Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පළමු පාවෙන හෝටලයේ ඇදහිය නොහැකි කතාව

2019 ඔක්තෝම්බර් මාසයේදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, ලොව පළමු පාවෙන හෝටලය විනාශ කිරීමට නියම කරනවා. ඒ වෙද්දී මේ හෝටලය උතුරු කොරියානු මුහුදේ තිබුණත් අයිති ව තිබුණේ දකුණු කොරියානු සමාගමකටයි. එම සමාගම ජපාන සමාගමකින් එය මිල දී ගෙන තිබුණු අතර මෙම හෝටලය කාලයක් වියට්නාමයේ ඉතා ම ජනප්‍රියත්වයට පත්වූ එකක් වනවා. එය පළමුව නිෂ්පාදනය කෙරුණේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන්. කිලෝමීටර 14000 කට වැඩි දුරක් ගමන් කිරීමේ අත්දැකීම් ඇති මේ පාවෙන හෝටලය ගැන දැනගන්න මේ ලිපිය වැදගත් වේවි.

kim jong um at floating hotel
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පාවෙන හෝටලය අසලදී / abcnews

ලොව පළමු පාවෙන හෝටලය ඉදිවෙයි

මහා බාධක කොරල් පරය ගැන ඔබ බොහෝවිට අසා ඇති. එයයි ලෝකයේ විශාලත ම කොරල් පරය වන්නේ. තනි තනි කොරල් පර 2900කට වැඩි ගණනකින් සහ දුපත් 900 ගණනකින් සමන්විත වෙන මේ කොරල් පරය නැගෙනහිර ඕස්ට්‍රේලියා මුහුදේ කිලෝමීටර 2300කට වැඩි දුරකට විහිදෙනවා. ටවුන්ස්විල් නගරය (Townsville) පිහිටා තිබෙන්නේ මේ මහා බාධක කොරල් පරය පවතින වෙරළ තීරයේයි. වසරකට මිලියන ගණන් සංචාරකයන් මහා බාධක කොරල් පරය නැරඹීමට පැමිණෙන නිසා 1980 දී ටවුන්ස්විල් නගරයේ ජීවත්වූ ඩග් ටාර්කා සහ ඔහුගේ පුත් පීටර් ටාර්කා යන දෙදෙනාට තමන්ගේ නගරයටත් වැඩි සංචාරක පැමිණීමක් ලබාගන්න ක්‍රමයක් සැලසුම් කරනවා.

ඩග් ටාර්කා වෘත්තියෙන් නගර නිර්මාණ ශිල්පියෙක්. ඔවුන් දෙදෙනාගේ සැලැස්ම වුණේ පාවෙන හෝටලයක් නිර්මාණය කිරීමයි. සුවිසල් මගී ප්‍රවාහන නෞකා කියන්නේ එක්තරා ආකාරයක හෝටලයක් වුණාට ඔවුන්ට අවශ්‍ය වුණේ නැවක් තුළ හෝටලයක් නිර්මාණය කිරීම වෙනුවට පාවෙන හෝටලයක් නිර්මාණය කිරීමක්. ලෝකයේ ඒ වෙනතෙක් එවැන්නක් නිර්මාණය කර තිබුණේ නැහැ.

doug tarca with the model of the hotel
ඩග් ටාර්කා ඔහුගේ පාවෙන හෝටලයේ ආදර්ශනය සමගින් – messynessychic.com

 

1987 දී මෙහි නිර්මාණ කටයුතු ස්වීඩනයේ සමාගමක් සිදු කර තිබූ අතර සිංගප්පුරුවේ දී එරට සාමගමක් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කළා. මෙහි ඉදිකිරීම් කටයුතු වසරක පමණ කාලයකින් නිම වුණු අතර ඒ සඳහා වැය වුණු මුදල ඒ කාලයේ වටිනාකමින් අමෙරිකා ඩොලර් මිලියන 20 ක් පමණ වන බවයි පැවසෙන්නේ.

