ගියොත් නියත මරණය අත් වන ගල් යුගයේ සෙන්ටිනෙල් දූපත

ශිෂ්ටාචාරවත් නොවූ ගල් යුගයේ භයානක මිනිසුන් සිටින, ඉන්දියාවට අයත් දූපතක් ගැන කතාකරන්නටයි මේ සූදානම. මෙය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ඉන්දියාව සහ මැලේසියාව අතර මහ සයුරේයි. වටේ ම පිහිටි රටවල් දියුණුව හඹා ගොස් තිබුණත් උතුරු සෙන්ටිනෙල් දූපතේ තවමත් වාසය කරන්නේ අප නොදියුණු යයි කියන ප්‍රාථමික ගෝත්‍රික ජනතාවක්.

ඒ විතරක් නොවේ. ඔවුන් දියුණු ශිෂ්ටාචාරය දරුණු විදිහට ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා එම ජනතාවගේ යහපත සඳහා ඉන්දීය රජය කිසිවකුට දූපතට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

1
දූපත පිහිටා ඇති තැන- smh.com.au

ගුප්ත දූපත

උතුරු සෙන්ටිනෙල් දූපතතේ ගෝත්‍රික ජනතාව සියවස් ගණනාවක් තිස්සේ පිටස්තර ලෝකරය සමඟ සම්බන්ධතාවලට අකමැති බව පළ කර තිබෙනවා. මේ නිසා  බාහිර ලෝකය සිතන්නේ එය ගුප්ත වටපිටාවකින් යුක්ත බවටයි.

එය ලොව හුදකලා ම ජන කොටසක් ජීවත්වන තැනක්. ඒත් ඔවුන් බාහිර ලෝකය ගැන දැනුම්වත් වී සිටින බවයි පේන්නේ. දූපතට පිටතින් පැමිණෙන කවුරු වුණත් පලවා හැරීමට හෝ ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ කරනවා.

2
 දූපතේ ගුවන් ඡායාරූපයක්- Wikipedia.org

ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්කේ පිහිටි මේ දුපත අන්දමන් දූපත්වලින් එකක්. දූපතේ විශාලත්වය වර්ග කිලෝමීටර් 59.67ක් ( අක්කර 14700ක්).  දූපත තැනිතලා ආකාරයෙන් තමයි පිහිටලා තිබෙන්නේ. ඝන වනාන්තරවලින් එය වැසී තිබෙනවා. එහි උස ම ස්ථානය මිටර 122ක්.

ඉතා අලංකාර වෙරළ තීරයක් දූපත සතු වුවත් එහි අසිරිය සංචාරකයන්ට විඳ ගැනීමට නම් අවස්ථාවක් නැහැ.  දූපතේ පළල ම ස්ථානය දිගින් කිලෝමීටර් 7ක් වෙනවා. වටා කොරල් පර පිහිටා තිබෙන නිසා එය අවට වෙරළ තීරය මුහුදු රළෙන් ආරක්ෂා වනවා.

3
ගෝත්‍රික ජනතාව වෙරළේ දුනු හී අතැතිව- smh.com.au

ගෝත්‍රික ජනතාව

2011 ඉන්දීය ජන සංගණන ඇස්තමේන්තුවලට අනුව මෙහි ජනගහණය 80 සිට 150 දක්වා සිටින බව පැවසෙනවා. සමහරුන් පවසන්නේ එය 15 සිට 500 දක්වා වුවත් විය හැකි බවයි. සෙන්ටිනෙල් වාසීන්, වෙනත් අන්දමන් දූපත්වල වාසය කරන ගෝත්‍රික ජනතාව සමඟ සම්බන්ධතා පවත්වන බව ද හෙළි ව තිබෙනවා. ඔවුන් එන්ගේ සහ ජවාරා වැනි  දියුණු අන්දමන් ගෝත්‍ර සමඟ සබඳතා නොපවත්වන බවයි පැවසෙන්නේ.

