Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක පාපන්දු පිටියේ සිදු වූ සිය ගණන් මිය ගිය ඛේදවාචක පහක්!

 ක්‍රීඩාව යනු ලොව පුරා මිනිසුන් රැසක් විශාල කැමැත්තක් දක්වන ක්ෂේත්‍රයක් බවට ප්‍රකාශ කිරීම වඩාත් නිවැරැදි යි. එම ක්‍රීඩාව තුළ ම සිදුවූ විවිධාකාරයේ සිදුවීම් නිසා අසන්නට ලැබුණු ඛේදවාචක ද ක්‍රීඩා ඉතිහාසයේ දකින්නට ලැබෙනවා. පාපන්දු ක්‍රීඩාව තුළ ද මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදු වන බව සහ ඉතිහාසයේ සිදු ව ඇති බවට ද අපට සාධක හමු වනවා.

පසුගියදා ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයක් අතරතුර නිර්මාණය වූ ගැටුම
 ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයක් අතරතුර පසුගියදා නිර්මාණය වූ ගැටුම – www.bbc.com

ඒ අතරට වඩාත් මෑතක දී එක් වූ සිදුවීම බවට පත් වුණේ ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ප්‍රේක්ෂකයන් පසුගිය දා ගැටුමක් ඇති කරගැනීම යි. එම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලීසිය හා ප්‍රේක්ෂකයන් ගැටී අවසානයේ එය වෙඩි හුවමාරුවක් දක්වා දුරදිග ගියා. මෙම සිදුවීම නිසා ජීවිත 129ක් අහිමි වී තවත් සිය ගණනක් තුවාළ ලැබූ බවට විදෙස් මාධ්‍ය වා‍ර්තා කොට සිටියා.

එවැනි සිද්ධි නිසා ඉතිහාසයේ පාපන්දු පිටියේ වාර්තා වූ අමිහිරි මතක කිහිපයක් ගැනයි මේ ලිපිය.

1. එස්ටාඩියෝ නසියොනාල් ඛේදවාචකය (Estadio Nacional Disaster) 1964

මෙය එස්ටාඩියෝ නසියොනාල් ඛේදවාචකය ලෙස මෙන් ම ලීමා පාපන්දු ඛේදවාචකය ලෙසින්ද ප්‍රකට වී තිබෙනවා. පාපන්දු ඉතිහාසයේ සිදු වූ වඩාත් දරුණුත ම අමිහිරි සිදුවීම් අතර වඩාත් ඉහළින් ම මෙම සිදුවීම රැඳී පවතිනවා යැයි ප්‍රකාශ කිරීම වඩාත් නිවැරැදි යි. 

මෙම ක්‍රීඩාංගනය වර්තමානයේදී දිස්වන ආකාරය
ලීමා ක්‍රීඩාංගණය වර්තමානයේදී දිස්වන ආකාරය – www.andina.com

1964 වර්ෂයේ ටෝකියෝ ඔලිම්පික් උළලේ පාපන්දු තරග සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක් ලෙසින් පේරු රාජ්‍ය සහ ආර්ජන්ටිනාව ලීමා ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසියා. මෙම ක්‍රීඩාංගණය පිහිටා තිබුණේ පේරු රාජ්‍යයේ යි. එම තරගය නැරඹීම සඳහා 53,000 ක පමණ පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ සිටියා. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ අවසන් විනාඩි 6 එළඹෙන විටත් ආර්ජන්ටිනාව 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියා. මේ මොහොතේදී පේරු රාජ්‍යය ගෝලයක් වාර්තා කළේ දහස් ගණනක් වූ නරඹන්නන් ප්‍රීති ප්‍රමෝදයට පත් කරමින්.

ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට කඩා වදියි

කෙසේ වුවත් එම සතුටට වැඩි වේලා ඉඩ නොදුන් විනිසුරු ඈන්හෙල් එඩුවාර්ඩෝ එම ගෝලය අවලංගු කළා. මෙතෙක් ජයඝෝෂා නඟමින් සිටි ප්‍රේක්ෂකයන් කුපිත කිරීමට එම සිදුවීම සමත් වූ අතර ම ඔවුන් පාලනය කිරීමට අපහසු ලෙසින් හැසිරෙන්නට පටන් ගත්තා. ඒ මොහොතේ දී කුපිත ව සිටි ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට කඩා වැදුණු අතර ම එය නැවැත්වීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට කඩා වැදීම සහ පොලීසිය අතර ඇති වූ ගැටුම නිසා කලබල වූ බොහොමයක් දෙනා ක්‍රීඩාංගණයෙන් පිට වීමට ඉවතට දිව ගියා. නමුත් ඇතුළු වීමේ දොරටු ඒ වන විටත් වසා තිබෙද්දී එම වානේ සහ වීදුරු දොරවල් අතර මැද විශාල තෙරපීමක් ඇති වුණා. අවසානයේ දී දොරටු කැඩී ගියත් ඒ වන විටත් ඒ අතරමැද තෙරපී සිටි බොහොමයක් දෙනෙක් හුස්ම ගැනීමේ අපහසුව නිසා මරණයට පත්ව තිබුණා.

කලබලය අතරතුර පැන යන ප්‍රේක්ෂකයෝ
කලබලය අතරතුර පැන යන ප්‍රේක්ෂකයෝ – www.milenio.com

 

අවසානයේදී මෙම තෙරපීම නිසා මියගිය සංඛ්‍යාව 328ක් ලෙසත්, තුවාල ලැබූවන් ගණනින් 500 ඉක්මවා ගොස් ඇති බවත් පේරු රාජ්‍යය නිවේදනය කළා. එදින කලබල වී ක්‍රීඩාංගණයෙන් ඉවත් වීමට උත්සාහ නොකර ක්‍රීඩාංගණය තුළ රැඳී සිටි සියලු ම දෙනා දිවි ගලවා ගැනීමට සමත් වීමත් එහි විශේෂත්වයක්. කෙසේ හෝ මෙම සිදුවීමෙන් අනතුරුව එම ක්‍රීඩාංගණයේ ධාරිතාව 43, 000ක් දක්වා සීමා කිරීමටත්, ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු නැවත සැකසීමටත් එහි බලධාරීන් කටයුතු කළා.

2. හිස්ල්බර්ග් ඛේදවාචකය (Hillsborough Disaster) 1989

එංගලන්ත පාපන්දු ඉතිහාසයේ මෙන් ම බ්‍රිතාන්‍ය ක්‍රීඩා ඉතිහාසයේ ද සිදු වූ විශාලත ම ඛේදවාචකය ලෙසින් මෙම හිල්ස්බර්ග් ඛේදවාචකය හැඳින්වෙනවා. 1989 වසරේ අප්‍රේල් මස 15 වැනි දා එංගලන්ත FA කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් සඳහා ලිවර්පූල් සහ නොටින්හැම් ෆොරස්ට් යන කණ්ඩායම් ද්විත්වය සුදුසුකම් ලබා සිටියා. එදින මෙම තරගය දකුණු යෝක්ෂයර්හි නගයරක් වන ශෙෆීල්ඩ් හි හිල්ස්බර්ග් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබුණා.

ක්‍රීඩාංගනය අවට නිර්මාණය වූ අධික තෙරපීම
ක්‍රීඩාංගණය අවට නිර්මාණය වූ අධික තෙරපීම – www.thetelegraph.com

තරගයේ මුල පටන් ම අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කර ගැනීම සඳහා කණ්ඩායම් ද්විත්වයේ ම ප්‍රේක්ෂකයන්ට තිබුණේ විශාල උනන්දුවක්. මේ නිසා එදින තරගය නැරඹීම සඳහා අති විශාල ජන ගංගාවක් හිල්ස්බර්ග් ක්‍රීඩාංගණයට පැමිණෙමින් සිටියා. මේ මොහොතේ දී නොටින්හැම් ප්‍රේක්ෂකයන්ට සහ ලිවර්පූල් ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයේ වෙන ම අන්ත දෙකක් ලබා දීමට කලින් ම කටයුතු සකස් වුණා.