building the floating hotel
පාවෙන හෝටලය ඉදිකිරීම – sensesatlas.com

තට්ටු 7 කින් සමන්විත මෙම හෝටලයේ දිග මීටර 90ක්. මෙම හෝටලය ජලය මත පාවුණත් නැවක් ආකාරයට තනිව ම යාත්‍රා කළ නොහැකි නිර්මාණයක්. ඒ වෙනුවට, අවශ්‍ය වුවහොත් පමණක් වාහක යාත්‍රාවක් මගින් තවත් තැනකට රැගෙන යා හැකි ලෙස නිර්මාණය කර තිබුණා. අනෙක් සෑම අවස්ථාවකදී ම මෙම පාවෙන හෝටලය මුහුදේ යම් තැනක නිසල ව පවත්වා ගැනෙනවා. 1988 මාර්තු මාසයේදී හෝටලය විවෘත කිරීම සඳහා සිංගප්පුරුවේ සිට ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ දක්වා කිලෝමීටර 4000ක පමණ දුරක් අධි බර දැරිය හැකි වාහක නෞකාවක් මඟින් රැගෙන ආවා. එසේ රැගෙන ඒමෙන් පසු හෝටලය පාවී ඉවතට යාම වැලැක්වීම සඳහා නැංගුරම් විශාල ප්‍රමාණයක් යෙදවූ බවත් සඳහන්.

transporting floating hotel
වාහක නෞකාවක් මත පාවෙන හෝටලය පටවා ඇති ආකාරය – vietnamnet.vn

පාවෙන හෝටලයේ ඇදහිය නොහැකි පහසුකම්

මෙම පාවෙන හෝටලය නම් කර තිබුණේ “Four Seasons Great Barrier Reef Resort” ලෙසයි. මහා බාධක පරයේ ඇති එක් කොරල් පරයක් වන “ජෝන් බෘවර්” කොරල් පරය ආසන්නයේ ම මෙම පාවෙන හෝටලය නැංගුරම් ලා තිබුණු අතර එහි සිට ටවුන්ස්විල් වෙරළට කිලෝමීටර 70ක් පමණ දුරක් පවතිනවා. දුර සිට බැලූ විට තට්ටු 7කින් යුත් ගොඩනැගිල්ලක් මුහුදේ පාවෙමින් පවතින ආකාරයටයි මෙම හෝටලය දිස්වන්නේ. හෝටලයට ගොඩ වුවහොත් එය ඒ කාලයේ තිබූ සුඛෝපභෝගී ම හෝටල්වල සියලු පහසුකම්වලින් සමන්විත සුපිරි හෝටලයක් බව කිව යුතුයි.

floating hotel at distance
පාවෙන හෝටලය සහ ඉදිරිපස ටෙනිස් ක්‍රීඩාපිටිය මෙහි දිස්වේ – sensesatlas.com

සුඛෝපභෝගී කාමර 200 කින් මෙම හෝටලය සමන්විතයි. රාත්‍රී සමාජ ශාලාවක්, තැබෑරුමක්, ශරීර සුවතා ඒකකයක්, හුමාල ස්නානය සඳහා වෙන් වුණු  නාන කාමරයක්, පුස්තකාලයක්, ආසන 100කින් සමන්විත රඟහලක්, සම්මේලන මධ්‍යස්ථානයක් සහ හෙලිකොප්ටර නැවතුම් අංගනයක් ආදිය ද හෝටලයේ පහසුකම් අතර වනවා. ඊට අමතර ව ටෙනිස්‌ පිටියක් සහ මිරිදිය පිහිනුම් තටාකයක් ද පවතින නිසා සංචාරකයන්ට මෙය පාවෙන හෝටලයක් බව අමතක කරවනවා. ලෝකයේ සාගර 7න් ම වාගේ මුහුදු ආහාර ඇතුළත් මෙනු සහිත අවන්හල් දෙකක් ද මෙම හෝටලයේ දැකිය හැකියි.

