මේ දවස්වල ඇමරිකාවේ ජනාධිපතිවරණය ගැන විශාල උනන්දුවක් මතුවෙලා තියෙන බව ඔබ දන්නවා ඇති කියා අප සිතනවා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් යන චරිත දෙක නිසාම මේ ජනාධිපතිවරණය ගැන අති විශේෂ වූ අවධානයක් මතුවී තිබෙනවා. ලෝකයේ බලවත්ම රට විදියට ඇමරිකාව සැළකෙන නිසා ඒ රටේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් වේද යන්න ගැන බොහෝ දෙනා අවධානයෙන් පසු වෙනවා.

ඇමරිකාවේ ජනාධිපති කෙනෙකු තෝරා පත්කර ගන්නේ ලංකාවේ හරි අනෙක් බොහෝ රටවල හරි වගේ සෘජු ජනතා ඡන්දයෙන්ම නෙවෙයි. ඒ කියන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන් දිනන්නේ නැහැ. ඇමරිකාව ගොඩ නැගුණේ ෆෙඩරල් රාජ්‍යයක් විදියට නිසා, එක් එක් ප්‍රාන්තවලට යම් වැදගත්කමක් ලැබිය යුතුය යන අදහස පැවතුණා. ඒ අනුව තමයි විධායකය වගේම ව්‍යවස්ථාදායකය හැඩ ගැහුණේ.

අපි කල්පනා කළා ඇමරිකාවේ ජනාධිපති තෝරාගනු ලබන ක්‍රමය ගැන යමක් ඔබට කියන්න . මේක සංකීර්ණ වෙන්න පුලුවනි. ඒ නිසා අපි පුලුවන් තරම් සරලව මේ ගැන කියන්න උත්සාහ කරනවා.

වෙනස් නීති

ඇමරිකාවේ ජනාධිපතිවරණය පවත්වන්නේ සෑම අවුරුදු 4 කට වරක් නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා. මේ නිසා ඡන්දය නොවැම්බර් 02 සිට 08 දක්වා ඕනෑම දවසක පැවැත්වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුව මෙවර ජනපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 08 වනදායි

ඇමරිකාවේ ප්‍රාන්ත 50 ක් වගේම වොෂිංටන් අගනුවර ඇතුලත් වන කොළොම්බියා දිස්ත්‍රික්කය ඇතුලත් වෙනවා. ඇමරිකාව ෆෙඩරල් රටක් නිසා එරට අභ්‍යන්තර කටයුතුවලට බලපාන ගොඩක් නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. ජනාධිපතිවරණ පවත්වන නීති පවා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. ඒ නිසා ලංකාවේ වගේ එකම නීතියකට අනුව ඡන්දය පැවැත්වෙන්නේ නෑ. ඒ වෙනුවට හැම ප්‍රාන්තයකම ඒවාටම අනන්‍ය නීති තියෙන්න පුලුවන්.

ක්‍රියාවලිය

ඇමරිකාවේ ජනාධිපතිවරණය හරිම දිග ක්‍රියාවලියක්. ඇත්තෙන්ම ඒක පටන් ගැනෙන්නෙ ඡන්දය පවත්වන වර්ෂයට කළින් වසරේ. මූලික වශයෙන් මෙහි පහත පියවර දකින්න පුලුවන්

  1. ඒ ඒ පක්ෂ සිය අපේක්ෂකයා තෝරා ගැනීම
  2. පක්ෂවල ජාතික සම්මේලන
  3. මහජන ඡන්දය
  4. ඡන්ද විද්‍යාලය රැස්වීම
  5. කොංග්‍රස් මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ජනාධිපති නිල වශයෙන් තෝරා ගැනීම .
  6. නව ජනපති දිවුරුම් දීම

ඒ ඒ පක්ෂ සිය අපේක්ෂකයා තෝරා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණක් නොව එක් එක් පක්ෂ විසින් ඒ ඒ පක්ෂවල නීති අනුව ක්‍රියාවට නගන්නක්. එකම පක්ෂය තුළ වුවද එක් එක් ප්‍රාන්තවල දී වෙනස් ක්‍රමවේදයන් මේ සඳහා යොදා ගනු ලබනවා.

