Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිනෙන් දින උණුසුම් වන ප්‍රංශ ජනාධිපතිවරණ සටන​

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම 2017 අප්‍රේල් 23 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ හේතුවෙන් ප්‍රංශයේ දේශපාලන වේදිකාව දිනෙන් දින උණුසුම් වෙමින් තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී ලෝක අවධානය වෙනදාටත් වඩා ප්‍රංශය දෙසට යොමු ව තිබෙන්නේ ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වන ජාතික පෙරමුණේ (Front National) නායිකා මාරීන් ලෙ පෙන්ගේ ජනප්‍රියත්වය හේතුවෙන්.

මේ අතර දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ෆ්‍රංශුවා ෆියොන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීමත් හිටපු ඇමතිවරයකු වූ එමානුවෙල් මැක්‍රොන්ගේ ජනප්‍රියත්වය ඉහළ යාමත් සමඟ ජනාධිපති තරඟය තවත් උණුසුම් වී තිබෙනවා.

ප්‍රංශයේ ජනාධිපතිවරණය සෑම වසර පහකටම වරක් පැවැත්වෙනවා. පළමු වටයේදී යම් අපේක්ෂකයකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ඉක්මවා ලබාගතහොත් ජනාධිපතිවරණය ඉන් අවසන් වෙනු ඇති. එසේ නොවුවහොත්, වැඩියෙන්ම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා සහභාගී වන දෙවන වටයේ ඡන්ද විමසීමක් පවත්වනු ලැබෙන අතර, මෙය පැවැත්වෙන්නේ පළමු වටයෙන් සති දෙකකිනි.

මේ අනුව , මෙවර ජනාධිපතිවරණයේදී දෙවැනි වටයේ ඡන්ද විමසීමක් අවශ්‍ය වුවහොත් එය මැයි 7 වනදා පවත්වනු ඇති .

රටේ ප්‍රධානම දක්ෂිණාංශික පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය සහ ප්‍රධානම වාමාංශික පක්ෂය වන සමාජවාදී පක්ෂය සිය අපේක්ෂකයන් තෝරාගනු ලැබූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තෝරා ගන්නා අන්දමට, පක්ෂ විසින් පවත්වන ඡන්ද විමසීමකින්. නමුත් එම පක්ෂ ඇතුළත තරඟය ඇමරිකාවේ තරම් දිගු එකක් වුණේ නැහැ. එම ඡන්ද සති කිහිපයකින් අවසන් කෙරුණා.

ජනාධිපතිවරණයේදී කෙරෙන ආකාරයටම මෙම අභ්‍යන්තර ඡන්ද විමසීම් ද වට දෙකකින් පවත්වනු ලැබුණා. මෙම තරඟවලින් ජයගත් රිපබ්ලිකන් පක්ෂයේ ෆ්‍රංශුවා ෆියොන් (Francoise Fillon) සහ සමාජවාදී පක්ෂයේ බෙනෝයි හැමෝන් එම පක්ෂවල අපේක්ෂකයින් ලෙස තෝරා ගැණුනා. කෙසේ වෙතත් දූෂණ චෝදනා එල්ල වන ෆියොන්ට ජනපති සටනෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.

පහත දැක්වෙන අපේක්ෂකයන් කිහිප දෙනා පිළිබඳ ජන්දයේදී වැඩි අවධානයක් යොමු වේවි.

ෆ්‍රංශුවා ෆියොන්

හිටපු ජනාධිපති නිකුලස් සාර්කෝසි යටතේ 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ අගමැති වූ ෆියොන් වෙනත් අමාත්‍යධූර කිහිපයක ද කටයුතු කර තිබෙනවා. 2002 දී එවක කම්කරු ඇමතිවරයා ලෙස ඔහු ආන්දෝලනාත්මක කම්කරු නීති හඳුන්වා දුන්නා. 2007 දී නිකුලස් සාර්කෝසිගේ ජයග්‍රාහී ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ ඔහු විසින්.

ෆ්‍රංශුවා ෆියොන් (planetes360.fr)

මෙවර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ නාමයෝජනා සඳහා වූ තරඟයේදී අවසන් සතිය වන තුරුත් ඔහු සිටියේ තවත් හිටපු අගමැතිවරයකු වූ ඇලේන් ජුප්පෙ සහ හිටපු ජනපති සාර්කෝසිට පසුපසින්. නමුත් අවසන් විවාදයේදී ඔහු දැක්වූ සාර්ථකත්වය ඔස්සේ ෆියොන් නාමයෝජනාව දිනා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් ඔහු සිය බිරිඳට 1998 සිට 2012 දක්වා නීතිවිරෝධී අයුරින් වැටුපක් ගෙවා ඇතැයි වන චෝදනාවක් හේතුවෙන් ෆියොන්ගේ මැතිවරණ ව්‍යාපාරය අවිනිශ්චිත වී තිබෙනවා.