තරගය ආරම්භ වීමට ආසන්න වීමත්, බොහෝ ප්‍රේක්ෂකයන් ලිවර්පූල් අන්තයේ රැඳී සිටීමත් දුටු ප්‍රධාන පොලිස් නිලධාරියෙක් වූ ඩේවිඩ් ඩකන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ  C ගේට්ටුව විවෘත කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඒ මොහොතේ දී පොදිකමින් සිටි ප්‍රේක්ෂකයන් දහස් ගණනක් ක්‍රීඩාංගණයට ඇතුළු වීමට C ගේට්ටුව වෙතට දිව ගිය අතර ම එයින් ගේට්ටුව අවට විශාල තදබදයක් නිර්මාණය වුණා.

මියගිය ප්‍රේක්ෂකයන් සිහි කිරීමට තැබූ මල් පොකුරු
මියගිය ප්‍රේක්ෂකයන් සිහි කිරීමට තැබූ මල් පොකුරු – www.irishmirror.com

එහි අවසන් ප්‍රතිඵලය වූයේ ප්‍රේක්ෂකයන් දරුණු තෙරපීමකට ලක් වීම යි. අවසානයේ දී 766 දෙනෙක් පමණ තුවාළ ලබා එදින 94 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. රෝහලේ දී තවත් පුද්ගලයෙක් මිය ගිය අතර ම 1993 දී මෙම සිදුවීමෙන් තවත් අයෙක් මිය ගියා. මෙම තෙරපීම නිසා මොළයට සිදු වූ හානිවල බලපෑමෙන් තවත් පුද්ගලයෙක් සිදුවීමෙන් වසර 32 කට පසු ව 2021 වසරේ දී මිය යාම ද විශේෂත්වයක්.

ඒ අනුව හිල්ස්බර්ග් ඛේදවාචකයෙන් මියගිය සමස්යත 97 දෙනෙක් ලෙසින් වර්තමානයේ දී සලකනවා. පසුව FA කුසලාන අවසන් පූර්ව තරගය කල් දමා මැන්චෙස්ටර් හී දි යළි ක්‍රියාත්මක වුණා. එම තරගයේ ජයග්‍රහණය මෙන් ම 1989 FA කුසලාන ජයග්‍රහණය ද ලිවර්පූල් කණ්ඩායම දිනා ගත්තා.

3. හයිසෙල් ක්‍රීඩාංගණයේ ඛේදවාචකය (The Heysel Stadium Disaster) 1985

යුරෝපීය පාපන්දුවේ අඳුරුත ම පැය ලෙසින් සැලකෙන මෙම ඛේදවාචකය සිදුවූයේ යුරෝපීය කුසලාන අවසන් මහා තරගයට පෙර (එකල European Cup ලෙසත් වර්තමානයේ දී මෙය UEFA Champions League ලෙසත් හැඳින්වෙනවා) වීම සුවිශේෂී සිදුවීමක්. 1985 වර්ෂයේ යුරෝපීය කුසලානයේ අවසන් මහා තරගය සඳහා එංගලන්තයේ ලිවර්පූල් සහ ඉතාලියේ යුවෙන්ටස් යන ක්‍රීඩා සමාජ ද්විත්වය සුදුසුකම් ලබා සිටියා.

කලහකාරීව හැසිරෙන ලිවර්පූල් ප්‍රේක්ෂකයෝ
කලහකාරීව හැසිරෙන ලිවර්පූල් ප්‍රේක්ෂකයෝ – www.goal.com

මෙම තරගය ක්‍රියාත්මක වීමට නියමිත ව තිබුණේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි හයිසෙල් ක්‍රීඩාංගණයේ දී යි. තරගය ආරම්භ වීමට ප්‍රථම ව කිසිවකුත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදු වුණා. ලිවර්පූල් ප්‍රේක්ෂකයන් සහ යුවෙන්ටස් ප්‍රේක්ෂකයන් අතර තිබූ ඉඩ ප්‍රමාණය තරණය කළ ලිවර්පූල් ප්‍රේක්ෂකයන් යුවෙන්ටස් කලාපයට ඇතුළු වීමට උත්සාහ කළා. සිදුවීමෙන් පසුව එය ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ බොහෝ ලිවර්පූල් ප්‍රේක්ෂකයන් බීමතින් කිසිඳු පාලනයකින් තොර ව සිටි බව යි.

