Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොලිවුඩය කැළඹූ හාවි වයින්ස්ටීන් අතවර චෝදනා

හොලිවුඩය යනු මුලු ලොවේම කතාබහට ලක්වන චිත්‍රපට වල තිඹිරි ගෙයක් මෙන්ම නිරන්තරයෙන්ම උණුසුම් පුවත් මවන තැනක්. පසුගිය දිනෙක ඇමෙරිකානු පුවත්පත්වල හා මාධ්‍ය ජාල වල පළ වූ පුවත් කිහිපයක් නිසා මුළු හොලිවුඩයම කඩි ගුලක් සේ ඇවිස්සුනා. ඒ හොලිවුඩය එදා මෙදා තුර දුටු ප්‍රවීණතම චිත්‍රපට නිෂ්පාදකයෙකු වන හාවි වයින්ස්ටීන්ට​ එක පිට එක එල්ල වන්නට වූ ලිංගික අතවර හා දූෂණ චෝදනා රැසක් නිසායි. මේ නිසා ඔහු සිය පවුලේ ආයතනයක් වූ වයින්ස්ටීන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන්ද, ඔස්කාර් සම්මාන උළෙල පවත්වන, චලන චිත්‍ර කලා හා විද්‍යා ඇකඩමියෙන් (Academy of Motion Picture Arts and Science) ද ඉවත් කරනු ලැබ තිබෙනවා.

කවුද මේ හාවි වයින්ස්ටීන්?

හාවි වයින්ස්ටීන් උප්පත්තිය ලැබුවේ 1952 වසරේ මාර්තු මස 19 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරයි. කුඩා කාලයේ සිට ඔහුත්, ඔහුගේ සොයුරු බොබ් වයින්ස්ටීනුත් ව්‍යාපාර හා සිනමාව යන ක්ෂේත්‍ර දෙකටම දැඩි ඇල්මක් දැක්වූවා. ක්‍රි.ව 1973 බෆලෝ හි නිව්යෝර්ක් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය ලබාගත් හාවි වයින්ස්ටීන් බෆ්ලෝ හිම නෘත්‍ය හා සිනමා ශාලවක් මිලදී ගත්තේ කුඩා කල සිට පැවති ප්‍රසංග ප්‍රවර්ධන ව්‍යාපාර සිහිනය සැබෑවක් කරගැනීම සඳහායි.

කුඩා හාවි හා ඔහුගේ දකුණුපසින් සිටින් සොහොයුරු බොබ්-news.com.au

ක්‍රි.ව 1979 දී හාවි ඔහුගේ සොයුරු බොබ් සමඟ එකතු වී මිරාමැක්ස් (Miramax) නම් සිනමා සමාඟම ආරම්භ කරනවා. මෙහි නාමය සඳහා ඔවුන් යොදාගෙන තිබුණේ සිය දෙමව්පියන්ගේ නම් දෙකයි. ආරම්භයේදී කුඩා පරිමාණ චිත්‍රපට බෙදා හැරීම සිදුකළ මේ සමාගම දශකයක් ඇතුලත හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රය තුළ දළු ලා වැඩෙනවා. විශේෂයෙන්ම 1989 වසරේ නිපැයුණු ‘මයි ලෙෆ්ට් ෆුට්’ (My Left Foot -1989) චිත්‍රපටය හා එම වසරේම නිපැයුණු ‘සෙක්ස්, ලයිස් ඇන්ඩ් වීඩියෝටේප්’ (Sex, Lies and Video tape- 1989) යන, ඔවුන් විසින් නිෂ්පාදිත චිත්‍රපට අතිශය සාර්ථක වීමත් සමඟම හොලිවූඩ් චිත්‍රපට කර්මාන්තය තුළ සැළකිය යුතු සමාඟමක් වීමට ඔවුනට හැකි වෙනවා. හාවි වයින්ස්ටීන් ද සමාගමේ ජනප්‍රිය වීමත් සමඟම ක්ෂෙත්‍රය තුල ජනප්‍රිය වෙනවා.

