Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිසාන් සමාගමේ හිටපු ප්‍රධානියා ජපානයෙන් පැන ගිය හැටි

මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වන තෙක් ජපානයෙන් පිටවීම තහනම් කර තිබූ ලෝක ප්‍රකට නිසාන් මෝටර් රථ සමාගමේ හිටපු ප්‍රධානියා වන කාලෝස් ගෝන් (Carlos Ghosn) ජපානයෙන් පැන යනවා. ඒ මොහොත වනවිට ජපාන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවල ඉහළ ම අවධානයට ලක් ව සිටි ඔහු විදේශ ගමන් බලපත්‍රයක් හෝ නොමැතිව අධි තාක්ෂණයක් යොදා ගැනෙන ජපාන ගුවන්තොටුපළක් හෝ වරායක් ඔස්සේ රටෙන් පිටවීම ලෝකය ම පුදුමයට පත් කළ සිදුවීමක් වුණා. සැබවින් ම එය සිදුවූයේ කෙසේද?

carlos ghosn
නිසාන් මෝටර් රථ සමාගමේ හිටපු ප්‍රධානී කාලෝස් ගෝන් – Reuters.com

“කාලෝස් ගෝන්” නිසාන් සමාගමට

කාලෝස් ගෝන් යනු වසර 20ක පමණ කාලයක සිට මෝටර් රථ නිෂ්පාදන ලෝකයේ සිටින දැවැන්ත පුද්ගලයකු වනවා. 1954 දී බ්‍රසීලයේ උපත ලද ඔහු ලෙබනන් ජාතිකයෙක්. 1960 සිට ලෙබනනයේ වාසය කර පසු ව ප්‍රංශයේ දී ඔහු සිය උසස් අධ්‍යාපනය ලබා ගන්නවා. 1978 සිට මිෂලන් (Michelin) ටයර් නිෂ්පාදන සමාගමේ වසර 18ක් පමණ සේවය කර පසු ව 1996දී රෙනෝල්ට් (Renault) සමාගමට එකතු වනවා. එහි වසර තුනක සේවා කාලයකින් පසු ගෝන් නිසාන් සමාගම වෙත යනවා.

1999 වසර නිසාන් සමාගම ලෝක වෙළඳපොළේ පහතට ම වැටුණු අවධියක් ලෙසයි සැලකෙනෙනේ. ඔවුන්ගේ නිෂ්පාදන විකිණීම් පහළ යෑම මීට ප්‍රධාන හේතුවයි. නිසාන් සමාගම බංකොලොත් වීම වලක්වා ගැනීමට එහි කොටස්වලින් 36.8%ක් යුරෝ බිලියන 5කට රෙනෝල්ට් සමාගම වෙත විකිණීම සිදු කරනවා. ඒ වන විට රෙනෝල්ට්හි දෙවන තැන සිටි කාලෝස් ගෝන් නිසාන් සමාගම යළි නගාසිටුවීම සඳහා එහි ප්‍රධානියා ලෙස ජපානයට යැවෙන්නේ ඉන් අනතුරු ව යි. රෙනෝල්ට් සමාගම තුළත් වියදම් කප්පාදු කරන්නකු ලෙස කීර්තියට පත්ව සිටි ඔහු පසුව නිසාන් සමාගම ඉහළට ම එසවීමට කටයුතු කරනවා.

nissan profitability
2000න් පසු නිසාන් සමාගමේ ආදායම ශීඝ්‍රයෙන් වර්ධනය වීම සිදුවුයේ කාලෝස් ගෝන්ගේ දක්ෂතාවය මතයි – bbc.com

ආරම්භයේදී ම රැකියා 20,000ක් කප්පාදු කරන ඔහු ඉන්පසු ව ලාභ නොලබන මෝටර් රථ මාදිළි කිහිපයක ම නිෂ්පාදනය නවතා දමනවා. ඇතැම් කර්මාන්තශාලා පවා වසා දමනවා. වාහන කොටස් සපයන්නන් සමහරකු සමඟ සම්බන්ධතා ද සම්පුර්ණයෙන් නවතා දමනවා. ඉන්පසු නිසාන් සමාගම ක්‍රමයෙන් ලාභ ලබන තත්වයට පැමිණෙන අතර 2002 වසර ආරම්භ වන විට රෙනොල්ට් සමාගමේ ලාභය ද ඉක්මවා යාමට සමත්වනවා. නිසාන් සමාගමේ ඇති තම කොටස් ප්‍රමාණය 43.4%ක් දක්වා ඉහළ දැමීමට රෙනෝල්ට් සමාගම කටයුතු කරන්නේ ඉන් අනතුරුවයි. නිසාන් සමාගමටත් රෙනෝල්ට්හි 15%ක කොටස් හිමිකාරිත්වයක් ලැබෙන නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ඡන්ද භාවිතයට අවස්ථාව ඔවුන්ට ලැබෙන්නේ නැහැ.

