Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවිත 300ක් බිලි ගත් රුසිසි ගඟේ දාම ඝාතකයා: ගුස්ටාව්

දෙගම්බඩ රජා එහෙමත් නැතිනම් කිඹුලා කියන්නේ ලොව පුරා  ගංගා නිම්න ආශ්‍රිත ව ජීවත් වන, ජනතාව  තරමක් බියට පත් කරවන සතෙක්. ශ්‍රී ලංකාවේ පවා ගිං ගඟ, නිල්වලා ගඟ, කැලණි ගඟ අවට වෙසෙන ජනතාව කිඹුලන්ගේ ප්‍රහාරයන්ට ලක්වෙන අවස්ථා ගැන ඕනෑ තරම් අපට අහන්නට, දකින්න ලැබෙනවා.

කෙතරම් දරුණු සතකු වුණත් තනි කිඹුලෙක් දාම ඝාතකයකුට සමාන හැසිරීමක් දක්වමින් මිනිසුන් බිලි ගැනීම ගැන එළි දුටු වාර්තා අවම යි. ඒත් එවැනි වාර්තා කිහිපයකුත් ලොවින් අපට වාර්තා වෙනවා. මේ කතාව  අප්‍රිකාවෙන් වාර්තා වූ, හොලිවුඩ් චිත්‍රපටයකටත් පදනම් වුණු එවැනි මිනීකන කිඹුලකු ගැන යි. 

රුසිසි ගංඟාව
රුසිසි ගංඟාව – Mapio.net

රුසිසි ගඟේ යෝධ කිඹුලා

 මේ කතාව පටන් ගන්නේ 1987 දී යි. නැගෙනහිර අප්‍රිකාවේ  බුරුන්ඩි රාජ්‍යයේ රුසිසි ගඟ (Ruzizi river) සහ ටැංගනිකා විල අසබඩ වාසය කළ ජනතාවට අප්‍රිකාවේ සිටි දැවැන්ත ම කිඹුල් විශේෂය වුණු නයිල් කිඹුලන් (Crocodylus niloticus) ආගන්තුක සතකු වුණේ නෑ. නයිල් කිඹුලන් සමඟ වසර දහස් ගණනක් පුරා වාසය කර තිබුණු මොවුන් ඉදිරියට 1987 දී මින් පෙර මුහුණ දී නො තිබූ ප්‍රශ්නයක් කඩා පාත් වුණා. ඒ රුසිසි ගංගාවත්, ටැංගනයිකා විලත් යාවන ප්‍රදේශයට ආගන්තුක දැවැන්ත නයිල් කිඹුලකුගේ  පැමිණීමත් සමඟ යි.

මේ නයිල් කිඹුලා අඩි 18-25ක් පමණ දිග රාත්තල් 2500ක් පමණ බර සද්දන්ත කිඹුලෙක්. කෙටිකලකින් මේ දැවැන්ත කිඹුලා ගං ඉවුරේ සිටි මිනිසුන්ට පහර දී මරා දැමීම ආරම්භ කළා. ඌ සමහර මිනිසුන් ආහාර පිණිස ගත්තත්, මේ කිඹුලා තවත් මිනිසුන් මරා අතැර දමා ගියා. මිනිසුන් ගොදුරු කර ගැනීම සහ මරා දැමීම මේ සතා එක්තරා ආකාරයකට විනෝදය උදෙසා කරන දෙයක් ලෙසයි පෙනුණේ. මේ හැසිරීම බුරුන්ඩි වැසියන් පුදුමයටත්, භීතියටත් පත් කළා.

නයිල් කිඹුලෙක්
නයිල් කිඹුලෙක් -www.worldatlas.com

 

කිඹුල් වෙස් ගත් රාක්ෂසයෙක්

පහර දීම් පිළිබඳ වාර්තා වීම් එන්න එන්න ම වැඩිවීමත් සමඟ ම බුරුන්ඩි දඩයක්කරුවන් කිඹුලා දඩයම් කිරීමට අවස්ථා රැසකක දී උත්සාහ කළා. ඒ ප්‍රයත්න සියල්ල ව්‍යර්ථ වුණා. දඩයක්කරුවන් මේ සතා සැබෑ කිඹුලකු නොව කිඹුල් වෙස් ගත් අමනුෂ්‍ය ආත්මයක් බවත්, එනිසා මේ ප්‍රාණියාට වෙඩි නොවැදෙන බවටත් විවිධ අදහස් ප්‍රචාරය කළා.