ඔවුන්ගේ භාෂාව ගැනත් දැනුමක් ලෝකයට නැහැ. බාහිර ලෝකය ඔවුන් උතුරු සෙන්ටිනෙල් වාසීන් ලෙස හැඳින්වුවත් ඔවුන් තමන්ගේ ජාතිය හඳුන්වා ගන්නේ කෙසේදැයි කවුරුත් දන්නෙ නැහැ. මේ දූපත්වාසීන් ගැන අධ්‍යයනය කිරීමට මානව විද්‍යාඥයන් උත්සාහ කළත් ඔවුන්ගෙන් එල්ල වන මාරාන්තික තර්ජන නිසා එය නවතා දැමීමට සිදු වුණා.

4
ගෝත්‍රිකයන් මසුන මරන ආකාරය- gettyimages.com

දූපත සොයා ගැනීම

පෙරදිග ඉන්දියා වෙළෙද සමාගමට අයත් ලන්දේසි  නෞකාවක් සෙන්ටිනෙල් දූපත අසලින් 1771 දී ගමන් කළේ භුවිද්‍යාත්මක ගවේෂණයක සඳහා යි. එහිදී ඔවුන් වාර්තා කර ඇත්තේ උතුරු සෙන්ටිනෙල් දූපතේ  වෙරළේ ගිනි දැල් දුටු බව යි. ඉන් සියවසකට පසුව නයින්වේ නම් ඉන්දීය වෙළෙඳ නෞකාව මෙම දූපතේ වෙරළ අද්දර නො ගැඹුරු මුහුදේ කොරල් පරයක ගැටී විනාශ වී තිබෙනවා.   නැවේ ගමන් කළ මගීන් 86ක් සහ කාර්ය මණ්ඩලයේ 20ක් දූපතට පිහිනා ගොස් දිවි බේරා ගෙන තිබෙනවා.

ගලවා ගැනීමේ නෞකාවක් එනතෙක් ඔවුන් දූපතේ කල් ගත කළ බවත්, එහිදී දූපත්වාසීන් දුනු හීවලින් ඔවුනට ප්‍රහාර එල්ල කළ බවත් සඳහන් වෙනවා. නැවේ මගීන් ද පොලුවලින් සහ ගල්කැටවලින් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා. පසුව රාජකීය නාවික හමුදාවට අයත් නැවක් පැමිණ ඔවුන් බේරා ගෙන තිබෙන බව සඳහන්. බ්‍රිතාන්‍යය උතුරු සෙන්ටිනෙල් දූපත තම අධිරාජ්‍යයට අයත් කොලණියක් බවට පත් කිරීමට පිඹුරුපත් සකස් කළ බවත් පැවසෙනවා.

5
පෝට්මන් අන්දමන් දූපත්වල ගෝත්‍රික පිරිසක සමඟ – Fellowprimo.com

 

1880 දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නිලධාරි එම්. වී. පෝට්මන් ඇතුළු කණ්ඩායමක් දූපතට ඇතුළු වුණේ ඒ ගැන වැඩිදුර විස්තර සොයා බැලීමටයි. ඔවුන් ගොඩ බට බව දැන ගත් දූපත්වාසීන් තම පැල්පත්වලින් පලා ගොස් විගසින් සැඟව තිබෙනවා. අතරමං වී සිටි වැඩිහිටි යුවළක් සහ ළමයින් සිව්දෙනකු අල්ලා ගත් පිරිස ඔවුන් අන්දමන් දූපත්වල බ්‍රිතාන්‍ය මූලස්ථානය වන බ්ලෙයාර් වරායට රැගෙන ගියා.

 මේ ගෝත්‍රිකයන් 6 දෙනා ඉක්මනින් ම අසනීප වී තිබෙනවා. එයට හේතුව හඳුනා ගෙන නැහැ. ඔවුන් අතරින් වැඩිහිටියන් දෙදෙනා වරායේදී ම මරණයට පත්වුණා. ඉන්පසු පෝට්මන් ඇතුළු කණ්ඩායම ඉතිරි රෝගී ළමයින් සිව්දෙනා ඔවුන් අල්ලා ගත් තැන වෙරළට ගොස් තබා නැවත පැමිණියා. ඒ අතර තෑගි පාර්සල් කිහිපයක් ද ඔවුන් තබා ආ බව සඳහන්.

