Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්ත දක්ෂිණාංශික පලහිලව්වෙන් පසු ජර්මනියේ නව ප්‍රාන්ත මැතිවරණයක්!

තුරින්ජියාව යනු ජර්මනියේ ප්‍රාන්ත දහසයෙන් එකක්. එමෙන්ම, එය පැරණි නැගෙනහිර ජර්මනියට අයත් ප්‍රදේශයේ පිහිටි ප්‍රාන්ත හයෙන් එකක් වනවා. එහි ජනගහනය මිලියන දෙකක් පමණ වනවා.

පැරණි නැගෙනහිර ජර්මනියේ අන් ප්‍රදේශ ගණනාවක මෙන්ම මෙහි ද ජර්මනියේ වාම පක්ෂය (Die Linke) ප්‍රබලයි. වාම පක්ෂය යනු නැගෙනහිර ජර්මනියේ එවකට පාලන පක්ෂය වූ සමාජවාදී එක්සත් පක්ෂය තුළින් මතු වූ පක්ෂයෙහි වර්තමාන ස්වරූපය යි.

මෑත කාලයේ දී තුරින්ජියාවෙහි ජර්මනිය සඳහා විකල්පය (AfD) පක්ෂය ජනප්‍රිය වෙමින් තිබෙනවා. එය ජාතිකවාදී, අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වනවා. එහි ඇතැම් සාමාජිකයන්ගේ ස්ථාවරයන් වඩා ආසන්න වන්නේ නව නට්සිවාදී දර්ශනයන් සමග බව යි පෙනී යන්නේ.

පසුගිය දිනෙක තුරින්ජියාවෙහි සිදු වූ සිද්ධියකින් පසු ජර්මනියේ විශාල කලබගෑනියක් ඇති වුණා. එහි ප්‍රතිඵලය ලෙස මේ වන විට එහි නව ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

2019 ඔක්තෝබරයේ පැවති ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵලය විසින් ජර්මනිය සොලවාලනු ලැබුවා. එහි දී එරට ප්‍රධාන පක්ෂ දෙකම පසුපසට ඇද දමමින් වාම පක්ෂය හා AfD පක්ෂය පිළිවෙලින් පළමු හා දෙවන තැනට පත් වුණා.

වාම පක්ෂය ආසන 90න් 29ක් ද AfD පක්ෂය ආසන 22ක් ද දිනා ගනිද්දී, චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (CDU) ආසන 21ක් දිනා ගත්තා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 8ක් ද, හරිත පක්ෂය හා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (FDP) ආසන පහ බැගින් ද දිනාගත්තා.

ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ආසන දිනාගැනීමට පක්ෂයක් සියයට 5ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යා යුතු යි. ලිබරල්වාදී පක්ෂයක් ලෙස සැලකෙන FDPය මේ කඩඉම පසු කළේ යාන්තමින්.

තුරින්ජියා පාර්ලිමේන්තුව (Wikimedia Commons)

2020 පෙබරවාරි 5 වන දා තුරින්ජියාවේ ප්‍රාන්ත ප්‍රධාන ඇමති තෝරාගැනීමට එහි පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වනු ලැබුණා. එහි දී වාම පක්ෂයෙන් හිටපු ප්‍රධාන ඇමති බෝඩෝ රමෙලොව් ඉදිරිපත්ව සිටි අතර, යන්තම් පාර්ලිමේන්තු වරම් දිනාගත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රාන්ත නායක තොමාස් කෙමරිච් ඔහු හා තරග කළා.

කෙසේ වෙතත් FDPයට, CDU පක්ෂයේ සහාය ලැබුණා. වාම පක්ෂයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හා හරිත පක්ෂයේ සහාය ලැබුණා.

ඡන්දයේ දී රමලොව් ඡන්ද 44 ක් දිනාගත්තා. කෙමරිච් ඡන්ද 45ක් දිනාගෙන ඔහුව පරාජය කළා. එය සිදුවූයේ AfDය ඔහු වෙනුවෙන් ඡන්දය භාවිතා කළ නිසයි.

මේ අනුව කෙමරිච් නව ප්‍රධාන අමාත්‍ය ලෙස පත් වුණා. එහෙත් ඔහු කියා සිටියේ, තමන් AfDය හා එක්ව ආණ්ඩු නොකරන බව යි. AfDය තමන්ට ඡන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කඩාකප්පල් කිරීමට බව FDPය කියා සිටියා. තමන් එම පක්ෂයේ සහාය ඉල්ලා නොසිටි බව යි, FDP පක්ෂය කියා සිටියේ. සාමාන්‍යයෙන් AfD පක්ෂය සමග කටයුතු කිරීමෙන් අන් පක්ෂ වැළකී සිටිනවා.

