Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන මෙරට ආහාර උද්ධමනය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ දරුණු ආර්ථික අර්බුදයක් පවතින බව අප දන්නා කරුණක්. එම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ජනතාව අද වන විට ගෙවන්නේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්. එහි දී ජනතාව මුහුණ දෙන ප්‍රධානත ම ගැටලුව වන්නේ දිනෙන් දින ජීවන වියදම අධික ලෙස ඉහළ යාම යි. එහි දී බඩු මිල ඉහළ යාමට අමතර ව විදුලිය, ජලය සහ ප්‍රවාහනය වැනි සේවාවල ගාස්තු ද දැරිය නොහැකි ලෙසින් වැඩි වී තිබෙනවා. 

ආර්ථික අර්බුදය නිසා පීඩා විඳින ජනතාව – business-standard.com

 

කාලවකවානු කිහිපයක් ඇතුළත රටක භාණ්ඩ වල මිල ගණන් අඛණ්ඩ ව ඉහළ යාම උද්ධමනය යි. යම් රටක භාණ්ඩවල මිල ගණන් සහ සේවා සඳහා අය කරන ගාස්තු වැඩි වීමේ වේගය උද්ධමන වේගය යනුවෙන් හැඳින්වෙනවා. උද්ධමනය ගැන කතා කරද්දී ආහාර උද්ධමනය අපට නිතර ම ඇහෙන වචනයක්. ආහාර උද්ධමනය යනුවෙන් හඳුන්වන්නේ යම් රටක ආහාරවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම යි. අද වන විට ලෝකයේ දිළිඳු රටවල්වල ජනතාව ආහාර උද්ධමනය නිසා පීඩා විඳිනවා. 

ඉහළ ආහාර උද්ධමනයක්

මේ වන විට අප රටේ පවතින්නේ ද එවැනි තත්ත්වයක්. පසුගිය ජූලි මාසයේ දී අප රටේ ආහාර උද්ධමනය 90.9% තරම් ඉහළ අගයක් ගත්තා. ලෝක බැංකු වාර්තාවල දත්තවලට අනුව ශ්‍රී ලංකාව ලොව ඉහළ ම ආහාර උද්ධමනයක් පවතින රටවල් අතර පස්වන ස්ථානයේ පසුවෙනවා. අඩු සහ මධ්‍යම ආදායම් ලබන සෑම රටක ම පාහේ ඉහළ ආහාර උද්ධමනයක් පවතින බවයි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එම වාර්තාවේ සඳහන් වන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනයට හේතුව රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීමත්, රජයට එදිනෙදා වියදම් පියවා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අත්තනෝමතික ලෙස මුදල් විශාල වශයෙන් මුද්‍රණය කිරීම නිසාත් බව යි. ඔහු මේ බව පවසා තිබුණේ බීබීසීය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී යි.

නාමික ආහාර උද්ධමනය (වාර්ෂික%). ශ්‍රී ලංකාව නාමික ආහාර උද්ධමනය අතින් දැඩි ලෙස පීඩාවට පත් වූ පළමු රටවල් 10 අතර වේ..  ආහාර උද්ධමනය 2022 අප්‍රේල් සිට ජූලි දක්වා මෙතෙක් නිකුත්කර ඇති නවතම දත්ත මත පදනම් වේ.
ශ්‍රී ලංකාවේ නාමික ආහාර උද්ධමනය – www.bbc.com/sinhala

ශ්‍රී ලංකාවේ පොහොර හිඟය නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය 40% ත් 50% ත් අතර ප්‍රමාණයකින් අඩු වූවා. විදේශ විනිමය හිඟයකට ද අප රට මුහුණ දී ඇති බැවින්  ආහාර ආනයනය කිරීම ද සීමා වී තිබෙනවා. එයට අමතර ව ශ්‍රී ලංකා රුපියල, අමෙරිකා ඩොලරයට සාපේක්‍ෂ ව සියයට 44.5කින් අවප්‍රමාණය වී ඇති බවත් මහ බැංකු දන්ත පෙන්නුම් කරනවා.