මෙම පාවෙන හෝටලයට සංචාරකයන් පැමිණීමේ ප්‍රධාන ම අරමුණ වන්නේ එය ස්ථානගත කර ඇති මහා බාධක පරය සහ ඒ ආශ්‍රිත ජෛව විවිධත්වය නැරඹීමයි. ඒ සඳහා අවශ්‍ය කිමිදීමේ පහසුකම් සහ ආරක්ෂාව හෝටලය සපයනවා. ඊට අමතර ව හෝටලයට අයත් සබ්මැරීනයට ගොඩවීමෙන් මුහුදු පතුලේ කොරල් පර නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා. පතුලේ විදුරු සවි කළ බෝට්ටු යොදා ගනිමින් කොරල් පර නැරඹීමටත් ඔවුන්ට හැකියි. එසේ නොමැති නම් හෝටලයෙන් පිටතට නොගොස් හෝටලයේ පතුලේ ඇති වීදුරු සවි කළ කාමරවල සිට ම කොරල් පර සහ වෙනත් ජීවින් නැරඹීමටත් යමකුට අවස්ථාව පවතිනවා.

inside floating hotel
පාවෙන හෝටලය ඇතුළත – vice.com

විවිධ බාධක එල්ල වෙයි

සියලු පහසුකම්වලින් සමන්විත මෙම හෝටලය මහා බාධක පරය ආශ්‍රිත ව සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට මනා පිටිවහලක් වන්නට ඇතැයි යමකුට සිතෙන නමුත් ආරම්භයේ සිට ම මෙම හෝටලය බාධක බොහොමයකට මුහුණ දුන්නා. ඉන් එකක් වන්නේ හෝටලය විවෘත කිරීමට නියම කළ දිනට වඩා මාස 6ක කාලයක් ප්‍රමාද වී එය බාර දීම සිදු වීමයි. එය ඕස්ට්‍රේලියා වෙරළට ළඟා වූ දිනවල දී පැයට කිලෝමීටර 100ක වේගයෙන් හැමූ “චාලි” සුළි කුණාටුවට ගොදුරු වීම නිසා හෝටලයට සුළු අලාභ හානි ද සිදුවුණා. ඒවා යථා තත්වයට පත් කිරීම සඳහා තවත් කාලයක් ගත වී තිබූ අතර මේ සියල්ල ම හේතුවෙන් හෝටලය විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වුණා. හෝටලය සඳහා ටිකට්පත් මිලදී ගත් බොහෝ දෙනා ඒවා අවලංගු කළ බැවින් හෝටලයේ ආදායමත් ඩොලර් මිලියන ගණනකින් පහළ ගියා. උතුරු අර්ධගෝලයේ සීත සෘතුවට දකුණට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් දීම සඳහාත් හෝටලය නියමිත කාලය ඇතුළත සුදානම් කිරීමට නොහැකි වීමෙන් විශාල පාඩුවක් ද සිදුවූ බවටයි වාර්තා වන්නේ.

luxury bedroom inside floating hotel
හෝටලය ඇතුළත සුවපහසු කාමර – vice.com

පාවෙන හෝටලයේ එක් රාත්‍රියක් සඳහා එක් කාමරයකට අමෙරිකා ඩොලර් 1100 ක් වැනි විශාල මුදලක් ගෙවිය යුතු වනවා. මේ අයකිරීම විශාල වීමට හේතුව වන්නේ හෝටලය පවත්වාගෙන යාම සහ නඩත්තු කටයුතු කටයුතු සඳහා හෝටල් පරිපාලනයට විශාල මුදලක් වැයවීමයි. මහා බාධක කොරල් පරය ආශ්‍රිත ව පරිසර සංරක්ෂණ නීති දැඩි ව ක්‍රියාත්මක වන නිසා ඒවාට යටත් ව හෝටලයේ සියලු කටයුතු කිරීමේ දී පවත්වාගෙන යාමේ වියදම් අධික වූ බවයි පැවසෙන්නේ. නැවේ බඳ කොටසේ අලේප කර තිබෙන්නේ ද පරිසරයට අහිතකර නොවන තීන්ත වර්ගයක්. හෝටලයේ අප ජලය මුහුදට මුදා හැරෙන්නේ ද නැහැ. ඒ වෙනුවට ඒ සියලු ම අප ජලය සහ දියරමය අපද්‍රව්‍ය සම්පුර්ණයෙන් ම පිරියම් කිරීමට ලක් කර කොරල් පරවලට සැතපුම් ගණනක් දුරින් මුදා හැරෙනවා. ඝන අපද්‍රව්‍ය ද ගොඩබිමට රැගෙන යාමට පෙර පුළුස්සනවා.