බුරුන්ඩි රාජ්‍යයෙන් ඔබ්බට පැතිර ගිය මේ මිනීමරු කිඹුලා ගැන කතන්දර එකල ජනප්‍රිය උරගවේදියකු හා 1978 සිට බුරුන්ඩි හි සංචාරක මාර්ගෝපදේශකයකු ලෙස සේවය කරමින් සිටි ප්‍රංස ජාතික පැට්‍රිස් ෆායේට (Patris Faye) ආරංචි වුණා. ඔහු 1990 දී රුසිසි ගඟ සමීපයට පැමිණෙන්නේ මේ අපූරු කිඹුලා ගැන පරීක්ෂණයක් කිරීමට යි.

පැට්‍රිස් ෆායේ
පැට්‍රිස් ෆායේ-o2andco2.blogspot.com

පැට්‍රිස් ෆායේගේ විමර්ෂණය 

පැට්‍රිස් මේ  කිඹුලා පිළිබද ව මාස ගණනක් අධ්‍යයනයක් සිදු කළා. ඔහු මිනිසුන් ආහාරයට ගන්නා මේ කිඹුලාට ‘ගුස්ටාව්’ නමින් අන්වර්ථ නාමයක් ලබා දුන්නා. ගුස්ටාව් (Gustave) වයස අවුරුදු 60ක් පමණ වයසැති සතකු  බව ඔහුගේ නිගමනය වුණා. මේ කිඹුලාගේ සිරුරේ විශාල කැළැල් හතරක් ඔහු නිරීක්ෂණයට ලක් කළා.

මේවා බුරුන්ඩිහි හමුදා සෙබළුන් පිරිසක් මේ සතාට එල්ල කළ වෙඩි ප්‍රහාරවල ප්‍රතිඵල බව අනාවරණය වූවා. මේ කිඹුලා වෙඩි උණ්ඩ පමණක් නොව වරක් ඌ දෙසට එල්ල කළ අත් බෝම්බයක් පවා විකා අනුභව කළ බව  රුසිසි ගඟබඩ වෙසෙන ජනතාව පැට්‍රිස්ට පැවසුවා. ඒත් පැට්‍රිස් ඒ කතා අතිශයෝක්ති ලෙස සලකා බැහැර  කළා.

ඉන්පසු ඔහුගේ අවධානය කිඹුලා බිලි ගත් මිනිසුන් ගැන සොයා බැලීමට යොමු වුණා. ඒ ඔස්සේ සොයා බැලීමෙන් පසු ‘ගුස්ටාව්’ ගං මිටියාවතේ මිනිසුන් 300ක් පමණ බිලි ගෙන ඇති බව ඔහු අනාවරණය කර ගත්තා. මෙය ඔහුගේ මහත් විස්මයට තුඩු දුන් කරුණක් වුණේ කිඹුලකු අතින් මරණයට පත් විශාලත ම මිනිසුන් ගණන මෙය වීම නිසා යි. මේ වාර්තාවට ආසන්න වීමට ලෝකයේ අන් කිසි කිඹුලකු සිදු කළ ඝාතන සමත් ව තිබුණේ නෑ. ඉන් පසු  මේ කිඹුලා ජීවග්‍රහයෙන් අල්ලා ගන්නට පැට්‍රිස් අදිටන් කළා.

ගුස්ටාව්ගේ ඡායාරූපයක් පෙන්වන බුරුන්ඩිවැසියෙක්
ගුස්ටාව්ගේ ඡායාරූපයක් පෙන්වන බුරුන්ඩි වැසියෙක්- api.nationalgeographic.com

ගුස්ටාව් අල්ලන මෙහෙයුම

පැට්‍රිස් සහ ඔහුගේ කණ්ඩායම කිඹුලා අල්ලා ගැනීමට මුලින් ම භාවිත කළේ අඩි 30ක් දිග යකඩ කූඩුවක්. ගුස්ටාව් ගැවසුණු ගං තීරයේ එක් තැනක  මස් කුට්ටියක් ඇමක් ලෙස තබමින්, අධෝරක්ත කැමරා යෙදු උගුල් ද ඒ අසල ඇටවූවා. ඒත් ගුස්ටාව් අල්ලා ගැනීමට ඔවුන්ට හැකි වුණේ නෑ. ගුස්ටාව් සමහර අවස්ථාවල කූඩු අසලට ම පැමිණ නැවත හැරී ගියා.