ප්‍රේක්ෂකයන් එකා පිට එකා ඇද වැටෙයි

ඔවුන් යුවෙන්ටස් කලාපයට පිවිසෙමින් ප්‍රේක්ෂකයන්ට පහර දීමට උත්සාහ කළා. මේ නිසා එයින් ගැලවීම සඳහා ප්‍රේක්ෂකයන් අනෙක් අන්තයට දිව යාමට තැත් කළ අතර ම මේ නිසා ඇති වූ තදබදය නිසා එක් අන්තයක ආරක්ෂිත වැට කැඩී ගියා. එම ආරක්ෂිත වැට ආසන්නයේ රැඳී සිටි ප්‍රේක්ෂකයන් ගොන්නක් එකා පිට එකා අඩි ගණනක් උඩින් බිමට ඇද වැටුණ අතර ම එම ස්ථානයේ දැඩි තදබදයක් ද නිර්මාණය වුණා.

අවසානයේ දී මෙම කලබලය නිසා 39 දෙනෙක් මරණයට පත් වී තවත් 600 ක් පමණ තුවාල ලැබුවා. මරණයට පත් වූ අය අතර වයස 11 තරම් වූ කුඩා දරුවන් ද වුණා. මරණයට පත් වූ 39 දෙනා ගෙන් 32 නෙක් ම ඉතාලියානුවන් වීම ද විශේෂත්වයක්. කෙසේ හෝ මෙය හිතාමතා ම ප්‍රේක්ෂකයන් ඇති කළ කලබලයක ප්‍රතිඵලයක් බවට තීරණය වුණා.

සිදුවීමෙන් අනතුරුව ප්‍රේක්ෂකාගාරය තිබූ අයුරු
සිදුවීමෙන් අනතුරුව ප්‍රේක්ෂකාගාරය තිබූ අයුරු – www.anfieldwrap.com

සිදුවීමට සම්බන්ධයෙන් 34 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු යෙදුණා. මෙම සිදුවීමෙන් අනතුරු ව එදින තරගය පැවැත්වූ අතර ම ඉන් ගෝල 1-0 ක් ලෙසින් යුවෙන්ටස් ට ජයග්‍රහණය හිමි වුණා. නමුත් පසුව යුවෙන්ටස් නායකයා ප්‍රකාශ කොට සිටියේ එම තත්ත්වය උඩ තරඟය අවලංගු කිරීමට කටයුතු කළා නම් තමන් වඩාත් සතුටු වන බව යි.

වහාම ක්‍රියාත්මක වන පරිදි යුරෝපීය පාපන්දු ෆෙඩරේෂණය, යුරෝපීය පාපන්දු තරගාවලි සියල්ලට ම එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජවලට සහභාගී වීම තහනම් කළා. ඒ වගේ ම බෙල්ජියම තමන්ගේ රට තුළ එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කිරීමට නොහැකි බවට ද ප්‍රකාශයක් නිකුත් කළා. එම තහනම 1990 වර්ෂය දක්වා ම පැවතුණා. 1990/91 තරගවාරය සඳහා ලිවර්පූල් හැරෙන්නට අනෙක් එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජවලට යුරෝපීය පාපන්දු දොර විවර වූ අතර ම 1991/92 තරගවාරයේ සිට නැවතත් ලිවර්පූල් ක්‍රීඩා සමාජයට ද සාමාන්‍ය පරිදි යුරෝපීය පාපන්දු තරගාවලි සඳහා ක්‍රීඩා කළ හැකි වුණා.

