ෆෝ පෙස්ට් කැම්පේන්: සොබාදහම චීනයට ඉගැන්වූ දරුණු පාඩම

 මහජන සෞඛ්‍යය යනු ගැඹුරු විෂය පථයක් බව හොඳින් ම පැහැදිලි වෙන කාලයක්   අපි ගත කරමින් සිටිනවා. කිසියම් සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳ මහජනයාව දැනුම්වත් කිරීම, ඔවුන් ඒවා පිළිපදිනවා ද යන්න සොයා බැලීම, ප්‍රතිකාර සඳහා යොමු කිරීම, අවදානම සහ ප්‍රගතිය පිළිබඳව විශ්ලේෂණය කිරීම, යනාදී බොහෝ කාරණා සමඟ කටයුතු කරන්න මෙහිදී සිදු වෙනවා. බොහෝමයක් සෞඛ්‍ය ගැටලු රජයට පමණක් මැදිහත් වී කළමනාකරණය කළ නොහැකි යි. ඒ සඳහා මහජනතාව ගේ සක්‍රීය සහභාගීත්වය අත්‍යාවශ්‍ය යි. මේ සියල්ල සිදු කළ යුත්තේ මනා අවබෝධයකින් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

දුර දිග නොබලා චීනයේ සිදුකළ මහජන සෞඛ්‍යය ක්‍රියාන්විතයක් ගැන විස්තර  මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. පුරවැසි සුබසෙත අරමුණු කර ගනිමින් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වුණත්, ඒ හරහා ඇතිවිය හැකි දැවැන්ත පාරිසරික අසමතුලිතතාව සහ එම අසමතුලිතතාව නිසා පැන නඟින ස්වාභාවික ආපදා ගැන ඔවුන් කළේ අඩු තක්සේරුවක්. චීනයට අවසානයේදී සොබාදහම ඉතා වැදගත් පාඩමක් ඉගැන්වූවා.

මෙම සංහාරයට මීයන්, මැස්සන්, මදුරුවන් සහ ගේ කුරුල්ලන් අයත් වුණා – topbest.ph 

රෝගාබාධවලින් හෙම්බත් වූ චීනය

 1949 අගභාගයේදී කොමියුනිස්ට්වාදීන් බලයට පත් වනවිට චීන ජනතාව විවිධ රෝගාබාධවලින් පීඩා විඳිමින් සිටියා. ක්ෂය රෝගය, කොලරාව,පෝලියෝ, මැලේරියාව, වසූරිය, කොකුපණු රෝගය, වැනි රෝග ඒ අතර වඩාත් කැපී පෙනුණා. දළ වශයෙන් මිලියන 10.5 ක ජනතාවක් ජලයෙන් බෝවන අක්මාව ආශ්‍රිත පරපෝෂිත ආසාදනයකින් පීඩා විඳින අතරේ, කොළරාව ජනගහනය තුළ නිදහසේ පැතිර යමින් දහස් ගණනක් මරණයට පත් කළා. එකල සජීවි උපත් දහසකට ළදරු මරණ 300ක් තරම් ඉහළ අගයක් වාර්තා වන තරමට චීනයේ සෞඛ්‍ය පද්ධතිය අඩාල වී තිබුණා.

 1949 දී මාඕ සේතුංගේ නායකත්වය යටතේ විධිමත් ලෙස පිහිටු වූ මහජන චීන සමූහාණ්ඩුවෙන් පසු චීනය, සමාජ, ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් විශාල පෙරළියකට මුහුණ දුන්නා. එහි උච්චතම අවස්ථාවක් ලෙස 1958-1962 කාලය අතරතුර “ග්‍රේට් ලීප් ෆෝව(ර්)ඩ්” නමින් රට පුරා දැවැන්ත කෘෂිකාර්මික සහ කාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් මාඕ සේතුංගේ නායකත්වය යටතේ ඇරඹුණා.  මෙම ව්‍යාපාරය මඟින් චීන ආර්ථිකය සහ සමාජ පද්ධතිය තුළ කොමියුනිස්ට්වාදය සහ සාමූහිකකරණය වඩාත් අවධාරණය කෙරුණා.

