අප්‍රිකානු තරුණියන් මුහුණදෙන බිහිසුණු අත්දැකීම

කිසිවකුටත් හිරිහැරයක් නොමැති, සංස්කෘතිකමය වශයෙන් විශාල වටිනාකමක් ඇති චාරිත්‍ර ලෝකයේ බොහෝ රටවල තිබේ. එවැනි සුන්දර චාරිත්‍ර වාරිත්‍රවලට අමතර ව අමානුෂික, පීඩාකාරී මෙන් ම ජුගුප්සාජනක චාරිත්‍ර වාරිත්‍ර ද සමහර රටවල දැකිය හැකි ය. බටහිර අප්‍රිකානු රටවල ජීවත් වන ජන කොටස් අතර ප්‍රචලිත එවැනි සිරිත් විරිත් අතරින් එකකි, වැඩිවියට පත් වන ගැහැනු ළමයින්ගේ ‘පියයුරු පැතලි කිරීම’.

ඝන හෝ රත් කළ උපාංගයක් භාවිත කරමින් ගැහැනු ළමයින්ගේ පියයුරු පැතලි වන සේ තදින් ඇතිල්ලීම මෙහිදී සිදු වේ. එමගින් පියයුරු වර්ධනය වීම නතර වන අතර කැමරූන්, බෙනින්, ගිනියා බිසාවු සහ ටෝගෝ වැනි අප්‍රිකානු රටවල මෙය බහුල ව සිදු වේ. පියයුරු පැතලි කිරීම ආරම්භ වූයේ කෙසේ ද යන්න මේ වන තෙක් නිශ්චිතව අනාවරණය වී නැති නමුත් ඒ පිළිබඳ ව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමු වූයේ මිට දශක කිහිපයකට පෙර ය.

ගලක් පියයුරුවලට තබා තද කරන අයුරු – The Times

පියයුරු පැතලි කිරීමට හේතු

ඉතා වේදනාකාරී චාරිත්‍රයක් වන පියයුරු පැතලි කිරීමේ ප්‍රධානත ම අරමුණ ලෙස සැලකෙන්නේ ඒ හරහා තරුණියන් කෙරෙහි අනවශ්‍ය ආකාරයෙන් පිරිමි පුද්ගලයන් ආකර්ෂණය වීම වලක්වා ගැනීම යි. තරුණියන් වෙත පිරිමි පුද්ගලයන් ආකර්ෂණය වීම සඳහා හේතු වන පියයුරු, වර්ධනය වීම වැළැක්වීම තුළින් ඔවුන් අනවශ්‍ය ලිංගික සම්බන්ධතාවලට යොමු වීම, විවිධ ලිංගික හිරිහැරයන්ට ලක් වීම, ළමා වියේ දී ගැබ්ගැ නීම සහ ළමා විවාහයන් වලක්වා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය යි.

මේ පිළිබඳ ව අදහස් දැක් වූ අප්‍රිකානු මවක් පවසා ඇත්තේ:

“පියයුරු වර්ධනය නොවීම තුළින් තරුණියන්ගේ කාන්තා ස්වරූපය ඉස්මතු වී පෙනීම අඩු කර ගත හැකියි. ඒ නිසා කිසිදු පුරුෂයෙක් ඔවුන්ට ආකර්ෂණය වන්නේ නැහැ. පිරිමින්ගේ ආකර්ෂණයට ලක් නොවීම හරහා තරුණියන්ට සිදු වන බොහෝ හිරිහැර වළක්වා ගත හැකියි,”

 පියයුරු වර්ධනය වීම වලක්වා ගැනීම මඟින් තරුණියන්ට අවශ්‍ය තරමක් දුරට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වන බව ද ඔවුන්ගේ අදහසයි.  එමඟින් ඔවුන් පිරිමින් සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසා පවුල්වල කීර්තිනාමයට සිදු වන හානි වලක්වා ගැනීමට හැකියාව ලැබෙතැයි ඔවුහු විශ්වාස කරති.