2016 දී මිට්සුබිෂි සමාගමේ කොටස්වලින් 34%ක් මිල දී ගන්නා නිසාන් සමාගම එය බංකොලොත්භාවයට පත්වීමෙන් වලක්වා ගන්නවා. මේ අනුව රෙනෝල්ට්-නිසාන්-මිට්සුබිෂි එකතුව නාමික ව නව සමාගමක් බවට පත්වෙනවා. මෙම ආයතන ත්‍රිත්වයේ ම මුල් පුටු හොබවන කාලෝස් ගෝන්ට වැටුප් සහ දීමනා සමඟ කොටස් පංගුව ද ලැබීම නිසා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 15 ඉක්ම වූ ආදායමක් හිමිවනවා.

ghosn pay
කාලෝස් ගෝන්ගේ වාර්ෂික ආදායම් පෙන්වන සටහනක් – bbc.com

කාලෝස් ගෝන්ට මුල්‍ය අපරාධ සම්බන්ධ චෝදනා 

කාලෝස් ගෝන් ජපානයේ ටෝකියෝ නුවර දී 2018 නොවැම්බර් මාසයේදී හදිසියේ ම අත්අඩංගුවට ගැනෙනවා. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ ආදායම පිළිබඳ ව තොරතුරු වසන් කිරීමයි. 2010-2014 කාල සීමාව තුළ ඔහු ඉපයූ ආදායම් සම්බන්ධව වැරදි ප්‍රකාශ නිකුත් කිරීමක් සිදුව ඇති බවයි වාර්තා වූයේ.  ගෝන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා. ඔහු සඳහන් කළේ චෝදනා එල්ල කරන පිරිස් සඳහන් කරන මුදල් ප්‍රමාණය උපකල්පිත අගයක් පමණක් බවත්, එවැනි මුදල් ප්‍රමාණයක් තමන්ට හිමි නොවූ බවත්. නැවත 2018 දෙසැම්බර් මාසයේදී ද දෙවරක් අත්අඩංගුවට ගන්නා ගෝන්ට එරෙහිව 2019 ජනවාරියේ දී තවත් චෝදනා කීපයක් එල්ලවනවා.

ඉන් එකක් වන්නේ 2015-2017 වසර 3 සඳහාත් ඔහුගේ ආදායම් පිළිබඳ ප්‍රකාශනවල හිඟයක් පවතින බවයි. මීට අමතර ව නිසාන් සමාගමේ සම්පත් අනිසි ලෙස භාවිත කළ බවට සහ සමාගමට ලැබිය යුතු ආදායම් පෞද්ගලික පරිභෝජනයට යොදා ගත් බවටත් ඔහුට චෝදනා එල්ල වී තිබුණා. පැමිණිලිකාර පාර්ශවයට අනුව කාලෝස් ගෝන් නිසා අමෙරිකානු ඩොලර් මිලියන 16කට වැඩි පාඩුවක් නිසාන් සමාගමට සිදු වූ බවයි පැවසෙන්නේ.

ප්‍රංශ රජයේ මැදිහත් වීමෙන් සිදු කළ සැලැස්මක්

නිසාන් සමාගම තුළ ද කාලෝස් ගෝන් සම්බන්ධ ව වෙනත් ආකාරයක මතභේදයක් ඇති වුණා. එය නම් නිසාන් සහ රෙනෝල්ට් සමාගම් ඒකාබද්ධ කිරීමට ඔහු සතු ව තිබූ සැලැස්ම පිළිබඳ ව නිසාන් සමාගමේ ජපාන විධායක නිලධාරීන් දැක් වූ දැඩි අකමැත්තයි. ඔහුගේ සැලැස්මට අනුව නිසාන් සමාගමට හිමි අධිකාරිත්වය සම්පුර්ණයෙන් ම රෙනෝල්ට් යටතට නතු වන අතර අවසානයේ නිසාන් වෙළෙඳ නාමය ද ක්‍රමයෙන් ඉවත් වන බවයි පැවසෙන්නේ. මෙය ප්‍රංශ රජයේ මැදිහත් වීමෙන් සිදු කළ සැලැස්මක් බවට නිසාන් සමාගමේ විධායක නිලධාරීන් මත පළ කරනවා. මේ සියල්ල හේතුවෙන් 2018 වසරේදී ගෝන්ට වැටුප් ගෙවීමත් විධායක මණ්ඩලය තුළ සම්මත වී නැහැ. ඒ වෙනුවට ඉහත සඳහන් චෝදනා එල්ල කිරීමට ඔවුන් කරුණු එක් රැස් කර තිබෙනවා.

