ව්ලැඩිමීර් ඩෙමිකොව් ඔළු දෙකේ සුනඛයකු සෑදූ හැටි

මොස්කව් නුවර කුණු කසළ අහුලා කෑ බල්ලකුට මිනිස් මොළයක් බද්ධ කිරීම සිදු කළ විද්‍යාඥයකුට මූණදීමට සිදුවන අර්බුද ගැන ලියැවුණු මිකායෙල් බුල්ගාකෝච්ගේ ‘Heart of a Dog’ කෘතිය ඔබ කියවා ඇති බවට සැකයක් නෑ. එය ‘ බල්ලෙකුගේ හදවත ’ නමින් ගාමිණී වියන්ගොඩ කලකට පෙර සිංහලට පරිවර්තනය කර තිබෙනවා. කෙසේ වෙතත් එය ප්‍රබන්ධයක්. එනමුදු මේ කතාවනම් ප්‍රබන්ධයක් නෙවෙයි, සත්‍යයක්. ඒ සත්‍ය කතාව රුසියානු වෛද්‍යවරයකු වූ ව්ලැඩිමීර් ඩෙමිකොව්, ඔළු දෙකේ සුනඛයකු සෑදූ හැටි ගැන යි. 

රුසියානු වෛද්‍යවරයකු වූ ව්ලැඩිමීර් ඩෙමිකොව් ලෝක වෛද්‍ය විද්‍යාවට සැලකිය යුතු මෙහෙයක් සිදුකළ අයෙක්. ඔහු වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ ඉතා මතභේදාත්මක මෙන් ම අසම්මත පර්යේෂණ සිදු කළ අයකු ලෙස යි. ඔහු සිදු කළ සමහරක් සොයා ගැනීම් සැබවින් ම ඉතා ඉහළ ඒවා යැයි පැවසිය හැකි යි. තවත් සමහරක් සොයා ගැනීම් ඉතාමත් හිංසාකාරී මෙන් ම ම්ලේච්ඡ ඒවා වුණා. විශේෂයෙන් 1950 දශකයේ ඔහු උත්සාහ කළ ‘ඔළු දෙකේ සුනඛයකු’ සෑදීමේ පර්යේෂණ පෙළ බොහෝ දෙනා හඳුන්වන්නේ ඔහු සිදු කළ උන්මත්තක ක්‍රියාවක් ලෙස යි. 

 බ්‍රොඩියාගා හා ෂවාකා – Howard Sochurek 

අවයව බද්ධ කිරීමේ උපන් හපනෙක්

දෙවන ලෝක යුද්ධයේදී රතු හමුදා රෝහල්වල ප්‍රවීණයකු වූ ව්ලැඩිමීර් ඩිමිකොව් විශ්වාස කළේ හදවත සහ පෙනහළු වැනි අවයව මිනිසුන්ට බද්ධ කළ හැකි බව යි. ඔහු හෘද බයිපාස් සැත්කම්වල පියා ලෙස සැලකෙනවා. ව්ලැඩිමීර් ඩෙමිකොව් ඉතාමත් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු වුණා. විශේෂයෙන් අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන් ඔහු සිදු කළ ඉතාමත් සාර්ථක පර්යේෂණ රාශියක් තිබෙනවා.

සිය පර්යේෂණ සඳහා සුනඛයින් ඔහු වැඩිමනත් ම යොදා ගත් අතර, සුනඛයන් අතර විවිධ අවයව බද්ධ කිරීම් කිහිපයක් ම ඔහු ඉතා සාර්ථකව සිදු කළා. මේ නිසා රුසියාවේ බොහෝ තැනෙකින් මෙන් ම අන් රටවලින් ද ඔහු වෙත පැසසුම ගලා ආවා. අවසානයේ ඔහු සිය පර්යේෂණවල වඩාත් අසීරු වූත්, අවදානම් සහගත වූත් අදියර ක්‍රියාතමක කිරීමට ඉටා ගන්නවා. ඒ සම්පූර්ණ සුනඛයකුගේ ග්‍රීවයට තවත් සුනඛයකුගේ ප්‍රාණවත් හිසක් පූර්ණ වශයෙන් බද්ධ කිරීම යි.

