Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෝර්ජියාව ඇමරිකානු බල කේන්ද්‍රය වෙනස් කරයි ද?

2020 නොවැම්බර් මස පැවැත්වුනු ඇමරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක සහ එක්සත් ජනපද ජනපති ද වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක, හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් ජයග්‍රහණය කරනු ලැබීය. එහෙත් එම ජය පූර්ණ ජයග්‍රහණයක් නොවන තත්ත්වයක් බවට පත්ව ඇත. 2021 ජනවාරි 5 වන දින ජෝර්ජියාවේ සෙනේට් මන්ත්‍රණ සභාවේ ධුරයන් දෙකක් සඳහා පැවැත්වෙන අතුරු මැතිවරණය, ඇමරිකාවේ සෙනේට් මන්ත්‍රණ සභාවේ බහුතරය තීරණය කරනු ලබයි. දැනටමත් ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුව නියෝජිත මන්ත්‍රණ සභාවේ බහුතරය ඇති බැවින් මෙම මැතිවරණය ඉතා තීරණාත්මක ය. මේ ලිපියේ අරමුණ ජෝර්ජියාවේ මෙම සෙනේට් සභා ධුර දෙකෙහි ඇති තීරණාත්මකබව හා එහි ඉතිහාසය පිළිබඳව කෙටි විස්තරයක් පාඨකයා හමුවේ තැබීමට යි.

ශ්‍රී ලංකාවේ මෙන් ඇමරිකාවේ ජනාධිපතිවරයා තීරණය කරනු ලබන්නේ සරල බහුතර ඡන්දයෙන් නොවේ. ඇමරිකාවේ පවතින්නේ මැතිවරණ විද්‍යාල ක්‍රමයකි. ඉතා කෙටියෙන් කිවහොත්, එක් එක් ප්‍රාන්ත සඳහා අනුයාත මැතිවරණ විද්‍යාල ප්‍රමාණයක් පවතින අතර, අදාල ප්‍රාන්තය ජයග්‍රාහකයාට එම ප්‍රාන්තයට අදාල මැතිවරණ විද්‍යාල සියල්ලම හිමිවේ. උදාහරණයක් ලෙස කැලිෆෝනියා ප්‍රාන්තයේ මැතිවරණ විද්‍යාල ගණන 55ක් වන අතර, එම ප්‍රාන්තය ජයග්‍රහණය කළ ජෝ බයිඩන් හට එම සියලු මැතිවරණ විද්‍යාල ප්‍රමාණය ලැබේ. 

ඒ අනුව 2020 නොවැම්බර් මස පැවත්වූ ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් හට මැතිවරණ කොට්ඨාශ 306ක් ලැබෙද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් හට මැතිවරණ කොට්ඨාශ 232ක බලය ලැබී තිබිනි. එය බැලූ බැල්මට අති විශාල වෙනසක් ලෙස පෙනුනත්, වැඩිදුර අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ප්‍රාන්ත පහක ඉතාමත් තියුණු තරගයක් පැවතීම අවසාන ඡන්ද ප්‍රතිඵල කෙරෙහි සෘජු බලපෑමක් කර ඇති බව යි. විශේෂයෙන්ම විස්කොන්සින්,  පෙන්සිල්වේනියා, ජෝර්ජියා හා ඇරිසෝනා යන ප්‍රාන්ත බයිඩන් ජයග්‍රහනය කළේ 2%කටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකිනි. එම ප්‍රාන්ත සඳහා මතිවරණ කොට්ඨාශ පිළිවෙලින් 10, 20, 16, 11 බෙදා වෙන් වී තිබු අතර බයිඩන් ලබා ගත් වැඩි ඡන්ද ප්‍රතිශත පිළිවලින් 0.7%, 1.2%, 0.2%, හා 0.3% ලෙස සටහන් විය. ඒ අනුව එම කොට්ඨාශ 57ක්ම තීරණය කරනු ලැබුවේ ඉතා අඩු ප්‍රතිශතවලිනි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රිපබ්ලිකන් පාර්ශවය විවිධ උපක්‍රම දැමුව ද, මේ වසරේ ජනවාරියේ දී ජෝ බයිඩන් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය.  

කොන්ග්‍රසයේ තීරක බලය

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 222ක් ඩිමොක්‍රටික් පක්ෂය සතු වන අතර ආසන 210ක් රිපබ්ලිකන් පක්ෂය සතුව ඇත. ඒ අනුව නියෝජිත මණ්ඩලයේ බහුතරය ඉතා සුළු සංඛ්‍යාවකින් ජෝ බයිඩන් සතුව ඇත. ඔහුට ප්‍රශ්නකාරී වී ඇත්තේ එය නොව, සෙනේට් මණ්ඩලයේ නියෝජිතයින් ය. සෙනේට් සභාවේ සමස්ත මන්ත්‍රීධුර සංඛ්‍යාව වන 100න් 50ක බලය මේ වෙනවිටත් රිපබ්ලිකන් පක්ෂය සතුව ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂය සතුව ඇත්තේ ආසන 48කි. ඉතිරි ආසන දෙක සඳහා පැවැත්වෙන මැතිවරණය 2021 ජනවාරි 5 දින ජෝර්ජියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතය. ඒ අනුව නව ජනාධිපතිවරයා ජෝර්ජියාවේ සෙනේට් සහාවේ මන්ත්‍රීධුර දෙකම ජයග්‍රහණය කිරීම අනිවාර්ය ය.