මිරාමැක්ස් (Miramax) හි 1987-1999 අතර කාලයේ ලාංඡනය-youtube.com

වෝල්ට් ඩිස්නි සමාගම විසින් 1993 වසරේදී මිරාමැක්ස් අත්පත් කර ගැනීමෙන් පසුවත් වයින්ස්ටීන් සොහොයුරන් ඉතා සාර්ථක හොලිවුඩ් චිත්‍රපට රැසකට දායක වෙනවා. Pulp Fiction (1994) සහ Good Will Hunting (1997) හොලිවුඩයේ ඉතා සාර්ථක නිර්මාණ බවට පත් වූ අතර The English Patient (1996), Shakespeare in Love (1998) හා Chicago (2002) යන චිත්‍රපට ත්‍රිත්වයම ඒ ඒ වසර වල හොඳම චිත්‍රපට වශයෙන් ඔස්කාර් සම්මානයට පවා පාත්‍ර වෙනවා.

වයින්ස්ටීන් සමාඟමේ ලාංඡනය-youtube screengrab

වයින්ස්ටීන් සොහොයුරන් 2005 වසරේදී මිරාමැක්ස් සමාගම අත්හැර යන්නේ ‘වයින්ස්ටීන් සමාගම’ පිහිටුවීම සඳහායි. ඔවුන්ගේ මේ දෙවන ගමනද අති සාර්ථක වන අතර වයින්ස්ටීන් සමාඟම විසින් නිෂ්පාදනය කල The King’s Speech (2010) සහ The Artist (2011) යන චිත්‍රපට ද්විත්වයටම වසරේ හොඳම චිත්‍රපටය වශයෙන් ඇකඩමි සම්මාන ලැබෙනවා. Silver Linings Playbook (2012), The Butler (2013) සහ Lion (2016) යන චිත්‍රපට වලටත් ඉතා හොඳ ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාර ලැබෙනවා.

2013 වසරේදී වයින්ස්ටයින් සොහොයුරන් නැවත සහයෝගීතා ගිවිසුමක් මඟින් මිරාමැක්ස් සමාගම හා සම්බන්ධ වනවා. මිරාමැක්ස් හා වයින්ස්ටීන් සමාගම් වල සාර්ථක ගමන පිටුපස සිය සොහොයුරාත් සමග යෝධ සෙවනැල්ලක් මෙන් සිටි හාවි හොලිවුඩ් පුරවරයේ කෙතරම් දැවැන්ත චරිතයක් බවට පත් වී තිබෙනවාද යන්න වඩාත් පැහැදිළි වන්නේ ඔස්කාර් සම්මානලාභීන්ගේ ස්තුති කතා 34 කදීම ඔහු ගේ නාමය සිහි  කරනු ලැබීමයි. මෙය දෙවැනි වන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ට පමණයි. වසර ගණනක් පුරාවට හාවි වයින්ස්ටීන් පිළිබඳව ක්ෂේත්‍රය තුල යම් යම් මතබේද පැවතුනත් ඒවා සැකයකින් තොරව ඔප්පු නොවූ අතර නවකයන්ට අත හිත දෙන, දරුවන් 5 දෙනෙකුගේ පියෙක් වූ ඔහු 2017 වසරේ ඔක්තෝබර් මස ආරම්භය වන තුරුම සැළකුණේ හොලිවුඩ් පුරවරය දුටු ‘මහත්මයෙකු’ ලෙසයි.

