අපි සියළු දෙනා ගොඩ බිමට බලපාන නීති පද්ධතිය නිවැරදිව දැනගත්තත් මුහුදට බලපාන්නේ  මොන වගේ නීති රෙගුලාසිද කියල හරි හැටි අවබෝධයක් නෑ, එහෙම නේද? සාගරයේ තැනින් තැනට මොන වගේ නීතියක්ද බලපාන්නේ. ඒ නීතිය පිළිබඳව ඔබට තියෙන්නේ කුතුහලයක් නේද? ඒ කුතුහලය සංසිදුවීමට තමයි මේ ලිපිය අපි ලියන්න හිතුවේ. සාගර නීති සමහර අවස්ථාවලදී යොදා ගන්න ආකාරය හිතන්නවත් බෑ. තවත් සමහර වේලාවට සාමාන්‍ය නීතියට වඩා හරි අමුතුයි වගේ. පුදුමත් හිතෙනවා.

පළමුවෙන්ම කිව යුතුයි ලෝකේ හැම රටකටම තමන්ටම වෙන්වූ මුහුදක් තිබෙන බව. එවිට ඔබ අසාවි, “සම්පුර්ණයෙන් වෙනත් රටවලින් වටවුණු රටවලට කොහෙන්ද මුහුදක්?” පුදුමයි නේද? එවැනි රටවලටත් ලෝකේ සාගරයෙන් යම් කොටසක් වෙන් කරලා තියනවා. ඒ ඔවුන්ගේ නාවුක යුධ අභ්‍යාස හා මෙහයුම් වලට.

ඒ වගේම සබ්මැරීන පයිප්ප හා කේබල් මාර්ග වලටත් ඔවුන්ට මුහුදක් අවශ්‍ය වෙනවා. රටක මුහුදු සිමාව ඈතට යාමත් සමග ඒ රටෙහි පවතින නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වෙනවා. මේ ආකාරයට රට රටවලට මුහුදු සිමාවන් බෙදා වෙන් කර දී නීති හා රෙගුලාසි පැනවීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්. නමින් මෙය හඳුන්වන්නේ United Nations Convention on the Law of the Sea (UNCLOS) කියලයි. එය නිර්මාණය කලේ 1982 වර්ෂයේ වුවත් නීතිමය වශයෙන් එක්සත් ජාතීන්ගේ සියළු රටවල් පිළිගත්තේ 1994දීයි. හිතන්න එහෙම නොවූනානම් රටවල් අතර මුහුද බෙදාගන්න කොයි වගේ සටන් ඇවිලෙයිද කියලා? (බෙදල හින්ද දැන්නම් කිසිම ප්‍රශ්නයක් නෑ)

එක්සත් ජාතීන්ගේ සාගර නීති. (www.fnbworld.com)

රටකට අයිති මුහුද කොටස් තුනකට බෙදන්න පුළුවන්. සාගර නීතිත් ඒ ඒ සාගර ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රටකට අයිති සාගර ප්‍රදේශ හා ඒ ඒ ප්‍රදේශ වලට මේ නීති රීති බලපාන ආකාරය මෙන්ම කිසිම රටකට අයිති නොවන මුහුදු කලාපයක පවතින නීතිය පිළිබඳවත් කෙටි පැහැදිළි කිරීමක් කරන්න.

දේශභූමි සමුද්‍ර තිරය (Territorial sea) – රටේ නීතියට ඉහලින් මොකුත්ම බෑ

කලාප වෙන් වන්නේ මේ ලෙසයි. ( www.linkedin.com)

ගොඩ බිම සිට නාවික සැතපුම් දොළහක් යනතුරු ඕනෑම රටක මුහුද මේ නමින් හදුන්වනවා. රටේ තියන නීතිය මේ කලාපයට අදාල වෙනවා වගේම වෙනත් රටවල නැව් වලට ඇතුල් වීමට, මේ තිරය හරහා යාමට හා මෙයින් පිටවීමට අවසර ගන්න අවශ්‍ය නොවුනත් අවසර නොමැතිව බඩු හා මගීන් පටවා ගැනීම හෝ ගොඩබෑම සපුරා තහනම්. අඩුම තරමේ නැවත්වීමක්වත් අවසරයකින් තොරව කරන්න බෑ.

රටේ ආගමන හා විගමන නීති, රේගු නීති වගේ හැමදෙයක්ම මේ මුහුදු සීමාවේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් මෙහිදී රටේ අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි අදාළ රටේ සාමය කඩවෙන ක්‍රියාවක් කරලා පැනල යන්න හදන නැවක්නම්, නැතිනම් අපරාධකරුවන් නැවේ ඉන්නවනම් හෝ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙලා ඉන්නවනම් අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

යාබද කලාපීය මුහුදු තිරය (Contiguous Zone) – රටේ නීතියෙහි බලය ටිකක් අඩු වෙලා

ඊලගට තියෙන්නේ ගොඩබිම් සීමාවේ සිට නාවික සැතපුම් විසිහතරක් දක්වා ඒ කියන්නේ දේශභූමි සමුද්‍ර තීරය අවසන් වී නාවීක සැතපුම් දොළහක් යනතුරු පවතින කලාපයයි. රටේ බලය මේ සීමාවේදී යම් සීමාවීමකට ලක් වෙනවා. රටේ ආගමන හා විගමන නීති, රේගු නීති වගේ නීතින් වල බලය, දේශභූමි සමුද්‍ර තීරයහි බලයට වඩා අඩුවීමක් දකින්නට ලැබෙනවා. නමුත් සම්පුරණයෙන් නීති වල බලය අඩු වීමක් වෙන්නේ නෑ.