මාරීන් ලෙ පෙන්

1968 දී උපන් මාරීන් ලෙ පෙන් යනු ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික දේශපාලකයන් අතින් ප්‍රමුඛයා වූ ශෝන්-මාරි ලෙ පෙන්ගේ දියණියක්. 2011 දී ඇය සිය පියාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජාතික පෙරමුණේ නායකත්වයට තෝරාගනු ලැබුණා. ඇගේ නායකත්වය යටතේ ඇගේ පියා දැරූ ඇතැම් අන්තවාදී ස්ථාවරයන් බැහැර කළ මාරීන් ලෙ පෙන් සිය පක්ෂය වඩා සාර්ථකව ජනතාව අතරට ගෙන යාමට සමත් වුණා.

සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇය දැඩි ප්‍රතිපත්තියක් යෝජනා කරන අතර පසුගිය වසර කිහිපය තුළ යුරෝපයේ සංක්‍රමණික ප්‍රශ්නය උග්‍ර වීමත් සමඟ ඇගේ ජනප්‍රියත්වය ද ඉහළ ගියා.

මාරීන් ලෙ පෙන් (Getty)

තමා ජනාධිපති ධූරයට පත් වුවහොත් ප්‍රංශය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීම සම්බන්ධව ජනමත විචාරණයක් පවත්වන බව මාරීන් ලෙ පෙන් කියා සිටිනවා.

බෙනෝයි හැමොන්

ප්‍රංශයේ ප්‍රධානතම වාමාංශික පක්ෂය මෙන්ම වත්මන් පාලක පක්ෂය වන සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හැමෝන් තෝරාගන්නා ලදී. වත්මන් ජනාධිපති ෆ්‍රංශුවා ඔලන්ද් දෙවන ධූර කාළයක් සඳහා තරඟ නොකරන බව පසුගිය දෙසැම්බරයේදී සනාථ කරනු ලැබු අතර ඔහුගේ ජන ප්‍රසාදයද මේ වන විට ඉතා අඩු මට්ටමක පවතිනවා. සමාජවාදී පක්ෂය පිළිබඳ ජන ප්‍රසාදය ද ඉතා පහළ අඩියක තිබෙන අතර ඇතැම් මත විමසුම් අනුව හැමෝන් ජනාධිපතිවරණයේදී පස්වැනි තැනට වුවද වැටෙන්නට ඉඩ තිබෙනවා.

බෙනෝයි හැමෝන් (Reuters)

හැමෝන් වර්තමාන සමාජවාදී රජයේ ද ඇමතිවරයකු ලෙස කළක් කටයුතු කළා. ඔහු දැන් 49 වන වියේ පසු වනවා.

එමානුවෙල් මැක්‍රොන්

එමානුවෙල් මැක්‍රොන් (Reuters)

පසුගිය වසර වන තුරු ප්‍රංශයේ ආර්ථික ඇමතිවරයා වූ මැක්‍රොන් තවමත් 39 වන වියේ පසු වන තරුණ දේශපාලකයෙක්. ඔහු තමාව හඳුන්වා ගන්නේ දක්ෂිණාංශික හෝ වාමාංශික හෝ නොවන ලිබරල්වාදියකු ලෙසයි. එමෙන්ම ආර්ථිකය සහ සාමාජීය කරුණු යන දෙ අංශයෙන්ම ඔහුගේ අදහස් ලිබරල්වාදී ස්ථාවරයක් ගන්නවා. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යනු ලබන්නේ ඉතාම තරුණ කණ්ඩායමක් විසින්. ඔහු විසින් පිහිටුවන ලද “එන් මාර්කේ!” (ගමනේ යෙදෙමු) ව්‍යාපාරයට මේ වනවිට සාමාජිකයන් 150,000 ක් එක්වී තිබෙන බව මෑතකදී බීබීසීය ප්‍රකාශ කළා.

ශෝන් – ලුක් මෙලෙන්ශොන්

පරිණත වාමාංශික දේශපාලකයකු වන මෙලෙන්ශොන් දිගු කළක් සමාජවාදී පාක්ෂිකයකුව සිටි අතර 2000 – 2002 සමයේ අමාත්‍ය ධූරයක් ද දැරුවා. 2008 දී පක්ෂයේ වඩා වාමවාදී කණ්ඩායමක් පක්ෂයෙන් ඉවත් වූ විට ඔහුත් ඒ අතර වුණා. එතැන් පටන් ඔහු වාම පක්ෂයේ සාමාජිකයෙක් වනවා. 2012 ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වූ මෙලෙන්ශොන් ඡන්දවලින් සියයට 11.10% ලබා සිව් වැනි ස්ථානයට පත් වුණා.