එල්ල වූ ලිංගික අතවර චෝදනා

මීට වසර දෙකකට පෙර එනම් 2015 මාර්තු මස 27 වනදා ඉතාලියානු නිරූපිකාවක් වන අම්බ්‍රා බැටිලානා ගුටියරෙස් හට සිය කාර්යයාල කාමරය තුලදී හාවි වයින්ස්ටීන් විසින් බලහත්කාරකම් කරන්නට උත්සාහ ගත් පුවතක් ඇමෙරිකානු ටැබ්ලොයිඩ් සඟරා වල පළ වුණා. චෝදනා එල්ල වී තිබුණේ හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ පතාක යෝධයෙකුට නිසා පොලිසිය විසින් ඔහු තුලින්ම මේ සම්බන්ධ පාපොච්චාරණයක් ලබා ගැනීමට අදහස් කරනවා. ඔවුන් ගුටියරෙස්ට කුඩා මයික්‍රොෆෝනයක් පළඳවා වයින්ස්ටීන් හමුවීමට නැවත යවන අතර ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරමින් ඔහු විසින් ඇයට සිය කාමරයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින හඬ පටයක් ලබා ගැනීමට හැකි වෙනවා. ලිංගික බලහත්කාරකම් කිරීම සිරගත කළ හැකි තරමේ අපරාධයක් වුණත් මැන්හැටන් හි දිස්ත්‍රික් අධිකරණය වයින්ස්ටීන් චෝදනාවෙන් නිදොස් කොට හරින්නේ සාක්ෂි මද බව පවසමින්. මීට අමතරව ගුටියරෙස් ඉතාලියානු ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන්ද මෙවැනිම චෝදනා එල්ල කරන ලද බවත් පසුව ඇය විසින් එම චෝදනා පිළිබඳ පරීක්ෂණ ඉදිරියට ගෙන යාමට අකමැති වූ බවත් දැක්වෙන පුවතක් නොබෝ කළෙකින්ම කරලියට පැමිණුනා. මේ නිසා වයින්ස්ටීන් සම්බන්ධ සිදුවීම කෙමෙන් යටපත් වුණා.

අම්බ්‍රා බැටිලානා ගුටියරෙස්-Mike Coppola/Getty Images

කාලයක් ගත වන තුරු වයින්ස්ටීන් හා ඔහුට එල්ල වූ ලිංගික බලහත්කාරකම් චෝදනාව යටපත් වී තිබුණා. ඒ කෙසේ නමුත් අවුරුදු 2 ක අවෑමෙන් එක් වරම 2017 වසරේ ඔක්තෝබර් මස මුල් සතියේ පිටවුණු The New Yorker නම් සඟරාවේ මේ පිළිබඳව සවිස්තරව දක්වන ලද පුවතක් ලියැවී තිබුණා. වඩා බරපතලම කාරණය වන්නේ ගුටියරෙස්ගේ සිද්ධිය සමඟ ඈඳමින් දශක තුනකටත් වඩා කාලයක් තිස්සේ වයින්ස්ටීන් විසින් සිදු කළායැයි සැළකෙන ලිංගික බලහත්කාරකම් හා අතවර පිළිබඳ දීර්ඝ විස්තරයක් මෙහි පළව තිබීමයි. වර්තමාන හොලිවුඩයේ ජනප්‍රිය චරිත පවා ඈඳමින් සකස් කර තිබූ එම ලිපියේ වයින්ස්ටීන් වසර ගණනාවක් තිස්සේ කාමාධිකයෙකු ලෙස ගෙවූ ජීවිතය හෙළි කර තිබුණු අතර දෙවන කොටසක්ද පළවීමට ඇති බව දැක්වුණා.

සඟරා ලිපියෙන් ඇවිළුණු චෝදනා වල අක්මුල්

The New Yorker සඟරාවෙන් වයින්ස්ටීන් සම්බන්ධව ඇවිලූ ගින්න පැතිරී යාමත් සමඟම තත්වය තවත් බැරෑරුම් කරමින් නන් දෙසින් ඔහු වෙත ඊට සමාන චෝදනා ගලා ආවා. හොලිවුඩය තුල වයින්ස්ටීන් කෙරෙහි තිබූ බලය නිසා සමහරෙක් මෙතෙක් කාලයක් සිය මුව වසාගෙන සිට ඇති අතර මේ වන විට ඔහුට එරෙහිව ලිංගික බලහත්කාරකම් පිළිබඳව අවම වශයෙන් චෝදනා 33 ක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ චෝදනා ගෙන ආ අය අතර නිරූපිකාවන්, ඔහුගේ කාර්යයාලයේ සේවය කරන ලද කාන්තාවන් පමණක් නොව ලෝ ප්‍රකට හොලිවුඩ් නිළියන් ද සිටීම නිසා මේ වන විට එම චෝදනා ප්‍රතික්ෂේප කළ නොහැකි මට්ටමට පැමිණ තිබෙනවා. 1984 වසරේ සිට වර්තමානය දක්වාම සිදු කළා යැයි එල්ල වී ඇති මේ චෝදනා සියල්ලම පාහේ යම්තාක් දුරකට එකිනෙකට සමාන වෙනවා. වයින්ස්ටීන් විසින් බොහෝ අවස්ථා වලදී කාන්තාවන් සාකච්ඡාවකට යැයි හෝටලයකට හෝ කාර්යයලයට කැඳවා හෝ ඔවුන්ගේ නවාතැන් වලට ගොස්  තමන් සමඟ යහන්ගත වන ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා.