ඉන්පසු ඔවුන් මස් කුට්ටියක් වෙනුවට පණ තියෙන එළුවකු ඇම ලෙස යොදා උගුල නැවත ඇටවූවා. පසු දා ගොස් බලන විට කූඩුව   ගඟ මැදට ඇදගෙන ගොස් තිබුණා. ගුස්ටාව්, එළුවාත් ගොදුරු කර ගෙන තිබුණා. පුදුමයට කරුණ වුණේ මේ සිද්ධිය වූ අවස්ථාවේ උගුල අවට අටවා තිබූ අධෝරක්ත කැමරා තාක්ෂණික දෝෂයක් නිසා ක්‍රියාවිරහිත වී තිබීම යි. කූඩූව දියට ම ඇද ගෙන යාමට තරම් ශක්තියක් ඇත්තේ ගුස්ටාව්ට ම පමණක් බව පැට්‍රිස් නිගමනය කළා.

පැට්‍රිස් ප්‍රමුඛ කණ්ඩායමට තම ඊළඟ පියවරට යාමට කාලයක් ලැබුණේ නෑ. 1993 දී බුරුන්ඩි සිවිල් යුද්ධය ඇරඹි නිසා මාස දෙකක කාලයක් තුළ සියලු විදේශිකයන්ට රටින් පිටවන ලෙස නිවේදනය කිරීම නිසා පැට්‍රිස් ප්‍රමුඛ කණ්ඩායමට බලාපොරොත්තු විරහිත ව නැවත බුරුන්ඩි රටින් පිට වීමට සිදු වුණා.

ගුස්ටාව් හොලිවුඩයට 

පැට්‍රිස් තමන් වසර දෙකක ගුස්ටාව් ගැන සිදු කළ අධ්‍යයනය අළලා 2004  දි “Capturing the killer croc “නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළා. මේ සමඟ ගුස්ටාව් ගේ කතාව විද්‍යා ලෝකයේ ජනප්‍රියවෙන්නටත් පටන්  ගත්තා. 2005න් පසු බුරුන්ඩි හි අර්බුදකාරි තත්ත්වය අවම වීමත් සමඟ පැට්‍රිස් ෆායේ ප්‍රමුඛ විවිධ උරග විශේෂඥයන් හා දඩයක්කරුවන් ගුස්ටාව් අල්ලා ගැනීමට නැවත උත්සාහ කළත් ඒවා අසාර්ථක වුණා.

Primeval චිත්‍රපටයේ පෝස්ටරය
Primeval චිත්‍රපටයේ පෝස්ටරය – moviesanywhere.com

” Primeval “නමින් ගුස්ටාව් අළලා චිත්‍රපටයක් 

මේ කතාවට ලැබුණු ජනප්‍රියතාව මත 2007 දී ගුස්ටාව් අළලා ” Primeval “නමින් චිත්‍රපටයක්  නිර්මාණය වෙනවා.

2010 දශකය ආරම්භයත් සමඟ ගුස්ටාව් රුසිසි ගඟෙන් අතුරුදහන් වෙනවා. නැවත ගුස්ටාව් දකින්නට ලැබෙන්නේ 2015දී යි. ඒ ගුස්ටාව්ව රුසිසි ගඟේ දකින්නට ලැබුණු අවසන් අවස්ථාව යි. එදා සිට අද දක්වා ගුස්ටාව්ට කුමක් සිදු වූයේ ද යන්න තවමත් අභිරහසක්. ‘ගුස්ටාව්’, රුසිසි ගංගාවේ මිනිසුන් ළඟා නොවන ප්‍රදේශයකට ගොස් අවසන් සුසුම් හෙළන්නට ඇතැයි බොහෝ විශේෂඥයන් විශ්වාස කරනවා. 2019දි ගුස්ටාව් මරා දමා ඇති බවටත් රාවයක් පැතිර ගියත් එය තව ම ඔප්පු වී නැහැ.

අදටත් රුසිසි ගං නිම්නයේ වෙසෙන ජනතාව ‘ගුස්ටාව්’ තවමත් පණ පිටින් සිටින බව විශ්වාස කරනවා. ඔවුන් එදා ගුස්ටාව්ට දැක්වූ බය අදටත් දක්වනවා. ගුස්ටාව් ගේ භීෂණාත්මක අතීතය ගැන මතකය බුරුන්ඩි වාසීන්ගේ හිත් තුළ පරම්පරා ගණනාවකට මතකයේ පවතීවි.

කවරයේ ඡායාරූපය: දැවැන්ත නයිල් කිඹුලෙක් - hyperaxion.com

මූලාශ්‍ර:

www.mentalfloss.com

www.iflscience.com

Related Articles