ආර්ථික අර්බුදයට විසදුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස ලබා දීමට එකඟ වී ඇති බිලියන 2.9ක ණය මුදල ලබා දීමට පෙර මහ බැංකුව නිර්දේශපාලනීකරණය කර ස්වාධීනත්වය ස්ථාපිත කරන ලෙස ද, රටේ උද්ධමනයට හේතු වූ මුදල් මුද්‍රණය නතර කිරීමට හැකි නව මහ බැංකු පනත ක්‍රියාත්මක කරන ලෙස ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ මේ හේතුව නිසා යි.

පසුගිය කාලයේ දී අප රටේ රසායනික පොහොර තහනමක් ක්‍රියාත්මක වුණා. එම තීරණය මෙරට ආහාර උද්ධමනයක් ඇති වීම සඳහා මූලික හේතුවක් වුණා. ගෙවුණු දශක කිහිපය තුළ මෙරට ගොවි ජනතාවට වගා කටයුතු කර ගෙන යාම සඳහා රසායනික පොහොර සුලබ ව භාවිත කරන්නට වූවා.  

එවැනි වටපිටාවක රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කළ යුතු බවට රජය නිර්දේශ කළා. එපමණක් නොව 2021 මැයි මාසයේ සිට රසායනික පොහොර සහ පළිබෝධනාශක මෙරටට ගෙන්වීම ද තහනම් කළා. ඒ සමඟින් ගොවීන් සහ වගාකරුවන් තමනට හුරු පුරුදු වගා රටාවෙන් මිදීමට සිදු වීම  නිසා ගැටලු රැසකට මුහුණ දුන්නා.

රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කළ ගොවීහු – redfm.lk

 

එම කාල වකවානුව වන විට උසස් තත්ත්වයේ කාබනික පොහොර වෙළෙඳපොළ තුළ පැවතුණේ බොහොම අඩුවෙන්. එනිසා ගොවි ජනතාවට සිය වගා කටයුතුවලින් නිසි පලයක් ලද හැකි වූයේ නෑ. කාබනික පොහොර යොදා වගා කටයුතු  සිදු කළ ගොවීන්ට ද වෙනදා තරම් අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනය 40% ත් 50% ත් අතර ප්‍රමාණයකින් පහත වැටුණු බව මහ බැංකු දත්ත වාර්තාවල දැක්වෙනවා. 

තත්ත්වය ඉතාමත් නරක අතට හැරෙද්දී රජය පකවා තිබූ රසායනික පොහොර තහනම ඉවත් කළා. ඒ වන විට රට තුළ ප්‍රමාණවත් තරම් රසායනික පොහොර සහ පළිබෝධනාශක තොග තිබුණේ නැහැ. එනිසා ඉතිරි ව තිබුණු පොහොර තොගවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එවැනි තත්ත්වයක් යටතේ ගොවීන් වගා කටයුතුවලින් ඈත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රට තුළ සහල්, එළවළු, ධාන්‍ය වැනි ආහාර වර්ගවල හිඟයක් ඇති වුණා. එම හිඟය වැඩිවෙද්දී ඉතිරි ව තිබුණු ආහාරවලට තිබුණු ඉල්ලුම වැඩි වුණා. එනිසා සහල්, එළවළු වැනි ආහාරවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එය අද වන විට රට තුළ ඇතිව තිබෙන දරුණු ආහාර උද්ධමනයේ ආරම්භය වුණා. 