සෞඛ්‍අංශයේ පිබිදීමක්

 මෙවැනි දැවැන්ත ව්‍යාපාරයක මූලික අවශ්‍යතාව ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම සහ ඒ වනවිටත් චීනය පීඩාවට පත් කරමින් සිටි රෝගවලින් පුරවැසියන් ගලවා ගැනීම  බවට පත් වුණා. මාඕ සේතුං රජය ඇතැම් වසංගත රෝගවලට එරෙහිව දැවැන්ත ප්‍රතිශක්තීකරණ එන්නත් ව්‍යාපාර ආරම්භ කළ අතර, මිලියන 300කට ආසන්න පිරිසකට එන්නත් ලබා දී තිබුණා. පිරිසුදු පානීය ජලය සහ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක යටිතල පහසුකම් රටපුරා ක්‍රියාත්මක කිරීමටත් රජය උත්සුක වුණා. සෝවියට් සමූහාණ්ඩුවේ සෞඛ්‍ය ආරක්ෂණ ආකෘතිය අනුකරණය කරමින් මිනිසුන්ට සේවය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවකයන් සහ වෛද්‍යවරුන්ගෙන් සෑදුණු උප කුලක පිහිටුවීමට රජය ක්‍රියා කළා. මේ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පවා සාධනීය සෞඛ්‍ය සේවයක් පවත්වා ගෙන යෑමට ඔවුන්ට හැකි වුණා.

සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට සමාජයේ ප්‍රතිශක්තීකරණය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ඉටු කළ හැකි සේවාවේ යම් යම් සීමාවන් තිබුණා. වසංගත රෝග සම්ප්‍රේෂණය කරන රෝග වාහකයන්  සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නම් ඊටත් වඩා ඉදිරිගාමී වැඩපිළිවෙළක අවශ්‍යතාව මතු වුණා. එනමුදු ඒ සඳහා මාඕ සේතුං රජය ගත් පියවර ගැටලු සහගත වගේම, විනාශකාරී එකක් වුණා.

ෆෝ පෙස්ට් කැම්පේන්” ඇරඹෙයි!

 1957 වර්ෂය වනවිට මහජන සෞඛ්‍ය ව්‍යාපාරයේ කොටසක් ලෙස පළිබෝධකයන් තුරන් කිරීමේ මහා වැඩපිළිවෙළක් චීනයේ ආරම්භ වුණා. එය හැඳින්වූයේ “ෆෝ පෙස්ට් කැම්පේන්” යනුවෙන්. එහිදී ප්‍රධාන වශයෙන් ජීවින් හතරක් අනිවාර්යයෙන් ම තුරන් කළ යුතු පළිබෝධකයන් ලෙස හඳුනා ගැනුණා. මැලේරියාවට වගකිව යුතු මදුරුවන්, විවිධ වසංගත රෝග පතුරුවන මීයන් සහ මැස්සන් මෙන් ම, ගේ කුරුල්ලන් ද මේ ලැයිස්තුවට ඇතුළත් වුණා. ඉතිහාසයේ පටන්ම මීයන්, මැස්සන් සහ මදුරුවන් වසංගත රෝග වාහකයන් ලෙස කූප්‍රකට ව සිටියත්, ගේ කුරුල්ලන් විනාශ කළ යුතු සත්ත්ව කොටසක් ලෙස සැලකීම විමතියට කරුණක්.

මරාදැමූ ගේ කුරුල්ලන්ගෙන් පුරවාගත් කරත්තයක් සමඟ ගමන් කරන චීන මිනිසුන් – researchgate.net   

 ගේ කුරුල්ලන් විශාල ධාන්‍ය ප්‍රමාණයක් ආහාරයට ගන්නා නිසා විනාශ කළ යුතු සත්ත්වයකු බව ඔවුන්ගේ තර්කය වුණා. “ෆෝ පෙස්ට් කැම්පේන්” යටතේ විනාශ කළ යුතු සතුන් ගෙන් සිදුවන හානිය සංඛ්‍යාත්මකව තක්සේරු කිරීමට චීනයේ ආහාර අමාත්‍යාංශය උත්සුක වූ අතර, මීයන් පමණක් වාර්ෂිකව මිනිසුන්ගේ ආහාරවලින් කිලෝග්‍රෑම් මිලියන 350ක් පමණ පරිභෝජනය කරන බව ඔවුන් ගණන් බලා තිබුණා. ඇස්තමේන්තුගත වාර්තා අනුව ගේ කුරුල්ලන් වගාබිම්වලට ඒ හා සමාන හානියක් සිදු කරන බව ඔවුන් අනාවරණය කළා.