2018 නොවැම්බර් 19 වන දා සිට නත්තල් දින කිහිපය හැරුණු විට දින 108ක කාලයක් කාලෝස් ගෝන්ට සිරගත ව සිටීමට සිදු වනවා. 2019 ජනවාරි මාසයේ දී ඇප ඉල්ලීම් දෙකක් ප්‍රතික්ෂේප වීමෙන් පසු මාර්තු 06 වන දා ඇමෙරිකානු ඩොලර් මිලියන 9ක ඇපයක් සහ ඇප කොන්දේසි කීපයක් මත ඔහු පසු ව නිදහස් කෙරෙනවා. ජපාන නීතියට අනුව අයකු දින 23ක් දක්වා පොලීසියට රඳවා ගෙන ප්‍රශ්න කළ හැකියි. එසේ ම පෙර ඉදිරිපත් කළ චෝදනාවකට ඇප ලබා සිටින අයකු චෝදනාව ඉතා සුළු ලෙස වෙනස් කරමින් නැවත දින 20ක් රඳවා ගෙන ද ප්‍රශ්න කළ හැකිවනවා. ඒ අනුව අප්‍රේල් මස 04 වනදා ඔහු නැවතත් පෙර චෝදනවලටම  අත්අඩංගුවට ගැනෙනවා. එයින් නැවත ඇප ලබා නිදහස ලබන නමුත් මෙවර ඔහු යටත් විය යුතු ඇප කොන්දේසි තවත් දැඩි කර තිබුණා.

ghosn bailing out
මාර්තු 06 වනදා ඇප මත මුදා හැරීමෙන් පසු කාලෝස් ගෝන් ටෝකියෝහි රැඳවුම් භාරයෙන් ඉවත් ව ගිය අයුරු  theguardian.com

එම කොන්දේසිවලට අනුව ඔහුට ජපානයෙන් පිටවීම සම්පුර්ණයෙන් තහනම්. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද අවලංගු කිරීමට අධිකරණය පියවර ගත් අතර ඔහු පසුපසින් නිරතුරුව ම සිවිල් ඇඳුමින් සැරසුණු රාජ්‍ය බුද්ධි අංශ නියෝජිතයින් යෙදවීමටත් කටයුතු කෙරුණා. අන්තර්ජාල භාවිතය සඳහාත් ගෝන්ට අවසර ලැබුණේ ඔහුගේ නීතිඥයාගේ කාර්යාලයේ සිට බුද්ධි අංශ අධීක්ෂණය යටතේ පමණයි. ඒ අනුව ඔහු සිය පවුලෙන් පවා ඈත් කර තැබුණා. නඩු ක්‍රියාමාර්ග අවසන් වන තුරු ඉහත කොන්දේසි බලාත්මක වන බවයි සඳහන් වුණේ. ඒ වන විට ඔහු රෙනෝල්ට් සමාගමෙන් ඉල්ලා අස් වී සිටි අතර නිසාන් සහ මිට්සුබිෂි සමාගම්වල ඔහු දැරූ තනතුරුවලින් ද පහ කර තිබුණා.

අපරාධ චෝදනා සඳහා ජපාන අධිකරණයට නියමවන්නන් අතරින් 99%ක් වරදකරුන් වන බවයි පැවසෙන්නේ. මෙය මෙතරම් ඉහළ අගයක් වීමට හේතුව වන්නේ ජපාන අධිකරණයක චෝදනා පැනවීම පුළුල් ක්‍රියාවලියක් වීම හේතුවෙනි. චෝදනා පනවන්නන් අතරින් අඩක් වත් එම චෝදනා ඉවත් කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවනවා. කෙසේවෙතත් කාලෝස් ගෝන්ට එරෙහි චෝදනාවලට අනුව ඔහුට වසර 15කට නොඅඩු සිරදඩුවම් නියම වනු ඇතැයි ඔහු ද ඒ වන විට දැන සිටියා.