4. බ්‍රැඩ්ෆෝඩ් ක්‍රීඩාංගණයේ ඛේදවාචකය (Bradford City Stadium Disaster) 1985

1985 වර්ෂයේ එංගලන්ත පාපන්දු තෙවන පෙළ තරගයක් වූ බ්‍රැඩ්ෆෝඩ් සහ ලින්කන් සිටි අතර පැවති තරගයක දී මෙම ව්‍යසනය සිදු වුණා. එංගලන්ත තෙවන පෙළ පාපන්දු ශූරයන් ලෙසින් බ්‍රැඩ්ෆෝඩ් කණ්ඩායම අභිසෙස් ලබා තිබූ නිසා එදින විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ජයඝෝෂා නගමින් තරගය නැරඹීමට එක් ව සිටියා. එදින සවස 3.40 ට පමණ කුඩා ගින්නක් ප්‍රේක්ෂකාගාරය තුළ දකින්නට ලැබෙන බව විස්තර විචාරකයෙක් වූ ජෝන් හෙල්ම් නිවේදනය කළා.

දරුණු ලෙසට පැතිරුණ ගින්න
දරුණු ලෙසට පැතිරුණු ගින්න – www.halifaxcourier.com

මෙම ක්‍රීඩාංගණයේ වහළය සම්පූර්ණයෙන් ම දැවයෙන් නිම කළ එකක් වුණා. ඒ වාගේ ම එදින දැඩි සුළං සහිත දිනයක් වීම ගින්න පැතිරීමට තවත් රුකුලක් බවට පත්ව තිබුණා. ජෝන් හෙල්ම් ප්‍රකාශ කළ කුඩා ගින්න තවත් මිනිත්තු 4ක් ඉක්මවා යද්දී විශාල ගින්නක් බවට පත් වූයේ පාපන්දු ඉතිහාසයේ තවත් අවාසනාවන්ත සිදුවීමකට මුල පුරමින්.

ප්‍රේක්ෂකාගාරයේ එක් අන්තයක් සම්පූර්ණයෙන් ම ගින්නට හසුවුණු අතර ම බොහොමයක් දෙනා එයින් මිදී යාමට උත්සාහ කළා. එදින පැමිණ සිටි අධික ප්‍රේක්ෂක ප්‍රමාණය නිසා එය පහසු වුණේ නෑ. අවසානයේ දී ඇතැම් ප්‍රේක්ෂකයන් තෙරපී, බිම වැටී ආබාධයට ලක් වෙද්දී ඇතැම් ප්‍රේක්ෂකයන් අවාසනාවන්ත ලෙසින් ගින්නට බිලි වුණා.

ගින්න සහ ඉන් අනතුරුව මිය ගිය අය සිහි කළ අන්දම
ගින්න සහ ඉන් අනතුරුව මිය ගිය අය සිහි කළ අන්දම – www.themirror.com

එහි අවසන් ප්‍රතිඵලය වූයේ එදින බ්‍රැඩ්ෆෝඩ් ක්‍රීඩාංගණයට රැස් ව සිටි ප්‍රේක්ෂකයන් 56 දෙනෙක් ජීවිතක්ෂයට පත් වීමයි. මීට අමතර ව තවත් 265 දෙනෙක් පමණ තුවාළ ලැබූ බවටත් වාර්තා වුණා. එංගලන්ත පාපන්දු ඉතිහාසයේ මෙන් ම ලෝක පාපන්දු ඉතිහාසයේ ද සිදු වූ තවත් ඛේදවාචකයක් ලෙසින් එය නිමාව දුටුවා.

5. පෝර්ට් සයිඩ් ක්‍රීඩාංගණයේ ඛේදවාචකය (Port Said Disaster) 2012

2012 වර්ෂයේ දී ඊජිප්තු පාපන්දු ලීගය යටතේ අල් මස්රි සහ අල් අහ්ලි කණ්ඩායම් ද්විත්වයේ තරගයක් ක්‍රියාත්මක වුණා. මෙම තරගය පැවතියේ අල් මස්රි ක්‍රීඩාංගණයේ දී නිසා 13, 000 ක පමණ අල් මස්රි ප්‍රේක්ෂකයන් පිරිසක් සිටිය දී අල් අහ්ලි ප්‍රේක්ෂකයන් සිටියේ 1200 ක පමණ ඉතාම සුළු ප්‍රමාණයක්.