මුල් වටයේ ඡන්ද විමසීම් (Primaries)

(2016 ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනය/AP)

සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නන් කළින් වසර අග භාගයේ සිටම කටයුතු පටන් ගන්නවා දකින්න පුලුවනි . මේ අපේක්ෂකයන් අතර ප්‍රාන්ත මට්ටමේ තරඟ පැවැත්වෙනවා. මෙහිදී මුල් වටයේ ඡන්ද විමසීම් (Primaries) හෝ පක්ෂ රැස්වීම් (Caucuses) හෝ මගින් මෙම තරඟ පවත්වනු ලබනවා. එම පක්ෂ විසින් මෙහිදී කරන්නේ ජාතික සම්මේලනයට නියෝජිතයන් තෝරා ගැනීමයි . ඒ ඒ ප්‍රාන්තයට එක්තරා නියෝජිත ප්‍රමාණයක් ලැබෙනවා. එක් එක් අපේක්ෂකයා තමා එම ප්‍රාන්තයෙන් ලබාගන්නා ප්‍රසාදය අනුව යම් නියෝජිත සංඛ්‍යාවක් ලබාගන්නවා.

උදාහරණයක් වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනයට යම් ප්‍රාන්තයකින් නියෝජිතයන් 50 ක් යවන්නේ යයි හිතමු. A නම් අපේක්ෂකයා 25 දෙනෙකුද, 15 දෙනෙකුද, 10 දෙනෙකු දිනාගත්තොත්, ජාතික සම්මේලනයේදී ඒ ඒ අපේක්ෂකයා වෙනුවෙන් ඒ ඒ නියෝජිතයො ඡන්දය දෙනවා.

කොහොම වෙතත් ගොඩක් වෙලාවට ප්‍රාථමික ඡන්ද විමසීමේදීම කෙනෙක් වැඩි නියෝජිත පිරිසක් ලබාගෙන ජයග්‍රහණය කරනවා. මෑත කාළයේ හුඟක් ජනාධිපතිවරණවලදි එහෙම වුණා. ඒ නිසා ජාතික සම්මේලන එතරම් උද්‍යෝගී ඒවා වුනේ නැහැ.

(2016 රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලනය/Vanity Fair)

නමුත් ඉතිහාසයේ අවස්ථා ගණනාවක් තියෙනවා පක්ෂයකට මූලික තරඟවලදි එක් අපේක්ෂකයකු තෝරාගන්න බැරිවුනු . ඒ වෙලාවට සම්මේලනයෙදි තමා කෙනෙක්ව තෝරාගන්නෙ. ඒ වෙලාවට සමහර විට හිතන්නෙ නැති කෙනෙක් අපේක්ෂකයා වෙන්නත් ඉඩ නැතිව නෙවෙයි.

ප්‍රධාන පක්ෂ දෙකට අමතරව සමහර පොඩි පක්ෂත් ජාතික සම්මේලන වගේම මූලික ඡන්ද විමසීම් පවා පවත්වනවා.

අපේක්ෂකයාගේ නම ඇතුලත් කර ගැනීම (Ballot Access)

ඇමරිකාවේ පොඩි පක්ෂවලට බලපාන වෙනමම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි එක් එක් ප්‍රාන්තවල ඡන්ද පත්‍රිකාවට තම අපේක්ෂකයාගේ නම ඇතුලත් කර ගැනීම . මේකට කියන්නේ Ballot Access කියලා. ලංකාවේ නම් අපි දන්නවා ජනාධිපතිවරණයකදි ලංකාවටම බෙදන්නේ එකම ඡන්ද පත්‍රිකාවක්. ඇමරිකාවේ මේක ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා. මේ පත්‍රිකාවට නම ඇතුලත් කරගන්නට ඒ ඒ ප්‍රාන්තවල තියෙන නීතිත් වෙනස්. සමහර ප්‍රාන්තවල ඒවා ලිහිල්. අනෙක් තැන්වල එහෙම නැහැ.

මේ නිසා සාමාන්‍යයෙන් පොඩි පක්ෂවල අපේක්ෂකයන්ට ඔක්කොම ප්‍රාන්තවල තරඟ කරන්නට අවස්ථාව නැති වෙනවා. මෙවර ලිබර්ටේරියන් පක්ෂයේ ගැරී ජොන්සන් පමණක් ඒ අවස්ථාව ලබාගෙන තියෙනවා. මීට කළින් තුන්වන අපේක්ෂකයකු ඒ අවස්ථාව ලබාගෙන තියෙන්නෙ 2000 දි.

