Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩි වුණු බිත්තර මිලෙන් තැම්බෙන පොදු ජනතාව

මස් මාළු ගිනි ගණං කාලෙට පවා පොඩි මිනිහාට වගේ ම කුඩා දරුවන්ටත් අඩු මිලට හොඳ ම පෝෂණයක් ලබා දීමට බිත්තරය සමත් වුණා. ඒත් රට ගිල ගත් අර්බුදකාරී වාතාවරණයෙන් ගැලවීමට බිත්තරයටත් හැකි වුණේ නෑ. පසුගිය මාසේ මුල වනවිට බිත්තරයක මිල සමහර පැතිවල රුපියල් 65 දක්වා ඉහළ ගියා. බිත්තර වගේ ම කුකුළු මස් මිලත් අදහා ගත නොහැකි ලෙස තවමත් ඉහළ ගොස් පවතිනවා.

මේ බිත්තර මිලෙන් තැම්බෙන පාරිභෝගික ජනතාව ගැන සොයා බැලීමට ගත් උත්හාසයක්.

 ගුණපිරි බිත්තර කෑම තහනම් වෙලා – youtube.com

බිත්තරේ ගුණේ

මනුෂ්‍ය පරිභෝජනය සඳහා මිල අඩු ම ප්‍රෝටීන අධික සමබල ආහාරයක් ලෙසයි කිකිළි බිත්තරය හැඳින්වෙන්නේ. ලාබෙට ම මිලදී ගත හැකි සුරක්ෂිත ම ප්‍රෝටීන සහිත ආහාරය ලෙස ද මෙය හැඳින්විය හැකි යි.  

කුකුළු බිත්තරයක මිනිස් සිරුරට ලබාගත යුතු ප්‍රෝටීන වගේ ම අවශ්‍ය පෝෂක ද විශාල ප්‍රමාණයක් තිබෙනවා. කුකුළු පැටවකු අලුතින්ම වර්ධනය වීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන, ඛනිජ ලවන ආදී සියලු ම පෝෂක ගුණාංග බිත්තරයක අඩංගු බව මෙයින් පෙනෙනවා.   

විටමින් ඒ 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් බී 5 : 9%ක්, විටමින් බී 12 : 15%ක්, විටමින් බී 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු යි. එයට අමතර ව විටමින් ඩී, විටමින් ඊ, විටමින් කේ, විටමින් බී 6 වගේම කැල්සියම් සහ සින්ක් ද බිත්තරයක තියෙනවා. බිත්තරයකින් කැලරි 77ක් සිරුරට එකතුවන අතර ප්‍රෝටීන ග්‍රෑම් 5ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස සිරුරට ඇතුළත් වෙනවා.

මේ නිසා මව්වරුන් තම දරුවන්ට හැකි සෑම විටක ම බිත්තර ලබා දී ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීමට උත්සාහ කළා. රජයේ රෝහල්වල, ළමා රෝහලේ බත් පතේ අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස බිත්තර සැලකුණා. පසුගිය දිනවල අහන්නට ලැබුණේ අධික මිල නිසා ළමා රෝහලේ දරුවන්ට බිත්තර ලබා දීමට නොහැකි වී ඇති බව යි.

 කිකිළියන් බිත්තර දමන්නෙත් අඩුවෙන් – Lanka.org

ගිය අවුරුද්දේ මිල

2021 නෙවැම්බර් මාසයේ දී බිත්තර පැවතියේ රු. 20ක් වැනි මිලක යි. ඒ මාසය අග වන විට බිත්තරයක මිල රු. 25 දක්වා ඉහළ ගොස් තිබුණා. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ නිලධාරියෙක් එවකට පැවසුවේ සුදු බිත්තරයක් රුපියල් 22 කට සහ රතු බිත්තරයක් රුපියල් 23 කට තොග මිලට බිත්තර අලෙවි වන බව යි.

ඒ කාලයේ කුකුළු මස් මිල පාලනය ඉවත් කළ අතර ඉන් පසු ව කුකුළු මස් මිල ද ඉහළ ගොස් ඇති බව පැවසුණා. පාලන මිල යටතේ රුපියල් 460 ක් ව පැවැති කුකුළු මස් කිලෝවක් රුපියල් 660 ත් 700 දක්වා ඉහළ ගිය බව වාර්තා වුණා. මිල අධික වීම හේතුවෙන් පාරිභෝගිකයා බිත්තර ආහාරයට ගැනීමෙන් ඈත්වෙනවා සේම ගොවියනුත් සියයට පනහක් මෙම කර්මාන්තයෙන් ඈත් ව ගිය බව වාර්තා වෙනවා.