එදින තරගයට පෙර සිට ම අල් මස්රි ප්‍රේක්ෂකයන් කළහකාරී ව හැසිරෙමින් සිටියා. ඔවුන් තරගය ගෝල 3-1 ක් ලෙසින් ජයග්‍රහණය කරන බැව් දුටු මස්රි ප්‍රේක්ෂකයන් තවදුරටත් ජයග්‍රහණයෙන් ඔද වැඩී අල් අහ්ලි ක්‍රීඩකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට ද පහර දීමට කටයුතු කළා. මේ නිසා සංඛ්‍යාවෙන් අඩු වූ අල් අහ්ලි ප්‍රේක්ෂකයන් ඉතාම  අසරණ වී සිටියා.

පහර දීම් හමුවේ ක්‍රීඩකයන් පළා යමින්
පහර දීම් හමුවේ ක්‍රීඩකයන් පලා යමින් – www.egypttoday.com

අවසානයේ දී තත්ත්වය වඩාත් දරුණු වුණා. ගල් මුල් පමණක් නොව තියුණු ආයුධ ද සහිත ව පිටියට බට අල් මස්රි ප්‍රේක්ෂකයන් දිගින් දිගට ම අල් අහ්ලි ප්‍රේක්ෂකයන්ට පහර දුන්නා. පොලීසිය තත්ත්වය මැඬ පැවැත්වීමට උත්සාහ කළත් එය පහසු වුණේ නෑ. අවසානයේ දී එහි ප්‍රතිඵලය වූයේ 74 දෙනකුට ජීවිත අහිමි වී තවත් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබීම යි.

එම මියගිය පිරිස අතුරින් 72 ක් අල් අහ්ලි ප්‍රේක්ෂකයන් ද, එක් අල් මස්රි ප්‍රේක්ෂකයෙක් ද, එක් පොලිස් නිලධාරියෙක් ද සිටියා. අවසානයේ දී මෙම සිදුවීමට සම්බන්ධ වූ 73ක් අත්අඩංගුවට ගත් අතර ම ඔවුන්ගෙන් 11 දෙනකුට මරණ දඬුවම ලබා දීමට ද ඊජිප්තුව කටයුතු කළා. 26 දෙනෙක් නිදොස් කොට නිදහස් වෙද්දී ඉතිරි 38 දෙනාට විවිධ වසර ගණනින් සිර දඬුවම් හිමි වුණා.

ගැටුම පැවති ආකාරය
ගැටුම පැවති ආකාරය – www.egypttoday.com

මේ ආකාරයෙන් පාපන්දු පමණක් නොව විව්ධ ක්‍රීඩා ඉතිහාස පිරික්සීමේ දී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අසන්නට දකින්නට ලැබෙනවා. ලිපිය ආරම්භයේ පැවසූ ඉන්දුනීසියාවේ සිදුවූ සිදුවීම එයට මෑතක දී ලබාදිය හැකි හොඳ ම උදාහරණයක්. කෙසේ හෝ ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් මෙවැනි සිදුවීම් කිසි දිනෙක බලාපොරොත්තු නොවන බවනම් ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු යි.

කවරයේ ඡායාරූපය - බ්‍රැඩ්ෆෝඩ් ක්‍රීඩාංගණයේ ඇති වූ ගින්න ව්‍යාප්ත වී ප්‍රේක්ෂකාගාරය දැවෙන අයුරු - www.thetelegraph.com
 මූලාශ්‍ර:

www.egypttoday.com

www.bbc.com

www.nytimes.com

www.goal.com

www.liverpoolfc.com

www.bleacherreportfootball.com

Related Articles