Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිරියාවේ සිවිල් යුද්ධයෙහි හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරීත්වය​

1980 දශකයේ මැද භාගයේ පමණ සිට ලෙබනනයේ ක්‍රියාත්මක වූ හිස්බුල්ලා සංවිධානය දේශපාලන පක්ෂයක් මෙන්ම සන්නද්ධ හමුදාවක් ද ලෙසින් ක්‍රියාත්මක වෙනවා. ෂියා මුස්ලිම් ජන පදනමක් සහිත එම සංවිධානයෙහි දේශපාලන අංශය ලෙබනනයේ සැලකිය යුතු ශක්තියකින් යුතු දේශපාලන පක්ෂයක් වන අතර එහි සන්නද්ධ අංශය ලෙබනන යුධ හමුදාවට ද වඩා ප්‍රබල බව යි සැලකෙන්නේ.

ඊශ්‍රායලය සමග කලක් තිස්සේ ගැටුණ හිස්බුල්ලා සංවිධානය 2000 දී ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයෙන් ඉවත් වීම සහ 2006 දී ඊශ්‍රායල හමුදා සමග ඇති වූ යුද්ධයේ දී සැලකිය යුතු ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායලය බලාපොරොත්තු වූවාට වඩා ප්‍රබල ප්‍රතිරෝධයක් දැක්වීම යන කරුණු හේතුවෙන් වඩාත් ප්‍රකට වුණා.

හිස්බුල්ලා සංවිධානයට කලක පටන් ඉරානයේ සහාය ලැබුණ අතර​, සිරියාව සහ ඉරානය අතර සබඳතා වර්ධනය වීමත් සමග හිස්බුල්ලා සංවිධානය හා සිරියාව අතර සබඳතා ද වර්ධනය වුණා.

2000 දී සිරියානු නයක හෆීස් අල් අසාද් මරණයට පත්වීමෙන් පසු ඔහුගේ පුත්‍රයා වන බෂාර් අල් අසාද් බලයට පත් වුණා. බෂාර් අල් අසාද් යටතේ හිස්බුල්ලා සංවිධානය සහ සිරියාව අතර ඉතා සමීප සබඳතා ගොඩනැගුණා.

හිස්බුල්ලා මහ ලේකම් හසන් නස්රල්ලා, බෂාර් අල් අසාද් සහ එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනජාද් 2010 දී (SANA)

අරාබි වසන්තය ක්‍රියාවලියත් සමග 2011 දී සිරියාවෙහි විරෝධතා ව්‍යාපාර හටගත්තා. ඊට රජය විසින් දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් තත්ත්වය භයානක සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වුණා. ඒ සමග, කලාපීය සහ ලෝක බලවතුන් සිරියාව කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගත්තා.

හිස්බුල්ලා සංවිධානයට සිරියානු යුද්ධය බලපෑම​

සිරියානු රජයට එරෙහි කණ්ඩායම් විවිධ ආකාර වුණා. මුල් කාලයේ මෙයින් බිහි වූ ප්‍රධාන සන්නද්ධ සංවිධානය වූයේ නිදහස් සිරියානු හමුදාව යි. මේ අතර සිරියානු විපක්ෂය 2011 අවසානය වෙද්දී සිරියානු ජාතික කවුන්සිලය නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා.

2012 වනවිට අසාද්ගේ රජයෙහි තත්ත්වය එතරම්ම යහපත් වූයේ නැහැ. මේ අතර සිරියාවේ විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් හිස්බුල්ලා සංවිධානය වෙත කෙලින්ම අභියෝග කරන්නට වුණා.

මේ අතර 2012 පෙබරවාරි මාසයේ දී අල් කයිඩා සංවිධානයේ නායක අයිමාන් අල් සවහිරි සිරියාව ජිහාඩයේ නව සටන් බිම ලෙස ප්‍රකාශ කළා. ඉරාකයේ පසුබසිමින් සිටි ජිහාඩ්වාදීන් මෙන්ම විදෙස් සටන්කාමීන් ද සිරියාවට ගලාගෙන එන්නට වුණා. සිරියානු අරගලය කෙමෙන් කෙමෙන් ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්වීමට වුණා.

මෙම අන්තවාදීන් බලවත් වීමත් සමග හිස්බුල්ලා සංවිධානය වෙත කෙරෙන තර්ජනයන් ද වැඩි වන්නට වුණා. සිරියාවේ රජය බිඳ වැටුණ පසු හිස්බුල්ලා සංවිධානයට පහර දීම පිළිබඳ සිරියානු සංවිධාන වැඩි වැඩියෙන් ප්‍රකාශ කරන්නට වුණා.

ඉරානය මෙම තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් පසු වුණා. සිරියානු රජයට යුධ ආධාර ලබාදීම මඟින් ඉරානය කලාපයේ තම ප්‍රබලම මිත්‍රයා ආරක්ෂා කරගැනීමට උත්සුක වුණා. අසාද් රජය​ වැටුණහොත් හිස්බුල්ලා සංවිධානයට ද තර්ජන එල්ල වන බවත් එවිට ඉරානය කලාපය තුළ දී දුර්වල වන බවත් පැහැදිලි වුණා.

