකිරීමත්, කුඩා පිරිමි දරුවන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස යොදාගැනීමත් නයිජීරියාවේ ඛේදාන්තයක් බවට පත් වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය: දරුවන් බේරා දෙන ලෙස ඉල්ලමින් සිදුකරන විරෝධතා ව්‍යාපාරයක් (Thomson Reuters Foundation News)

Related Articles