Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොලිසියට අවම බලය යෙදිය හැක්කේ කෙලෙස ද?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය අප්‍රේල් 18 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ ඉන්ධන මිල ගණන් නැවත ඉහළ දැමුවා. ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට එරෙහි ව මහජන විරෝධතා ඊට පසු දින උදෑසන සිට රට පුරා පැවැත්වුණා. ඒ අතුරින් රඹුක්කන නගරය ආශ්‍රිත ව පැවති විරෝධතාව පිළිබඳ කාගේත් අවධානය යොමු වුණා. එහි දී  විරෝධතාකරුවන් දුම්රිය මාර්ගය පවා අවහිර කරමින් උදෑසන සිට සවස් යාමය වන තෙක් විරෝධතාවේ නිරත වුණා. 

රඹුක්කන විරෝධතාව පැවති ආකාරය – gettyimages.com

 

එදින සවස් යාමයේ ආරක්ෂක අංශ පැමිණ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් ඇති වුණා. එහි දී පොලිස් නිලධාරින් තැබූ වෙඩි පහරකින් එක් විරෝධතාකරුවකු මියගොස් තවත් සිවිල් වැසියන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා. එම අවස්ථාවේ විරෝධතාව නතර කිරීමට පොලිසිය අවස්ථාවට උචිත අවම බලය භාවිත කළ බව පොලිස්පතිවරයා සඳහන් කළා. ඒ සමඟ ම පොලිසියට යෙදිය හැකි අවම බලය පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්නට පටන් ගත්තා.  

අවම බලය පිළිබඳ නිර්වචනය 

අවම බලය යනු කුමක්ද? යන කාරණය පිළිබඳ නිශ්චිත අර්ථ නිරූපණයක් ශ්‍රී ලංකාවේ කිසිදු ව්‍යවස්ථාපිත නීති ප්‍රතිපාදනයක් තුළ දක්වා නැහැ. මෙය නිර්වචනය කළ යුත්තේ අවම බලය (use of Minimum force) ලෙස නොව අවශ්‍ය බලය (use of Necessary force) යනුවෙන් බව වර්තමානයේ දී අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා කාරණයක්. කැරලි මර්දන කටයුත්තක දී හෝ යම් කිසි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ දී අදාළ අරමුණ සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරන බලය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ මේ යටතේ විස්තර කරනවා. 

අවම බලය යොදන අවස්ථාවල ගිනි අවි භාවිතය 

අවම බලය යොදන අවස්ථාවක ගිනි අවි භාවිත කළ යුතු ද? නැති ද? යන්න තීරණය වන්නේ එම ස්ථානයේ පවතින තත්ත්වය මත යි. යම් සැකකරුවකු හෝ පිරිසක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවක අදාළ තැනැත්තා යොදන ප්‍රතිරෝධයට සමානුපාතික බලයක් යොදා එම තැනැත්තා මර්දනය කිරීමේ බලය පොලිසිය සතුව පවතිනවා. එම බලය භාවිත කිරීමට ඇති හැකියාව අත්අඩංගුවට ගැනෙන පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් භුක්ති විදීමට ඇති අයිතියේ සීමාවට යටත් වනවා. 

ශ්‍රී ලංකාවේ ගිනි අවි භාවිතය පිළිබඳ රෙගුලාසි දැක්වෙන ව්‍යවස්ථාපිත නීතිය වන්නේ 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතයි.

තුවක්කු ආඥා පනතට හඳුන්වාදුන් 1995 අංක 18 දරන සංශෝධනයට අනුව අඟල් 0.043 ගණකමකින් යුතු අඟල් එකහමාර බැගින් දුරකින් පිහිටවන සහ පළමු පුවරුව තුවක්කු කටේ සිට අඩි 50 ක දුරකින් වෙඩි තැබීමට රේඛීය ව  පෙළට පිහිටුවා ඇති පලාල පුවරු අටකට වඩා සිදුරු කිරීමට සමත් බලයක් සහිත ව මූනිස්සමක් හෝ උණ්ඩයක් පිටවන බැරල් අවියක් ‘තුවක්කුවක්’ ලෙස හඳුන්වනවා. –  online-educator.blogspot.com 

පොලිසිය විරෝධතාකරුවකු අත්අඩංගුවට ගත් අවස්ථාවක් – gettyimages.com

 

එය වඩාත් හොඳින් පැහැදිලි කිරීම සඳහා ඇති හොඳ ම උදාහරණය වන්නේ වන්නකු තිසාහාමි නඩුව යි. එම සිද්ධියේ දී පොලිසිය සැකකරුවා ලුහු බැඳ යද්දී ඔහු පොලිසියට වෙඩි තබන්නට පටන් ගත්තා. එවැනි අවස්ථාවක අවම බලය යෙදීම යනු සැකකරුවාට ගිනි අවිය භාවිත කිරීමට ඇති ඉඩකඩ ඇහිරීම සඳහා යොදන බලය යි.