 මාඕ සේතුං සහ ඔහුගේ පාලන තන්ත්‍රය සොබාදහම ගැන එතරම් තැකීමක් කළ අය නොවෙයි. ඔවුන් විශ්වාස කළේ මිනිසා සොබාදහම පාලනය කළ යුතු බව යි. ඒ අනුව චීනය තුළ මහා සංහාරයක ඇරඹුම සටහන් වුණා.

ෆෝ පෙස්ට් කැම්පේන් සඳහා සක්‍රීයව දායක වූ චීන පුරවැසියන් – amusingplanet.com 

පාසල් ක්‍රියාකාරකමක් වූ කුරුළු ඝාතනය

 සෞඛ්‍යය හා සමෘද්ධිය උදෙසා මීයන්, ගේ කුරුල්ලන් රහිත පවිත්‍ර චීනයක් ඇති කිරීමට උරදෙන මෙන් රජය ජනතාව ගෙන් ඉල්ලා සිටියා. “ෆෝ පෙස්ට් කැම්පේන්” යටතේ පළිබෝධකයන් ලෙස හැඳින් වූ සතුන් විනාශ කරන ලෙස දන්වමින් රට පුරා මහා පරිමාණයේ දැන්වීම් වැඩපිළිවෙළක් ආරම්භ වුණා.

 අවුරුදු පහක තරම් කුඩා දරුවන් පවා තම පාසල තුළ ගේ කුරුල්ලන් දඩයම් කිරීම සඳහා යොදවා තිබූ බව සඳහන් වෙනවා. ගේ කුරුළු දඩයම ඔවුන්ගේ පාසල් තුළ අනෙකුත් ක්‍රියාකාරකම් සමඟ මුහු කොට තිබුණා.

ගේ කුරුළු සංහාරය සඳහා දරුවන් සක්‍රීයව සහභාගී කරවා ගැනීමට එකල රජය ක්‍රියා කළා – amusingplanet.com

 “එකල එය විනෝදජනක දෙයක් වුණා.  මුළු පාසලම ගේ කුරුල්ලන් තුරන් කිරීම සඳහා සහභාගී වුණා. ඔවුන්ගේ කැදලි කඩා දැමීම උදෙසා අපි ඉණිමං තැනුවා. වසර කිහිපයකට පෙර ගේ කුරුල්ලන් හොඳ සතුන් බව අපි දැනගෙන හිටියා. නමුත්, ඒ අවස්ථාවේ අප දැන සිටියේ ඔවුන් අපේ ධාන්‍ය අනුභව කරනවා කියා පමණ යි.”

 එකල පාසල් යන වයසේ සිටි පුද්ගලයකු මේ මහා සත්ත්ව සංහාරය ගැන එලෙසින් අදහස් දක්වා තිබුණා.

“ගේ කුරුල්ලන් පලවා හැරීම සඳහා අපට රයිෆල්වලින් වෙඩි තබන්න සිදු වුණා. කුරුල්ලන් බිය වැද්දීමේ ක්‍රමයක් ලෙස අපි කණ්ඩායම් වශයෙන් සංවිධානය වී ඔවුන්ට ඇසෙන්න කෑ ගැසුවා. කඳුකරයේ බොහෝ අභ්‍යන්තරයට පවා අපි ගමන් කොට, පෙළ ගැසී, ගේ කුරුල්ලන් ඔවුන්ගේ වාසස්ථානවලින් පලවා හැරීමට ක්‍රියා කළා. නමුත්, අවසාන ප්‍රතිඵලය ගැන අපිට ඒ කාලයේ කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. අපිට එය විනෝදජනක ක්‍රියාකාරකමක් පමණ යි. හරියට සෙල්ලමක් වාගේ යි.”

ෆෝ පෙස්ට් කැම්පේන් සඳහා  සක්‍රීය දායකත්වය ලබාදුන් තවත් පුරවැසියකු තම අතීතය එලෙසින් ස්මරණය කර තිබුණා.