ඉන්ධන අර්බුදය හමුවේ ආහාර උද්ධමනය ඉහළ ගිය හැටි 

2022 පෙබරවාරි 24 වැනිදා රුසියානු හමුදා අසල්වැසි යුක්‍රේනය ආක්‍රමණය කළා. එම ආක්‍රමණය ආරම්භ වී ටික දිනකින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 117.25 දක්වා ඉහළ ගියා. එය 2014 ජූලි මාසයෙන් පසු වාර්තා වුණු වැඩි ම බොරතෙල් මිල යි. ඊට සාපේක්ෂ ව අප රටේ ඉන්ධන මිල ගණන් ද ඉහළ ගියා. එම යුද තත්ත්වය දිගින් දිගට ම පැවතීම හේතුවෙන් 2022 ජූනි මාසය වන විට මෙරට ඉන්ධන මිල විශාල ලෙස ඉහළ දැමුණා. ඒ අනුව මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ඉන්ධන ලීටරයක මිල ඉහළ ගියේ පහත ආකාරයට යි.

1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 343 කින් 

2). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 293 කින් 

3). ලංකා සුපර් ඩීසල්- රුපියල් 361 කින් 

4). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 339 කින් 

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහි ව පැවති උද්ඝෝෂණ – wsws.org

 

ඒ අයුරින් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යද්දී ගෑස් මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. ගෑස් හිඟයක් ද ඒ අතර ම පැවතුණා. හිඟය නිමා වීමෙන් පසු වෙළෙඳපොළට නිකුත් කෙරුණු ගෑස්වල මිල ගණන් ද ඉහළ ගියා. ඒ අනුව ලාෆ් කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 6850ක් දක්වා ඉහළ යද්දී ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175ක් ලෙසින් සටහන් වුණා.

එසේ සිදුවුණු ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂ ව වියළි ආහාරවල සහ පිසූ ආහාරවල මිල ද ඉහළ ගියා. එහි දී පිටි මිල අධික ලෙස වැඩිවීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වුණා. වියළි ආහාරවල මිල ඉහළ යාමට ප්‍රධානත ම හේතුව වුණේ නිෂ්පාදන පිරිවැය වැඩිවීම යි. 

ගෑස් අර්බුදය නිසා පීඩාවට පත් වුණු ජනතාව – guardian.ng

 

ගෙවුණු මාස කිහිපය තුළ අප රටේ මතු වුණු ඩොලර් අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් තරම් පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් තොග ගෙන්වීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රට පුරා තෙල් සහ ගෑස් පෝලිම් ඇති වුණා. ඒ අතරතුර වැඩි මිලට තෙල් සහ ගෑස් විකුණන පිරිස් ද රටේ විවිධ ප්‍රදේශවලින් බිහි වුණා.

එහි දී ඇතැම් උදවිය පෙට්‍රල් ලීටරය රුපියල් 1500-2000 තරම් අධික මිල ගණන්වලට අලෙවි කළා. ඒ අයුරින් රට තුළ තෙල් සහ ගෑස් හිඟයක් ඇතිවෙද්දී රටේ තුළ ආහාර නිෂ්පාදනය මෙන් ම ප්‍රවාහනයත් තව තවත් පහත වැටුණා. ඉන්ධන අර්බුදය හමුවේ මෙරට ආහාර උද්ධමනය තවත් ඉහළ ගියා. 

කෙළවරක් නැති තෙල් පෝලිම් – nytimes.com

 

 ආහාර වර්ග රැසක මිල ඉහළට

සාමාන්‍යයෙන් මෙරට ජනතාව සුලබ ව පරිභෝජනය කරන ආහාර වර්ග අතරට බත් සහ පාන් ද අයත්. ගෙවුණු මාස කිහිපය තුළ පාන් ගෙඩියක මිල රුපියල් 170ක් දක්වා වැඩිවීමත්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගියා. එපමණක් නොව පාන් පිටි මිල ද රුපියල් 350ක් දක්වා ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ද වාර්තාගත ලෙස ඉහළ ගියා. 

ජනතාව නිතර පරිභෝජනය කරන පරිප්පු, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, බිස්කට්, සීනි, කිරි පිටි වැනි ආහාර ද්‍රව්‍යවල මිල කෙටි කාලයක් තුළ ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බොහෝ උදවිය පීඩාවට පත් වුණා. ඉන්ධන ගැටලුව දිගින් දිගට ම පැවතීම හේතුවෙන් එළවළු මිල ගණන් ද සැලකිය යුතු තරම් වැඩි අගයක් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ පවුල්වලට දවසේ ආහාර වේල් තුන සපයාගැනීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වූවා.