පොලිසියට එහි දී  කිසි විටෙක සැකකරුවා ඝාතනය කිරීමට අයිතියක් නැහැ. අහසට වෙඩි තැබීම හෝ පාදයෙන් පහළට වෙඩි තැබීම මඟින් සැකකරු මෙල්ල කිරීම එවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියා පටිපාටිය යි. 

1988/89 කාලයේ විජය සිරිවර්ධන එදිරි ව කුමාර නම් නඩුව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විභාගයට ගැනුණා. පොලිසිය අවම බලය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව එම නඩු තීන්දුවේ පැහැදිලිවම දක්වා තිබෙනවා. එනිසා එම තීන්දුව පිළිබඳව අධ්‍යයනය කිරීම හරහා පොලිසිය සතු අවම බලය ගැන වැඩි දුර තොරතුරු දැනගන්නට පුළුවන්.

විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරිහු – gettyimages.com

 

එදා වන්නකු තිසාහාමි නඩුවේ දී අධිකරණය ප්‍රකාශ කළේ යම් සැකකරුවෙක් පොලිසියට වෙඩි තබා පලා යන අවස්ථාවක දී පවා සැකකරු ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගත යුතු බව යි. එවැනි අවස්ථාවක සැකකරුගේ ජීවිතයට හානි කිරීමේ බලයක් පොලිසියට නොමැති බවත් එහි දී සඳහන් වුණා. ඒ අනුව පොලිසිය අවම බලය යොදන අවස්ථාවල දී අවශ්‍ය වුණු විටෙක ගිනි අවි භාවිත කිරීමට අවසරයක් තිබුණත් කිසිදු සැකකරුවෙක් ඝාතනය කිරීමට ඔවුන්ට කිසිදු බලයක් නැහැ. 

ගිනි අවි භාවිත කිරීමේ දී පිළිපැදිය යුතු නීති රෙගුලාසි 

සිවිල් සමාජය තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ අරමුණ ඇති ව 1865 අංක 16 පොලිස් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා පොලිස් සේවය ස්ථාපිත කළා. යම් පොලිස් නිලධාරියකු නීතිය සහ සාමය ආරක්ෂා කරන අවස්ථාවක දී කැරළි මර්දනයට, තමාගේ හෝ අන් අයගේ ආත්මාරක්ෂාව සඳහා සිය ගිනි අවිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ පොලිස් ආඥා පනතේ 55 වන වගන්තියේ දක්වා තිබෙනවා. 1986 දී පොලිස් නිලධාරීන් වෙත නිකුත් කළ පොලිස් අත්පොතෙහි ඒ පිළිබඳව සඳහන් වන්නේ පහත දැක්වෙන ආකාරයට යි. 

අවම බලය යොදන ඇතැම් අවස්ථාවන්වල දී පොලිස් නිලධාරින්ට සිය  ගිනි අවි භාවිත කිරීමට සිදු වෙනවා. එවිට ඔවුන්  සමානුපාතිකත්වයේ මූලධර්මයට අනුව ඒවා භාවිත කළ යුතුයි.  එනම් බලය අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කළ යුතු යි. එහි දී ගිනි අවි  භාවිත කළ යුතු වන්නේ විශේෂිත අවස්ථාවල දී වන අතර, ඒවා පාවිච්චි කළ යුතු වන්නේ ආත්මාරක්ෂාවට හෝ බරපතල තුවාල හෝ මරණීය තුවාල සිදුවීමට ඉඩ ඇති අවස්ථාවන්වල දී හෝ ඊට අත්‍යාසන්න අවස්ථාවන්වලදී ය. මේ පිළිබඳ ව පොලිස් අත්පොතෙහි 4(10) වන වගන්තියේ වෙඩි තැබීමේ නියෝග යටතේ දක්වා තිබෙනවා. පහතින් සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව යි. 

