Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හයිටියේ පාර්ලිමේන්තු සභිකයෙක් විරෝධතාකරුවන්ට වෙඩි තබයි

පසුගිය දා හයිටියේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පාලක පක්ෂයේ සෙනට් සභිකයෙකු තම පෞද්ගලික පිස්තෝලයෙන් ජනතාවට වෙඩි තබා තිබෙනවා. එලෙස වෙඩි තැබීම හේතුවෙන් උද්ඝෝෂණය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදියෙක් හා තවත් පුද්ගලයෙකු තුවාල ලබනවා. තුවාල ලැබූ මාධ්‍යවේදියා ඇමෙරිකා එක්සත් ජනපදය මූලික කරගනිමින් ක්‍රියාත්මක වෙන AP මාධ්‍ය ආයතනයේ ජායාරූප ශිල්පියෙක්. වෙඩි තැබීමේ මෙම සිදුවීම වෙන්නේ පසුගිය සැප්තැම්බර් 23 වන දින යි.

පෙබරවාරියේ සිට ක්‍රියාත්මක වෙන හයිටි විරෝධතා 

හයිටි විරෝධතා (washtimes.com)

ලොව අන්ත දිළිඳු රාජ්‍යන්ගේ එකක් වන හයිටියේ මෙම වසරේ උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වන්නේ පෙබරවාරි මාසයේ 7 වන දා සිට යි. එලෙස ආරම්භ වූ උද්ඝෝෂණ රැල්ල මේ වන තුරු නිමාවකට පත් වී නෑ. විරෝධතා ආරම්භ කිරීමට මූලික හේතුව ලෙස විපක්ෂය සඳහන් කරන්නේ එරට ජනාධිපතිවරයා වන ජවුනොල් මොයිස්ගේ  (Jovenel Moïse) වංචා දූෂණ යි. ඊට අමතරව ඉන්ධන මිල ඉහළ නැංවීම, රටේ ආර්ථික අස්ථාවරත්වය, උග්‍ර ආහාර අර්බුදය හා ජීවන වියදම අධික ලෙස ඉහළ යාම වැනි කරුණු ද විරෝධතා මාලාව උග්‍ර කිරීමට සමත් වී තිබෙනවා. මෙම උද්ඝෝෂණ මෙහෙයවන්නේ එරට ප්‍රධාන විපක්ෂය යි.

විශේෂයෙන් ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාමට එරෙහිව බොහෝ විරෝධතාකරුවන් ප්‍රමාණයක් එරට අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස්හි (Port-au-Prince) ක්‍රියාත්මක වෙන උද්ඝෝෂණවලට සහභාගී වෙනවා. ඔවුන් ඒ ඔස්සේ මාර්ගවල නවතා තිබෙන වාහන ගිනිබත් කිරීමටත් වෙළඳසැල් කොල්ලකමින් ඒවා ගිනි තැබීමටත් කටයුතු කරනවා. පසුව පේරු හා ඉතාලි කොන්සාල් කාර්යාලවල ගොඩනැගිලිවලට ද හානි පමුණනවා. විරෝධතාවලට පොලිස් ප්‍රහාර එල්ලවන අතර පොලිස් ප්‍රහාරවලින් මිය ගිය අයෙකුගේ දේහයක් රැගෙන විරෝධතාවල නිරත වූ පිරිසකට හයිටි පොලීසිය විසින් පෙබරවාරි 22 වන දා දරුණු කදුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කරනවා. 

ජනාධිපතිවරයාගේ දැඩි තීරණ 

හයිටි ජනාධිපතිවරයා (i.ytimg.com)

පොලිස් ප්‍රහාර සමග උද්ඝෝෂණ මඳක් සමනයට පත්වෙන අතර විපක්ෂයට හා උද්ඝෝෂකයන්ට අවශ්‍ය පරිදි තමන් ඉල්ලා අස් නොවන බවත් තමා ඉල්ලා අස් වී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හෝ කප්පම් කල්ලිවලට රට භාර නොදෙන බවත් තරයේ ප්‍රකාශ කරනවා. විපක්ෂයට අවශ්‍ය නම් තමන් සමග සාකච්ජාවකට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා අරාධනා කරන නමුත් විපක්ෂය විසින් එය ප්‍රතික්ෂේප කරනවා. සාකච්ජා ප්‍රතික්ෂේප කරන විපක්ෂය නැවතත් විරෝධතා ආරම්භ කරන අතර එම විරෝධතා අද දක්වා අවසන් වී නෑ. මේ වන විට සිවිල් වැසියන් 9 දෙනෙක් උද්ඝෝෂණය හේතුවෙන් මරණයට පත් වී තිබෙනවා.

