Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටක් බංකොලොත් භාවයෙන් මිදෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව පසුගිය දිනක තමන් ලබා ගත් ණය වාරික නිසි කලට ගෙවීමේ හැකියාවක් නැති බව ප්‍රකාශ කළා. ඊට අවශ්‍ය මුදල් සංචිත නොමැති වීම ඊට හේතුව යි. වෙනත් වචනවලින් පැවසුවහොත් තමන් බංකොලොත් වී ඇති බැව් ශ්‍රී ලංකාව ප්‍රකාශ කර තිබෙනවා. මේ නිසා කෙටි කාලීන ව සහ දීර්ඝ කාලීන ව ඇතිවන බලපෑම් රාශියකට රටක් වශයෙන් ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදුවෙනවා.

ශ්‍රී ලංකාවට මෙලෙස බංකොලොත් භාවයට මුහුණදෙන්නට සිදුව ඇත්තේ, එහි පාලනාධීකාරය අත්තනෝමතික ලෙස, දුර නොසිතමින් කටයුතු කළ නිසායි. පෙර දැක්මක් නොමැති ව මෙලෙස කටයුතු කිරීම නිසා ජීවන වියදම සහ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, රාජ්‍ය භාණ්ඩාගාර හිස් වීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ පවා නොමැති කමින් රජය සහ රටවැසියා පීඩා විඳිනවා.

මෙයට ආසන්නත ම හේතු ලෙස දැක්වෙන්නේ වර්තමාන ආණ්ඩුව අනවශ්‍ය ලෙස බදු අඩු කිරීම නිසා රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබූ විශාල මුදලක් අහිමි වීමයි. චීනයෙන් ගත් විශාල ණය ප්‍රමාණය සහ ඒවායේ වාරික ගෙමීමට සිදුවීමත් ඊට හේතුවක්. තත්ත්වය වඩාත් දරුණු කරමින් කොවිඩ් වසංගතය පැමිණීම සහ ගෝලීය තෙල් මිල වැඩි වීමත් අවාසනාවක් වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව ආදායම් ලබන ප්‍රධානත ම මාර්ගයක් වන සංචාරක කර්මාන්තයට ද මරු පහරක් එල්ල වුණා.

ශ්‍රී ලංකාව ආදායම් පහළට – medium.com

 

ඉහළ යන උද්ධමනය

රාජ්‍ය භාණ්ඩාගාර හිස් වූ විට රාජ්‍ය සේවකයන්ට වේතනය ලබා දීම සහ වෙනත් දේ උදෙසා ආණ්ඩුව ශ්‍රී ලංකා රුපියල වැඩි වශයෙන් අච්චු ගැසීම සිදු කළා. මේ නිසා රටේ උද්ධමනය වැඩි වී තිබෙනවා. ලෝක බැංකුව පවසන පරිදි කොවිඩ් වසංගතය ආරම්භ වූ පසු ශ්‍රී ලංකාව් අලුතින් 500,000 පමණ පිරිසක් දරිද්‍රතාවට මුහුණ දී තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිසා රට පුරා දිගු පෝලිම් දැකගන්නට ඇත්තේ වැඩි වූ භාණ්ඩ හා සේවා මිලද නොතකමිනු යි.

 භාණ්ඩාගාරයට මුදල් ලබා ගැනීම සහ ණය ගෙවන ක්‍රමවේදය

රාජ්‍ය භාණ්ඩාගාරයකට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රමවේද දෙකක් තිබෙනවා. ඒ බදුවලින් ලැබෙන මුදල් සහ ආයෝජනවලින් ලැබෙන මුදල් වශයෙනු යි. පුද්ගලයෙක් ණය ලබාගන්නා සේ  ම රටකට ද විදේශ රටකින් හෝ යම් දේශීය හෝ විදේශීය ආයතනයකින් ණය ලබාගත හැකි අතර, ඒවා පොලියද සමඟ නැවත ගෙවිය යුතු වෙනවා. ණය වාරික ගෙවිය යුතු ආකාරය පිළිබඳ ව ආණ්ඩුත් අනෙක් පාර්ශවත් එකඟතාවකට පැමිණෙනවා.

 ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය- dailymirror.lk

 

රටක සම්පූර්ණ ණය බර ලෙස සැලකෙන්නේ දේශීය සහ විදේශීය වශයෙන් ඇති ණය ප්‍රමාණය යි. විදේශීය ණය විදේශීය මුදල් සබැඳි ව වෙනත් රටවලින් සහ විදේශීය ආයෝජකයගෙන් ලබා ගත් ණය වන අතර, දේශීය ණය දේශීය ආයෝජකයන්ගෙන් ලබා ගත් ණය වෙනවා. මින් ශ්‍රී ලංකා රුපියල්වලින් ගනුදෙනු වෙන දේශීය ණය සඳහා අවශ්‍ය මුදල් බදු වැඩි කිරීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් ගෙවිය හැකි අතර, විදේශීය ණය එලෙස පහසුවෙන් ගෙවිය නොහැක්කේ ඒවා ගෙවිය යුත්තේ විදෙස් මුදල් ඒකක (බොහෝ විට ඇමෙරිකානු ඩොලර් ) වලින් වීම නිසා යි.

ඒවා ගෙවීමට නම් රටක් අනිවාර්යයෙන් විදෙස් මුදල් ඉපැයිය යුතු යි. මේ සඳහා විශේෂ ක්‍රමවේදයන් රටක් සතු විය යුතු යි. විශෙෂයෙන් අපනයනය, සේවා සැපයීම වැනි විදෙස් මුදල් රටට ගලන ව්‍යාපෘති ඉතා සැලසුම් සහගත ව ආණ්ඩුවක් ක්‍රියාවේ යෙදවිය යුතු යි. මෙලෙස ණය වාරික ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණයක් රටක් තුළ නිසි කලට ගොඩ නොගැසෙන්නේ නම් එවිට ඔවුනට විදෙස් ණය ගෙවීම පැහැර හරින්නට සිදුවන අතර ‘ බංකොලොත් භාවයට’ පත්වන්නේ යැයි කියනවා.

රටක් ඇත්තෙන් ම බංකොලොත් වෙනවා ද?

ඇත්තෙන්ම ‘රටක්’ බංකොලොත් වන්නේ නැහැ. ඒ මන්ද යත් රටක සෑම විට ම මුදල් කළ හැකි සම්පත් තිබෙන නිසා යි. කෙසේ නමුත් නිසි කලට විදෙස් ණය ගෙවන්නට අවශ්‍ය විදෙස් මුදල් සංචිත නොපැවතීම නිසා ණය ගෙවීම පැහැර හැරි විට, එය ‘බංකොලොත් වීම’ ලෙස සලකනවා. කෙසේ නමුත් විදෙස් රටවල් සහ ආයෝජකයන් සමඟ ගිවිසුම්වලට එළැඹ තිබෙන්නේ යම් රටක ආණඩුවක් නිසා ඇත්තෙන් ම බංකොලොත් වන්නේ එම රටෙහි ආණඩුව යි.

රටක් බංකොලොත් වීම ලෙහෙසියෙන් සිදු නොවූව ද, ලොව බොහෝ රටවල් ඉතිහාසයේ යම් කලක බංකොලොත් වී තිබෙනවා. ග්‍රීසිය සහ ස්පාඥ්ඥය වැනි රටවල් පවා ඉතිහාසය පුරාවට ම කිහිප විටක් බංකොලොත් වී තිබෙනවා. වර්තමානය වන විට රටක් බංකොලොත් වීමට යන විට හෝ බංකොලොත් වූ විට, එම තත්ත්වයෙන් මුදාගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල හෙවත් අයි. එම්. එෆ් ආයතනය ඉදිරිපත් වන අතර ඔවුන් ඒ සඳහා මුදල් ලබා දීමට අමතර ව තාක්ෂණික සහාය ද ලබා දෙනවා. කෙසේ නමුත් මෙම සහාය සහ මුදල් ලැබෙන්නේ කොන්දේසි රාශියකට යටත්ව යි. වියදම් අවම කිරීම, දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය කිරීම, වෙළෙඳ සීමා ලිහිල් කිරීම වැනි දේ කරන්නට බංකොලොත් වූ හෝ වීමට යන පාර්ශවයට සිදුවෙනවා.

 අයි. එම් . එෆ් ආයතයනය රටක මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගන්නට සහාය දෙනවා- newsradio.lk

 

බංකොලොත් වීම සිදුවන්නේ කෙසේද?