6
දූපතේ සිරවූ පැනමා නැව- smh.com.au

දූපතේ අයිතිය ඉන්දියාවට 

1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත්විජිත තත්ත්වයෙන් නිදහස ලැබූ පසු, මේ අන්දමන් දූපත් පෙළේ දූපතේ අයිතිය ද ඒ රටට යි හිමි වුණේ. ඉන්දියාව මේ හුදෙකලා දූපත ගැන මුලින් අවධානය යොමු කළේ නැහැ. 1960 දී ඉන්දියානු රජය නාවික යාත්‍රාවක් මගින් දූපත්වාසීන්ට තෑගිබෝගත් යවා තිබෙනවා. ඔවුන් සමඟ සබඳතා ගොඩ නගා ගැනීමට හැකි වී නැහැ.

7
පැනමා නැවේ කාර්ය මණ්ඩලය- smh.com.au

 

පැනමාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්සෙන්ටිනෙල් දූපත අසල කොරල් පරයක 1981 දී  සිර වුණා. එහි කාර්ය මණ්ඩලයට ගලවා ගැනීමේ නෞකාවක් එන තෙක් දූපත්වාසීන්ගේ විරෝධතාවලට හා දුනු හී වර්ෂාවලට මුහුණ දෙමින් සිටින්නට වූ බව පැවසෙනවා. ඒ මිනිසුන් බේරී පලා ගියත් නැව අදටත් දූපත අසල සිර වී තිබෙනවා.

එයින් දශකයට පසුව ඉන්දීය මානව විද්‍යාඥ මධුමාලා චට්ටෝපාද්‍යාය කිහිප වතාවක් සෙන්ටිනෙල් දූපතට ගොස් සුළු හිතවත්කමක් ගොඩ නගා ගැනීමට සමත්වූ බව වාර්තා වෙනවා.

ඉන්දීය මානව විද්‍යාඥ මධුමාලා චට්ටෝපාද්‍යාය සෙන්ටිනෙල් දූපතට – theprint.in 

සෙන්ටිනෙල් දූපත්වාසීන්ට බාහිර විෂබීජවලට ප්‍රතිශක්තියක් නැති නිසා ඔවුන් අතර ලෙඩරෝග බෝවීම වැළැක්වීමට කිසිම පර්යේෂකයකුට මේ දූපත ගවේෂණයට නොයන ලෙස ඉන්දීය රජය පවසා තිබෙනවා. මෙවැනි ගමන්වලින් පවා දූපත්වාසීන් බාහිර පුද්ගලයන් සමඟ තිබෙන සතුරු ආකල්ප අහෝසි නොවූ බවයි පෙනෙන්නේ.

2004 සුනාමි උවදුරින් පසු ඉන්දීය සාගරයේ දූපත්වලට උදව් පිණිස ගිය ඉන්දීය වෙරළාරක්ෂක හෙලිකොප්ටර්වලට පවා ඔවුන් ඊතල ප්‍රහාර එල්ල කර තිබෙනවා. සොබාදහම සමඟ අවබෝධයෙන් සිටි මේ ගෝත්‍රිකයන් සුනාමියට පෙර උස් ස්ථානවලට ගොස් දිවි බේරා ගත් බවයි පසුව අනාවරණය වුණේ.

8
ඉන්දීය ධීවරයන් ගමන් කළ ඔරුව- smh.com.au

මිනීමරු සෙන්ටිනෙල්වරු

2006 වසරේ දී සෙන්ටිනෙල් දූපත ළගින් ගමන් කළ ඉන්දීය ධිවරයන් දෙදෙනකු දූපත්වාසීන් මරා දමා තිබෙනවා. මේ ධීවරයන්ගේ සිරුරු සෙවීමට පැමිණි හෙලිකොප්ටර් යානයට ද ඔවුන් ඊතල එල්ල කර තිබෙනවා. ඉන් පසුව එම මළ සිරුරු සෙවීම අත්හැර යානාව පැමිණ බව සඳහන්. මේ මළ සිරුරු උණ බම්බුවල බැඳ වෙරළේ පසු ව සිටුවා තිබූ බව පසුව පැවසුණා.