පියයුරු තද වන සේ පළඳින පටියක් සහ මෙම චාරිත්‍රය සඳහා භාවිතා කරන හැන්දක් – www.seekapor.com

පියයුරු පැතලි කරන ආකාරය

බොහෝ විට වයස අවුරුදු 8-12 අතර වැඩිවියට පත්වන ගැහැනු ළමයින්ගේ පියයුරු මේ ආකාරයෙන් පැතලි කිරීමට ලක් කරන අතර එය සාමාන්‍යයෙන් සිදු කරන්නේ මව, ඥාති කාන්තාවන් හෝ දීර්ඝකාලීන ව ඒ පිළිබඳ ව අත්දැකීම් ඇති වෙනත් කාන්තාවකි. මෙම චාරිත්‍රයේ අරමුණ පිළිබඳ ව විස්තර කළ කැමරූන් හි කාන්තාවන් පිරිසක් සඳහන් කර ඇත්තේ “මේ චාරිත්‍රය සිදු කිරීම මගින් පියයුරු පැමිණි තැනට ම ආපසු යවනවා,” යනුවෙනි. රත් කළ ගලක්, මෝල්ගසක් හෝ පළල් හැන්දක් වැනි යමක් යොදා ගෙන පියයුරු තදින් ඇතිල්ලීම මඟින් පැතලි කිරීම සිදු වේ.

රත් කළ ගලක් – www.mirror.co.uk

තමන් ම පියයුරු පැතලි කරගන්නා ගැහැනු ළමයින්

සාමාන්‍යයෙන් පියයුරු පැතලි කිරීම සිදු කරන්නේ අදාළ තරුණියගේ මව හෝ වෙනත් කාන්තාවක් වුව ද තමන් ම එම කාර්යය සිදු කරගන්නා තරුණියන් ද සිටියි. කුඩා කල සිට මෙම චාරිත්‍රය පිළිබඳ ව අසන දකින නිසා සමහර ගැහැනු ළමයින් ඊට බියක් නොදක්වන බව කියැවේ. ඒ නිසා කිසිවකුගේ සහය ලබා ගැනීමකින් තොරව ඔවුන් ම සිය පියයුරු පැතලි කරගනියි. බොහෝ තරුණියන් දිනපතා ම පියයුරු තද වන ආකාරයේ පටියක් පැළඳ සිටින අතර එමගින් ඔවුන්ගේ පියයුරු වර්ධනය වීම නතර වේ.

පටියක් පැළඳ සිටින ගැහැනු දරුවෙක් – www.vice.com

 

කැමරූන් හි තත්ත්වය

අප්‍රිකානු රටක් වන කැමරූන් හි ජීවත් වන ජනතාවගේ අදහස වන්නේ ගැහැනු දරුවකුගේ පියයුරු වර්ධනය වීම ආරම්භ වූ පසු ඇය ලිංගික සම්බන්ධතා පැවැත්වීමට සුදුසුකම් ලබන බව යි. එබැවින් අනිකුත් අප්‍රිකානු රටවලට වඩා කැමරූන් හි පියයුරු පැතලි කිරීමේ චාරිත්‍රය සුලබ ව දැකිය හැකි ය. එය ඉතා වේදනාකාරී අත්දැකීමක් වුවත් සිය දියණියන්ගේ පියයුරු වර්ධනය වීම වැලැක්වීම මඟින් විවාහ වන තුරු ඔවුන්ගේ කන්‍යාභාවය ආරක්ෂා කරගත හැකි යැයි කැමරූන් හි මව්වරු විශ්වාස කරති.

අහිතකර ප්‍රතිවිපාක 

ඉතාමත් වේදනාකාරී ආකාරයෙන් සිදු කෙරෙන පියයුරු පැතලි කිරීමට ඉතා සුළු පිරිසක් විරුද්ධ නොවුවත් බොහෝ තරුණියන් ඊට දක්වන්නේ විශාල බියකි. එමගින් පියයුරුවල ඇති සියුම් පටකවලට වන හානිය දීර්ඝකාලීන වශයෙන් අහිතකර ප්‍රතිවිපාක රැසකට හේතු වන බව සොයාගෙන තිබේ.

මෙම වේදනාකාරී අත්දැකීමට මුහුණදෙන සමහර තරුණියන්ගේ පියයුරු ටික කලකින් නැවත වර්ධනය වන නමුත් බොහෝ දෙනෙක්ගේ පියයුරු නැවත වර්ධනය නොවේ. තවත් සමහරුන්ගේ එක් පියයුරක් අනෙකට වඩා දිගින් වැඩි වේ.

පියයුරු පැතලි කරන අයුරු දැක්වෙන සිතුවමක් –  www.historyofyesterday.com

මේ නිසා බොහෝ අප්‍රිකානු කාන්තාවන් විනාශකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දී තිබේ. ඒ අතර පියයුරු පිළිකාවලට ගොදුරු වීම, ළමයින්ට මව් කිරි දීමට නොහැකි වීම වැනි ඒවා ප්‍රධාන තැනක් ගනී. ඊට අමතර ව ඔවුන් විශාල මානසික පිඩනයකින් පසුවන බැවින් විවිධ මානසික රෝගී තත්ත්වයන්ට ද ගොදුරු වේ.