ලිපියේ පෙර සඳහන් කළ පරිදි, යම් රටක රජයකට තමන් රටක් ලෙස ලබාගත් විදේශ ණය වාරික ගෙවීමට නොහැකි ලෙස විදෙස් මුදල් සංචිත අවම වූ විට බංකොලොත් භාවය ඇති වෙනවා. මේ සඳහා කාරණා ගණනාවක් හේතු විය හැකි යි. කෙටි කලක් තුළ රටක ආණ්ඩු කිහිප විටක් වෙනස් වීම නිසා එම රටෙහි විදෙස් ප්‍රතිපත්ති වෙනස් වීම මින් එක හේතුවක් වෙනවා. විශේෂයෙන් එලෙස පසුව පත් වන ආණ්ඩු යම් විදෙස් ණයක්, කලින් රජය ගත් අනවශ්‍ය ණයක් ලෙස හුවා දක්වා, එය ගෙවනු වෙනුවට චෝදනා කරමින් අත් පිසදාගත් විට රටක් බංකොලොත් වීම සිදුවෙනවා. යම්කිහි ස්වභාවික හෝ ප්‍රතිපත්තිමය හේතුවක් නිසා එක් වරම රටකට විදෙස් මුදල් ලැබෙන මාර්හ ක්ෂීණ වීමත් මීට හේතුවක්.

ශ්‍රී ලංකාව විෂයයෙහි, 2019 වසරේ පාස්කු ප්‍රහාරය සහ ඉන් පසුව ඇති වූ කොරෝනා වසංගතය නිසා, එරට ප්‍රධානත ම විදෙස් මුදල් ලැබීමේ මාර්ගයක් වන සංචාරක කර්මාන්තයට මරු පහරක් වැදුණා. ඉන් පසු එමගින් ඇති වන විදෙස් මුදල් හිඟය මඟහරවා ගන්නට රජය තමන් සතු විදෙස් මුදල් සංචිත දියකර හැරීම නිසා මෙලෙස ගත් විදෙස් ණය වාරික නිසි ලෙස ගෙවාගැනීමේ නොහැකියාව ඇති වුණා. ජැමෙයිකාවට 2010 වසරේදී අමාරිකා ඩොලර් බිලියන 7.9 ක ණයක් ගෙවීමට නොහැකිව බංකොලොත් වූ අතර, එයටත් හේතු වී තිබුණේ එරට සංචාරක කර්මාන්තය කඩා වැටීම සහ, එය අනුව ආණ්ඩුව  තම මුදල් වියදම් කිරීම අඩු කරගෙන, අර්බුදයට සූදානම් නොවීම නිසා සංචිත හිඳී යාම යි.

බංකොලොත් වීමෙන් පසු

යම් ව්‍යාපාරිකයෙක් හෝ ආයතනයක් බංකොලොත් වූ විට ඊට අදාළ ව මුදල් වෙනුවට දේපළ අත්පත් කර ගැනීමේ ශක්‍යතාවක් එම ආයතනය හෝ පුද්ගලයාට ණය දුන් අයට පවතිනවා. ඒ එම ණය දීමේ දී ඇති කරගන්නා ගිවිසුම අනුව යි. කෙසේ නමුත් රටක් බංකොලොත් විට එලෙස දේපළ අත්පත් කරගැනීමේ හැකියාවක් නැහැ. කෙසේ නමුත් එය රටෙන් පිට පවතින, එම රටට අදාළ සම්පත් කෙරෙහි බලපවත්වන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2012 වසරේදී ආජන්ටිනාව බංකොලොත් වූ විට ඝානාවේ තිබූ ඔවුන්ගේ නාවුක හමුදා නෞකාවක් අත්පත් කරගැනුණා.