වම්පස සිට පිළිවෙලට- ග්වෙනෙත් පැල්ට්‍රොව්, මිරා සොර්විනෝ ,ඈෂ්ලි ජඩ්, හා රෝස් මැක්ගොවන් හාවි වයින්ස්ටයින්ට අපචාර චෝදනා එල්ල කළ අය අතර සිටිනවා -Mike Windle/Getty Images for Airbnb; Gabe Ginsberg/Getty Images; Jemal Countess/Getty Images; Matt Winkelmeyer/Getty Images for TCM

2017 වසරේ ඔක්තෝබර් 16 වැනිදා වන විට ඈෂ්ලි ජඩ්, ඇන්ජලීනා ජොලී, ග්වෙනෙත් පැල්ට්‍රොව්, රෝස් මැක්ගොවන් හා මිරා සොර්විනෝ වැනි ප්‍රකට හොලිවුඩ් ‘තරු’ ද වයින්ස්ටයින්ට චෝදනා එල්ල කරන ගොන්නට එකතු වීම නිසා තත්වය ඉතා බැරෑරුම් වී තිබෙනවා. විචාරකයන් පවසන අන්දමට හොලිවුඩයේ පතාක යෝධයෙකු වන හාවි වයින්ස්ටීන්ට​ මින් ගැලවීමක් නොලැබෙනු ඇති.

නවතම තත්ත්වය

දිගින් දිගටම එකතු වන චෝදනා හමුවේ පසුගියදා හාවි හා සොහොයුරා විසින් ගොඩනගන ලද වයින්ස්ටීන් සමාගමේ අධ්‍යක්ෂක මඬුල්ලෙන් ඔහුව ඉවත් කිරීමට ඔහුගේ සොහොයුරා වන බොබ් වයින්ස්ටීන් ඇතුළු පිරිස තීරණය කරනවා. චලන චිත්‍ර හා කලා ඇකඩම්යෙනුත් ඔහුව නෙරපනවාද නැද්ද පිළිබඳව එහි අධ්‍යක්ෂක මඬුල්ල දෙගිඩියාවක පසු වුණත්, ප්‍රවීන බ්‍රිතාන්‍ය නිළි ලීසෙට් ඇන්තනී වයින්ස්ටීන් විසින් තමන්ට අතවර කළ බව​ ප්‍රකාශ කිරීමත් සමඟ වහාම ඔහුව ඉවත් කිරීමට තීරණය කෙරෙනවා. මෙසේ පෞද්ගලික ජීවිතයේ ගැටළුවක් නිසා චලන චිත්‍ර කලා හා විද්‍යා ඇකඩමියෙන් ඉවත් කෙරුණු පළමුවැන්නා ලෙස හාවි වයින්ස්ටීන් ඉතිහාසගත වනවා.

හාවි වයින්ස්ටයින් වර්තමානයේදී -foxnews.com

නැඟෙන චෝදනා වලට හාවි වයින්ස්ටීන් කෙසේ ප්‍රතිචාර දක්වයි ද?, ඇමෙරිකානු පාලන තන්ත්‍රය, හොලිවුඩය හා ජනතාව කෙසේ ඔහුට ප්‍රතිචාර දක්වයිද යන්නත් මේ නිසා හොලිවුඩයට කුමන ආකාරයේ බලපෑමක් එල්ල වෙයිද යන්නත් නුදුරු අනාගතයේදී ලෝකයාට දැකගත හැකි වෙනු ඇති.

(කවරයේ පින්තූරය – Getty Images)

Related Articles