  සුපිරි පන්තියට සීමා වූ බිත්තරේ – dailynews.lk

 තරු පේන බිත්තර මිල

පසුගිය ජුනි වනවිට මෙරට බිත්තර නිෂ්පාදනය සියයට 40කින් පහළ ගිය බවයි වාර්තා වන්නේ. දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ 8 සිට ලක්ෂ 4 දක්වා පහත වැටුණා. සැප්තැම්බර් දෙවන සතිය වන විට වෙළෙඳපොළ පවතින මිල ගණන් අනුව බ්‍රොයිලර් කුකුළු මස් කිලෝවක සිල්ලර අවම මිල රුපියල් 1440ක් පමණ වෙනවා. ඒ වගේම බිත්තරයක තොග මිල රුපියල් 38 – 42 ක් වන අතර සිල්ලර මිල රුපියල් 50-55 අතර පවතිනවා.

කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය කර්මාන්තයක් විදිහට ලංකාවේ ආරම්භ වුණේ 1954 වසරෙන් පසුව යි. එයට පෙර කාලයේ දී බොහෝ නිවෙස්වල ගෘහාශ්‍රිත ව ඇතිකරන සතුන් වන ගම් කුකුළන් පමණයි සිටියේ.

ඒ කාලයේදී කුකුළු මස් අවශ්‍ය වූ විටෙක නිවෙසේ ඇති කරන කුකුළෙක් මරාගැනීම සිරිතක් වුණා. ඒ කාලේ වෙළෙඳපොළේ කුකුළු මස් අලෙවිය සඳහා තැනක් තිබුණේ නැහැ. පසුව 60-70 දශක වනවිට බ්‍රොයිලර් කුකුළු පාලනය ටිකෙන් ටික වර්ධනය වුණා. එය වඩාත් ප්‍රචලිත වුණේ 90 දශකයෙන් පසුව යි.

 අතීතයේ සිටි ගම්කුකුළා- ගම්කුකුළන් විකිණීමට facebook page

කුකුළු ගොවිපොළ බහුතරයක් පිහිටා ඇත්තේ වයඹ පළාතෙ යි. හෙට්ටිපොළ, වීරපොකුණ, දුම්මලසූරිය, බිංගිරිය ඇතුළු පෙදෙස්වල කුකුළු බිත්තර ගොවිපොළ පිහිටා තිබෙනවා. සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් සියයට හැත්තෑවක් පමණ සිදු කරන්නේ වයඹ පළාතේ. කෝටි 12ක් පමණ සිටින කුකුළන්ට අවශ්‍ය කෑම වැඩිහරියක් ගේන්නේ පිටරටින්. ආහාර වර්ග සහ විටමින් වර්ගවල මිල තුන් ගුණයකින් ඉහළ ගිහින්. රුපියල් 200ට තිබුණු මාළුකුඩු කිලෝව අද වනවිට රුපියල් 600ක් වන අතර රුපියල් 20,000 ට තිබූ ඊ විටමින් කිලෝ විසිපහේ කොට්ටය දැන් රුපියල් 65000ක්.

කුකුළු ආහාර නොමැති වීමත් අධික මිලත් හේතුවෙන් මේ වනවිටත් බිත්තර සහ කුකුළු මස් කර්මාන්ත දෙකෙන් ම ග්‍රාමීය මට්ටමේ සුළු කර්මාන්තකරුවන්ගෙන් මිදී මහා පරිමාණ කිහිපදෙනකු අතට පත්වීමේ වැඩි ඉඩක් තිබෙන බවත් එසේ වුවහොත් මෙම කර්මාන්තයටත් සහල් මෙන් ඒකාධිකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ පවසනවා.

මහා පරිමාණ කුකුළු ගොවිපොළක් – Ft.lk

බිත්තර මිලට ගැසට්ටුවක්

බිත්තර මිල අධික ව ඉහළ යාම නිසා සුදු බිත්තරයක් රුපියල් 43 ක් සහ රතු හෝ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ක් ලෙස මිල නියම කරමින් වෙළෙඳ අමාත්‍යවරයා පසුගිය අගෝස්තුවේ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර බිත්තර නිෂ්පාදකයන් ප්‍රකාශ කළේ එම මිල ගණන්වලට බිත්තර අලෙවි කළ නොහැකි බව යි.
බිත්තරයක නිෂ්පාදන වියදම පියවා ගැනීමට හෝ එම මුදල ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන නිෂ්පාදකයන් ඉල්ලා සිටියේ අවම වශයෙන් රුපියල් 50 ක් දක්වා හෝ මිල ඉහළ දමන ලෙස යි. අගෝස්තු 25 දා බිත්තර නිෂ්පාදකයන් සහ වෙළෙඳ ඇමැතිවරයා අතර පැවති සාකච්ඡවකට අනුව බිත්තරයක් රුපියල් 50කට අලෙවි කිරීමට තීරණය කළ බව වාර් තා වුණා.