වැඩිවියට පත්වීමට අකැමැති ගැහැනු ළමයි

පියයුරු පැතලි කිරීම පිළිබඳ ව දැනුම්වත් වර්තමාන අප්‍රිකානු ගැහැනු ළමුන් වැඩිවියට පත්වීම පිළිබඳ ව දක්වන්නේ මහත් බියකි. ඒ වැඩිවියට පත් වූ වහා ම ඔවුන්ට මේ වේදනාකාරී අත්දැකීමට මුහුණ දීමට සිදු වන බව හොඳින් දන්නා නිසාවෙනි. ඔවුන්ගේ වැඩිමහල් සහෝදරියන් සහ මිතුරියන් ඊට මුහුණ දෙන අයුරු දැක ඇති බැවින් ගැහැනු ළමයින් එම වේදනාව ම දිනක තමන්ට ද අත්විඳීමට සිදුවන බව හොඳින් දනී.

එම රටවල කාන්තාවන් මෙය ගැහැනු ළමයින්ට වාසිදායක බව පැවසුවත් එය කිසිවකුට දැරිය නොහැකි තරම් වේදනාවකි. ඒ පිළිබඳ ව එක්තරා පුවත්පත් සාකච්ඡාවක් අතරතුර කාන්තාවක් පවසා ඇත්තේ මේ අයුරිනි:

“ඔවුන් ගලක්, හැන්දක් හෝ මෝල්ගසක් වැනි යමක් රත් කර එය පියයුරුවලට තබා තද කරනවා, ඔව්, එය වේදනාකාරී අත්දැකීමක්,”

මෙම චාරිත්‍රය සඳහා භාවිත කරන උපකරණ අතැතිව සිටින කාන්තාවක් – www.mirror.co.uk

වර්තමාන තත්ත්වය

මේ වන විට අප්‍රිකානු රටවල ජිවත් වන තරුණියන් මිලියන 3.8කගේ පමණ මේ ආකාරයෙන් පියයුරු වර්ධනය වීම වලක්වා තිබෙන බව විවිධ ආයතන සිදු කළ සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඉන් වැඩි පිරිසක් පියයුරු පිළිකා වැනි රෝගී තත්ත්වයන්ගෙන් පිඩා විඳින අතර තවත් සමහරුන් ප්ලාස්ටික් සැත්කම් වැනි ප්‍රතිකාර ක්‍රම හරහා සිය පියයුරු යථා තත්ත්වයට පත් කරගෙන තිබේ.

වාර්තා නොවන සිදුවීම් 

ඉහත කි සිදුවීම් මිලියන 3.8ට අමතර ව වාර්තා නොවූ තරුණියන් විශාල පිරිසක් මේ වේදනාකාරී අත්දැකීමට මුහුණ දී ඇති බව පැවැසේ. ඒ එක්සත් රාජධානියට සංක්‍රමණය වූ බටහිර අප්‍රිකානු තරුණියන් ආසන්න වශයෙන් දහසකගේ පමණ පියයුරු පැතලි කර ඇති බව කියැවේ. විශේෂයෙන් ම ස්ත්‍රී පුරුෂ බව පදනම් කරගත් අපරාධ අතරින් අඩුවෙන් ම වාර්තා වන සිදුවීමක් ලෙස මෙම චාරිත්‍රය සලකයි.

භාවිතා කරන උපකරණ – www.seekapor.com

මේ හේතුව නිසා ම පියයුරු පැතලි කිරීමේ  චාරිත්‍රය නිසා අගතියට පත්වන තරුණියන් පිළිබඳ ව වැඩි වැඩියෙන් අවධානය යොමු විය යුතු බව බොහෝ දෙනකුගේ අදහස යි. විශේෂයෙන් ම යම් අයකුගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි කියා මෙවැනි අමානුෂික චාරිත්‍ර තවදුරටත් පවත්වාගෙන යා යුතු නොවන බවට බොහෝ දෙනකු මේ වන විට පෙන්වා දී ඇත.

කවරයේ පින්තූරය- වේදනාකාරී අත්දැකීමට මුහුණ දෙන තරුණියක් -www.seekapor.com

මූලාශ්‍ර- www.historyofyesterday.com

www.mirror.co.uk

www.seekapor.com

Related Articles