තොමාස් කෙමරිච් (Wikipedia Commons)

කෙමරිච් කුමක් කීව ද, ඔහු ප්‍රධාන අමාත්‍ය ධුරය භාරගත් හෙයින් ඔහු කෙරෙහි මෙන්ම FDPය වෙත ද දරුණු විරෝධයක් එල්ල වුණා. මෙම ක්‍රියාව හේතුවෙන් බර්ලින් නුවර FDP මූලස්ථානය විරෝධතාකරුවන් විසින් වටලනු ලැබුණා. චාන්සලර් ඇන්ගෙලා මර්කල් පවා එම ක්‍රියාව විවේචනය කළා.

මෙම විරෝධතාවල ප්‍රතිඵලය වූයේ එක් දිනක් තුළ කෙමරිච් ප්‍රධාන ඇමති ධුරයෙන් ඉවත් වීම යි. තුරින්ජියා පාර්ලිමේන්තුව විසිරුවා හැර නව මැතිවරණයක් පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටියා.

තුරින්ජියාවේ මැතිවරණයක් පැවැත්වීම හැර අන් විකල්පයක් නොමැති බව මේ වන විට පැහැදිලිව තිබෙනවා. එහි නුදුරේ දී ම නව ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීමට නියමිත යි.

වයිමාර් සමය සිහිවීම

තුරින්ජියාවේ මෙන්ම ජර්මනියේ අනෙක් ප්‍රදේශවල ද දේශපාලන ප්‍රවාහයන් ගමන් කරන ස්වභාවය හේතුවෙන් 1920 දශකය සමග සමාන්තර තත්ත්වයන් පිළිබඳ ඇතැම් විචාරකයන් සිහි කරනවා. එකල මෙන්ම වර්තමානයේ ද මධ්‍යස්ථ පක්ෂ ජනප්‍රියත්වයෙන් පහළ යන අතර, අන්ත දක්ෂිණාංශික සහ අන්ත වාමාංශික පක්ෂ වඩා ජනප්‍රිය වීමෙන් රටෙහි දේශපාලන අර්බුදයක් නිර්මාණය වේයැ යි සැක මතු කෙරෙනවා. එම තත්ත්වය ප්‍රාන්ත මට්ටමෙන් තුරින්ජියාව වැනි ස්ථානවල දැනටත් සිදුව තිබෙනවා.

එදා සහ අද අතර පවතින ප්‍රධාන වෙනස නම්, නට්සිවාදය විසින් ගෙන ආ විනාශය පිළිබඳ ජර්මන් ජනතාවට තවමත් අමතකව නැහැ. එම නිසා අන්ත දක්ෂිණාංශික පක්ෂ පිළිබඳ තවමත් ජර්මනියේ සැලකිය යුතු පිරිසක් සිටින්නේ විරෝධාකල්පී ස්ථානයක යි.

මේ හේතුවෙන්ම ඇඩොල්ෆ් හිට්ලර් බලයට පැමිණීමට පෙර ජර්මන් කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කළාට වඩා වෙනස් ක්‍රමයක් වර්තමාන වාම පක්ෂය අනුගමනය කරනවා. ඔවුන් ද සාමාන්‍යයෙන් අනෙක් දේශපාලන පක්ෂ සමග කටයුතු කරන්නේ නැහැ. එහෙත් මෑතකාලීනව ඇතැම් අවස්ථාවල ඔවුන් සමග සීමිත මට්ටමේ එකඟතාවයන් කරා එළඹීමට වාම පක්ෂය කටයුතු කර තිබෙනවා.

මේ අතර වර්තමාන දේශපාලන පලහිලව් පාලක ක්‍රිස්තියානු ප්‍රජාතාන්ත්‍රික එකමුතුවට ද බලපා තිබෙනවා. පක්ෂයේ නායිකාව ලෙස මෑතක දී වැඩ බාරගත් අනග්‍රෙත් ක්‍රෑම්ප්-කැරන්බවර් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා. මේ අනුව එම පක්ෂය ද නව නායකයකු තෝරාගැනීමේ ක්‍රියාවලිය අරඹා තිබෙනවා.

කවරයේ ඡායාරූපය: කෙමරිච් සිද්ධිය හේතුවෙන් FDP විරෝධී උද්ඝෝෂණ ජර්මනියේ හටගත්තා (Getty Images)

Related Articles