ඉන්දිය නාවික හමුදාව සෙන්ටිනෙල් දූපත වටා ඉන් පසුව කිලෝමීටර් 3ක ආරක්ෂක සීමාවක් ප්‍රකාශයට පත් කළා. ඒ සිදුවීමෙන් පසු  සෙන්ටිනෙල් දූපත සමඟ සියලු සබඳතා අත්හරින බවට ඉන්දියාව නිවේදනය කළා. ඒ අනුව ඉන්දියාව පවා ඉදිරියේ දී ඔවුන්ගේ දුක සැප සොයන්නට යන එකක් නැහැ.

9
 ඝාතනය කළ ජෝන් ඇලන් – Fellowprimo.com

 

ඉන්දියාවේ අවසරයකින් තොරව සෙන්ටිනෙල් දූපත්වාසීන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට 2018 දී එහි ගිය 26 හැවිරිදි තරුණ අමෙරිකානු ආගම් ප්‍රචාරකයකු වූ ජෝන් ඇලන් ද දූපතට පය තැබූ විගස ඊතලවලින් විද මරා දැමුණා. ඔහු දූපතට ගොස් ඇත්තේ ධීවරයන් කිහිප දෙනකුගේ උදව්වෙන්.

එම ධීවරයන් පවසා ඇත්තේ ඇලන් මරා දමා වෙරළේ  වළලනු තමන් දුටු බවයි.  ඔහුගේ දේහය ලබා ගැනීමට පවා හැකිවුණේ නැහැ. මෙය ඝාතනයක් වුවත් ආරක්ෂිත සෙන්ටිනෙල් ගෝත්‍රිකයකට එරෙහිව කිසිවක් කළ නොහැකි බවයි ඉන්දියාව, අමෙරිකාවට පවසා ඇත්තේ. ඒ සිද්ධියෙන් බටහිර ලෝකයේ අවධානය මේ ජනකොටස දෙසට යොමු වුණා.

10
වෙරළේ සිටින් දූපත්වාසීන් – Forbes.com

ආහාර පාන සපයා ගැනීම

සෙන්ටිනෙල් දූපත්වාසීන් ආහාර බෝග වගා කරන බවට සාධක නැහැ. දැනට සොයා ගෙන ඇති කරුණු අනු ව ඔවුන්ගේ ජීවන රටාව අවුරුදු දසදහසකට පෙර ගල්යුගයේ ජීවත්වූ මිනිසුන්ට සමානයි. සෙන්ටිනෙල් දූපත්වල ජීවන රටාව වෙනත් අන්දමන් දූපත්වල ගෝත්‍රිකයන්ටත් වඩා ප්‍රාථමිකයි. වනාන්තරවල වැවෙන පලතුරු ඔවුන් ආහාරයට ගන්නවා.

කැස්බෑ බිත්තර සහ මුහුදු පක්ෂින්ගේ බිත්තරත් ආහාරයට ගන්නා බව සොයා ගෙන තිබෙනවා. මුහුදු මාළුත් ඔවුන්ගේ ආහාර වේලට ඇතුළත්. දුනුවලින් විද තමයි ඔවුන් මාළුන්  අල්ලා ගන්නේ. කැලයේ ජීවත්වන වල්ඌරන් හීවලින් විද දඩයම් කිරීමෙන් මස් ද සපයා ගන්නවා.