සමස්ත ආර්ථික උද්ධමනය පිළිබඳ මිනුමක් වන සියලු ම අයිතම පාරිභෝගික මිල දර්ශකය (CPI), 2022 ජූනි සිට 2022 ජූලි දක්වා වෙනස් නොවී පැවතුණා. එය 2022 ජූලි සිට සියයට 8.5 කින් ඉහළ ගියා. 2022 ජූනි සිට ජූලි දක්වා සියලුම ආහාර සඳහා වන සියලු ම අයිතම පාරිභෝගික මිල දර්ශකය සියයට 1.1 කින් වැඩි වී තිබුණා. ඒ අනුව 2022 වසරේ දී, 2021 ජූලි මාසයට වඩා සියයට 10.9 කින් ආහාර මිල වැඩි වූ බව සියලු ම අයිතම පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙනවා.

පිසූ ආහාරවල මිල ඉහළට – www.newsfirst.lk

 

 ආහාර උද්ධමනය 90.9% දක්වා ඉහළට 

2021 සැප්තැම්බර් මාසය වන විට මෙරට ආහාර උද්ධමනය පැවතුණේ 10%ක් වැනි පහළ අගයක. එම කාල වකවානුව වන විට රසායනික පොහොර තහනම හේතුවෙන් අප රටේ ආහාර උද්ධමනයක් නිර්මාණය වෙමින් පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 ජනවාරි වන විට මෙරට ආහාර උද්ධමනය 25%ක් දක්වා ඉහළ ගියා.

පසුගිය මාර්තු මාසයේ දී සිදුවුණු ඉන්ධන මිල වැඩිවීමත් සමඟින් මෙරට ආහාර උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. 2022 ජූලි මාසයේ දී එය 90.9%ක් තරම් ඉහළ අගයක් ගත්තා. මේ ගෙවුණු මාස 5ක කාලය ඇතුළත අප රටේ ආහාර උද්ධමනය වැඩි වුණු ආකාරය යි. 

1). 2022 මාර්තු- 30.2%

2). 2022 අප්‍රේල්- 46.6%

3). 2022 මැයි- 57.4%

4). 2022 ජූනි- 80.1%

5) 2022 ජූලි- 90.9%

මෙරට ආහාර උද්ධමනය ඉහළ ගිය ආකාරය – tradingeconomics.com

 

ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය අතින් ලොව මුල් රටවල් 5 අතරට

2022 ජනවාරි මාසය වන විට අප රට ආහාර උද්ධමනය අතින් ලෝකයේ 12 වන ස්ථානයේ සිටියා. ගෙවුණු මාස කිහිපයේ දී අප රටේ ආහාර උද්ධමනය 90.9% දක්වා ඉහළ ගියා. එය මෙතෙක් අප රටේ වාර්තා වී ඇති ඉහළ ම ආහාර උද්ධමන අගය යි. එම දත්තවලට අනුව ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය අතින් ලෝකයේ මුල් රටවල් 5 අතරට එකතු වී සිටිනවා. මේ පසුගිය ජූලි මාසය වන විට වැඩි ම ආහාර උද්ධමනයක් පැවති රටවල් 5 යි.

1). ලෙබනනය- 332%

2). සිම්බාබ්වේ- 309%

3). වෙනිසියුලාව- 155%

4). තුර්කිය- 95%

5). ශ්‍රී ලංකාව- 90.9%

සිම්බාබ්වේ දේශයේ භාණ්ඩ රහිත සුපිරි වෙළෙඳසල් – gettyimages.com

 

ළමා මන්දපෝෂණය අතිනුත් 6 වන තැනට 

පසුගිය මාස කිහිපයේ දී මස්, මාළු, බිත්තර සහ කරවල, හාල්මැස්සන් යන ආහාරවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගියා. ආනයන භාණ්ඩ සීමා කිරීම හේතුවෙන් චීස්, බටර්, යෝගට් වැනි ආහාරවල මිල ද ඉහළ ගොස් තිබෙනවා. එපමණක් නොව එළවළු සහ පලතුරු ද අලෙවි වන්නේ අධික මිල ගණන්වලට යි.