විවාද

(ක්ලින්ටන් – ට්‍රම්ප් අවසන් විවාදය/Getty Images)

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට සති කිහිපයක් තිබියදී ප්‍රධාන අපේක්ෂකයන් අතර විවාද පවත්වනු ලබනවා. මෙය සම්ප්‍රදායක් විනා මැතිවරණ නීතියක් නොවන බව ඔබ මතක තබා ගත යුතුයි. මෙම සම්ප්‍රදාය ඇරඹුනේ 1960 ජෝන් එෆ්. කෙනඩි සහ රිචර්ඩ් නික්සන් අතර විවාදවලින්. වර්තමානයේ ප්‍රධාන අපේක්ෂකයන් අතර විවාද තුනක්ද ඔවුනගේ උප ජනාධිපති අපේක්ෂක සගයන් අතර එක විවාදයක්ද පවත්වනු ලබනවා. මෙම විවාද විශ්ව විද්‍යාලයක හෝ වෙනත් පොදු ශාලාවකදී පවත්වනු ලබන අතර එක් එක් මාධ්‍ය ආයතන විසින් සංවිධානය කෙරෙනවා.

ජනාධිපතිවරණ විවාදයක් සඳහා සුදුසුකම් ලැබීමට යම් අපේක්ෂකයකු එවකට පවත්වනු ලබන ජනමත විමසුම්වලදී සියයට 15 ක වත් ජාතික මට්ටමේ මනාපයක් ලබාගත යුතුයි . මේ හේතුවෙන් තුන්වන අපේක්ෂකයකුට එම විවාද සඳහා සහභාගී වීම ලෙහෙසි නැහැ . අවසන් වරට තුන්කොන් විවාදයක් පැවැතියේ 1992 දී . ඒ ස්වාධීන අපේක්ෂක රොස් පෙරොට්, ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක බිල් ක්ලින්ටන් අතර යි.

(ක්ලින්ටන් – ට්‍රම්ප් අවසන් විවාදය/Getty Images)

මහජන ඡන්ද විමසීම

(ඇමරිකානුවන් ඡන්දය ප්‍රකාශ කරන අයුරු/USA Today)

කළින් සඳහන් කළ ආකාරයට ජනාධිපතිවරණ මහජන ඡන්ද විමසීම පවත්වන්නේ සෑම වසර හතරකටම වරක් නොවැම්බරයේ පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා. නමුත් දිනය ඇරුණම අනෙක් බොහෝ දේවල් සඳහා බලපාන නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා. සමහර ප්‍රාන්තවල කෝරළයෙන් කෝරළයට පවා පොඩි වෙනස්කම් තියෙනවා.

ඇමරිකාවේ බොහෝ අයට ඡන්ද දවස නිවාඩු දවසක් නෙවෙයි. ඒ නිසාම හැම ප්‍රාන්තයකම කළින් ඡන්දය ලබාදීමේ (early voting) පහසුකම දීල තියෙනව . සමහර ප්‍රාන්තවල මාසයකට වැඩි කාළයක ඉඳන් ඡන්දය දාන්න පුලුවන්. සමහර ප්‍රාන්තවල මේ සඳහා දෙන්නෙ දවස් හතරක පමණ පොඩි කාළයක්. මීට අමතරව විදේශගත ඇමරිකානුවන්, ආරක්ෂක හමුදා සහ වෙනත් ඇතැම් අවශ්‍යතා තියෙන අයට පිට ස්ථානවල ඉඳන් ඡන්දය දාන්න (absentee ballots) ක්‍රමවේදයක් හදල තියෙනව . (අපේ තැපැල් ඡන්ද වගේ).

2008 ජනාධිපතිවරණයෙදි ඡන්දය පාවිච්චි කළ අයගෙන් සියයට 32 ක් ඡන්දය දවසට කළින් ඡන්දය පාවිච්චි කළා.