පවත්වාගෙන යාම සහ නඩත්තු කටයුතු

ඉහත කටයුතු පවත්වා ගැනීම සඳහා හෝටලයේ ප්‍රධාන තට්ටුවට යටින් ජලය කාන්දු නොවන ලෙස සැකසු කාමරයක් තුළ අපජලය පිරියම් කිරීමේ යන්ත්‍ර, ඩීසල් ජෙනරේටර්, මුහුදු ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර සහ මෙම යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ වැඩපලක් ද පිහිටුවා තිබෙනවා. හෝටල් ගොඩනැගිල්ලේ ම පිහිටුවා ඇති පර්යේෂණාගාරයක මුහුදු කුරුල්ලන්ගේ වසුරු විශ්ලේෂණය කිරීම ද සිදුවෙනවා. ඒ එම සතුන් හෝටලයෙන් ඔවුන්ගේ ආහාරයට නුසුදුසු ආහාර ලබගන්නේදැයි පරික්ෂා කිරීමටයි. මේ සියලු කටයුතු නිසා පාවෙන හෝටලය සම්පුර්ණයෙන් ම පරිසර හානියෙන් තොර බව නිර්දේශ වී තිබුණත් එය එලෙස ම පවත්වාගැනීම සඳහා දෛනිකව අධික මුදලක් දරන්නට හෝටල් පරිපාලනයට සිදුවනවා.

swimming pool of the floating hotel
හෝටලයේ පිහිනුම් තටාකය – ExpressDigest.com

හෝටලයේ ආදායම් පහළට

හෝටලය ගොඩබිමෙන් කිලෝමීටර 70ක් දුරින් ස්ථානගත කර තිබීම නිසා සංචාරකයකුට බෝට්ටු ටැක්සි මඟින් එහි ළඟාවීමට ඩොලර් 120ක මුදලක් වැයවනවා. ඒ සඳහා ගත වන කාලය මිනිත්තු 90ක්. එසේත් නැතිනම් ඩොලර් 325ක් ගෙවා හෙලිකොප්ටරයකින් විනාඩි 20 ක් තුළ හෝටලයට ළඟා විය හැකියි. මෙම මුදල් වැයවීමට අමතර ව අයහපත් කාලගුණ වෙනස් වීම්වලට මුහුණ දීමටත් හෝටලය කරා පැමිණෙන සංචාරකයන්ට බොහෝවිට සිදුවනවා. එවැනි දිනවල දී හෝටලයට පැමිණීමට නියමිත සංචාරකයන් ද සිය ගමන් අවලංගු කරනවා. කාලගුණ බලපෑමක් නොමැති වුවත් පැය 1.5ක මුහුදු ගමනක යෙදීම බොහෝ දෙනාට ඉතා වෙහෙසකර කටයුත්තක්. 1988 අගෝස්තුවේ දී එක් බෝට්ටු ටැක්සියක් ගිනි ගැනීමකටත් ලක්වුණු අතර එහි ගමන් කළ මගීන්ට ද දරුණු තුවාල සිදු වූ බව සඳහන්.

