Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවතත් සිරගෙට නියම වූ, නවාස් ෂරීෆ්

නවාස් ෂරීෆ් (ThePrint)

2018 වසරේ දෙසැම්බර් 24 වන දා පකිස්තානු අධිකරණය නැවතත් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනවා. දූෂණ චෝදනාවලට ලක්ව සිටින හිටපු  පාකිස්තාන අගමැතිවරයෙකු වන නවාස් ෂරිෆ් ව නැවතත් වැරදිකරුවෙකු බවට පත් කර වසර හතක සිර දඬුවමක් ලබා දීම, ඒ ඓතිහාසික නඩු තීන්දුව යි.

පැනමා පත්‍රිකාවලින් හෙළි වූ ඔහුගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් පිළිබඳ ව ඒ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබූ ඔවුන්ගේ වත්කම් ලේඛනයේ සඳහන් නොවීම හේතුවෙන් මුල්‍ය වංචාවක් සිදුකළේයැ යි පවසමින් 2017 වසරේ දී පකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ව අගමැති ධූරයෙන් නෙරපනවා.

2018 වසරේ එම චෝදනාව හේතුවෙන් වසර 10ක සිර දඬුවමකට යටත් කරනවා. ඔහු සමග ඔහුගේ දියණියට වසර හතක දඬුවමකුත්, බෑණාට වසරක දඬුවමකුත් හිමි වෙනවා. ඒ 2018 වසරේ ජූලි මාසයේ දී යි.

සිර දඬුවම් නියම වී දෙමසකට පසු අභියාචනයක් ඉදිරිපත් කිරීම මත වසර 10ක අත්හිට වූ සිර දඬුවමක් සමග නවාස් ෂරීෆ් හා ඔහුගේ දුවත් බෑණාත් මුදාහරිනවා.

ඉන්පසු නැවතත්, වෙනත් දූෂණ චෝදනාවක් හේතුවෙන් පසුගිය දා වසර 10ක සිර දඬුවමකට නවාෂ් ෂරිෆ් ව යටත් කිරීමට ඉස්ලාමාබාද් හි පිහිටි දූෂණ විරෝධී අධිකරණයක් කටයුතු කරනවා. ඒ හේතුවෙන් මේ වන විට ඔහු කොට් ලක්පත් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

පළමුව එල්ල වූ චෝදනා

තම දියණිය සමග (India.com)

පැනමා පත්‍රිකා, මාධ්‍ය මඟින් නිරාවරණය වීමත් සමග ඔහුගේ නමත් ඒ හා සම්බන්ධ වී තිබෙනවා. ඉන්පසු ව එම වත්කම් ඉපැයීම පිළිබඳ ව සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් ඔහුගේ අගමැතිධූරය ඉවත් කිරීමටත්, ජීවිතාන්තය දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමටත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා.

ඉන්පසු ව 2018 වසරේ දී එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි දේපළ ගණනාවක් සම්බන්ධයෙන් නඩුවක් පැවැත්වෙනවා. එම වත්කම් ඊට පෙර ඔහු විසින් ලබා දුන් වත්කම් ලේඛනයේ සඳහන් වන්නේ නෑ. එබැවින් ඔහු අයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ දූෂණ අපචාර චෝදනා යටතේ වරදකරු  කර වසර 10ක සිර දඬුවමක් පනවනවා.

අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගේ නමින් මේ දේපොළ තිබූ අතර, අනිසි ලෙස උපයාගත් මුදල් අදාළ සමාගම්වල තැන්පත් කළා විය හැකි බවට ඔවුන්ට ද  චෝදනා එල්ල වෙනවා. ඒ අනුව අපරාධයන්ට අනුබල දීම යටතේ අගමැතිවරයාගේ දියණියට වසර හතක සිර දඬුවමක් හා ඔහුගේ බෑණාට වසරක සිර දඬුවමකුත් නියම වෙනවා.

සිය දරුවන් නීත්‍යනුකූල ලෙසින් ලන්ඩන් නුවර දේපොළ මිල දී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද දිගින් දිගටම පවසනවා. මෙය හුදෙක් දේශපාලන ක්‍රියාදාමයක් බවත් ඔහු මාධ්‍ය ඉදිරියේ පවසා සිටිනවා.