කෙසේ නමුත් රටක් බංකොලොත් වූ විට සාමාන්‍යයෙන් සිදුවන්නේ අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කොට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යි. මෙහිදී ණය වාරිකය අඩු කිරීම හෝ, යම් කාලයකට ණය ගෙවීම අත්හිටුවන අතර, මේ කාලය තුළ තමන් බංකොලොත් භාවයෙන් මිදෙන බවට සාධනීය ලකුණු බංකොලොත් වූ රට පෙන්විය යුතු වෙනවා. මෙලෙස ණය් පැහැර හැරීම නැවත නැවත සිදුවුවහොත් එම රට අසාදු ලේඛන ගතවීම හෙවත් ‘බ්ලැක්ලිස්ට්’ වීම සිදුවිය හැකි යි. මේ ආකාරයෙන් යම් රටක් අසාදු ලේඛන ගතවුවහොත්, එය ගැටලු රැසකට මගපාදනවා. විශේෂයෙන් රටක් බංකොලොත් වීමට වැඩිමනත් ම වගකිවයුතු වන්නේ පාලනය කරන ආණ්ඩු බැවින් එවිට බල පෙරළියකින් තොරව ජාත්‍යන්තර සහාය ලබාගැනීම ද අපහසු වෙනවා.

 ඉන්ධන හිඟයෙන් බැටකන ශ්‍රී ලාංකීය ජනතාව ඉන්ධන ලබා ගැනීමට පෝලිම් ගැසී- gazettengr.com

 

බංකොලොත් වීම නිසා සිදුවන අපහසුතා

රටක් බංකොලොත් වන්නේ නම් එහි සම්පත් දායකයන්ට යම් අවාසියක් සිදුවෙනවා. ඒ නියමිත වේලාවට ණය වාරික නොලැබීම නිසා යි. මේ නිසා රට කෙරෙහි ඇති විශ්වාසය විදේශ රටවලට හා සමාගම්වලට යම් පමණකට අහිමි වන අතර, සමහරෙක් රට හැර යන්නට පටන්ගන්නවා. මේ නිසා රැකියා අහිමිවීම, භාණ්ඩ හිඟය හා උද්ධමනය වැඩිවෙනවා.

උද්ධමනය වැඩි වීම නිසා රටවැසියා අතර අභ්‍යන්තර ණය ගැනීම් සහ බැංකු පද්ධතියෙන් මුදල් ආපසු ගැනීම වැඩි වෙනවා.  මේ නිසා බැංකු පද්ධතියේ තුලිතතාවයට යම් බලපෑමක් වෙනවා. එය මඟහරවා ගන්නට බැංකු වල පොලී අනුපාතය වැඩි කිරීම සිදුවෙනවා. එහිදී තැන්පත් කිරීම ප්‍රවර්ධනය කෙරෙන අතර, ණය ගැනීම් වැනි දේ අඩු වීම බලාපොරොත්තු වෙනවා. මේත් සමඟ දිනයක් තුළ පුද්ගලයකුට බැංකු පද්ධතියෙන් මුදල්  ලබා ගත හැකි සීමාව අඩු කෙරෙනවා. මේ සියල්ලෙන් ම වුවද බැංකු පද්ධතියේ තුලිතතාව රඳවා ගැනීම අපහසු විය හැකි අතර, එසේ වුවහොත් බැංකු පද්ධතිය කඩාවැටීම විය හැකි යි.

මේ කාරණා විදේශීය ආයෝජනවලටද ඍජු ලෙස බලපෑ හැකි අතර, මේ නිසා විදෙස් මුදල් රටට අද්දවාගැනීම තවත් අසීරු විය හැකි යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම සහ සාමාන්‍ය ජනතාවට පරිභෝජනය කළ නොහැකි මිල ගණනකට අලෙවි වීම වැනි දේ සිදු විය හැකි යි. දේශීය විනිමය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව ස්ථාවර ව තබා ගැනීම ද මුදල් සංචිත අඩු වූ විට අසීරු වෙනවා. එවිට එක් වර ම අදාළ රටෙහි මුදල් අවප්‍රමාණය විය හැකි යි. අවසන් ප්‍රතිඵලය මිනිසුන් දරිද්‍රතාවට පත් වීමයි.