යම් පුද්ගලයකු හෝ කැරලිකාර සමූහයක් 

1) මිනීමැරීම හෝ බරපතල තුවාල සිදු කිරීම 

2) මංකොල්ලකෑම 

3) දේපල සඳහා අනර්ථය සිදු කිරීම 

4) රාත්‍රී කාලයේ දී නිවාසවලට, කඩසාප්පුවලට, ගබඩාවලට හෝ පූජනීය ස්ථානවලට හොර රහසේ ඇතුළු වීම. 

5) රාත්‍රී කාලයේ හෝ දිවා කාලයේ  නිවාස, කඩසාප්පු, ගබඩා, පූජනීය ස්ථාන වැනි ස්ථානවලට කඩා වැදී එහි පදිංචි ව සිටි කෙනකුට බරපතල තුවාල වීමට හෝ මරණය සිදුවීමට හේතු වන පරිදි ප්‍රහාර සිදු කිරීම.

ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරියෙක් සැකකරුවකු අත්අඩංගුවට ගත් අවස්ථාවක් – gettyimages.com

 

ඉහත සඳහන් කළ අවස්ථාවල දී යම් පොලිස් නිලධාරියකුට අණක් ලබා ගැනීමට නිසි අණ දෙන නිලධාරියකු නොමැති නම්, කෝලාහලය මැඬලීමට වෙන ක්‍රමයක් නොමැති නම්, කරදරයට පත් වුණු පුද්ගලයන් බේරා ගැනීමට සහ දේපළ ආරක්ෂා කිරීම උදෙසා පුද්ගල සමූහයට හෝ තනි පුද්ගලයකුට වෙඩි තැබීමේ බලය පොලිසියට ලැබී තිබෙනවා. එම වෙඩි තැබීම සිදු කළ යුත්තේ කිසිදු පුද්ගලයකුගේ ජීවිතයට හානියක් නොවන ආකාරයට යි. මේ පිළිබඳ පොලිස් අත්පොතෙහි 4 (10) වන වගන්තියේ දක්වා ඇත්තේ පහත ආකාරයට යි.

ඔබට අණක් ලබාගන්නට නිසි අණදෙන නිලධාරියකු නොමැති නම්, රන්ඩුව මැඬලීමට වෙන ක්‍රමයක් නොමැත්තේ නම්, අන්තරාවට භාජනය වූ පුද්ගලයන් හා දේපල ආරක්ෂා කිරීම උදෙසා තනි පුද්ගලයකුට හෝ රංචුවට වෙඩිතැබීමට ඔබට බලය තිබේ.
වෙඩි තැබීමට ප්‍රථමයෙන්, එසේ වෙඩිතැබීම වහාම කටයුතු දැයි කල්පනා කර බලනු. නොඑසේ නම් වෙඩි තැබීමේ ආයුධ සන්නද්ධ භට කණ්ඩායම එම ස්ථානයේ සිටීමෙන් පමණක් රංචුව විසිරයාමට හේතු නොවේදැයි කල්පනා කර බලනු.
තුවක්කුව පාවිච්චි කිරීමට පොලීසියට වුවමනා වූ සෑම අවස්ථාවන්හිදීම තුවක්කු පාවිච්චි කිරීමෙන් පසු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියා විසින් හරියාකාරව තුවක්කුව පත්තු කරන ලද වාර ගණන අත්පොතේ,ආරංචි සටහන් පොතේ හෝ ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ වාර්තාවේ සටහන් කළ යුතුයි. “

–  online-educator.blogspot.com 

 ගිනි අවි භාවිත කිරීමට පෙර පූර්ව නිරීක්ෂණය (precaution) කළ යුතු වන්නේ මොනවාද? යන්නත් එහි නිශ්චිතව දක්වා තිබෙනවා. ගිනි අවි යන නිර්වචනය යටතට, පැති අවි සහ කැරලි මර්දනයට භාවිත කරන රබර් උණ්ඩ ඇතුළත් තුවක්කු සහ කඳුළු ගෑස් විදින ද අන්තර්ගත කළ හැකි යි.

මෙම රෙගුලාසි පිළිපැදීමකින් තොරව නීතිවිරෝධි ලෙස ගිනි අවි භාවිත කිරීම සහ එමඟින් පුද්ගලයකුගේ ජීවිතයකට හානි කිරීම හෝ තුවාල සිදු කිරීම පිළිබඳ වගකීම පෞද්ගලිකව ම අදාල නිලධාරියා වෙත පැවරෙනවා.