සිරගත කිරීම හා නිදහස් කිරීම

එංගලන්තයේ සිට නැවත පාකිස්තානය බලා එන මොහොතක දී ලාහෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී ඔහු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට පත්වෙන අතර, වසර 10කට ඔහු ව සිරගත කරනවා. ඔවුන් එසේ පැමිණෙන්නේ මෙවර පාකිස්තානු මැතිවරණය සඳහා නවාස්ගේ පක්ෂයේ නායකත්වය ගෙන ක්‍රියා කළ ඔහුගේ සහෝදරයාගේ මැතිවරණය වැඩ පිළිවෙළ සඳහා උපකාර කිරීමට යි.

ඔහු සිරගත කර සිටින සමයේ පාකිස්තාන මහා මැතිවරණය පැවැත්වුණු අතර, එහි දී දූෂණයට විරුද්ධ ව මහත් හඬක් නැංවූ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය ජයග්‍රහණය ලබනවා. පැනමා පත්‍රිකා හෙලිවීමේ අවස්ථාවේ සිට ම මෙම වංචාකාරී අගමැතිවරයා වහා ඉවත් කර නීතිමය දඬුවම් ලබා දිය යුතු බවට හඬක් නැංවූ ඉම්රාන් ඛාන්, පාකිස්තානයේ අගමැතිවරයා බවට පත්වෙනවා.

සිර දඬුවමෙන් මාස 2ක් ගත වූ පසුව ඔහුගේ නීතිඥයන් විසින් ගොනු කරන ලද අභියාචනාවක් හේතුවෙන් අගෝස්තු මාසයේ දී ඔවුන් සියලු දෙනාව ම අත්හිටවූ සිර දඬුවම් මත නිදහස් කිරීමට පාකිස්තායේ ඉස්ලාමාබාද් හි පිහිටි අධිකරණයක් තීරණය කරනවා. ඒ, පැමිණිල්ලේ නීතිඥයන් චෝදනා හරිහැටි ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්.

නැවතත් දූෂණ චෝදනා

නිදහස් වීමෙන් පසුව ඔහුගේ මෝටර් රථය වටකරගෙන සිටින ආධාරකරුවන් (Dawn)

සෞදි අරාබියේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවක හිමිකාරීත්වය ලබා ගැනීමට තරම් මුල්‍යමය වත්කමක් තිබුණේ කෙසේදැ යි යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය දෙසැම්බරයේ නැවතත් ඔහු ව බන්ධනාගාරගත කරනවා. ඒ වසර හතක සිර දඬුවමක් සඳහා යි.

ඉස්ලාමාබාද් හි අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, නවාස් ෂරිෆ් එම චෝදනා නැවතත් ප්‍රතික්ෂේප කරනවා.

නවාස් නැවතත් සිරගත කිරීමෙන් කුපිත වූ ඔහුගේ ආධාරකරුවන් මහා පරිමාණ උද්ඝෝෂණ ක්‍රියාවලීන්ට අවතීර්ණ වෙනවා. තීන්දුව ලබා දීමට නියමිත ව තිබූ අධිකරණය වෙත දැඩි ලෙස ආරක්ෂාව සැපයීමට පාකිස්තානු ආරක්ෂක අංශ තීරණය කරන්නේ ඒ හේතුවෙන්.

වීදී බට ආධාරකරුවන් (The Peninsula Qatar)

මෙම තීන්දුව ලබා දුන් අධිකරණය වට කිරීමට පියවර ගන්නා උද්ඝෝෂකයින් පලවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කරනවා. මෙම සිරගත කිරීම් අසාධාරණ බව දක්වා සිටින නවාස්ගේ ආධාරකරුවන් මෙය හුදෙක් දේශපාලනික ක්‍රියාවලියක් බව පවසනවා. මෙයට විරුද්ධත්වය දැක්වීම පිණිස පාර්ලිමේන්තු වැඩකටයුතු පවා අකර්මණ්‍ය කරන බව ඔවුන් තර්ජනය කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම සිරගත කිරීම, දූෂණයට එරෙහි ව්‍යාපාරයේ එක් ජයග්‍රාහී අවස්ථාවක් බව වර්තමාන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තූරය: Hamariweb.com News

මූලාශ්‍රයයන්:

bbc.com

cnn.com

aljazeera.com

Related Articles