බංකොලොත් වීමෙන් මිදීම

බොහෝ දෙනෙක් සිතන පරිදි රටක් බංකොලොත් වීම එම රටෙහි අවසානය නොවේ. කෙසේ නමුත් රටක් බංකොලොත් වූ විට එය නැවත සැකසීම සඳහා නිවැරදි සැලසුමක් සහිත දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. මුලින් ම ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමෙන් පසු, ආණ්ඩුව එලෙස බංකොලොත් වූ රටෙහි අනවශ්‍ය වියදම් සියල්ල කපා හැරිය යුතු යි. මෙයට ආනයන සීමා, රජයේ රැකියා කප්පාදුව, පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම වැනි දේ අයත් වෙනවා. සමහරක් සම්පත් දීර්ඝ කාලීන ව බදු දීම, අපනයනය වැඩි කිරීම සහ මූල්‍ය අධාර ලබාගැනීම මඟින් හැකි ඉක්මනින් යම් ස්ථාවර විදේශීය මුදල් සංචිතයක් ඔවුන් ඇති කර ගත යුතු වෙනවා. 

ක්‍රමවේද අනිවාර්යය වෙනසකට බඳුන් කළ යුතු වෙනවා – unsplash.com

දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම හා විදේශයට ඒවා යවන්නට දිරි ගැන්වීමද කළ යුතු ය. මෙය සඳහා යම් කාලයක් ගත වන අතර, එහි සුබ ලකුණු ලෙස දේශීය මුදල් ඒකක අවප්‍රමාණය වීම අඩු වීම වැනි දේ ගත හැකි යි.  දේශපාලනික අස්ථාවර භාවය ද හැකි තාක් අව ම කරගත යුතුයි. අත්‍යවශ්‍ය මූල්‍ය ආධාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ගෙන මුලින් ම රටෙහි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාව අවම කළ යුතු යි. මෙම මුදල් යෙදවීම ඉතාමත් විනිවිද භාවයකින් සිදුකළ යුතු අතර, ඊට ජනතාවගේ සහයෝගය ද ලබාගැනීමට සමර්ථ වීමට තරම් ආණ්ඩුව විචක්ෂණශීලී විය යුතු යි. එසේත් නැතිනම් ජනතාවෙන් බහුතරයක් විශ්වාස කරන කණ්ඩායමකට රටෙහි බලය යා යුතු යි.

ක්‍රමවේද අනිවාර්යය වෙනසකට

විශේෂයෙන් බංකොලොත් වීම සිදු ව ඇත්තේ යල් පැනගිය ක්‍රමවේදයන්ට අනුව රට පාලනය කිරීම නිසානම්, එම ක්‍රමවේද අනිවාර්යය වෙනසකට බඳුන් කළ යුතු වෙනවා. මේ සඳහා තරුණ පරම්පරාවේ සහය වැඩි වශයෙන් ලබාගත යුතු වෙනවා. මෙවිට කෙමෙන් කෙමෙක් උක්ත රට කෙරෙහි විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වෙන අතර, කාලයත් සමග රට යතා තත්වයට පත්වනු ඇති. විශේෂයෙන් සංචාරක කර්මාන්තය වැනි කර්මාන්තයක් සිය ප්‍රධානතම විදේශ විනිමය උපයන මාර්ගයක් වන ශ්‍රී ලංකාව වැනි රටක් විසින් මෙම පියවර ඉක්මණින්ම ගැනීම කළ යුතු ය. එවිට කෙමෙන් කෙමෙන් එම කර්මාන්තය ඔස්සේ විදේශ විනිමය රට තුලට ගලන්නට පටන්ගන්නා අතර කාලයාගේ ඇවෑමෙන් දුෂ්කරතා මගහරී යනු ඇති. එමෙන්ම හැකි ඉක්මණින් ප්‍රතිව්‍යුහගත කරන ලද ණය වාරික ගෙවීමත් ආරම්භ කළ යුතුය. එවිට නිල වශයෙන් රටක් බංකොලොත් භාවයන් මිදේ.

රටක් බංකොලොත් වූ විට එය නැවත ගොඩ ගැනීමේ දී ආණ්ඩුවටත්, ජනතාවටත් අපහසුතා රාශියකට මුහුණ දෙන්නට සිදුවේ. බංකොලොත් වීමක් කෙසේ හෝ වලකා ගත යුත්තේ එබැවිනි. කෙසේ නමුත් වර්තමානය වන විට ශ්‍රී ලංකාව බංකොලොත් වී අවසන් ය. දැන් පැමිණ ඇත්තේ එකා වන්ව රට ගොඩනඟන සමය යි.

 කවරයේ පින්තූරය - ethical-leader.blog 

මූලාශ්‍ර:

Indiatimes.com

Cbsl.gov.lk

Thediplomat.com

Related Articles