අපි දන්නවා ලංකාවෙ නම් ඡන්ද පොළ විවෘත කරන්නෙ උදේ 7 ට . වහන්නෙ හවස 4 ට . ඇමරිකාවෙ මේකත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට , සමහර විට කෝරළයෙන් කෝරළයට පවා වෙනස්. සමහර ප්‍රාන්තවල නියමිත වෙලාව ප්‍රාන්තයටම පොදුයි. සමහර ප්‍රාන්තවල කෝරළවල වෙනස් වෙලාවල් නියම කරල තියෙනව . සමහර තැන්වල ඡන්ද පොළ උදේ 6 ඉඳන් රෑ 10 වෙනකල් වගේ විවෘත කරල තියෙනව .

ඒ විතරක් නෙවෙයි. ඡන්ද පොළ වහද්දි පෝලිමේ කවුරු හරි ඉතිරි වෙලා හිටියොත්, එයාලට ඡන්දය දාන්න දෙනවද නැද්ද කියන එක පවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා.

ඡන්ද විද්‍යාලය (Electoral College)

(2016 ඡන්ද විද්‍යාලය/wikimedia)

කළිනුත් කිව්වා වගේ ඇමරිකාවෙ ජනාධිපතිවරණය වක්‍ර මැතිවරණයක්. මෙහිදී මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා කෙළින්ම තෝරාගන්නේ නෑ. ඒ වෙනුවට කෙරෙන්නේ ඡන්ද විද්‍යාලයක් (Electoral College) සඳහා නියෝජිතයින් හෙවත් වරකයින් තෝරා ගැනීම . මේ ඡන්ද විද්‍යාලය පත් කෙරෙද්දිත් සමහර ප්‍රාන්තවල නීති රීති වෙනස් වෙන වෙලාවල් තියෙනව .

ඡන්ද විද්‍යාලයේ සාමාජික ගණන 538 ක්. එයින් 535 ක් කොංග්‍රස් මණ්ඩලයේ ඉන්න නියෝජිතයන් සංඛ්‍යාව නියෝජනය කරනවා. ඊට අමතරව කොළොම්බියා දිස්ත්‍රික්කය වෙනුවෙන් තවත් තුන් දෙනකු ඉන්නවා.

සමහරවිට ඔබ අහල ඇති කොංග්‍රස් මණ්ඩලයට හැම ප්‍රාන්තයකින්ම යම් නියෝජිත ප්‍රමාණයක් යන බව . ඇමරිකාවේ හැම ප්‍රාන්තයකින් ම දෙදෙනා ගාණෙ සෙනට් සභාවට 100 කුත්, එක් එක් ප්‍රාන්තයේ ජනගහනය හැටියට පහළ මන්ත්‍රී මණ්ඩලයට 435 දෙනෙකුත් යැවෙනවා. එක එක ප්‍රාන්තයෙන් ඡන්ද විද්‍යාලයට යවන්නෙත් ඒ වගේ ගාණක්. උදාහරණයක් විදියට ඇලස්කාව ගත්තොත් ඒ ප්‍රාන්තයෙන් සෙනට් සභාවට දෙදෙනෙකුත් පහළ මන්ත්‍රී මණ්ඩලයට එක්කෙනෙකුත් නියෝජිතයන් යැවෙනවා. ඡන්ද විද්‍යාලයට ඇලස්කාවෙන් නියෝජිතයන් තුන් දෙනකු යැවෙනවා.

ප්‍රාන්ත 50 න් 48 කදීම වෙන්නෙ එම ප්‍රාන්තය දිනන අපේක්ෂකයාගෙ පක්ෂයට ඡන්ද විද්‍යාල නියෝජිතයන් සියල්ලම නම් කරන්න අවස්ථාව ලැබීමයි. ඒ කියන්නෙ යම් ප්‍රාන්තයක් එක ඡන්දයකින් හෝ දිනන අපේක්ෂකයාගෙ පක්ෂයට සම්පූර්ණ නියෝජිත සංඛාව ලැබෙනවා. ඔබට මතක ඇති 2000 ජනාධිපතිවරණයෙදි ජෝර්ජ් ඩබ්. බුෂ් ෆ්ලොරීඩා ප්‍රාන්තය දිනුවෙ ඡන්ද 537 කින්. ඒත් ඔහු ඒ ප්‍රාන්තය දිනාපු නිසා ඔහුට ඒ කාලෙ ෆ්ලොරීඩාවෙන් පත් කරපු නියෝජිතයන් 25 ම ලැබුණා.