පර්යේෂණ ඇරඹෙයි

සම්පූර්ණ සුනඛයකුගේ ග්‍රීවයට තවත් සුනඛයකුගේ හිසක් බද්ධ කිරීමේ පර්යේෂණ ඩෙමිකොව් ආරම්භ කරන්නේ 1954 වසරේදී යි. එතැන් පටන්, වසර කිහිපයක් පුරාවට ඔහු මේ පර්යේෂණය අත්හදා බලනවා. විවිධාකාර මට්ටමේ සාර්ථක භාවයන්ගෙන් යුක්ත ව 23 වතාවක් ඔහු මේ සඳහා උත්සාහ කළා. කෙසේ නමුත් ලොව වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ 24 වැනි උත්සාහය යි. ඔහු අත්හදා බැලූ වාරයන්ගෙන් වඩාත් ම සාර්ථක වාරය නොවුණත් 1959 වසරේ ඔහු සිදු කළ එම බද්ධය, ඡායාරූප සමඟින් ‘ලයිෆ්’ සඟරාවේ පළවීමත් සමඟ ලොව පුරා මේ පිළිබඳ ව ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුණා.

ඩෙමිකොව් ඔහුගේ මෙම 24 වන උත්සාහය සඳහා තෝරා ගෙන සිටියේ ‘බ්‍රොඩියාගා’ නම් අයාලේ යමින් සිටින් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයකු හා ‘ෂවාකා’ නම් කුඩා ප්‍රමාණයේ සුනඛයකු යි. මෙහි දී ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා ධාරක සුනඛයා හෙවත්, සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා සුනඛයා ලෙස තෝරා තිබුණු අතර, ෂවාකා, පරපෝෂිත සුනඛයා ලෙස තෝරා ගෙන තිබුණා. ෂවාකාගේ හිස, ග්‍රීවය කඳින් වෙන් කර බද්ධයට සූදානම් කෙරුණා.

ඩෙමිකොව් සිය සහායිකාවක සමඟ හිස් දෙකේ සුනඛයාට ආහාර සපයමින් – Bettmann – Getty Images

සාර්ථක නොවූ පර්යේෂණය

සැත්කමට දින කිහිපයකට පෙර සිට ම සුනඛයන් දෙදෙනා ඩෙමිකොව් ඒ සඳහා සූදානම් කළා. ෂවාකාගේ ඉදිරි ගාත්‍රා දෙකට මඳක් පහළින් කැපුමක් ඇති කළ ඔහු එතැනින් උගේ සිරුර කොටස් දෙකකට වෙන් කළා. කෙසේ නමුත් බද්ධය සිදු කරන මොහොත දක්වා ම ෂවාකාගේ හදවත හා පෙනහළු වෙන් කෙරුණේ නැහැ.

බද්ධය සිදු කරන මොහොතේ දී බ්‍රොඩියාගා ගේ ගෙලෙහි කැපුමක් ඇති කෙරුණු අතර එතැනට ෂවාකාගේ හිස, ග්‍රීවය හා ඉදිරි පාද ඇතුළත් ශරීර කොටස සවි කෙරුණා. අනතුරු ව ෂවාකාගේ පෙනහළු හා හදවත ඉවත් කෙරුණු අතර, ස්නායු, රුධිර වාහිනී වැනි දේ වලින් බ්‍රොඩියාගාගේ ශරීරය හා සම්බන්ධ කෙරුණා. ප්ලාස්ටික් රැහැන් ගෙන ෂවාකාගේ ශරීර කොටසේ කොඳු ඇට බ්‍රොඩියාගාගේ කොඳු ඇට පෙළට බැඳ දැමුණා.

 බ්‍රොඩියාගා හා ෂවාකා – Bettmann – Getty Images

සම්පූර්ණ සැත්කම කිරීමට ඩෙමිකොව් සහ කණ්ඩායමට ගත වී තිබුණේ පැය තුන හමාරක කාලයක් පමණ යි. සැත්කමෙන් අනතුරු ව හිස් දෙකට ම ඇසීම, පෙනීම හා ගිලීමේ හැකියාව තිබුණා. ෂවාකා ආහාර ගත්තත්, ඒවා බ්‍රොඩියාගාගේ උදරයට යන ලෙස සකස් කොට නොතිබූ අතර, යොදන ලද බටයකින් ඒවා ඉවතට බැහැර වන ලෙස සකසා තිබුණා.