කාලෝස් ගෝන් ජපානයෙන් අතුරුදහන් වෙයි

2019 වසරේ අවසාන භාගයේ යම් දිනක දී ආසියානු ආරක්ෂක සමාගමක නිලධාරියකු තමන්ට ලැබුණු ඇමතුමක් සම්බන්ධයෙන් කුතුහලයක් ඇති වූ බව පවසා සිටියා. මෙම සමාගම අභියෝගාත්මක පරිසරයන්හි ප්‍රභූවරුන් සහ වටිනා භාණ්ඩ ප්‍රවාහනය කිරීම පිළිබඳ විශේෂඥ සමාගමක් බව මෙහි දී සඳහන් කළ යුතුයි. නිර්නාමික ඇමතුමෙන් විමසා ඇත්තේ යමකු ජපානයෙන් පිටතට ගෙන යාමට හමුදා පළපුරුද්දක් ඇති නැගෙනහිර ආසියානු පුද්ගලයකු අවශ්‍ය බවයි.

තමන් ආරක්ෂා කිරීමට යන්නේ කවුද? ඔහුට ඇති නිශ්චිත තර්ජනය කුමක්ද? සේවාදායකයා මුදල් හෝ රත්‍රන් හෝ වෙනත් වටිනාකමක් රැගෙන යන්නේද? ආදිය ගැන ආරක්ෂක සමාගම නිර්නාමික ඇමතුමෙන් විමසූ නමුත් ඇමතුම දුන් තැනැත්තා ඒවා පැවසීමට එකඟ වී නැහැ. අවසානයේ එකඟතාවකට නොපැමිණීමෙන් ඇමතුම විසන්ධි වී තිබෙනවා. ආරක්ෂක අංශ නිලධාරියාට මේ ඇමතුම පිළිබඳ ව සැකයක් දැනී ඇත්තේ කාලෝස් ගෝන් ජපානයෙන් පිටවී ඇති බවට 2019 දෙසැම්බර් 30 වනදා මාධ්‍ය වාර්තා කිරීමත් සමඟයි.

මෙය කිසිවකුත් විශ්වාස කළ සිදුවීමක් නොවුණු නමුත් නිව්යෝර්ක් නුවර සිටින ගෝන්ගේ මාධ්‍ය අංශ නියෝජිතයන් නිවේදනයක් නිකුත් කරමින් මෙය සනාථ කර තිබුණා. ජපානයේ යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයේ තමන් තවදුරටත් ප්‍රාණ ඇපකාරයෙක් නොවන බවයි එම නිවේදනය හරහා ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ. ඔහු ඒ වන විට සිට ඇත්තේ ලෙබනනයේ පිහිටි ඔහුගේ නිවසේයි. ජපාන ආරක්ෂක අංශවල උකුසු ඇස් වසා ඔහු ලෙබනනයට පැමිණියේ කෙසේද යන්න ලොව සියලු දෙනාගේ අවධානයට ලක්වුණු සිදුවීමක් බවට පත්වුණා.

පැනයාමේ සැලැස්ම

ලෝකයේ විශාල ම නගර අතරින් එකක් වන ටෝකියෝ නුවර මධ්‍යයයේ සිට පසුපසින් හැමවිට ම පැමිණෙන බුද්ධි අංශ නිලධාරීන් මග හැර ලෙබනනයේ බේරුට් නගරය වෙතට කාලෝස් ගෝන් නමැති ලොව ප්‍රකට පුද්ගලයකු රැගෙන යාම සුළුපටු කාර්යයක් නොවේ. මේ නිසා මෙම ක්‍රියාව යම් කණ්ඩායමක් විසින් සැලසුම් කර සිදු කරන ලද්දක් වනවා. එම කණ්ඩායම අවබෝධ කරගෙන තිබූ දෙයක් වූයේ ගෝන් හෝටලයක් වැනි ස්ථානයකට ඇතුළු වූ පසු ඔහු පසුපසින් පැමිණෙන බුද්ධි අංශ කණ්ඩායම් ඔහු යළි පිටතට පැමිණෙන තෙක් එහි පිටත රැඳී සිටින බවයි. මෙය අවස්ථාවක් කරගැනීමට ඔවුන් කල්පනා කළා.

