Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්‍රීසියේ නව නට්සිවාදී ගෝල්ඩන් ඩෝන් සංවිධානය​

යුරෝපයේ පසුගිය සමයේ ඇති වූ දේශපාලන හැලහැප්පීම් සමග විවිධ අන්තවාදී සංවිධාන කරළියට පැමිණි බව අප දන්නවා. මේ අතරින් ග්‍රීසියේ ගෝල්ඩන් ඩෝන් (Golden Dawn) සංවිධානය එක්තරා සුවිශේෂී ස්ථානයක් ගන්නව​. ඊට හේතුව නම්, අන්ත දක්ෂිනාංශික සහ ඇතැම් විට නව නට්සිවාදී මූලයක් සහිතව පැමිණ ග්‍රීසියේ තුන්වන විශාලම දේශපාලන පක්ෂය බවට පත් වීමට ඊට හැකි වීම යි.

1980 දී නිකොලස් මිහායිලොලියාකොස් විසින් පිහිටුවන ලද අන්ත දක්ෂිනාංශික සංවිධානයක් ගෝල්ඩන් ඩෝන් (ස්වර්ණමය අරුණෝදය​) සංවිධානයේ මූලාරම්භකයා ලෙස සැලකෙනවා. ඔහු එම වසරේ දී අන්ත දක්ෂිනාංශික සඟරාවක් ඇරඹූවා. එම සඟරාව වැඩි කලක් පළ වූයේ නැහැ. එමෙන්ම එම සංවිධානය ද එකල එතරම් ජනප්‍රිය වූයේ නැහැ.

නිකොලස් මිහායිලොලියාකොස් (AP)

ගෝල්ඩන් ඩෝන් සංවිධානය මුලින්ම කරළියට පැමිණියේ යුගෝස්ලවියාව බිඳ වැටෙන අවස්ථාවේ මතු වූ මැසඩෝනියාවේ නම පිළිබඳ වූ ප්‍රශ්නය ද සමග යි. මැසඩෝනියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ එහි නාමය පිළිබඳ ගැටුමක් එරට සහ ග්‍රීසිය අතර ඇති වුණා. එම ගැටුම අවසානයක් කරා පැමිණියේ ද 2019 වසරේ දී යි.

මුල් කාලයේ කුඩා සංවිධානයක් වූ මෙය විරුද්ධවාදී කණ්ඩායම් සමග ගැටුම් ඇති කරගන්නා පිරිසකට වඩා වැඩි යමක් වූයේ නැහැ. ඔවුන් 1994 දී පළමු වරට මැතිවරණයක් සඳහා ඉදිරිපත් වුණා. ඒ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යි. මුල් උත්සාහයන්ගෙන් පසු ඔවුන් කලක් මැතිවරණ සඳහා තනිව සහභාගී වූයේ නැහැ. කෙසේ වෙතත් බොහෝ කලක් යනතුරු ඔවුන් ඉතා කුඩා සංවිධානයක් ලෙස පැවතුණ අතර සියයට එකක තරම්වත් ඡන්ද ලබාගැනීමේ හැකියාවක් ඔවුනට තිබුණේ නැහැ.

ගෝල්ඩන් ඩෝන් කණ්ඩායමේ ජනප්‍රියත්වය ඉහළ ගියේ 2010 පමණ සිට යි. ඊට හේතු වූයේ ග්‍රීසිය මුහුණ දෙමින් සිටි ආර්ථික අවපාතය යි. ලෝක ආර්ථික අවපාතය බරපතල ලෙස බලපෑ රාජ්‍යයන් අතුරින් එකක් ලෙස ග්‍රීසිය ඉස්මතු වුණා. ඒ සමගම​, සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි වූ ජනතා ප්‍රසාදය පහළ යන්නටත්, ඊට සාපේක්ෂව රැඩිකල් පක්ෂවල ජනප්‍රියත්වය ඉහාළ යන්නටත් පටන් ගත්තා. මෙහිදී පැවති දේශපාලාන තත්ත්වයෙහි වාසිය ලබාගත් පක්ෂ අතර දක්ෂිනාංශික කඳවුරේ ගෝල්ඩන් ඩෝන් සහ වාමාංශික කඳවුරේ සයිරිසා පක්ෂය ප්‍රධාන යි. සයිරිසා යනු වාමාංශික සංවිධාන කිහිපයක් විසින් පිහිටුවාගත් පක්ෂයක් වුණා.

ගෝල්ඩන් ඩෝන් පෙළපාලියක් (AP)

ගෝල්ඩන් ඩෝන් පක්ෂයෙහි ස්ථාවරය විශේෂයෙන්ම සංක්‍රමණික විරෝධී එකක් වුණා. සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ස්වදේශීය ග්‍රීක් ජනයා අසාධාරණයට ලක් වේ ය යන අදහස මත ඔවුන් සිය මැතිවරණ ව්‍යාපාර සහ උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වාගන ගියා. ගෝල්ඩන් ඩෝන් යනු තනිකරම දේශපාලන පක්ෂයක් නොව වීදි සටන්කරුවන් ගෙන් යුත් සංවිධානයක් වූ නිසා, සංක්‍රමණිකයන් වැඩිපුර සිටින ප්‍රදේශයන් හි විවිධ උද්ඝෝෂණ සහ බිය වැද්දීම් ද ඔවුන් විසින් සිදු කළා.

