Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඖෂධ සහ උපකරණ හිඟයෙන් බැට කන ජාතික රෝහල

රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක් වී ඇති ක්ෂේත්‍ර ගණනාවක් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන තැනක් ගනී. ආනයන සඳහා අවශ්‍ය ඩොලර් සංචිත හිඟ වීම හේතුවෙන් රජයේ රෝහල්වල මාස ගණනාවක් තිස්සේ ඖෂධ සහ අනිකුත් වෛද්‍ය උපකරණ හිඟයක් පවති යි. ඒ හේතුවෙන් රෝහල්වල රෝගී සත්කාර කටයුතු බිඳ වැටුණු අවස්ථා පවා තිබිණි. ඒ අතර සිදු කරන ඉතා වැදගත් ශල්‍යකර්ම සහ වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් ද ඇනහිට ඇති බව වාර්තා වේ.

විවිධ රටවල් සහ වෙනත් පාර්ශවයන්ගෙන් ලැබෙන පරිත්‍යාග සමඟ මේ වන විට ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය යම්තාක් දුරකට පහ ව ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වෛද්‍ය පරීක්ෂණ සඳහා වුවමනා ද්‍රව්‍යවල හිඟයේ බලපෑම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිදු කරන ඉතා වැදගත් ශල්‍යකර්ම සහ වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් සති කිහිපයක් තිස්සේ නැවැතී හෝ සීමා වී ඇති බව පසුගිය දා වාර්තා විය.

ජාතික රෝහලේ ගොඩනැඟිල්ලක් – www.wikipedia.org

 

කොළඹ ජාතික රෝහල

එවකට ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන් 1864 දී ආරම්භ කළ මෙරට ප්‍රධානත ම රෝහල වන ජාතික රෝහල මේ වන විට මධ්‍යම රජය යටතේ පාලනය වේ. දැඩි සත්කාර ඒකක 18කින්, ශල්‍යාගාර 21කින්, සහ ඇඳන් 3,500කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත ජාතික රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය 7,500කට අධික වේ. වසරකට රෝගීන් මිලියන දෙකකට පමණ ප්‍රතිකාර කරන ජාතික රෝහලේ මසකට සුළු හා මහා පරිමාණ ශල්‍යකර්ම 5,000කට වැඩි සංඛ්‍යාවක් ද සිදු කරයි. ජාතික රෝහල, කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන් පමණක් නොව රටේ සියලු ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කරයි.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය

විදේශ විනිමය හිඟය නිසා අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා විය. එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය මැයි මාසයේ දී වාර්තා වූයේ වෛද්‍ය සැපයීම් අංශයේ තිබිය යුතු ඖෂධ 1,358ක් අතරින් 525ක තොග අවසන් වී ඇති බව යි. ඒ අතර ජීවිතාරක්ෂක ඖෂධ, අත්‍යවශ්‍ය ඖෂධ, සහ නිතර භාවිතයට නොගැනෙන ඖෂධ ගණනාවක් වූ බව ද වාර්තා විය. වෛද්‍ය සැපයීම් අංශය සතුව තිබිය යුතු ශල්‍ය උපකරණ 8,553ක් අතරින් 5,376ක තොග අවසන් වී ඇති බව ද වාර්තා විය.

ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලන විරෝධතාවක් – www.dailymirror.lk

 

රටේ උද්ගත වී තිබූ උග්‍ර ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳ ව ඉක්මන් අවධානය යොමු කළ වෙනත් රටවල්, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙරටට අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කළහ. එවැනි පරිත්‍යාග නිසා ඖෂධ හිඟය යම්තාක් දුරකට පහව ගොස් ඇතත් සමහර ඖෂධ මේ වන තෙක් ප්‍රමාණවත් පරිදි රට තුළ නැත. පසුගිය දා වාර්තා වූයේ මෙරට භාවිතයට ගැනෙන අත්‍යවශ්‍ය ඖෂධ 383ක් අතරින් 91 මේ වන විට රටේ නොමැති බව යි. ඊට අමතර ව වෛද්‍ය සැපයීම් අංශයේ ජිවිතාරක්ෂක ඖෂධ 14ක තොග නොමැති බවත් වාර්තා විය.

වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිදු කරන ශල්‍යකර්ම සහ වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට බාධා එල්ල වී ඇති බවත්, එම රෝහලේ රෝගීන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධවල විශාල හිඟයක් පවතින බවත් පසුගිය දා වාර්තා විය.

වෛද්‍ය පරීක්ෂණ

ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සහ ස්නායු ශල්‍ය ඒකකය සතු CT ස්කෑන් (computerised tomography) යන්ත්‍ර සති කිහිපයක් තිස්සේ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු ව තිබේ. අදාළ ඒකකවල ස්ථාපිත යන්ත්‍ර නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝහල සතු වෙනත් CT ස්කෑන් යන්ත්‍ර දෙකක් භාවිතයෙන් මේ වන විට එම පරීක්ෂණ සිදු කරයි.

ජාතික රෝහලේ නේවාසික රෝගියෙක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය – www.nhsl.health.gov.lk

 

ආහාර ජිර්ණ පද්ධතිය හා සම්බන්ධ රෝග තත්ත්ව විනිශ්චය කිරීම සඳහා සියුම් කැමරාවක් සහිත උපකරණයක් භාවිතයෙන් සිදු කරන Oesophago-Gastro-Duodenoscopy නම් වෛද්‍ය පරීක්ෂණ ද මේ වන අඩාල වී තිබේ. මෙම පරීක්ෂණ සඳහා යොදා ගන්නා යන්ත්‍ර තුනෙන් දෙකක් අමතර කොටස් හිඟය හේතුවෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. මීට පෙර ජාතික රෝහල තුළ එම පරීක්ෂණ 30ක් පමණ දිනකට සිදු වුවත් මේ වන විට එම සංඛ්‍යාව පහක් වැනි සුළු ප්‍රමාණයක් දක්වා පහළ ගොස් ඇත.

ශල්‍යකර්ම

උදරය ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් ශල්‍යකර්මවලට භාජනය කිරීමේ දී විශාල ප්‍රමාණයේ කැපීම් සිදු නොකර අදාළ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා ක්‍රමවේදයක් ඇත. ඒවා laparoscopic ශල්‍යකර්ම නමින් හඳුන්වන අතර, අවශ්‍ය උපකරණ සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම ශල්‍යකර්ම ද ජාතික රෝහල තුළ සිදු නොවන බවට වාර්තා විය. එම නිසා උදරය ආශ්‍රිත ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්ට විශාල ප්‍රමාණයේ කැපීම්වලට මුහුණ දීමට සිදු ව ඇත.

 ජාතික රෝහලේ හෘද උරස් ශල්‍ය ඒකකයට අවශ්‍ය සියුම් මැහුම් ද්‍රව්‍ය සහ කපාට (valves) හිඟය හේතුවෙන් දිනකට එම ඒකකයේ සිදුකරන සැත්කම් සංඛ්‍යාව තුන දක්වා අඩු වී ඇත. මෙම ඒකකයේ ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්ගේ කැපුම් තුවාල මැසීමට ඉතා සියුම් මැහුම් වර්ගයක් අවශ්‍ය වන අතර පවතින වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් ඒවා සපයා ගැනීම ද දුෂ්කර වී ඇත. මේ නිසා මෙම ශල්‍යකර්ම සිදුකිරීමට පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ගේ ශල්‍යකර්ම සිදු කිරීම ප්‍රමාද වේ.

ශල්‍යකර්මයක් සිදු කරන අයුරු – www.nhsl.health.gov.lk

 

ප්‍රතිජිවක ඖෂධ හිඟය

ජාතික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන, විවිධ තුවාල සහිත රෝගීන්ට සහ ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ හිඟයක් ද මේ වන විට උද්ගත වී ඇත. ඒ අතර Metronidazole, Ciprofloxacin, Merrem IV, meropenem, Primaxin, imipenem, cilastatin සහ Colistin යන ප්‍රතිජීවක ඖෂධවල හිඟයක් තිබේ. විවිධ පාර්ශව පරිත්‍යාග ලෙස මෙම ඖෂධ ලබා දුන්නත්, ඒවා ප්‍රමාණවත් වන්නේ සීමිත දින ගණනකට පමණක් බැවින් අඛණ්ඩව එකම ප්‍රතිජීවක ඖෂධය රෝගීන්ට ලබා දීමට හැකියාවක් නැති බව රෝහල් ආරංචි මාර්ග මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි.