ඒ අනුව 2019 දෙසැම්බර් 29 වනදා සවස 2.30ට පමණ කාලෝස් ගෝන් සර්ජිකල් මාස්ක් එකක් පැළඳ ඔහුගේ අපාර්ට්මන්ට් එකෙන් පිටව යනවා. ඔහු පසු ව තවත් පුද්ගලයින් දෙදෙනකු සමඟ ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටලයට පැමිණෙනවා. මෙම හෝටලය විශාල එකක් වන අතර ඇතුළුවීම් සහ පිටවීම් සඳහා දොරටු කීපයක් පවතින ගොඩනැගිල්ලක්.

ශිනගාවා දුම්රිය නැවතුම්පොළට

එතැනින් පිටත්වන ගෝන් ඇතුළු තිදෙනා ශිනගාවා දුම්රිය නැවතුම්පොළට පැමිණෙනවා. එය ටෝකියෝහි විශාල ම දුම්රිය නැවතුම්පොළක් නිසා එහි සෑමවිට ම විශාල මගීන් පිරිසක් දැකිය හැකියි. එම නිසා ඔවුන් තිදෙනාට මගීන් අතර නොපෙනී යා හැකි වනවා. ඔවුන් යම් අයෙක් හඳුනා ගත්ත ද කාලෝස් ගෝන්ට රට තුළ සංචරණය තහනම් නොවන නිසා එය එතරම් ගැටලුවක් වන්නේ ද නැහැ.

ඔවුන් එතැන් සිට ඔසාකා වෙත අධිවේගී දුම්රියකින් ගමන් කරනවා. ඔවුන් එහි හෝටලයකට ඇතුළු වන විට වේලාව රාත්‍රී 8.00ට පමණ ඇති. හෝටලයෙන් පිටතට පැමිණ ඇත්තේ ගෝන් සමඟ පැමිණි අනෙක් දෙදෙනා පමණයි. ඔවුන් සංගීත උපකරණ සහ ශබ්ද පාලන උපකරණ රැගෙන යන විශාල බඩු පෙට්ටි කීපයක් රැගෙන ගොස් තිබෙනවා. එයින් එක පෙට්ටියක කාලෝස් ගෝන් සැඟ ව සිට ඇති බවටයි වාර්තා වන්නේ. එතනින් ඔවුන් කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙනවා.

pvt jet and the audio box
කාලෝස් ගෝන් සැඟවී පැමිණි ශබ්ද පාලන උපකරණ අඩංගු පෙට්ටිය සහ ඔහු තුර්කිය වෙත ගමන් කළ පෞද්ගලික ජෙට් යානය – Wall Street Journal

 

ගුවන්තොටුපළේ ඇති X-ray යන්ත්‍ර තුළට විශාල බඩු පෙට්ටි ඇතුළු කිරීමට නොහැකි නිසා ඒවා X-ray පරික්ෂාවට ලක්වන්නේ නැහැ. බඩු පෙට්ටි රේගු නිලධාරීන්ගේ පරික්ෂා කිරීම මගහැරීමටත් කිසියම් හෝ ක්‍රමයකින් මොවුන්ට හැකි වී තිබෙනවා. ඉන් අනතුරු ව තුර්කියේ Bombardier Global Express නම් සමාගමට අයත් පෞද්ගලික ජෙට් යානයකින් රාත්‍රී 11.10ට කන්සායි වෙතින් පිටත් වී ඉස්තාන්බුල් වෙත බඩු පෙට්ටි පැමිණෙන්නේ දෙසැම්බර් 30 වනදා උදෑසන 5.30 ට පමණයි. එතැන් සිට ලෙබනනයේ බේරුට් වෙත තවත් පෞද්ගලික ජෙට් යානයකින් පැමිණෙන ගෝන් එතනින් සිය නිවස වෙත පැමිණෙනවා.

තුර්කිය හරහා ලෙබනනයට 

කාලෝස් ගෝන් ජපානයෙන් පිටමං කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කළ කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ මයිකල් ටේලර් නමැත්තෙක්. ඔහු අමෙරිකානු ජාතිකයකු වන අතර අමෙරිකානු හමුදාවේ විශේෂ බළකායේ සේවය කළ අයෙක්. ඔහු ලෙබනන සිවිල් යුද සමයේ එරට ක්‍රියාන්විතයේ දිගු කාලයක් යෙදී තිබුණු අතර එහිදී ඔහු ලෙබනනයේ ක්‍රිස්තියානි සමාජය හා සැලකිය යුතු සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබුණා. ඔහු සමඟ ඔහුගේ පුත්‍රයා පීටර් ටේලර් ද තවත් අමෙරිකානු ජාතිකයකු ද මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබෙනවා. මයිකල් ටේලර් මීට පෙර ද මෙවැනි ම ජාත්‍යන්තර ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කර එක්සත් ජනපදයේ සිර ගත කර සිටි අයකු ලෙසයි හැඳින්වෙන්නේ.