බොහෝ දෙනා සිතුවේ සැත්කම අති සාර්ථක වූ බව යි. කෙසේ නමුත් මේ හිස් දෙකක් සහිත ‘සත්ත්වයා’ ජීවත් වූයේ දින හතරක් පමණ යි. ග්‍රීව පෙදෙසේ රුධිර නාළිකාවක පිපිරීමක් සිදුවීම නිසා ධාරකයා හා පරපෝෂී හිස යන දෙක ම මිය ගියා. කෙසේ නමුත් ඩෙමිකොව් පවසා සිටියේ, එසේ නොවිණි නම්, මෙම බද්ධයෙන් බිහි වූ සත්ත්වයා බොහෝ කලක් ජීවත් ව සිටිනු ඇති බව යි. ඩෙමිකොව් එක් වතාවක දී හිසක් බද්ධ කළ සත්ත්වයෙක් දින 29 ක් තරම් කල් ජීවත් වී තිබුණා.

පර්යේෂණයෙන් පසු

ඩෙමිකොව් ගේ එම පර්යේෂණය පිළිබඳ ලයිෆ් සඟරාවේ පළවීමත් සමඟ ම ලොව පුරා විවිධ පුද්ගලයන් ඒ පිළිබඳ ව විවිධාකාරයේ මත පළ කළා. බොහෝ දෙනකු පැවසුවේ මෙය පැහදිලිව ම සත්ත්ව හිංසනයක් බව යි. ඩෙමිකොව්ට සහාය පළ කරන්නන් මෙය සාධාරණීකරණය කරන්නට උත්සාහ කළේ මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් බව හුවා දක්වමිනු යි. ඊට විරුද්ධ වෙමින් නැගී ආ මතය වූයේ කිසි කලෙක මෙවැනි බද්ධයක් කිරීමට මිනිසුන්ට අවශ්‍යතාවක් පැන නොනඟිනු ඇති බව යි.

ක්ෂීරපායි ශරීරයකට තවත් හිසක් බද්ධ කිරීමට ලොව උත්සාහ ගත් පළමුවැන්නා වෛද්‍ය ඩෙමිකොව් නොවේ. 1908 වසර තරම් ඈත අතීතයක දී ප්‍රංශ ශල්‍ය වෛද්‍යවරයකු වන ඇලෙක්සිස් කැරොල් හා ඔහුගේ සහායකයා වන අමෙරිකානු ජාතික චාල්ස් ගුත්‍රී මෙවැනි ම උත්සාහයක් ගෙන තිබෙනවා. එහිදී ද ඔවුන් යොදා ගත් සුනඛයන් දෙදෙනා සැත්කමෙන් පසු, එක් වර ම ඉතා හොඳ ප්‍රතිඵල පෙන්වා තිබෙන මුත්, පැය කිහිපයක් තුළ ඔවුන්ගේ තත්ත්වය නරක අතට හැරී මිය ගොස් තිබෙනවා.

සර්ජියෝ කැනවාරෝ – semanto.me

 

වර්තමානය වන විට, ඉතාලියානු ස්නායු ශල්‍ය වෛද්‍ය සර්ජියෝ කැනවාරෝ විශ්වාස කරන ආකාරයට ක්ෂීරපායි හිස් බද්ධ කිරීම් ඉතාම මෑත අනාගතයේ දී සැබෑවක් වෙනු ඇති. ඔහු ලොව ප්‍රථම මිනිස් හිස් බද්ධය සිදු කිරීමට නියමිත චීන ව්‍යාපෘතියක් සමඟ ඉතා සමීප ව කටයුතු කරනවා. ලොව අනෙකුත් බොහෝ රටවල් මෙන් නොව, චීනයේ වෛද්‍ය හා සදාචාරාත්මක නීති හා රෙගුලාසි ඉතාමත් ලිහිල් මට්ටමක පවතිනවා. කැනවාරෝ පවසන අන්දමට මේ වන විටත් ඔවුන් ලොව ප්‍රථම මිනිස් හිස් බද්ධය සිදු කිරීමේ පූර්ණ සූදානමෙන් පසු වෙනවා. කෙසේ නමුත්, ලොව බොහෝ වෛද්‍යවරු හා විද්වතුන් පවසන්නේ අදටත් මිනිස් හිසක් තවත් ශරීරයක් හා බද්ධ කිරීම හුදු විද්‍යා ප්‍රබන්ධයක් වැනි කතාවක් බව යි.

කවරයේ පින්තූරය -  බ්‍රොඩියාගා හා ෂවාකා - flashbak.com 

මූලාශ්‍ර:

allthatsinteresting.com

Nytimes.com

thefamouspeople.com

Related Articles