අනන්‍ය ආර්ථික කලාපය (Exclusive Economic Zone) – හොරෙන් මාළු ඇල්ලීම සපුරා තහනම්

ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා ආර්ථික කලාපයට ඇතුල් වී අත් අඩංගුවට පත් වෙයි. (www.pinterest.com)

රටට අයිති අවසාන සාගර කලාපය මේ නමින් හදුන්වනවා. රටේ ගොඩබිම් සිමාවේ සිට නාවික සැතපුම් 200ක් දුර යනතුරු මෙම සාගර තීරය පිහිටලා තියනවා. රටේ නීතියේ බලය තවදුරටත් අඩුවීමක් නිරූපනය කරනවා වගේම මේ කලාපයේ තිබෙන සෑම සම්පතකම අයිතිකාරත්වය හිමි වන්නේ අදාළ රටටයි. වෙනත් රටවලින් හොර රහසේ ධීවර කටයුතු වලට ඇවිත් ධිවරයින් අත්අඩංගුවට පත්වන්නේත් මෙන්න මේ කලාපයේදියි. මේ මුහුදු කලාපයේ රටට අවශ්‍යනම් කෘතීම දුපත් පවා ගොඩ නගන්න පුළුවන්. ඒ දූපත් වල මව් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ගොඩබිමෙන් වටවුණු රටවල් සදහා අයිති මුහුදු තීරයත් නම් කරනු ලබන්නේ අනන්‍ය ආර්ථික කලාපයක් ලෙසටයි.

රටකට අයිති මුහුදු කලාප තුනට අමතරව කිසිදු රටකට අයිති නැති කලාපයකුත් සාගරයේ පවතිනවා.

ගැඹුරු මුහුද /මහ මුහුද (High seas) – කාටවත්ම අයිති නැති, නීතිත් නැති  මුහුදක්

ගැඹුරු මුහුද (oneofus.net)

මේ කලාපය කිසිම රටකට අයිතිකාරත්වයක් නොමැති කලාපයක්. නීති විරෝධී නැවක් පසුපස හඹා යන්නනම් පුළුවන්. හැබැයි පහර දෙන්නනම් මේ සීමාවේදී බෑ. නවතින්න යනුවෙන් සංඥානිකුත් කරන්න පුළුවන්. එහෙම නීති විරෝධී නැවක් පසුපස හඹායන්න පුළුවන් වෙන්නෙත් යුධ නැවකට හරි හමුදාමය ක්‍රියාකාරම් සහිත නැවකට විතරයි. මෙහෙම නීතියක් සම්මත කරලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්.

නමුත් මේ නීතිය අදාල නොවන අවස්ථා කීපයකුත් තියනවා. ඒ කියන්නේ පහත දක්වලා තියන වැරදි වගේ වැරදි දේවල් මේ මුහුදු කලාපයේදී කරනවානම් එම නැව් අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් මේ කලාපයේ නීතියක් ක්‍රියාත්මක නොවන හින්ද දඩුවම් දීම සිදු වෙන්නේ නැව ලියාපදිංචි කල රටේ නීති හා රෙගුලාසි වලට අනුවයි. මොනවද මේ වැරදි කියල බලමු.

1) මුහුදු මංකොල්ලයේ යෙදෙන නැව්

2) වහල් වෙළදාමේ යෙදෙන නැව්

3) මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත වන නැව්

4) කිසිදු රටක ලියාපදිංචි නොවූ හෝ ලියාපදිංචි වූ රට සැඟවීමට උත්සහ කරන නැව්

නැව ලියාපදිංචි කල රටත්  ඒ ඒ ලියාපදිංචි වූ නැව් පිළිබඳව සැලකිල්ලෙන් ඉන්න වෙනවා. මොකද කියනවනම් ඒ නැව් මහා මුහුදේ මොන මොන දේවල් කරනවද දන්නේ නෑනේ. (හොර ජාවාරම් වගේ දේවල්) අන්න ඒ නිසා මුහුදේ නැව ආරක්ෂිතව ගමන් කරන බව තහවුරු කරගත යුතුයි. ඒ වගේම අන්තර්ජාතික නාවික නීති හා රෙගුලාසි අනුගමනය කරනවද යන්නත් සොයා බැලිය යුතු අතරම රටේ නීති වලට යටත්ව ගමනාගමනයේ යෙදෙනවද යන්නත් අනිවාර්යෙන්ම සොයා බැලිය යුතු කරුණක් වෙනවා.

ඉදිරි ලිපි තුලින් නාවික මගී හා භාණ්ඩ ප්‍රවාහනයේදී නාවික කාර්ය මණ්ඩලය පිළිපැදිය යුතු වෙනස් ආකාරයේ නීති හා රෙගුලාසි ගැන ඔබව දැනුවත් කරන්නත් අපි අදහස් කරනවා. මේ ගැන ඔබට සිතෙන දේ අපිට comment එකකින් කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: aboland.com