විනාශයේ දැවැන්තකම

 ගේ කුරුල්ලන්ගේ බිත්තර විනාශ කිරීම, කැදලි තැනීමට බාධා පැමිණවීම, ගේ කුරුල්ලන් පොළොව මතට පැමිණීම වැළැක්වීම, ඔවුන් පදිංචිව සිටින ගස් සෙලවීම, ඇතුළු බොහෝ ක්‍රියා එකල ගේ කුරුලු මර්දනය සඳහා චීන ජනතාව අනුගමනය කළා. ඔවුන් බොහෝවිට මේ ක්‍රියාව සිදු කළේ තම සේවා මුරවල වැඩ කරමින් සිටින අතරතුරේ යි. අවසානයේදී පොළොවට පැමිණීමට නොහැකිව උඩු ගුවනේ අසරණව සිටි ගේ කුරුල්ලන් වෙහෙසට හා විජලනයට පත් වී බිම ඇද වැටුණා.

 “ෆෝ පෙස්ට් කැම්පේන්” මර්දන ව්‍යාපාරයේ උච්චතම අවස්ථාවේ දී චීනයට පැමිණි මිකායිල් ක්ලොච්කෝ නමැති විද්‍යාඥයාට අපූරු සිදුවීමක් අත්දකින්නට ලැබුණා. ඔහු නැවතී සිටි හෝටලයේ සේවය කළ කාන්තාවන් දින තුනක් මුළුල්ලේ වහලය මත නැඟී ඒ මේ අත ගමන් කරමින් ගේ කුරුල්ලන් පලවා හැරීමට ක්‍රියා කළා. උණ බම්බු වනමින්, කෑ ගසමින්, මේ අහිංසක සතුන්ගේ වාසස්ථාන අහිමි කිරීමට සෑම පියවරක් ම ඔවුන් අර ගත්තා. චීනයේ සෑම අස්සක් මුල්ලක් නෑරම “ෆෝ පෙස්ට් කැම්පේන්” වැඩසටහන ක්‍රියාත්මක වූ බවට කදිම නිදසුනක් ලෙස මිකායිල් ක්ලොච්කෝගේ අත්දැකීම ඉදිරිපත් කළ හැකි යි.

 ගේ කුරුල්ලන් තුරන් කිරීම අතිශයින් තරගකාරී ස්වභාවයක් ගත්තා. එම පක්ෂීන් ඝාතනය කරන්නන්ට ත්‍යාග ලබා දීමට රජය උත්සුක වූ අතර, ප්‍රමාණවත් තරම් කුරුල්ලන් සමූල ඝාතනය නොකළ අය සමාජයේ විවේචනයට පවා පාත්‍ර වුණා. මේ පෙලඹවීම නිසා චීනයේ ගේ කුරුල්ලන් සම්පූර්ණයෙන්ම වඳ ව යෑමේ තර්ජනය අද්දරටම පැමිණියා. මරා දැමුණු සංඛ්‍යාව ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැති වුණත්, ෂැංහයි නගරයේ පමණක් ගේ කුරුල්ලන් මිලියන 1.4කට ආසන්න ගණනක් මරා දැමූ බව සඳහන්. එක් නගරයක විනාශය මෙතරම් නම්, චීනය පුරා ජීවිතයෙන් වන්දි ගෙවූ ගේ කුරුල්ලන්ගේ සංඛ්‍යාව සිතා ගතවත් නොහැකි යි.

ගේ කුරුල්ලන්ගේ විනාශය චීනය තුළ විශාල පාරිසරික අසමතුලිතතාවයකට මඟ පෑදුවා – worldatlas.com 

සොබාදහම නඩු අසයි!

  සංහාරය නිසා ගේ කුරුල්ලන්ට අමතරව, මීයන් බිලියන 1.5ක්, ශරීර බරින් ගත් කල මැස්සන් සහ මදුරුවන් පිළිවෙලින් කිලෝග්‍රෑම් මිලියන 100ක් සහ කිලෝග්‍රෑම් මිලියන 11ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා.