11
2004 සුනාමි ව්‍යසනයෙන් පසු එහි ගිය ඉන්දියානු වෙරළාරක්ෂක බලකා හෙලිකොප්ටරයකට සෙන්ටිනල් ජාතිකයන් ඊතල ප්‍රහාර එල්ල කරන්නට සැරසෙමින් – NDTV.com

 

ආයුධ

සෙන්ටිනෙල් දූපත්වාසීන් භාවිත කරන ප්‍රධාන ආයුධ වන්නේ දුනු හී සහ හෙල්ලයි. ඉන්දියානු නියෝජිතයන් වෙරළේ දමා ගිය තෑගිබෝගවල ලෝහ කොටස්වලින් ඊතල සහ හෙල්ල නිර්මාණය කර ගෙන ඇති බව පසුව හෙළි වුණා. 1981 දී දූපත් වෙරළේ හිර වූ පැනමා නැවෙන් ලබා ගත් ලෝහ කොටස් ඔවුන්ට අවශ්‍ය සරල ආයුධ සියල්ල ම තනා ගැනීමට ප්‍රමාණවත් වන්නට ඇති.

ඔවුන් වර්ග තුනකට අයත් ආයුධ භාවිත කරන බව හෙළි වී තිබෙනවා. ඒ මාළු බෑමට, දඩයම් කිරීමට සහ මිනිසුන්ට පහර දීමට වශයෙන්. මේ එකිනෙක කටයුතුවලට ඔවුන් යොදා ගන්නා ඊතල එකිනෙට වෙනස්.  ඔවුන්ට ඊතලයක් අඩි 350ක් පමණ දුරට විදීමේ හැකියාව පවතින බව හෙළි ව තිබෙනවා.

12
ඉන්දීය මානව විද්‍යාඥයන් දූපත්වාසීන් හමුවූ අවස්ථාව- smh.com.au

උතුරු සෙන්ටිනෙල් දූපත්වලට ආසන්න ම ගොඩබිමයි අන්දමන් දූපත්. එම දූපත් පෙළ පිහිටා තිබෙන්නේ එයට කිලෝමීටර් 200ක් පමණ දුරින්.  ඒ දූපත්වල වෙසෙන ප්‍රධාන ජනකොටස හඳුන්වන්නේ ජරවා යනුවෙන්. ඔවුන් ද 350ක් පමණ වන ගහණයකින් යුත් හුදෙකලා ගෝත්‍රික ජන කොටසක් වුවත් සෙන්ටිනෙල් ජනතාව තරම් ප්‍රචණ්ඩ නැහැ.

ජරවා ගෙපැල උණබම්බු සහ වියළි පොල් අතුවලින් තමයි තනා තිබෙන්නේ. පැල මැද මැටිවලින් ළිප තනා ගෙන තිබෙනවා. මස් පුළුස්සා ගන්නේ එම ළිපෙනුයි. පැල තුළ වල් ඌරන්ගේ හිස් ද කැන්දකොළ ද එල්ලා තිබෙනවා.

දඩයම් කළ වල්ඌරන් පුමාණය වැඩි වන විට හිමිවන සමාජ තත්ත්වය ඉහළ යන බවයි මානව විද්‍යාඥයන් සඳහන් කරන්නේ. ජරවා ජනතාව සඳහා වර්ග කිලෝමීටර් 7000ක රක්ෂිත ප්‍රදේශයක් වෙන්කර දී තිබෙනවා. සංචාරකයන් ජරවා ගෝත්‍රිකයන් නැරඹීමට යාම ඔවුන්ගේ සරල ජන ජිවිතයට හානියක්.

ඉන්දියාව 1956 දී සම්මත කරගත් අන්දමන් සහ නිකොබාර් දූපත් ගෝත්‍රික ජනකොටස් ආරක්ෂා කිරීමේ පනත සෙන්ටිනෙල් දූපතටත් බලපානවා. කෙසේවුවත් මේ වනචාරී මිනිසුන් තවත් පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමට නම් කිසිම කැමැත්තක් නැති බව පැහැදලි වී තිබෙනවා. ඒ නිසා ඔවුන් ඉදිරියටත් ගල්යුගයේ ම ජීවත් වේවි.

කවරයේ ඡායාරූපය: උතුරු සෙන්ටිනෙල් දූපත - Forbes.com

මූලාශ්‍ර:

Forbes.com

තම්බපණ්ණි- 3 කලාපය

Fellowprimo.com

The Sydney Morning Herald

smh.com.au

Related Articles