පාවෙන හෝටලය ක්‍රියාත්මක කර වසර 5කින් ජෝන් බෘවර් කොරල් පරයෙන් 90% ක් පමණ ස්වභාවික හේතූන් නිසා ක්ෂය වී ගියා. ඒ Crown of thorns නම් තාරකා මාළු විශේෂයේ ආක්‍රමණ නිසා කොරල් පර ඔවුන්ගේ ආහාරයට පත්වීමයි. හෝටලයේ සිට කොරල් නැරඹීමට නොහැකි නිසා සංචාරක ආකර්ෂණයත් ක්‍රමයෙන් අඩුවීම සිදු වුණා. 1988 සැප්තැම්බර් මාසයේදී සංචාරකයෙක් කොරල් පර නැරඹීම සඳහා කිමිදෙන අවස්ථාවකදී දෙවන ලෝක යුද සමයේ භාවිත කළ අවි ආයුධ තොගයක් පාවෙන හෝටලය ආශ්‍රිත මුහුදු පත්ලේ තිබී සොය ගන්නවා. එම අවි ආයුධ තොගයේ බර ටොන් 100ක් පමණ වන බවයි වාර්තා වුණේ. ඒවායින් හෝටලයට හානියක් නොවන බව නාවික හමුදා පරීක්ෂණවලින් තහවුරු කෙරුණත් මේ හේතුව නිසාත් හෝටලයට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය පහළ ගියා. ඒ අනුව හෝටලයේ රාත්‍රියක් ගත කිරීම සඳහා ද්විත්ව කාමරයකට ගෙවිය යුතු මුදලත් ඩොලර් 130 දක්වා අඩු වුණා. මේ නිසා වැඩි ලාභ ලැබිය හැකි වෙනත් මුහුදු ප්‍රදේශයකට හෝටලය ගෙන යා යුතු බවටයි තීරණය කෙරුණේ.

පාවෙන හෝටලය වියට්නාමයට

අවසානයේ හිමිකරුවන් ජපාන සමාගමකට හෝටලය විකිණීම සිදු කරන්නේ 1989 දීයි. ඒ එය ඔස්ට්‍රේලියාවේ දී විවෘත කර වසරකට පසුවයි. ජපාන සමාගම පාවෙන හෝටලය කිලෝමීටර 5000ක් දුර ගෙවා දකුණුදිග වියට්නාමයේ හෝ චි මිං නගරය වෙත ගෙන යනවා. වියට්නාමය සිය යුද්ධයෙන් පසු සංචාරක පිබිදීමක් ලබමින් සිටියේ මේ අවධියේ වුවත් හෝ චි මිං නගරය සතු ව ධනවත් සංචාරකයන් සඳහා ප්‍රධාන පෙළේ හෝටලයක් නොමැති වීමේ අඩු පාඩුවත් තදින් දැනෙමින් පැවතුණා. මේ නිසා පාවෙන හෝටලය වියට්නාමය බලාපොරොත්තු වූ ආකාරයේ ම ගොඩනැගිල්ලක් බවට පත්වුණා. ජපාන සමාගම මෙය ඉලක්ක කරගෙනයි හෝටලය එම ස්ථානයට ගෙන යාමට සැලසුම් කරන්නේ.

floating hotel at saiggon
වියට්නාමයේ සායිගොන් ගංගාවේ පාවෙන හෝටලය නැංගුරම් ලා ඇති අයුරු – vice.com

වියට්නාමයේ සායිගොන් ගංගාවේ මෙම පාවෙන හෝටලය නැංගුරම් දමන අතර වියට්නාමයට ආවේනික පෙනුමක් ද ලැබෙන පරිදි හෝටලයේ අලුත්වැඩියා කිරීම් ද සිදු වෙනවා. හෝටලයේ නම ද “සායිගොන් පාවෙන හෝටලය” ලෙස වෙනස් කෙරෙනවා. එවකට වියට්නාමයේ තිබෙන එකම විදේශීය සමාගමකට අයත් හෝටලය වන මෙය සංචාරකයන් අතර මුල්තැන දිනා ගත් හෝටලය බවට පත්වීමට ගතවන්නේ ඉතා කෙටි කාලයක්. 1995 වන විට මෙහි කාමරයක රාත්‍රියක් ගත කිරීම සඳහා අමෙරිකා ඩොලර් 335 ක් ගෙවිය යුතුයි. ඒ වන විට වියට්නාමයේ වැසියකුගේ වාර්ෂික ආදායම වන්නේත් ඇමෙරිකානු ඩොලර් 350 ක මුදලක් පමණයි.