මේන් සහ නෙබ්‍රස්කා ප්‍රාන්තවල මීට පොඩ්ඩක් වෙනස් ආකාරයකින් තමයි ඡන්ද විද්‍යාල නියෝජිතයන් පත් කරන්නෙ. ඒවයෙදි ප්‍රාන්තයේම ඡන්ද ගාණෙන් වැඩි ප්‍රමාණය දිනන අපේක්ෂකයාට නියෝජිතයන් දෙදෙනෙක් ලැබෙනවා (සෙනට් සභාවට පත්වන ගණනට සමානව ). ඉතිරි අයව පත් කරන්නෙ ඒ ඒ ඡන්ද කොට්ඨාශ දිනන කෙනා අනුව .

උදාහරණයක් විදියට නෙබ්‍රස්කා ප්‍රාන්තය ගත්තම , එහි පහල මන්ත්‍රී ආසන තුනක් සිටින හෙයින් මැතිවරණ කොට්ටාශ තුනක් තියෙනව. ඒකෙ පහල මන්ත්‍රී මණ්ඩල ආසන තුනක් තියෙනව . ඒවායේ වෙන වෙනම වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ගන්නා අපේක්ෂකයාගෙ පක්ෂයට අදාල නියෝජිතයකු පත් කරන්න ලැබෙනවා.

ඡන්ද විද්‍යාලයට පත් කෙරෙන ඕනෑම නියෝජිතයෙකුට තමන් කැමති අපේක්ෂකයකුට ඡන්දය දීමේ හැකියාව සලසා දීමෙන් මෙම ක්‍රමය තවත් සංකීර්ණවී තිබෙනවා. සාමාන්‍යයෙන් එහෙම නොවුනත් එහෙම අවස්ථා නැතිව නෙවෙයි. එම තත්ත්වය මග හැරීමට ප්‍රාන්තවලින් 24ක් නීති පනවලා තියෙනවා. ඒ අනුව තමන් සහය දීමට යන අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය නොදීම එම ප්‍රාන්ත 24 දී දඬුවම් ලැබිය හැකි වරදක්. එම නිසා, මැතිවරණය අවසන් වන විට, ඇතැම් විට සියලු ඡන්ද ගණන් කිරීමටත් පෙර, ජයග්‍රාහකයා පැහැදිලි වෙනවා.

ඡන්ද විද්‍යාලය රැස් වන්නේ දෙසැම්බරයේ දෙවන බදාදාට පසුව එන සඳුදා. ඒ එක තැනකදි නෙවෙයි. ඒ ඒ ප්‍රාන්තවල අගනුවරවලදී. එහෙම එකතු වෙලා ඒ අය ඡන්දය දානවා. ඒ ඡන්ද ඊට පස්සෙ වොෂිංටන් වෙත එවනවා. එම ඡන්ද ගණන් කරන්නේ ඊළඟ මාසයේ මුලදී කොංග්‍රස් මණ්ඩලය විසින්. ඒ අනුව කොංග්‍රස් මණ්ඩලය විසින් නිල වශයෙන් ජයග්‍රාහකයා නම් කරන්නේ මැතිවරණය පැවැත්වූ නොවැම්බරයට පසු එන ජනවාරියේදී.

කොංග්‍රස් මණ්ඩලයේ ඡන්දය

(අපේක්ෂකයන් දෙදෙනා අතර තරඟයේ වර්තමාන තත්වය/BBC)

යම් විදියකින් හරි ඡන්ද විද්‍යාලයේ ඡන්දවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් එක අපේක්ෂකයකුටවත් ලැබුණෙ නැත්නම් ජනාධිපති තෝරා ගැනීමේ අවස්ථාව එන්නෙ කොංග්‍රස් මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලයට . එතකොට ඒ අය ඡන්දයක් පවත්වලා ජනාධිපති තෝරාගන්නවා. එහෙම අවස්ථාවක් ඉතිහාසයේ වෙලා තියෙන්නෙ 1824 දී පමණයි.

මේ ආකාරයෙන් පත්වෙන ජනාධිපතිවරයා 2017 ජනවාරි 20 වෙනිදා දිවුරුම් දෙන්නට නියමිතයි.

(කවරයේ රූපය/CNN)