2012 මැයි මාසයේ ග්‍රීක පාර්ලිමේන්තු මැතිවරණයත් සමග ග්‍රීසියේ දේශපාලනය දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා. ඊට මූලික හේතුව වූයේ කිසිදු දේශපාලන පක්ෂයකට රජයක් පිහිටුවීමට නොහැකි වීම යි. මේ අතර ගෝල්ඩන් ඩෝන් පක්ෂය ආසන 21ක් දිනාගැනීමට සමත් වුණා.

ජූනි මාසයේ දී නැවතත් මැතිවරණයක් පවත්වනු ලැබුණ අතර එහිදී ගෝල්ඩන් ඩෝන් සංවිධානය ආසන 18ක් දිනාගත්තා. මෙසේ ආසන සංඛ්‍යාව ස්වල්පයක් අඩු වුව ද ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය මැයි මාසයේ දී මෙන්ම සියයට 7 සීමාව ආසන්නයේ පැවතුණා.

කිල්ලා පී ඝාතනය

2013 සැප්තැම්බර් 17 වන දා රාත්‍රියේ ඇතැන්ස් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් ෆැසිස්ට් විරෝධී රැප් ගායන ශිල්පී පැව්ලෝස් ෆිසාස් හෙවත් කිල්ලා පී තුවාල ලබා පසුව මියගියා. මෙම ඝාතනය සිදු කරන ලද්දේ ගෝල්ඩන් ඩෝන් සාමාජිකයකු විසින් බව හෙළි වූ අතර පොලිස් පරීක්ෂණ අතරතුර පක්ෂ නායකයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුණා. පසුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු 69 දෙනකුට එරෙහිව සාපරාධී සංවිධානයක් පවත්වාගන යාමේ චෝදනා මත නඩු පවරනු ලැබුණා. එම නඩුව තවමත් අවසන් වී නැහැ.

කිල්ලා පී (John D. Carnessiotis)

කිල්ලා පී ඝාතනය සහ එයින් පසු සිදු වූ නඩු විභාගය ගෝල්ඩන් ඩෝන් පක්ෂය යම් ප්‍රමාණයකට අඩපණ කිරීමට සමත් වුණා. එහෙත් 2015 දී පැවති ජනවාරි මැතිවරණයේදී ආසන 17ක් ද එම වසරේම සැප්තැම්බර් මැතිවරණයේදී ආසන 18ක් ද දිනාගත් එම පක්ෂය එම අවස්ථා දෙකේ දීම පාර්ලිමේන්තුවේ තුන්වන විශාලම පක්ෂය බවට පත් වුණා. කලින් ග්‍රීසියේ ප්‍රධාන පක්ෂයක් වූ මධ්‍ය වාමාංශික පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක් වීම ගෝල්ඩන් ඩෝන් පක්ෂය තුන්වන තැනට පැමිණීමට එක් හේතුවක් වුණා.

ගෝල්ඩන් ඩෝන් හි අනාගතය

යුරෝපයේ ඇතැම් අන්ත දක්ෂිනාංශික පක්ෂ මෑත කාලයේ දී ඔවුන්ට සාම්ප්‍රදායිකව සහාය දුන් සුළුතරයෙන් පරිබාහිරව වඩා විශාල ජන පදනමකට ආමන්ත්‍රණය කිරීමට සමත්ව තිබෙනවා. එක් අතකින් සංක්‍රමණික ප්‍රශ්නය පෙරට වඩා අර්බුදයක් වී ඇති හෙයින් එම තත්ත්වය ඇති වුණා. එමෙන්ම ඇතැම් පක්ෂ කලින් දැරූ අන්තවාදී ස්ථාවරයන්ගෙන් මඳක් ඉවත්ව වඩා වැඩි පිරිසකට ළඟා වියහැකි මතවාදී ස්ථාවරයන්ට පැමිණීමට කටයුතු කළා.

නමුත් ගෝල්ඩන් ඩෝන් සංවිධානය ඊට වඩා වෙනස් ස්ථාවරයක සිටිනවා. ඔවුන්ගේ ඇතැම් සාමාජිකයන් නට්සිවාදය අගය කරන අතර එම පක්ෂය ද තවමත් සිටින්නේ අන්තවාදී ස්ථාවරයේම යි. මේ හේතුව නිසාවෙන් එම පක්ෂයට තමන් ළඟා වූ ජනප්‍රියත්වයේ සීමාවෙන් ඔබ්බට යාමට අපහසු වී තිබෙනවා.

නමුත් අනෙක් අතට​, එම පක්ෂයේ ජනප්‍රියත්වය විශාල වශයෙන් අඩු වීමක් ද පෙන්නුම් කරන්නේ නැහැ. එම පක්ෂයට 2012 පමණ පටන් තිබූ සියයට 6 – 7ක් පමණ වූ ජනප්‍රසාදය අදටත් ඒ අයුරින්ම තිබෙන බව විශ්වාස කෙරෙනවා. එළඹෙන මැයි මාසයේ දී පැවැත්වෙන යුරෝපා මැතිවරණයේ දී එම අනුමානය නිවැරදි ද යන්න පැහැදිලි වනු ඇති.

Cover Image: ගෝල්ඩන් ඩෝන් රැළියක් (AFP)

Related Articles