බේරූට් හි හිස්බුල්ලා සංවිධානයේ රැළියක් (Middle East Monitor)

2012 මැද වන විට ලෙබනන සිරියා දේශසීමාවෙහි ත්‍රස්‍ත සංවිධාන පැතිර ගිය අතර ඔවුනගේ කේන්ද්‍රස්ථානය වූයේ අල්-කසායර් නගරය යි.

2012 ජූලි 18 වන දා ඩමස්කස්හි ජාතික ආරක්ෂක මූලස්ථානය ඉලක්ක කරගෙන දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී ආරක්ෂක ඇමති ජෙනරාල් දාවුද් රජීහා, නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහ අසාද්ගේ මස්සිනා වූ අසීෆ් ශවුකත්, උප ජනාධිප්තිගේ සහයක හසන් තුර්ක්මානි සහ ජාතික ආරක්ෂක කාර්යංශයේ අධ්‍යක්ෂ හිෂාම් ඉක්තියාර් යන අය මියගියා.

මෙම ප්‍රහාරය එල්ල වූයේ සිරියානු කැරලිකරුවන් විසින් ඩමස්කස් නගරය දෙසට එල්ල කරන දැවැන්ත ප්‍රහාරයකට සමගාමීව යි. නගරය අසලටම සටන් පැමිණි අතර රජයේ තත්ත්වය ඉතා අවදානම් සහගත වුණා.

ජූලි 18 වන දා රාත්‍රියේ හිස්බුල්ලා මහ ලේකම් හසන් නස්රල්ලා කතාවක් කරමින් මියගිය සිරියානු හමුදා නායකයින් සිය සටන් සහෝදරයින් ලෙස නම් කළා. මේ අතරවාරයේ සිරියානු කැරලිකරුවන් ඇතමෙක්, ඩමස්කස් නගරය අල්ලාගත් පසු හිස්බුල්ලා සංවිධානයට පහර දෙන්නේයැ යි ශපථ කරන්නට වුණා.

සිරියානු යුද්ධයට සහභාගී වීම

සිරියාවේ යුද්ධයට හිස්බුල්ලා සංවිධානය කෙලින්ම සම්බන්ධ වූයේ මෙම පසුබිමෙහි බව  යි සඳහන් වන්නේ. 2012 අගෝස්තු මාසයේදී ඩමස්කස්හි දී මියගිය මූසා අලි ශෙයිනි සිරියානු යුද්ධයේදී මියගිය පළමු හිස්බුල්ලා සටන්කාමියා ලෙස සැලකෙනවා.

හිස්බුල්ලා සංවිධානය 2013 අප්‍රේල් – ජූනි සමයේ අල්-කුසායර් ප්‍රහාරක මෙහෙයුමේ දී සිරියානු හමුදාවට විශාල සහයක් ලබා දුන්නා. මෙය ලෙබනන දේශසීමාවේ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් ඇතුළු කැරලිකරුවන් මර්ධනයට සහ ඩමස්කස් නගරය වෙත වූ තර්ජනය අවම කිරීමට හේතු වුණා.

සිරියානු හමුදා යුධ ටැංකියක් (Syrian Arab Army)

මෙයින් පසු සිරියානු හමුදාවට හිස්බුල්ලා සංවිධානයේ සහය දිගටම ලැබුණා. හිස්බුල්ලා සංවිධානයේ තර්කය වූයේ සිරියානු රජය බිඳ වැටුණහොත් මීළඟ ඉලක්කය තමන් වන හෙයින්, ඊට පෙර තමන් සිරියාවට ගොස් සිය සතුරන් මර්ධනය කළ යුතු බව යි.

කියවන්න​: දිනෙන් දින උණුසුම් වන ඉරාන – ඊශ්‍රායල සීතල යුද්ධය

ඉරාන සහ රුසියානු යුධ ආධාර ද සහිතව සිරියානු රජය මේ වනවිට සිය බලය බොහෝ ප්‍රදේශයන්හි ස්ථාපිත කර තිබෙනවා. මෙම සටන්වල දී හිස්බුල්ලා සටන්කාමීන් 4,000ක් පමණ මියගොස් ඇතැ යි ඇතැම් ඇස්තමේන්තු අනුව කියැවෙනවා. නමුත් අනෙක් අතට​ හිස්බුල්ලා සංවිධානය කලකින් ළඟා නොවූ ප්‍රබල ස්ථාවරයකට පත්ව තිබෙනවා.

මෙම අවස්ථාව වනවිට ඉරානයට එරෙහිව ඇමරිකාව​, ඊශ්‍රායලය​, සෞදි අරාබිය ආදී රටවල් විසින් ගෙනයන දේශපාලනික ක්‍රියාදාමය තුළ හිස්බුල්ලා සංවිධානය ඉරානය පාර්ශවයෙන් වැදගත් කාර්යයභාරයක් ඉටු කරනු ලබනවා. හිස්බුල්ලා සංවිධානය සිය මිසයිලවලින් ඊශ්‍රායලය දෙසට එල්ල කරන තර්ජනය ස්වල්ප නැහැ. එහෙයින්, ඉරානයට එරෙහිව මතුවන හමුදාමය ක්‍රියාදාමයක දී හිස්බුල්ලා සංවිධානය ද සැලකිය යුතු අභියෝගයක් වනු ඇති.

Cover Image: හිස්බුල්ලා සටන්කාමීන් පිරිසක් (Middle East Monitor)

මූලශ්‍රයයන්:

Related Articles