michale taylor
ඡායාරූපයේ මධ්‍යයයේ සිටින්නේ කාලෝස් ගෝන් ජපානයෙන් පැනයාමේ සැලැස්ම මෙහෙය වූ මයිකල් ටේලර් නැමැත්තායි -theguardian

 

2020 මැයි 20 වන දින එක්සත් ජනපද බලධාරීන් මයිකල් සහ පීටර් ටේලර් අත්අඩංගුවට ගත්තේ කාලෝස් ගෝන්ට පැන යාමට උදව් කළ බවට සැකපිටයි. 2020 ඔක්තෝබර් 30 වන දින එක්සත් ජනපදය ඔවුන් ජපානයට පිටුවහල් කිරීමට එකඟ වුණා. තුර්කියේ පෞද්ගලික ජෙට් මෙහෙයුම්කරුවකු තමන් මගී වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ බව පිළි ගත් අතර, ඔහු ඇතුළු හත් දෙනකු ඉස්තාන්බුල් හරහා ලෙබනනයට පලා යාම සඳහා ගෝන්ට උදව් කළ බවට තුර්කි අධිකරණය යටතේ මැයි 08 වන දා චෝදනා ගොනු කෙරුණා.

ටෝකියෝ අධිකරණයෙන් ඉල්ලීමක්

කාලෝස් ගෝන් ලෙබනනයට පැමිණීමෙන් පසු, ඔහුගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා පැමිණිලිකරුවන් ටෝකියෝ අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. ජපානය සහ ලෙබනනය යන රටවල් ද්විත්වය ම ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයන් බැවින් ජපානය ඉන්ටර්පෝල් හරහා රතු නිවේදනයක් ද පළ කර තිබුණා. ලෙබනනය ප්‍රතිපත්තියක් ලෙස කිසිදු ලෙබනන් ජාතිකයකු තම රටින් පිටුවහල් නොකරන නිසා ඒ ගැන ජපානය සමඟ එකඟතාවකට පැමිණ නැහැ. කෙසේවෙතත් ලෙබනන් අධිකරණයේ දී ජපානය කාලෝස් ගෝන්ට ඉදිරිපත් කර ඇති චෝදනා විමසීමට නියමිතයි. එයට තමන් අවනත වන බව සඳහන් කරමින් ගෝන් පවසන්නේ ජපාන අධිකරණ මෙන් නොව ලෙබනන අධිකරණය මෙහි දී සාධාරණ තීන්දුවක් දෙනු ඇති බවයි.

carlos ghosn salary comparison
කාලෝස් ගෝන්ගේ වැටුප අනෙක් ජපාන මෝටර් රථ සමාගම් ප්‍රධානීන්ට සාපේක්ෂව – bloomberg.com

2020 ජනවාරි 08 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් කාලෝස් ගෝන් පවසා සිටියේ නිසාන් සමාගමේ විධායක මණ්ඩලය සැලසුම් සහගත ලෙස තමාට විරුද්ධව අභූත චෝදනා ගොනු කර ඇති බවයි. තමන් ජපානයේ ඉහළ ම වැටුප් ලබන පුද්ගලයා බවට පත්වීම නිසාත් නිසාන් සහ රෙනෝල්ට් සමාගම් එක් කරන වඩා සාර්ථක සැලැස්මට ඔවුන් විරුද්ධ වීම නිසාත් ඔවුන් මෙම ක්‍රියාව සිදු කළ බව ඔහු පවසා සිටියා. කෙසේ වෙතත් මේ වන විට නිසාන් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 90ක වන්දියක් ඉල්ලා කාලෝස් ගෝන්ට එරෙහි තවත් නඩුවක් ගොනු කර ඇති අතර ප්‍රංශ නිලධාරීන් ද සිද්ධිය සම්බන්ධ ව පරීක්ෂණ පවත්වනවා.

කවරයේ පින්තූරය - නිසාන් මෝටර් රථ සමාගමේ හිටපු ප්‍රධානියා වන කාලෝස් ගෝන් - theepochtimes.com

මූලාශ්‍ර:

bloomberg.com

cnbc.com

reuters.com

time.com

bbc.com

Related Articles