සාමාන්‍යයෙන් මාපියන් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා සමබල ආහාර වේලක් සඳහා ලබා දෙන්නේ ඉහත සඳහන් කළ ආහාර යි. එම ආහාරවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් අද වන විට අප රටේ සැලකිය යුතු තරම් දරු පිරිසක් විවිධ පෝෂණ ඌනතාවලින් පෙළෙනවා. 

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෙක් – asianews.it

 

එම තත්ත්වය දිගින් දිගට ම පැවතීම නිසා වයස අවුරුදු 5ට අඩු ළමයින් අතර වැඩිම මන්දපෝෂණයක් ඇති රටවල් ලැයිස්තුවේ 6 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා. සෝමාලියාව, සුඩනය, යේමනය වැනි රටවල් එම ලැයිස්තුවේ අපට ඉදිරියෙන් සිටින බව යුනිසෙෆ් නියෝජිත බිස්මාක් ස්වාන්ගින් පැවසුවා.

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිළිබඳ ව මීට මාස කිහිපයකට පෙර යුනිසෙෆ් ආයතනය පැහැදිලි කිරීමක් කර තිබුණා. එහි දී යුනිසෙෆ් නියෝජිත බිස්මාක් ස්වාන්ගින් පෙන්වා දී තිබුණේ  මන්දපෝෂණය සම්බන්ධ හේතූ නිසා ඉදිරියේ දී මෙරට දරුවන් මිය යාමේ අවදානමක් පවතින බව යි. එයින් පැහැදිලි වන්නේ අප රටේ ළමා මන්දපෝෂණය අවම කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව යි.

ළමා මන්දපෝෂණය දුරලීමට කැපවන යුනිසෙෆ් සංවිධානය – vogue.com

 

සෞඛ්‍යය අමාත්‍යංශයේ පසුගිය සැප්තැම්බර් 6 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යුනිසෙෆ් වාර්තාව ප්‍රතිකේෂ්ප කළා. එහි දී ඔහු සඳහන් කළේ එම වාර්තාව 2016 වසරේ දත්ත පදනම් කරගෙන සකස් කර ඇති වාර්තාවක් බවයි. 2016 දී 15%ක් ලෙස සටහන් වුණු මෙරට ළමයින්ගේ කෘශභාවය, 2022 වසර වන විට 12.1% දක්වා අඩු වී තිබෙන බව ඔහු සඳහන් කළා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මන්දපෝෂණය හේතුවෙන් අප රටේ දරුවන් මිය නොයන බවත් අප්‍රිකානු රටවල්වල මෙන් ඉතාමත් කෘශ දරුවන් අප රට තුළ දක්නට නැති බවත්.

මිලියන 6.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිත බවින් පසුවෙනවා 

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය පිළිබඳ ව පසුගිය අගෝස්තු 19 වැනිදා වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාවට අනුව අප රටේ මිලියන 6.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිත බවින් පසුවෙනවා. තවත් මිලියන 6.7ක පිරිසක් පිළිගත හැකි ආහාර වේලක් අනුභව කරන්නේ නැහැ. එයින් පැහැදිලි වන්නේ අද වන විට අප රටේ ජනතාව ආහාර අහේනියකින් පසුවන බව යි. 

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය අතින් ලෝකයේ මුල් රටවල් 5 අතරට එකතු වී සිටිනවා - thehindu.com

මූලාශ්‍ර:

devex.com

tradingeconomics.com

reliefweb.int

wfp.org

biz.adaderana.lk

Related Articles