ආත්මාරක්ෂාව උදෙසා වෙඩි තැබීමක් ලෙස හැඳින්වීම 

වෙඩි තබන ආකාරය (wlrn.org)

මේ ආකාරයට සැප්තැම්බර් 23 වන දා එරට අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස්හි සෙනට් සභාව ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. මෙහිදී රැල්ෆ් ෆෙතියර් (Ralph Fethiere) නම් එරට පාලක පක්ෂයේ සෙනට් සභිකයෙක් විරෝධතාවට විවෘත වෙඩි තැබීමක් සිදු කරනවා. 

මෙම වෙඩි තැබීම හේතුවෙන් එතැන සිටි මාධ්‍යවේදියෙක් වගේම තවත් පුද්ගලයෙක් තුවාල ලබනවා. මාධ්‍යවේදියා වන ඩියූ-නාලියෝ චෙරි (Dieu-Nalio Chery) ගේ තත්ත්වය එතරම් බරපතල නොවූ අතර ඔහුගේ හකු ප්‍රදේශයට වෙඩිල්ල ඇතුළු වී තිබෙනවා. පසුව ඔහු හා අනෙක් පුද්ගලයාව වහාම අගනුවර රෝහලට ඇතුළු කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කරනවා.

වෙඩි තැබීම සිදු කළ සෙනට් සභිකයා පසුව ප්‍රකාශ කරන්නේ තමන් වෙඩි තැබුවේ ආත්මාරක්ෂාව උදෙසා පමණක් බව යි. තමා සෙනට් සභාව වෙත ගමන් කරන අවස්ථාවේ දී විරෝධතාකරුවන් තමන්ගේ වාහනය වටකොට තමන්ව ඉන් ඉවතට ඇද ගැනීමට උත්සාහ කළ බවත්, යම් හෙයකින් තමන් උද්ඝෝෂකයන්ට අසුවූවා නම් ජිවිත තර්ජනයක් එල්ල වීමේ අවධානමක් තිබූ බව ද සඳහන් කරනවා. එබැවින් තම ආත්මාරක්ෂාව උදෙසා තමන් වෙඩි තැබූ බව ද කියා සිටිනවා.

වෙඩි වැදුණු මාධ්‍යවේදියා (petapixel.com)

තමන් මාධ්‍යවේදියෙකු ඉලක්ක කරගෙන වෙඩි නොතැබූ අතර එය මාධ්‍යවේදියෙකුට වැදී ඇත්තේ අහම්බයකින් යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනවා. විරෝධතාවයක නියුතු සාමාන්‍ය වැසියන්ට තමන්ට රිසි සේ වෙඩි තැබීම නීති විරෝධී බව මාධ්‍යවේදියෙක් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රැල්ෆ් පවසන්නේ තමන්ගේ ආත්මාරක්ෂාව සලසා ගැනීම ඕනෑම අයෙකුගේ අයිතියක් බව යි. තමන් අත්මාරක්ෂාව සඳහා කටයුතු කළ බවත් ඉන් එහා දෙයක් නොකළ බවත් පිළිතුරු වශයෙන් ඔහු එසේ පවසනවා.

සාගින්නෙන් පෙලෙන ජනතාවක් 

කැරලිකරුවන් (aljazeera.com)

හයිටිය යනු දැඩි ආහාර අර්බුදයකින් හා ආර්ථික අර්බුදයකින් පෙලන රටක් වන අතර මීට වසර ගණනාවකට පෙර සිට මෙහි ඒ හේතුවෙන් විවිධ අර්බුද පැන නැගී තිබෙනවා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස වරින් වර ඇති වූ කැරලි හේතුවෙන් සිවිල් වැසියන් බොහෝ ප්‍රමාණයක් මරණයට පත් වී තිබෙනවා. දේශපාලන නායකයන් කිහිප දෙනෙකුට තම තනතුරු අත්හැරීමට ද සිදු වී තිබෙනවා. නමුත් ඉතා පහළ පහසුකම් සහිත, මූලික අවශ්‍යතාවත් සපුරාගැනීමට අවකාශයක් නොමැති හයිටි පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ දැමිය හැකි පාලන අධිකාරියක් මේ වන තුරු බිහි වී නෑ.

කවරයේ පින්තූරය - theguardian.com 

Related Articles