කොන්ග්‍රසය/ Edison Research/NEP via Reuters

ඇමරිකාවේ මැතිවරණවලට පොදු ජාතික මැතිවරණ ක්‍රියාවලියක් නොමැත. එක් එක් ප්‍රාන්තවලට, එම ප්‍රාන්තවලට ආවේණික මැතිවරණ ක්‍රියාවලියක් තිබේ. ජෝර්ජියාවේ සෙනේට් සභාවේ මන්ත්‍රීධුරයකට පත් වීමට 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගත යුතුව ඇත. ඊට ද ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම ඇමරිකාවේ දකුණු ප්‍රදේශවල ඇති වූ සිවිල් යුධ තත්ත්වයන් ඊට බලපෑ ප්‍රධාන සාධක විය. 1963 දී සුදු ජාතික දේශපාලකයකු වූ ඩෙන්මාර්ක් ගෘවර් විසින් මෙම ක්‍රමය යෝජනා කර ඇත. 1958 දී ඔහු තමන් ඉදිරිපත් වූ ඡන්දයෙන් පරාජයට පත් වූ අතර, ඔහු ඒ පිළිබඳව දෝශාරෝපනයෙන් කියා සිටියේ “නීග්‍රෝ ජාතිකයන්” තමන්ගේ ජයග්‍රහණය වැලකූ බව යි. ඔහුට අනුව කළු ජාතිකයකු හා සුදු ජාතිකයින් කිහිපදෙනෙකු අතර තරගය පැවැත් වූ විට සුදු ජාතික ඡන්ද බෙදීයාමට ලක් වන බැවින් කළු ජාතිකයා පහසුවෙන් ජයග්‍රහණය කරනු ලබයි. ඔහු යෝජනා කරනු ලැබුවේ කිසිදු අපේක්ෂකයෙකු 50%ක් ලබා ගැනීමට අපොහොසත් වූයේ නම් ප්‍රධාන අපේක්ෂකයාන් දෙදෙනා අතර නැවත අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු බව යි. 1990 දී ෆෙඩරල් අධිකරණයේ දී මෙම මැතිවරණ ක්‍රියාවලිය කළු ජාතිකයින් කොන් කිරීමට හේතුවන බව දක්වමින් අභියෝගයට ලක් වුව ද එම අදහස ප්‍රතික්ෂේප කෙරිනි. ඒ අනුව 2021 ජනවාරි 5 පැවැත්වීමට ඇත්තේ එවැනි අතුරු මැතිවරණයකි.  

ජෝර්ජියා මැතිවරණය

ජෝර්ජ්යාව යනු සාම්ප්‍රදායිකව “රතු” ප්‍රාන්තයකි. එනම් රිපබ්ලිකන් පක්ෂයට වාසිදායක ප්‍රාන්තයකි. 2020 ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජෝර්ජියා ප්‍රාන්තය ජයග්‍රහණය කරනු ලැබුවේ, වසර 28කට පසුව ඩිමොක්‍රටික් අපේක්ෂකයෙකු ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කරමිනි. 

පහත දැක්වෙන්නේ ජෝර්ජියාවේ පැවති මැතිවරණවල ප්‍රතිඵලයන් ය. 

Source: Vox

ඒ අනුව පැවැත්වීමට නියමිත මැතිවරණයන් දෙකේම වැඩි වාසිය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයට ය. 

සෙනේට් බහුතරය වැදගත් ඇයි?

ලෝක බලවතා ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපතිවරයාට සෙනේට් බහුතරය වැදගත් වන්නේ කුමන හේතුවකටදැ යි සෙවීම වැදගත් ය. මේ වනවිට ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාම මෙම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල වඩා ක්‍රියාකාරීව යෙදී සිටිම සෙනේට් මණඩලයේ බහුතරයේ අවශ්‍යතාවය වඩා ප්‍රකට කරයි.

එක් මැතිවරණ ප්‍රචාරක රැලියක දී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, “ඔබගේ මුදල් නිසි ලෙස පරිහරණය කිරීමට සෙනේට් බහුතරය ඩිමොක්‍රට්වරුන්ට බලය ලබා නොදෙන ලෙස” ය. එවැනිම මැතිවරණ ප්‍රචාරණ රැලියක දී ජෝ බයිඩන් කියා සිටියේ තමන්ට ඉදිරි වැඩ කටයුතු කිරීමට නම් ජෝර්ජියාවේ මෙම සෙනේට් ආසන දෙක තමන්ගේ පක්ෂයට ලබා දෙන ලෙස යි.