අවසන් නවාතැන

වසර 9 කට වැඩි කාලයක් වියට්නාමයේ දී ලාභ ඉපයූ පාවෙන හෝටලයේ අණසක නිමවන්නේ 1997 වසරේදීයි. ඒ වියට්නාමයේ දේශීය හෝටල් සහ වෙනත් විදෙස් සමාගම්වල හෝටල් නව පෙනුමකින් වැඩි දියුණු කිරීමත් සමඟයි. මේ සමඟ ජපාන සමාගම දකුණු කොරියා සමාගමකට හෝටලය විකුණා දමනවා. දකුණු කොරියා සමාගම පාවෙන හෝටලය මීළඟට ගෙන යන්නේ උතුරු කොරියාවේ “මවුන්ට් කුම්ගාන්ග්” නම් සංචාරක ප්‍රදේශයටයි. එය උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරෙන දේශ සීමාවට ඉතා ආසන්නයේ ස්ථාන ගත කෙරෙන අතර හෝටලයේ නමද “Hotel Haegeumgang” ලෙස වෙනස් කෙරෙනවා. 1998 දී හෝටලය විවෘත කෙරෙන්නේ උතුරු සහ දකුණු කොරියාව අතර සබඳතා ගොඩනැගෙන අවධියේයි. හෝටලයත් මේ සඳහා උදව් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළා.

1998 සහ 2008 කාලයේදී මෙම හෝටලය ක්‍රියාත්මක වුණේ 1950-53 කොරියානු යුද්ධයේ දී දෙරටට වෙන්වී ගිය පවුල් නැවත එක් කරන නිල ස්ථානය ලෙසයි. මේ නිසා දශක 6 කට වැඩි කාලයක් දෙරටේ වෙන් ව වාසය කරන ඥාතීන්ට එකිනෙකා දැකබලා ගැනීමට මෙම හෝටලය ඉවහල් වුණා. 2008 ජූලි මාසයේ දී උතුරු කොරියා සොල්දාදුවකු දකුණු කොරියානු සංචාරකයකු හෝටලය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීම නිසා හෝටලය වසා දැමීමට දෙරට රජයයන් පියවර ගත්තා. එතැන් සිට මෙම පාවෙන හෝටලය එම ස්ථානයේම දිරාපත්වෙමින් පවතිනවා. එය 2019 දක්වා දේශීය සංචාරකයන් සඳහා යම් මට්ටමිකින් ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.

floating hotel on google maps
ගූගල් චන්ද්‍රිකා සිතියමේ පාවෙන හෝටලය දිස්වන අයුරු / maps.google

2019 ඔක්තෝම්බර් මාසයේදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් මෙම හෝටලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙනවා. එහිදී ඔහු  මෙහි කල් ඉකුත් වූ ගෘහ නිර්මාණ ශිල්පය සහ විනාශයට පත්ව ඇති ආකාරය විවේචනය කරන අතර කොරියානු ආභාෂයක් හෝ නොමැති මෙම ගොඩනැගිල්ල විනාශ කිරීමටත් නියෝග කෙරෙනවා. කෙසේවෙතත් එය අදටත් උතුරු කොරියාවේ කුම්ගාන්ග් වරායේ භාවිතයට නොගෙන අත්හැර දමා තිබෙන අයුරු දැකිය හැකියි.

කවරයේ පින්තූරය - පාවෙන හෝටලය - thejournaylist.com

මූලාශ්‍ර:

sensesatlas.com

messynessychic.com

abc.net.au

vice.com

theguardian.com 

Related Articles