රෝගීන් මුහුණදෙන දුෂ්කරතා

 වෛද්‍ය පරීක්ෂණ සහ ශල්‍යකර්ම සිදු කිරීම සීමා වීම නිසා ජාතික රෝහලට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන්ට දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදු ව ඇත. සමහර රෝගීන්ට සාමාන්‍යයෙන් දිනක් හෝ දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිදු කර ගත හැකි ශල්‍යකර්මයක් හෝ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා මේ තත්ත්වය තුළ රෝහලේ සති කිහිපයක් රැඳී සිටීමට සිදු වේ. තවත් සමහර රෝගීන් බොහෝ දුර ගෙවා ගෙන ජාතික රෝහලට පැමිණියත් අදාළ වෛද්‍ය පරීක්ෂණය හෝ ශල්‍යකර්මය සිදු කර නොගෙන ආපසු හැරී යාමට ඔවුන්ට සිදු වේ. 

ජාතික රෝහල තුළ මේ වන විට ප්‍රතිජීවක ඖෂධ හිඟයක් ඇත – www.pinterest.com

 

පුද්ගලික රෝහල් සහ රසායනාගාරවලින් අදාළ පරීක්ෂණ සහ ශල්‍යකර්ම සිදු කර ගැනීමට, සහ ඖෂධ මිල දී ගැනීමට සිදු වීම නිසා සමහර රෝගීන්ට වර්තමාන ආර්ථික දුෂ්කරතා සියල්ල මධ්‍යයේ ඒවා සඳහා විශාල මුදලක් වැය කිරීමට ද සිදු ව තිබේ. තවත් සමහර රෝගීන්ට මුදල් ගෙවා වෛද්‍ය පරීක්ෂණ හෝ ශල්‍යකර්ම සිදු කර ගැනීමට හැකියාවක් නොමැති බැවින් ඔවුන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමේ අවදානමක් ඇති බව ද වාර්තා වේ. 

රජයේ ප්‍රතිචාරය සහ එක්සත් ජනපදයෙන් ලැබුණු වෛද්‍ය සැපයුම්

 රජය නියෝජනය කරන පාර්ශවයන් පෙන්වා දෙන්නේ බරපතල ලෙස බිඳ වැටීමට නොදී රෝහල්වල කටයුතු පවත්වාගෙන යාමට තරම් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට ලැබෙමින් පවතින බව යි. හිඟ ඖෂධ සඳහා භාවිත කළ හැකි ආදේශක ඖෂධ තිබෙන බවත්, කෙසේ වෙතත් එය ස්ථිර විසඳුමක් සේ සලකා කටයුතු කිරීම වෙනුවට අදාළ ඖෂධ හැකි ඉක්මනින් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දා සඳහන් කළේ ය.

 ශ්‍රී ලාංකිකයින්ට කඩිනම් සහන සැලසීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide ඩොලර් මිලියන 2.74 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය සැපයුම් පසුගියදා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේ ය. ඒ සමඟ පසුගිය සතිය තුළ අමෙරිකානු සංවිධානවලින් ශ්‍රී ලංකාවට ලැබුණු මුළු වෛද්‍ය ආධාර ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 12 ඉක්මවයි.

කවරයේ ඡායාරූපය- වෛද්‍ය පරීක්ෂණ සහ ශල්‍යකර්ම සිදු කිරීම සීමා වීම නිසා ජාතික රෝහලට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන්ට දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව ඇත - www.dailynews.lk

මූලාශ්‍ර:

www.themorning.lk

www.dailymirror.lk

www.adaderana.lk

www.health.gov.lk

Related Articles