ඇමරිකානු ඉතිහාසය තුළ බොහෝ අවස්ථාවල දී කුමන පනතක් ඉදිරිපත් කළ ද විරුද්ධ පක්ෂය ඊට විරුද්ධ වීමේ සම්ප්‍රදායක් ඇත.

2009 පෙබරවාරි 29 වන දින, එවකට ජනාධිපතිවරයාව සිටි බැරක් ඔබාමා කොන්ග්‍රස් මණ්ඩලය අමතද්දී ඔහු පසුපසින් සිටියේ එවකට උප ජනාධිපති ජෝ බයිඩන් හා ඩිමොක්‍රටික් පක්ෂයේ කතානායකවරිය ය. එමෙන්ම සෙනේට් සභාවේ බහුතරයේ නායකයා ද ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් එම සභාවේ අසුන් ගෙන සිටියේ ය. ඒ අනුව නියෝජිත මණ්ඩලයේ හා කොන්ග්‍රස් මණ්ඩලයේ බහුතරය බැරැක් ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවූ අතර ඔබාමාගේ ප්‍රකට ඡන්ද පොරොන්දුවක් වූ සෞඛ්‍ය සත්කාර පනත 2010 සම්මත වූයේ සියළුම රිපබ්ලිකන් සභිකයින් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී ය. එහෙත් 2011 දී නියෝජිත මණ්ඩලයේ බහුතර රිපබ්ලිකන් පක්ෂය සතු වූ අතර ඒ අනුව 2012 දී අවි ආයුධ  ප්‍රතිසංස්කරණ පනත, 2014 දී ආගමන විගමන පනත, 2016 දී කාලගුණ විපර්යාස පනත සම්මත කර ගැනීමට නොහැකි විය. 

 

 
ජෝර්ජියා තරගකරුවන්/Source: Vox
 

2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් අනතුරුව 2017 දී බදු හා රැකියා පනත සම්මත කර ගත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුව නියෝජිත හා සෙනේට් මණ්ඩල දෙකේම බලය සතු කර ගැනීම හේතුවෙනි.

ඒ අවස්ථාවේ දී කිසිදු ඩිමොක්‍රටික් සභිකයකු එම පනතට පක්ෂ වූයේ නැත. එහෙත් 2018 දී නියෝජිත මන්ත්‍රණ මණ්ඩලයේ බහුතරය ඩිමොක්‍රටික් පක්ෂය සතු වූ අතර ඒ අනුව 2019 දී ආගමන විගමන පනත, 2020 දී සීමා පනත පරාජයට පත්විය. 

දැන් ඇත්තේ ජෝ බයිඩන්ගේ වාරය යි. නියෝජිත මණ්ඩලයේ බහුතරය ඔහු සතුව පැවතිය ද සෙනේට් මණ්ඩලයේ තත්ත්වය අවිනිශ්චිතය. ඒ අනුව කොරෝනා ආධාර පැකේජය, දේශගුණ විපර්යාස පනත්, අධි ආදායම් සඳහා වැඩි බදු නීති හා ඡන්ද අයිති පනත් ආදී බයිඩන්ගේ සියළුම ඡන්ද පොරොන්දුවල ආනාගතය රැඳී ඇත්තේ මෙම ජෝර්ජියා ඡන්දය මත ය. මේ වනවිටත් සෙන්ට් මණ්ඩලයේ බහුතර නායකයා වන රිපබ්ලිකන් සෙනේට් සභික මිච් මැකොනෙල් පවසා ඇත්තේ කිසිදු පනතක් සෙනේට් මණ්ඩලය පසු කර යා නොහැකි බව යි. 

ලෝක බලවතාගේ තත්ත්වය එවැනි අස්ථාවර තැනක පවතිද්දී මෙම ක්‍රියාවලිය හරහා හෙළිවන තවත් කාරණාවක් ඇත. ඒ, මානව අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොවට පරමාදර්ශී චරිතයක් රඟපාන ඇමරිකාවේ දේශපාලන නග්නභාවය යි. පළමුකොටම ජෝර්ජියාවේ මැතිවරණ ක්‍රියාවලියම ජාතිවාදය මත පදනම් වූවකි. එමෙන්ම පෙනී යන තවත් කරුණක් වන්නේ කොන්ග්‍රස් මණ්ඩලය සභිකයන්ගේ හැසීරීම හුදෙක් පාක්ෂික හැසීරීමක් මිස, එය නීති පනත් ගැන විමර්ශන අවබෝධයකින් සිදුකරන ක්‍රියාවලියක් නොවන බව යි.

යොමුව:

bbc.com/news/election/us2020/results

Vox

Source: Edison Research/NEP via Reuters

US Interior Department

Los Angeles Times

Related Articles