 අවම බලය අවභාවිත වන අවස්ථා 

ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සමහර පොලිස් නිලධාරින් අවම බලය වැරදි ලෙස යොදා ගන්නා අවස්ථා පිළිබඳ ව පසුගිය කාලයේ දී අසන්නට ලැබුණා. එවැනි අවස්ථාවල අත්අඩංගුවට ගැනෙන සැකකරුවා යොදන ප්‍රතිරෝධයට සමාන ප්‍රතිරෝධයක් යෙදීමේ බලය පොලිස් නිලධාරින්ට ලැබී තිබුණත් ඇතැම් විට ඔවුන් එම බලය ඉක්මවා සැකකරුවාට පහර දීම, තුවාල සිදු කිරීම වැනි දේවල් සිදු කරනවා. 

පසුගිය කාලයේ දී බන්ධනාගාරගත ව සිටි අපරාධකරුවන් කිහිප දෙනකු සඟවා තිබුණු ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවල පොලිස් වෙඩි පහරින් මරණයට පත් වුණා. එවැනි අවස්ථාවක වුණත් අපරාධකරුවා ඝාතනය කිරීමට පොලිසියට  බලයක් නැහැ. එවැනි අවස්ථාවල පොලිසියට හිමි වන්නේ  අවි භාවිත කරමින් අපරාධකරුවා මෙල්ල කිරීමේ බලය පමණ යි. එසේ නොකර අපරාධකරුවා වෙඩි තබා ඝාතනය කළොත් එය උපරිම බලය යෙදීමක් යැයි අර්ථ දැක්විය හැකි යි. 

පොලිස් කණ්ඩායමක් සැකකරුවකු අත්අඩංගුවට ගත් අවස්ථාවක් – gettyimages.com

 

පොලිස් අණ නොතකා වාහන ධාවනය කිරීම අප රට තුළ සුලබ ව සිදුවන දෙයක්. එවැනි සිදුවීමක් වාර්තා වුණු විට එම වාහනයේ අංකය භාවිතයෙන් වැඩි දුර තොරතුරු සොයාගැනීම, ඉදිරියෙන් තිබෙන පොලිස් මුරපොළවල්වලට ඒ පිළිබඳ දැන්වීම, පොලිස් යතුරුපැදිවලින් හඹා ගොස් අල්ලා ගැනීම වැනි පියවරවලට යාමේ හැකියාව තිබෙනවා. සමහර අවස්ථාවල පොලිස් මාර්ග බාධකවල රාජකාරි කරන නිලධාරින්ට පහර දී පලායාමට උත්සාහ කරන අපරාධකරුවන් ද සිටිනවා. ඒ  කිසිම අවස්ථාවක දී සැකකරුවකු ඝාතනය කිරීමට බලයක් පොලිසියට නැහැ. එසේ වෙනවා නම් එය අවම බලය අවභාවිත කිරීමක් ලෙසින් දක්වන්නට පුළුවන්. 

සැකකරුවකුට දඬුවම් කිරීමේ අයිතිය අධිකරණය සතුයි

විරෝධතා, කෝලාහල ඇති වන අවස්ථාවල දී සැකකරුවන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 13 වන වගන්තිය යටතේත්, දණ්ඩ නීති සංග්‍රහයේ 4 වන පරිච්ඡේදයේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යන කොටස යටතේත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 4 වන පරිච්ඡේදයේ 23 වන වගන්තිය යටතේත් පැහැදිලි ව දක්වා තිබෙනවා. එම සීමාවලින් ඔබ්බට ගොස් සැකකරුවකු ඝාතනය කිරීමේ අයිතිය පොලිසියට නැහැ. ඕනෑම සැකකරුවකු වැරදිකරු ද? නිවැරදිකරු ද? යන්න තීරණය කරන්නට පොලිසියට බලයක් නැහැ. එය තීරණය කිරීමේ බලය සතුවන්නේ අධිකරණයට යි. එහි දී පොලිසිය කළ යුත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීම යි.  

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකා පොලිසිය විරෝධතාවක් මැඬපවත්වන්නට මැදිහත් වූ අවස්ථාවක් - gettyimages.com

මූලාශ්‍ර:

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

දණ්ඩ නීති සංග්‍රහය

අපරාධ නඩු විධාන සංග්‍රහය

පොලිස් අත්පොත

lankadeepa.lk 

online-educator.blogspot.com 

Related Articles