කුකුළු පාලනයට මොනව වේවි ද?

කුකුළු මස්, බිත්තර ව්‍යාපාරයේ යෙදෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 40% ක් පමණ මේ වන විට සිය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් ව ඇති බවත්, ඉදිරියේ දී කුකුළු මස් මිල තව දුරටත් ඉහළ යාහැකි බවත් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසා සිටිනවා.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය මේ වන විට කඩා වැටී තිබෙනවා. ඉන්ධන හා සත්ත්ව ආහාර මිල ගණන් ඉහළ යාම මෙන් ම ඉල්ලුමට සරිලන පරිදි සැපයුමක් ලබා දිය නොහැකි වීම නිසා මිල ගණන් ඉහළ දැමීමට සිදුවූ බව යි එම සංගමය පවසන්නේ. මිල ඉහළ යාම හේතුවෙන් කුකුල් මස් හා බිත්තර පරිභෝජනය 20% කින් පමණ කඩා වැටීමකට ලක් ව ඇති බව වාර්තා වෙනවා.

 වැඩි දෙනෙක් කැමති බිත්තරවලින් තැනූ ආහාර- Ndtv.com

ලබන අවුරුද්ද වන විට මොනවා වෙයිද?

කුකුළු කර්මාන්තය සඳහා පසුගිය 2021 වසරේ දී මවු කිකිළියන් 80,000ක් ආනයනය කර තිබෙනවා. බිත්තර දමන කිකිළියන් බෝ කර ගන්නේ එම කිකිළියන් ගොවිපොළවල අභිජනනය කිරීමෙන්. මෙම වසරේ මේ වනවිට ගෙන්වා තිබෙන්නේ මවු කිකිළියන් 7000ක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි. මේ නිසා ඉදිරි කාලයේ දැනටත් වඩා බිත්තර හා කුකුළු මස් හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවයි එම කර්මාන්තකරුවන් පවසන්නේ.

එම කරුණු අනාවරණය වුණේ බිත්තර හා කුකුළු මස් කර්මාන්තය රැකගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කුකුළු කර්මාන්තකරුවන්ගේ සංගමය සමඟ පසුගිය දා  පැවැති සාකච්ඡාවක දී යි. වසරේ ජුලි මාසය වන විට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 164ක් හා කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18ක් දක්වා අවම වී තිබූ බවත් මෙම වසරේ අප්‍රේල් මාසයේ දී මෙරට කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 21ක් හා බිත්තර නිෂ්පාදනය මිලියන 220ක් දක්වාත් ඉහළ මට්ටමක පැවතුණු බවත් කුකුළු කර්මාන්තකරුවන් එහිදී පවසා සිටියා.

 කුකුළු ආහාරවලට අත්‍යවශ්‍ය බඩඉරිඟු – Hasitha Sandeepa facebook page

කුකුළු ආහාර හිඟ වුණේ කාබනික ගොවිතැනින්

ආර්ථික අර්බුදකාරී තත්ත්වය මැද සත්ව ආහාර මිල ඉහළ යාම හා 2021 වර්ෂයේ මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා පහත වැටුණා. කුකුළු ආහාරවලට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් සියයට හැටක් සපයා ගන්නේ බඩඉරිඟුවලින්. මෙරට සත්ව ආහාර නිෂ්පාදනයට වාර්ෂික ව බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය යි.

එම ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 350,000ක් දේශීය ව නිෂ්පාදනය කරනවා. ආනයනය කළ යුතු වුණේ මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ ප්‍රමාණයක්. එහෙත් රසායනික පොහොර තහනම නිසා පසුගිය මහ කන්නයේ දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 75,000 දක්වා පහත වැටුණා. ඉතිරිය විදේශවලින් ආනයනය ද ඇණහිටියේ ඩොලර් හිඟය නිසා යි. මේ නිසා කුකුළු ආහාර හිඟයක් ඇතිවී නිෂ්පාදනය ඇනහිටියා. මේ ලැටලුවලට මුහුණ දීමට සිදු ව ඇත්තේ අඩු මිලට බිත්තර අනුභව කිරීමට පලා සිටින සිටි බහුතර ජනතාවට යි.

කවරයේ ඡායාරූපය- අල්ලන්නට බැරි තරම් ඉහළ ගිය බිත්තර මිල - watganet.com
මූලාශ්‍ර:
Lankadeepa.lk
Silumina.lk
economynext.com
dailynews.lk 

Related Articles