සමාජවාදී පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බැවින්, මෙවර ජනාධිපතිවරණයේදී, එම පක්ෂයේ අපේක්ෂකයා අභිබවා යාමට මෙලෙන්ශොන්ට හැකිවනු ඇති බව ඇතැම් මත විමසුම් විසින් අනුමාන කර තිබෙනවා.

අනෙකුත් අපේක්ෂකයන්

මෙම අපේක්ෂකයන්ට අමතරව යුරෝපා පරිසරවේදී – හරිත පක්ෂයේ යනික් යඩෝ (Yannick Jadot), ලුත වියේ (Lutte Ouvrière) හෙවත් කම්කරු අරගලය පක්ෂයේ නතලි අක්තූර්ඩ් (Nathalie Arthaud), නව ධනේශ්වරවිරෝධී පක්ෂයේ ෆිලිප් පුටූ, ප්‍රංශය නැගිටිව් පක්ෂයේ නිකුලස් ඩුපොන් – අයිනන් (Nicolas Dupont – Aignan) සහ සහයෝගීතාව සහ ප්‍රගතිය පක්ෂයේ යාක්ස් ෂෙමිනේඩ් යන අපේක්ෂකයන් මේ වන විට සිය අපේක්ෂකත්වය සනාථ කර තිබෙනවා. නමුත් එම අපේක්ෂකයන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි විශ්වාස කෙරෙන්නේ නැහැ.

මෙවර ජනාධිපතිවරණයේදී පළමු වටයේ ඡන්ද විමසීමෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාවට ළඟා වීමේ හැකියාවක් නොපවතිනු ඇති බව අනුමාන කෙරෙනවා. ඒ හේතුව නිසා පළමු ස්ථානයට එන අපේක්ෂකයන් දෙදෙනා මෙහිදී වැදගත් වනු ඇති.

මාරීන් ලෙ පෙන් පළමු වටයේදී පළමු හෝ දෙවන ස්ථානයට අනිවාර්යයෙන් පැමිණෙනු ඇතැයි අනුමාන කෙරෙනවා. අනෙක් ස්ථානයට ෆ්‍රංශුවා ෆියොන් පැමිණිය හැකි බව මුලින් අනුමාන කෙරුණත්, ඔහුට එල්ලවන දූෂණ චෝදනා හමුවේ කුමක් වේද යන්න සැක සහිතයි. එම අවසරයෙන් එමානුවෙල් මැක්‍රොන් එම ස්ථානය ගන්නට ඉඩ ඇතැයි ද ඇතැම් විශ්ලේෂකයන් අදහස් දක්වනවා. බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත පෙන්වා දුන්නේ මෙම දූෂණ චෝදනා එල්ල වීමෙන් පසු ලෙ පෙන් සහ මැක්‍රොන් යන දෙදෙනාගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇති බව යි.

මාරීන් ලෙ පෙන්ගේ අන්ත දක්ෂිණාංශික මතවාදයට එකඟ නොවන සියලු කොටස් එකතු වී ඇයව දෙවන වටයේදී පරාජය කරනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඇගේ පියා 2002 ජනාධිපතිවරණයේ දෙවන වටයට සුදුසුකම් ලද විට අනෙක් සියලුම දේශපාලන ව්‍යාපාර යාක් ෂිරාක් (Jaques Chirac) වෙත සහය දක්වමින් දෙවැනි වටයේදී ඔහුව පරාජය කළා. මෙවර ද එසේ වනු ඇතැයි අදහස් පළ ව තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර පැරිසියේ ලූවර් කෞතුකාගාරය අසළදී ත්‍රස්තවාදියකු යයි සැක කළ අයකුට හමුදා භටයකු වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ සංක්‍රමණික ප්‍රශ්නය හා ත්‍රස්තවාදය වැනි කරුණු පිළිබඳ විවාදය නැවතත් අලුත් වුණා. මේ නිසා ප්‍රංශ මැතිවරණ සටන කෙසේ දිග හැරේදැයි සිතාගන්නට අපහසුයි. ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

Cover Image: ප්‍රංශ ජනාධිපති මැදුර වන එලීසී මාළිගය (AP)

මූලාශ්‍ර : BBC, The Telegraph

Related Articles