 අප ලිපිය තුළින් “ෆෝ පෙස්ට් කැම්පේන්” යටතේ මරා දැමුණු සතුන් අතරින් ගේ කුරුල්ලන්ට විශේෂ අවධානයක් යොමු කළා. එයට හේතුව වන්නේ වැදගත් පාරිසරික සාධකයක් ලෙස ගේ කුරුල්ලන් හැඳින්වෙන නිසා යි. ඔවුන් ආහාරයට ගන්නේ ධාන්‍ය පමණක් නොව ස්වභාවික විලෝපිකයන් ලෙස ඔවුන් කෘමී ගහණය පාලනය කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අනෙක් අතට, පළිබෝධකයන් ලෙස හැඳින්වූ මීයන්, මැස්සන්, මදුරුවන් පවා මුලිනුපුටා දැමීම කිසිසේත් සුදුසු නැහැ. ඔවුන් වැඩි වර්ධනය වීම සඳහා මිනිසාගේ අනිසි ක්‍රියාකාරකම් සෘජුව ම බලපානවා. සිදු කළ යුත්තේ මානව ක්‍රියාකාරකම්වල මනා කළමනාකාරීත්වයෙන් ඔවුන් පාලනය කිරීම යි.

 ගේ කුරුළු සංහාරයේ විපාක බොහොම ඉක්මනින් චීනයට ලැබෙන්න පටන් ගත්තා. සැලකිය යුතු ධාන්‍ය ප්‍රමාණයක් ආහාරයට ගනිමින් ඔවුන් වගාබිම්වලට හානි කිරීම සත්‍යයක් වුවත්, කෘමී අනුභවයෙන් ගේ කුරුල්ලන් ගොවීන්ගේ හිතවතකු ලෙස වැඩි දායකත්වයක් දැක්වූවා. ඇතැම් අය මේ සත්‍යය දැනගෙන සිටියත්, මාඕ සේතුං ගේ දරදඬු පාලනය හමුවේ සිය හඬ අවදි කිරීමට ඔවුන් ධෛර්යමත් වුණේ නැහැ. 1960 වනවිට කෘමී පාලනය උදෙසා ශක්තිමත් ගේ කුරුලු ගහණයක් චීනයේ නොපැවතුණු නිසා අනෙකුත් පළිබෝධකයන් වේගයෙන් පැතිර යාමට පටන් ගත්තා. පළඟැටියන් රට පුරා සැරිසරමින් මිනිස් පරිභෝජනයට ඇති වගා ඇතුළු ව, ඔවුන්ට ආහාරයට ගත හැකි සෑම දෙයක් ම අනුභව කළා. එකල චීනයේ මිලියන ගණනක් වූ මිනිසුන්ට දරුණු සාගතයකට මුහුණ දීමට හේතුවූ සාධක අතර, මෙම කුරුළු සංහාරයත් ඉදිරියෙන් ම තිබුණා.

“ෆෝ පෙස්ට් කැම්පේන්” ක්‍රියාදාමය නිසා චීනයේ සාගතය දරුණු අතට හැරුණා – guestlist.net

 මෙලෙස සාගතයට මුහුණ දුන් මිනිසුන් සංඛ්‍යාව මිලියන 15ක් බව පැවසෙනවා. සමහර විද්වතුන් ගණන් බලා ඇති අන්දමට සාගතය හේතුවෙන් පුද්ගල මරණ මිලියන 45ක් හෝ මිලියන 78ක් තරම් ඉහළ අගයක් සිදු වූ බව කියවෙනවා. මෙම වාර්තා එතරම් පැහැදිලි ඒවා නොවෙයි. ඇතැම් වාර්තාවල එම මරණ සංඛ්‍යාව මිලියන 20-30 අතර බව සඳහන් වෙනවා. කෙසේ වෙතත්, “ෆෝ පෙස්ට් කැම්පේන්” වැඩපිළිවෙළ නිසා  1958-1962 කාලය අතරතුර ඉතිහාසයේ දරුණුම සාගතයකට චීනය මුහුණ දුන්නා.

  සොබාදහමේ සමතුලිතතාවට බාධා පැමිණවීමෙන් ඇති වන විනාශය පෙන්වන දර්ශීය උදාහරණයක් ලෙස “ෆෝ පෙස්ට් කැම්පේන්” හැඳින්විය හැකි යි.

කවරයේ ඡායාරූපය: "ෆෝ පෙස්ට් කැම්පේන්" වෙනුවෙන් භාවිත කළ ප්‍රචාරක දැන්වීමක් - amusingplanet.com

 මූලාශ්‍ර:

discovermagazine.com 

 treehugger.com

Related Articles